Showing posts with label මගේ ජීවිතය. Show all posts
Showing posts with label මගේ ජීවිතය. Show all posts

August 21, 2014

රෑ මනමාලී..

"Queen of the Night"... සමහර රටවල් වල කඩුපුල් මල හඳුන්වන්නෙ ඒ නමින්. රාත්‍රියටම පිපිලා සඳ රාජිණියගෙ සෞම්‍යාලෝකය මැද බොහොම තේජවන්තව බැබලුණාට මොකද ඉර උදාවෙනවත් එක්කම හැමෝටම හොරෙන් හැංගිලා යනවා. 

සංචාරකයා මීට කලින් කඩුපුල් මලක් දැකල තිබුණෙ එක පාරයි. ඒ අසල්වැසි ගෙදරක තිබුණු කඩුපුල් පැළයක. මල් තුන හතරක්ම පිපිලා තිබුණා. අපිටත් එකක් දුන්නා බුදුන්ට පූජ කරන්නෙයි කියලා. ඒ ගෙදරින් තමයි අම්මා මීට අවුරුද්දකට විතර කලින් කොළයත් එක්කම තිබ්බ පොඩි මුල් කෑල්ලක් ගෙනල්ලා ගෙදර ඉස්සරහ තිබ්බ අඹ ගහේ පොල් ලෙලි වලින් පුංචි පෝච්චියක් හදල පැළ කරේ. කඩුපුල් පැළ හටගන්නෙ කොළවලින් නෙ. කොහොමහරි මීට දින කිහිපයකට කලින් ඒ ගෙනල්ලා පැළ කරපු කඩුපුල් පැළේ කොළයක අග්ගිස්සෙන් පුංචි පුංචිම පොහොට්ටුවක් ඇවිල්ලා තිබුණා. ඔහොම දවස් දෙක තුනක් හෙමිහිට යද්දි පොහොට්ටුවත් එන්න එන්න ලොකු වුණා. දවසක් අම්මා කිව්වා අද රෑටනං කඩුපුල් මල පිපෙනවා කියලා. මාත් බොහොම ආසාවෙන් හිටියෙ කඩුපුල් මල පිපෙනකංම ඒ දිහා බලං ඉන්න. හවස් වෙනකොටම කැමරාවයි ට්‍රයිපෝඩ් එකයි අටෝගත්තා.

මේ හවස 7.15ට විතර..
මට මේ පොහොට්ටුව දකිනකොට ඇතිවෙන්නෙම පුපුරන්න ඔන්න මෙන්න තියෙන දිය බුබුළක වගේ හැඟීමක්.. :D :)

චන්දන ලියනආරච්චි ගෙ සින්දුවකුත් මතක් වුණා ඒ ගමන්..

"සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ
නුඹ තාම නිදිද..
නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ.."

මේ ෆොටෝ එක ගත්තෙ රෑ 8.00 ට..
මනමාලි දැන්නං කළඑළි බහිහන්නයි සූදානම..

මේ වෙනකොට කඩුපුල් මල බලං ඉද්දි හෙමි හෙමිහිට පිපෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි සුවඳත්. 
මේ ෆොටෝ එක ගන්නකොට 8.10 යි..


8.40 විතර වෙද්දි කඩුපුල් මල බොහෝ දුරට පිපිලා. 
කඩුපුල් මලේ සුවඳනං දැං බොහොම මිහිරියට දැනෙනවා. 
දවස් ටිකේම තිබ්බෙ වැහිබර කාලගුණයක් හන්ද සීතලත් දැනෙනවා. ඒ මදිවට මදුරුවො. බැරිම තැන ගෙට ගිහිල්ලා සිද්ධාලේප කුප්පියක් ඇඟේ අතුල්ලගෙන ආවා. :P

9.00 ට විතර ෆොටෝ එකක් ගන්නකොට තිබුණේ මේ විදිහට.
                   
 10.00 ට තමයි මේ ෆොටෝ එක ගත්තෙ..
දැන්නම් කඩුපුල් මල හොඳටම වගේ පිපිලා..
රේණු ටිකයි කලංකයයි මුළුමනින්ම නිරාවරණය වෙලා. 
මුළු මිදුලම සුවඳයි.

දහය එකොළහ විතර වෙද්දි කඩුපුල් මල සම්පූර්ණයෙන්ම පිපෙනවා කියල තමයි කියන්නෙ. ඔය විද්‍යාත්මක භාෂාවෙන් කඩුපුල් මල හඳුන්වන්නෙ Epiphyllum oxypetalum කියලා. ඉන්දියාවෙ අයනං හඳුන්වන්නෙ "බ්‍රහ්ම කමලම්" කියලා. ඒ අයගෙ විශ්වාසයක් තියනවලු මේ අපි හඳුන්වන කඩුපුල් මල පිපෙන ගමන් දෙවියන්ට යාඤා කරාම ඒ අයගෙ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වෙන බව. 
ජපන්නු මේ කඩුපුල් මලට හඳුන්වන්නෙ "Beauty under the Moon" නමින්..

මේ තියෙන්නෙ ගත්තු තවත් ෆොටෝ ටිකක්..










කඩුපුල් මල පිපෙනකංම ෆොටෝ ගහල අන්තිමට හැදුව වීඩීයෝ එකක්. සංචාරකයගෙ Adobe Premier Pro දැනුමනං අන්තිමයි..කොහොමහරි වීඩියෝ කෑල්ලක් අටවගත්තා. පිපෙන හැටි බලාගන්න ඕන්නං මේක බලන්න.. :)


 ඔය එකෝමත් එක කියන රටේ.. :D තිබ්බලු විශාල පාළු වනාන්තරයක්. මේ පාළු වනය ඇතුලෙ තිබ්බා මල් ගොමු වලින් වට වෙච්ච ලස්සනම ලස්සන විලක්. මේ වනාන්තරයෙ හිටපු සුරංගනාවියන් එකතු වෙලා මේ විල වටේම නට නට සින්දු කියල සතුටු වෙන්න පුරුදු වෙලා හිටියලු. 
දවසක් මේ විදිහට සුරංගනාවියො විල වටේම නට නට සතුටින් ඉඳිද්දි තාපසයෙක් මේ ඉසව්වට ආවලු භාවනා කරන්න සුදුසු තැනක් හොය හොයා. මේ සුරංගනාවියො මේ තවුසව දැකපු ගමන්ම විලට බැහැල මානෙල් මල් බවට පත්වෙලා හැංගුණාලු. මේ ගැන දන්නැති තවුසා විල අසල තිබුණු ගහක් යට වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තලු. 
සුරංගනාවියන් විලෙන් ගොඩ වී ආපසු වාසස්ථාන කරා යන්න බලං හිටියත් මේ තවුස දකියි කියල බයේ විලටම වෙලා හිටියලු. ඒත් තාපසයා රාත්‍රිය වෙනකංම භාවනා කර කර හිටියා.
සඳත් උදා වෙනකංම විලටම වෙලා හිටපු සුරංගනාවියන්ට සීතලෙන් ගැහි ගැහි මේ විදිහට තවත් ඉන්න බැරි වුණා. ඉවසල බැරිම තැන තවුසට නොදැනෙන්න හෙමින් හෙමින් විලෙන් එගොඩට පිය නැඟුවත් සුළු ශබ්දයටත් තාපසයගෙ දැහැන බිඳුණා. තමන් මෙච්චර වෙලා තබාගත්තු දැහැන බිඳීමේ අමනාපයෙන් තවුසා මේ සුරංගනාවියන්ව යළිත් විලෙහි මානෙල් මල් බවට හැරෙව්වලු. මේ සිද්ධිය දැකපු වනයට අධිපති දෙවියො සුරංගනාවියන් ගැන අනුකම්පා හිතුණත් ඔවුන්ව මේ සාපයෙන් බේරගන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. ඒ වුණත් සුළුවෙන් හරි පිහිට වෙන්න ඕනෙ කියල හිතාගෙන වනයට අධිපති දෙවියො මේ මානෙල් මල් කඩාගෙන විල අසල තිබුණු ගස්වල අතු අග රැඳෙව්වා. 

උපුල් කියන්නෙ මානෙල් නෙ. කැඩූ+උපුල් = කඩුපුල් බවට හැරුණලු.
අදටත් මේ විදිහට සඳ ඇති සුන්දර රාත්‍රී කාලයෙදි විකසිත වෙන්නෙ මේ පුංචි සුරංගනාවියන්.. :)  


 


 ප.ලි. - අමතර තොරතුරු විකිපිඩියාවෙන් සහ පුවත්පත් ලිපියකින්...   






August 1, 2014

අන්න බලන් සඳ සහ බකමූණු අන්දරය

කවුද මන්ද කියපු කතාවක් තියනවනෙ නිදාගන්න යනකොට ඔලුවෙ තියෙන ඔක්කොම ප්‍රශ්න පැත්තකිං අරං තියල එන්න කියල. පුස් කාල නරක් වෙයි කියල බයයි වගේ නං ෆ්‍රිජ් එකෙන් දාල ආවත් කමක් නෑ.. :D එහෙම කියල තියෙන්නෙ මොකද නිදාගන්න ආපුවාම ඊට වැඩිය ඕන තරං ප්‍රශ්න ඔලුවට එනවලු. කාගෙ වුණත් මසුරං කතාව. කියපු මෑන් ගෙ කටට ඔබන්න හිතෙනවා අලුතෙන් ආපු නිකොන් ඩී810 කැමරාවක්. පත සූම් ලෙන්ස් එහෙකුත් එක්කම. :D  

මංතුමා දැං බම්බලපිටියෙ ලාල් හෑගොඩ සර්ගෙ ක්ලාස් එකට යනවනෙ. අදත් සුපුරුදු පරිදි ගිහිල්ලා වැඩ කටයුතු ටිකත් ඉෂ්ට සිද්ද කොරගෙන දොළහ හමාරට විතර ආපහු ගෙදරට මංගච්චන්න 177 බස් එකේ නැග්ගාම එවෙලෙ හීනියට වැහි පොදකුත් වැටෙන්න පටන් ගත්තා. ඒක නෙවේ කාරණේ දැං බස්වල සීසීටීවී කැමරාත් හයි කොරලනෙ. ඔය පිටිපස්සෙම සීට් වල ඉන්න කපල් දැං ලව් කරල හමාරයි. මොකද බස් එකේ හැම අස්සක් මුල්ලක්ම අර ඉස්සරහ තියෙන එල්සීඩී කෑල්ලෙන් පේනවනෙ. එව්ව වැඩක් නෑ මංතුමා දැන් කඩුවෙලට ආවයි කියමුකො. ගෙදරත් ඇවිල්ලා බාපු ෆිල්ම් කෑල්ලකුත් බලල කාල බීල රෑ දහයට විතර නිදා ගන්න ගියාට...මොන..නින්ද අහලකවත් නෑ..ෆිල්ම් කියපුවාම මතක් වුණේ ළඟදි බලපු හොඳම ෆිල්ම් එකක් තමා ජොනී ඩෙප් අයියා රඟපාන Transcendence.. කෘතිම බුද්ධිය ගැන බලපු හොඳම ෆිල්ම් එකක්..සැහ්..කියල වැඩක් නෑ ඒකනං.
නින්දට අධිපති දෙයියො මේ දවස්වල මයෙත් එක්ක හෙන මළෙන් ඉන්නෙ.  
ඒ මදිවට නිදාගන්න ගියාම වෙලාව යන්නෙත් නෑ. හැබැයි උදේට තමයි ඒකෙ ආනිසංසෙ තේරෙන්නෙ..


හරියන්නෑ මේ වැඩේ කියල දාගත්ත ලැප. මොනව ගැන ලියනවද කියල අදහසක්වත් නැතුව පෝස්ට් එකක් කොටන්න ගත්තා. ඔච්චර වෙලා කොටපු ටික තමා ඔය උඩ තියෙන්නෙ. :P   

අද (07/27) හෑගොඩ සර් අපේ ෆොටෝග්රැෆි ක්ලාස් එකේ විෂයට අමතරව අලුත් දෙයක් එකතු කරා. බොහෝවිට අපේ තරුණ පරම්පරාව කලාවත් එක්ක ගැවසෙනවා අඩුයි නේ. හැමෝම නෙවේ. ඒ වගේම තමයි විකෘති වෙච්ච සංස්කෘතියක් තමයි දැන් වර්ධනය වෙන්නෙ. විශේෂයෙන් ඔය ගීත කලාව එහෙම. මටනං අද එන සින්දු අහද්දි ඇඬෙනවා ඇ..නිකං නෙවේ හොටු බේර බේර. කලාතුරකින් එන සින්දුවක් අහන්න පුළුවන් සයිස් එකේ තිබ්බට රූප රචනයෙන් මුළු සින්දුවම එකම ඇඬිල්ලක් කරනවා. ඒක මාර ට්‍රෙන්ඩ් එක ඕයි දැං. අපේ අලුත් පරම්පරාවත් ඒ විදිහටම හැඩ ගැහෙන්න පුරුදු වෙලා නෙ.
ඉතිං ඔය නිසා අපේ සර් පන්තිය තව පැය කාලකින් දීර්ඝ කරා. මොකටවත් නෙවේ. අපි හැම සතියෙම දැං ඡායාරූපකරණයට අමතරව වෙන මොකක්හරි කලාවක් ගැන කතා කරනවා. ගීතයක් වෙන්න පුළුවං චිත්‍රයක් ගැන වෙන්න පුළුවන් ඒ මොකක්හරි නිර්මාණයක් ගැන. අපි ඒ නිර්මාණය එවෙලෙම රසවිඳල ඒ ගැන කතා කරනවා. 

අද අපිට අහන්න දුන්නා මහගමසේකරයන්ගෙ කුණ්ඩල කේශි නාට්‍යයෙ එන ගීතයක්..
කුණ්ඩල කේශි නාට්‍යයෙ කතාව මේක..

එකමත් එක රටක ඉන්නවලු බොහොම ධනවත් සිටු පවුලක්. මේ සිටුතුමාටයි සිටුතුමියටයි හිටියා රූප සොබාවෙන් අග තැන්පත් බෝම හුරුබුහුටි සිටු කුමරියක්. දන්නවනෙ ඉතිං ඔය රූප සොබාව හෙන භයානකයි නොවැ. ඉතිං මේ කුමරියගෙ අම්මයි තාත්තායි මොකද කරේ මේ කුමරියව ආරක්ෂා කරගන්න ඔය එක්ටැම් ගේ කියන්නෙ..ආන්න ඒ වගේ එහෙක රඳවල තියනවා. ඉතිං මේ කුමරිය ඔහොම ඉන්නකොට කල් යත්ම ඔය අපේ එවුන්ගෙ පොඩ්ඩක් දැලි රුවුල එනකොට තරුණ විසේ ඔලුවට ගහනව වගේ මේ කුමරියගෙ හිතත් ආදර හැඟීම් වලින් පිරුණලු.
හරි හරි ඉතිං කුමරියගෙ දැලි රැවුල වැවුන්නෑ.. :3

කුමරිය ඔහොම ඉන්න අතරෙ දවසක් එක්ටැම් ගේ අසලින් බොහොම භයානක හොර දෙටුවෙක් රාජපුරුෂයන් විසින් අල්ලගෙන මාළිගාවට ගෙනියනව දැක්කා. හොර දෙටුවෙක් වුනාට මිනිහ ඇඟ පත එහෙම හොඳට තියෙන බොහොම කඩවසම් හොරෙක්. ඉතිං කුමරියට මේ හොරා දැකපු ගමන් ඒ මනුස්සයා ගැන ආදර හැඟීමක් ඇතිවෙලා එක්ටැම් ගෙට වෙලා කන්නෙ බොන්නෙ නැතුව කාන්සියෙන් වගේ ඉන්න ගත්තා. මේ වෙනස තේරුණු කුමරියගෙ දෙමව්පියො මේ ගැන ඇහුවාම කුමරිය විස්තරේ කිව්වා. මුලින් මුලින් අදිමදි කළාට සිටුතුමයි සිටුතුමියි කුමරිය මේ විදිහට කන්නෙ බොන්නෙ නැතුව ඉඳියි කියල හිතල මේ වැඩේට කැමති වුනා. 
ඒත් මූ හොරෙක්. ඉන්නෙ රාජපුරුෂයන්ගෙ ආරක්ෂාව මැද්දෙ. ඒ කාලෙයි අද කාලෙයි වෙනසක් නෑ පගාව අල්ලස් ගැනීම් ඒ කාලෙත් තිබ්බලු. :D සිටුතුමා මොකද කරේ රාජපුරුෂයන්ට කහවණු දීල හොරාව ගෙල සිඳ දමන්න ගෙනියන පෙරහැරේදි පැහැරගන්නවා. රාජපුරුෂයොත් හොරා පැනල ගියා වගේ ඇක්ට් එකක් දාන්න ඇති. 
කොහොමහරි කුමරියයි හොරායි කසාඳ බැඳල බෝම ආදරෙන් හිටියට මොකෝ හොරාගෙ ජන්ම පුරුද්ද නවත්තගන්න බැරි වුණා. කුමරියගෙ කරේ තිබ්බ රත්තරං ආභරණ වලට හොරාට කෑදරකමක් ඇති වුණා. ගැහුව ප්ලෑනක්..
හොරාත් කන්නෙ බොන්නෙ නැතුව නිකං දුකින් වගේ හිටියා. ඉන්නකොට කුමරිය ඇහුවලු ඇයි ඒ කියල. හොර දෙටුවා කිව්ව මං ගෙල සිඳ දාන්න ගෙනියන්න කලින් දෙවියෙක්ට භාරයක් වුණා ඒකයි මට මෙච්චර වස්තුව ලැබුණෙ ඒ හින්ද ඒ භාරෙ ඔප්පු කරන්න අර දෙයියො වාසය කරන සොරුන් හෙලන ගල උඩට යන්න ඕනැයි කියල.
කුමරියක් කැමති වෙලා දෙන්න එක්ක ගමන පිටත් වුණා. අන්තිමේදි කැලෑවක් මැද්දෙන් ගිහිල්ල පර්වතය උඩට නැගල හොර දෙටුවා කුමරියට ඇත්තම විස්තරේ කියනවා. හොරා කුමරියව පර්වතයෙන් පහලට තල්ලු කරල දාන්න සූදානම් වෙනවා. දැං කුමරිය දන්නවා තමං රැවටුණා කියල. කුමරියත් බේරෙන්න උපායක් යොදල හොරාට කියනව මට මැරෙන්න ඉස්සෙල්ලා ඔබ වටේ පැදකුණු කරල වන්දනා කරන්න ඕනි කියල අන්තිම වටේදි හොරාව තල්ලු කරනවා ගලෙන් පල්ලෙහාට. 

ඔන්න ඕකයි කුණ්ඩල කේශි නාට්‍යයෙ කතාව.. කතාවෙ කුමරියයි හොර දෙටුවයි සොරුන් හෙලන ගල උඩට නගින්න ඉස්සෙල්ලා කෑළෑවක් මැද්දෙන් ගමන් කරනවා. ඒ ජවනිකාවෙදි තමයි "අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා" කියන මහගමසේකරයන් විසින් රචිත ගීතය ඇසෙන්නෙ. මේ ගීතය පළමුවෙන් ගායනා කරේ බෙන් සිරිමාන්න සහ ට්‍රිලීෂියා ගුණවර්ධන. දෙවනුව ගායනා කරේ විශාරද එඩ්වඩ් ජයකොඩි සමග සන්ධ්‍යා දීපානි.


--------------------------------------------------
අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා

චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනී
ලිය වැල් පැටලී ගොසිනී 

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා
මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ 
--------------------------------------------------

චන්දන පල්ලව කියන්නෙ සඳුන් දළු. 
කෝකිලයන්ගෙ කූජනය මඳ සුළඟත් එක්ක සඳුන් දළු වල පැටලිලා අපූරූ සංගීතයක් මවනවා කියල තමයි ඒ කියන්නෙ. සුන්දරත්වයෙන් පරිපූර්ණ වුනු වනය ආදර බස් දොඩන යහන් ගැබක් වගේ..  මහගමසේකරයන්ට මේ වගේ සිතුවිලි පද බඳින්න කොයිතරම් නං ප්‍රතිභාවක් තියෙන්න ඇත්ද.. 

මේ පද ටිකේ මං ආසම කොටස අන්තිමට තියෙන "පුෂ්ප පිපී මකරන්ද ගලා" කියන පද ටික.. ඒ කොටස කුමාරිය විසින් අර හොර දෙටුවට ව්‍යංගාර්තයෙන් කරන ඉල්ලීමක් වගේ..

මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ 


මේ පද මාලාව හෑගොඩ සර් අපූරුවට විස්තර කරා. හිතේ තියෙන ඒ සිතුවිලි ටික ඒ තරං ලස්සනට ලියලා දාන්න මං තුමාට දස්සකමක් නෑ නොවැ.. නිදහසේ ඉන්න වෙලාවක අහල බලන්නකො... 
මේ ගීතය නූර්ති ශෛලයට නිර්මාණය කරපු එකක්.. 

                                             මහගමසේකරයන්

ගොහිං එන්නං ඈ...
රජිත දිසානායකගෙ නාට්‍ය තුනක් වේදිකාගත කරනව ලයනල් වෙන්ඩ්ට් එකේ අගෝස්තු 1,2,3..
 

 

             

        

July 20, 2014

කාලයත් සමග අමතක වුණු මතකයක්..

හිච්චි කාලෙ අපි හැමෝටම මොකක්හරි විනෝදාංශයක් තියෙන්න ඇති. නොතිබෙන්නත් ඇති.. ඔය පොඩි පන්තිවල ඉන්නකොට ටීචර්ස්ල අපේ නම ගම එහෙම අහනකොට අහන ප්‍රශ්නයක් තමා විනෝදාංශය මොකක්ද කියන එක. පොඩි එවුන් ඉතිං නානප්‍රකාර එව්ව කියනව. විනෝදාංශයක් නැති එවුන් මොකක්හරි බොරුවක් ඇදබාල නිකං ඉන්නවා. ගොඩක් දෙනා කියන්නෙ මුද්දර එකතු කරනවැයි කියල. :D විනෝදාංශ ගත්තාම නානප්‍රකාර එව්ව තියේ. අමුතු අමුතු එව්ව තියේ..

සා.පෙ වලින් පස්සෙ පන්තියෙ හිටිය හොඳම යාළුවො ටික කොළඹ ඉස්කෝලවලට මාරු වෙලා ගියා. ඉතුරු වුණේ පස් හය දෙනෙක් විතරයි.
දැං අවුරුදු දෙකක් ගෙවිලා ගිහිල්ල ඉවරයි. ඔය ඉස්කෝලෙන් ගිය සමහර යාළුවො දෙතුන් දෙනෙක් එක්ක එදායින් පස්සෙ තාම වචනයක්වත් කතා කරන්න බැරි වුනා. වෙන මොකක්වත් හින්ද නෙවේ කන්ටැක්ට් කරගන්න හරියට නම්බර් එකක්වත් ගන්න බැරි වුණු හන්දා. ගොඩක් අය නං නුගේගොඩ ක්ලාස්වලදි මුණගැහුනා. හාපෝ ලියන්න ගත්තාම ඔහේ ලියනව කතාව වෙන පැත්තකට යනව කියල තේරෙන්නෙවත් නෑ.. ! :P

කොහොමහරි ඉතිං පහුගිය දවසක මං මුහුණු පොතේ ඔය ඕපාදූපයක් කියවගෙන ඉන්නකොට මෙසේජ් එකක් ආවා. 
"අඩෝ අසංකයා මාව මතකද?" 
බැලින්නං එ් කාලෙ ළඟින්ම හිටපු පොරක්..එතකොට ඒ යකා බුකියෙ හිටියෙ නෑ නොවැ.. :D
ඔහොම ආ ගිය තොරතුරු කතා කර කර ඉන්දැද්දි මිනිහ එක පාරටම අහපි
"අර මුද්දර පොත් තාම උඹ ගාව තියනවද ?" කියල..
එතකොට තමා මට මතක් වුණේ මං හරි ආදරෙන් එකතු කරපු මුද්දර ටික.. :)
ඇත්තටම ඕ ලෙවල් කාලෙ වෙද්දි මුද්දර එකතු කිරිල්ල අතහැරල දාල තිබ්බෙ. අතහැරල දාල කිව්වෙ ඇත්තටම වෙලාවක් හම්බුන්නෑ ඔය වැඩේට. හතේදි අටේදි විතර තමා ඕක දරුණුවටම ක්‍රියාත්මක වුනේ. අර යාළුවා මාත් එක්ක හය වසරෙ ඉඳන්ම හිටපු යාළුවෙක්. මිනිහට ඒක මතක තිබුණ එක ගැන මට ඇත්තටම පුදුම හිතුණා.   

ඉතිං ඒ ප්‍රශ්නෙ මගෙන් ඇහුවාම මගෙ හිත අතීතයටම ගියා. ඒ මතකයන් ටික එවෙලෙ මට ලබා දුන්නෙ මාරම හැඟීමක්. 
ඒත් කෝ දැන් ඒ ටික....!!? :o 

හොයල බැලින්නං පුංචි කබඩ් කෑල්ලක තිබිල ඒ වස්තු සම්භාරය තිබ්බ විදිහටම හම්බුනා. කිසිම පලුද්දක් නැතිව... :) 



            


ඔය මුද්දර විනෝදය කියල තියෙන්නෙ පොතක්. මුද්දර වර්ග කරන හැටි වගේ ගොඩක් ඒව ඔය පොතේ විස්තර කරල තියෙනවා.

පන්තියෙ හිටපු යාළුවන්ගෙන් කිහිපදෙනෙක්ම ඔය මුද්දර එකතු කරන වැඩේ කරා. ඔය අතරින් මට තමා වැඩිම මුද්දර ගාණක් තිබ්බෙ කියල පුංචි ආඩම්බරයකුත් නැතිවම නෙවේ. 
ඒ කාලෙ තාත්තා වැඩ කරපු තැන බොස් ගෙ ගෙවල් තිබුණෙ බම්බලපිටියෙ. පස්සෙ කාලෙකදි එයා පිටරට පදිංචියට ගියා. බම්බලපිටියෙ ගෙදර ඉතුරු වුණේ එයාගෙ මල්ලි විතරයි. ගොඩක් වයසයි. තාත්තා ඉතිං මාසෙකට දෙවතාවක් විතර එහෙ ගිහිල්ල ගේ සුද්ධ පවිත්‍ර කරල දාල එන්න පුරුදු වෙලා හිටියා. එයත් මුද්දර පිස්සෙක්. මුළු ජීවිත කාලෙම කරල තියෙන්නෙ මුද්දර එකතු කරන එකද මන්ද..ඒ තරමට මුද්දර එයා ගාව තිබුණා. ඔය හින්දම කට්ටිය එයාට කිව්වෙ මුද්දර මහත්තයා කියල.. තාත්තා එහෙ යන යන සැරේට මට දෙන්න කියල මුද්දර පොඩ්ඩක් දෙන්න පුරුදු වෙලා හිටියා. ඔය කාරණාවත් මගෙ මුද්දර එකතුව වැඩි වෙන්න හේතු වුණා.. 

අපි ගොඩක් ආස වුණේ රට මුද්දර එකතු කරන්න. සමහර ළමයි කොහෙං හරි රට මුද්දරයක් හොයාගත්තාම ඒක කාට හරි දීල ලංකාවෙ මුද්දර කිහිපයකට හුවමාරු කරගන්නත් පුරුදු වෙලා හිටියා.  මා ගාව වැඩියෙන්ම රට මුද්දරවලට තිබුණෙ ඕස්ට්‍රේලියාවෙ මුද්දර..



මේ තියෙන්නෙ මුද්දරය නිකුත් කරන්න ඉස්සෙල්ල නිකුත් කරන සමරු කවර


මුද්දර එකතු කිරිල්ල ගැන මතකය අවධි වුණු හන්ද විකිපිඩියා එකත් පොඩ්ඩක් කරකෝල බැලින්නං මුද්දර එකතු කිරීමෙ විනෝදාංශයට 1860 වසර වෙනකං ඉතිහාසයක් තියනවලු... :o 

ඔය මුද්දර එකතු කරන අැල්බම් බුක්ෂොප් වල ගන්න තිබුණා. එතකොට නං ගාණ රුපියල් 300 ක් විතර ඇති. 
ටිකක් විතර පොෂ් වෙන්න ඕන්නං මුද්දර අැල්බම් වල රඳවනකොට එහෙම අල්ලන්න අඬුවක් වගේ එහෙකුත් තියේ.. :P මං ගාවත් තිබ්බා දැංනං ඕක කොහෙද දන්නෑ..ඒ වුනාට ඕකෙං මුද්දර අල්ලන්න ගියාම එපා වෙනවා. අතින් අල්ලන එක ඊට වඩා ලේසියි.. -_-   

                          මේ තියෙන්නෙ ඒ වගේ එකක්..පින්තූරය නෙට් එකෙං..

ලංකාවෙ මුද්දරනං නොයෙකුත් වර්ග වලට බෙදල තියෙනවා. මං වැඩියෙන්ම ආස වුණේ කුරුල්ලන්ගෙ මුද්දර වලට. 



 
                    96 වර්ල්ඩ් කප් එක වෙනුවෙන් නිකුත් කරපු මුද්දරේ.. ^_^ 

කුමාර් ආනන්දන්, පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීම වෙනුවෙන් නිකුත් කරපු මුද්දරය..







       ලංකා තේ ශත සංවත්සරය වෙනුවෙන් නිකුත් කරපු එකක්..

ඔය වගේ ගොඩක් මුද්දර තියේ..ඔක්කොම දාන්න ගියොත් හොඳට හිටී.. -_-


ඉතිං..කාලෙකට පස්සෙ මුහුණ පොතෙන් හම්බවෙච්ච යාළුවෙක් මගේ මතකය අවධි කරේ මේ විදිහට. මේ මුද්දර වලින් මං කොච්චර සතුටක් ලබන්න ඇත්ද කියල හිතාගන්න බෑ.. ඒත් මේක තවදුරටත් කරගෙන යන්න බැරි වේවි මේ කලබල ජීවිතෙත් එක්ක.

සමහර වෙලාවට අතීතය කියන්නෙ ආදරණීය හැඟීම් සාගරයක්... :)





July 8, 2014

අලුත් ඇරඹුමක්..

ජූලි හය වෙනිදා..එදා තමයි මට ලාල් හෑගොඩ නම් වූ සොඳුරුතම මිනිසා හමුවුණු දවස..!!



මේ තාක් කල් මං ඡායාරූපකරණයෙහි නියැලුණේ පොත්පත් වලින්, නෙට් එකෙන් අහුලගත්ත දැනුමකින්. කැමරාවෙ බොත්තමක් එබුවාම ෆොටෝ එක වදිනවා.. ෆොටෝග්රැෆි වල රහ තේරිලා ගෙදර තිබ්බ පුංචි ඩිජිටල් බට්ටගෙන් අහුවෙන අහුවෙන එකේ ෆොටෝ ගන්න පටන් ගන්නකොට දැනං හිටියෙ එච්චරයි. ඒ මීට අවුරුදු ගාණකට කලිං.  
කොහොමින් කොහොමහරි ෆොටෝ එකක් වෙනුවට හොඳ ඡායාරූපයක් ගන්න තරමට ඒ දැනුම යංතමින් හරි වැඩි දියුණු කරගත්තා. ඩිජිටල් බට්ටට සමුදීලා DSLR එකක් ගන්න නාහෙං අඬ අඬා ඉද්දි තාත්තා ඒකත් අරං දුන්නා..
ඡායාරූපකරණය කියන්නෙ ඉගෙනගෙන ඉවරකරන්න පුළුවං කලාවක් නෙවේ මං හිතන්නෙ. තමං ඡායාරූපයට ගන්න අලුත් රාමුවක් පාසා අලුත් අත්දැකීමක්, අලුත් දෙයක් ඉගෙනගන්නවා. 

ඔය අතරෙ පිළිවෙලකට මේ දේ ඉගෙනගන්න මට ඕන වුණා. 
ශ්‍රී ලංකාවෙ ප්‍රසිද්ධම ඡායාරූපශිල්පියෙක් වෙච්ච විල්සන් හෑගොඩයන්ගෙ පුත් ලාල් හෑගොඩ සර් ගෙ ඡායාරූපකරණ පාඨමාලාවට ඇතුළත් වෙන්න මට තිබුණෙ පුදුම ආසාවක්. හතු පිපෙන්නා වගේ කොළඹ පුරාම පොටෝ පන්ති තිබුණට ලාල් හෑගොඩ සර්ගෙ ඡායාරූපකරණ පාඨාමාලාවට යනවමයි කියල හිතාගත්තා. 
ඒත් මාස දෙකක් හොඳට කාල බීලා ජීවත් වෙන්න පුළුවං ගාණක් වියදම් කරල කැමරාවකුත් අරං දීපු මගෙ දෙමව්පියන්ගෙන් ඒ මදිවට තව පන්තියකට යන්නත් රු.විසිපන්දාහක් ඉල්ලන්න මට මගෙ හිත ඉඩ දුන්නෑ.. 

අනවශ්‍යයයි කියල හිතුණු ඔක්කොම වියදම් නැවැත්තුවා. හම්බවෙච්ච හැම රුපියලම (සතේ ඒව දැං නෑනෙ :D) එකතු කරල අන්තිමේදි ගාණ ගොඩ දාගත්තා. කොටින්ම කිව්වොත් අවුරුද්දට ඇඳුමක් ගන්න කියල දීපු සල්ලිත් හෙමීට පොතට දැම්මා. 
ගාණ හදාගෙන ක්ලාස් එක ගැන අයිඩියා එක අම්මට කියල බැලුවා. එදා ඉඳංම ඉතිං තාත්ගෙන් අහන්නෙ නැතුව මෙලෝ දෙයක් නොකරපු හින්ද හම්බවෙන උත්තරේ මං දැනං උන්නා. 
"තාත්තගෙන් අහල බලමු".. 

සිකුරාදා.. එදාට එහෙ නිවාඩු.. 
තාත්තා ආවා ස්කයිප්.. අම්මා ඇහුවා මේ ගැන.. මං සල්ලි හිටං එකතු කරගෙන තියෙන්නෙ කියලත් කීවා. 
ක්ලාස් එක ගැන විස්තර ටික අහල තාත්තා දීපු උත්තරෙන් මං උඩ ගියා..
"හරි ඔය සල්ලි ටික ඔයාගෙ පොතට දාගන්නව.. course එක කරන්න ඕන සල්ලි ටික මං හෙට එවන්නං.. " :)   

තාත්තගේ ආදරේ මහ සාගරේ වගේ කියනවනෙ.. 
  
ඉහේ මල් වත්තක්ම පිපුණු හැපී එකෙන් ටක්ගාල ලාල් හෑගොඩ සර්ගෙ සයිට් එකට ගිහිල්ලා විස්තර ටිකත් දැනගෙන මුහුණුපොතේ හිටපු යාළුවෙක්ගෙන් පන්තිය තියෙන්නෙ බම්බලපිටියෙ පොලීසිය ඉස්සරහ බිල්ඩිමේ කියලත් දැනගත්තා..මගෙ වාසනාවටමද මන්දා ඊළඟට ළමයි ඇතුළත් කරගන්න දිනය තිබුණෙ ජූලි හය කියල..


 ගිය ඉරිද උදේම බම්බලපිටි ගියා. එන්න කියල තිබුණෙ උදේ අටට වුණාට සංචාරක තෙමේ උදේ හත වෙනකොට එහෙ. කලිං දවසෙ ෆෝන් එකේ තිබ්බ ඇප් කෑල්ලකින් කොල්ලුපිටියෙ ඉඳං බම්බලපිටියට යන බස් එක සර්ච් පාරක් දාල බලපුවාම ආවෙ 100, 101 කියල නොවැ..කොල්ලුපිටිය බස් ස්ටෑන්ඩ් එකෙං බැහැල ටිකක් ඇවිදල බැලින්නං මෙන්න බොලේ පාරවල් වන් වේ කරල එක විකාරයයි.. කොහොමහරි බස් එකට නැගල බම්බලපිටිය පොලිසීය ගාවට ටිකට් එකක් අරගෙන ගූගල් මැප් දෙයියන්ගෙන් බම්බලපිටිය පොලෝසීය තියන තැනත් හොයාගෙන GPS මෙව්ව එකත් ඕන් කරගෙන මූණ ෆෝන් එකේ ඔබාගෙන හිටියා. බුකියෙ හිටපු උන්දැ කිව්වෙ එච්චර දුරක් නෑ කියල. ඒ වුණාට බස් එක ගියාට GPS මෙව්ව එක යන්නෑ.. 
එදා තමයි මං තේරුං ගත්තෙ තාක්සණේ එච්චර විස්වාස කරන්න හොඳ නෑ කියල.. කිලෝමීටරයක් විතර ආපහු ආවා.. -_- 
පැයක් කලිං ආපු හන්ද හොඳයි..

ලාල් හෑගොඩ සර්ව ඉස්සෙල්ලාම හමුවුණු දවස එදා. ඇත්තටම ඡායාරූපකරණය කියන්නෙ මොකක්ද කියල මං තේරුම් ගත්තෙ එදා.
 ඉතිං මේක මගෙ තවත් සැබෑ වුණු සිහිනයක්.. 

 ලාල් හෑගොඩ සර් ශ්‍රේෂ්ට ඡායාරූපශිල්පියෙක් වගේම විශිෂ්ට කවියෙක්..



බුලු ගහ යට කවි පන්තිය මීට කළිං දාල ඇති.. 


     

 

June 13, 2014

කූඩු හැදිල්ල සහ ඇම්ඩන්ගෙ ගැටේ


වෙසක් වලට හදපු වෙසක් කූඩුව වැස්සට තෙමිල කීතු කීතු වලට ඉරිල ගිහිල්ලා. මේ පාර එකයි හැදුවෙ. ඒක හින්ද ලොකුවටම හැදුව. මොනව කරන්නද ඉතිං ඔය දේ තමයි ලෝකෙ වෙනස් වෙන්නැති එකම දේ...

ඔය අතරෙ මට තවත් පාසල් මතකයක් සිහියට ආව. වෙසක් කාලෙට ඉතිං ඉස්කෝල වල වෙන වැඩක් නෙ කූඩු හදන එක. එක අවුරුද්දක අපි හිටපු සෙක්ෂන් එකට භාර දුන්නා වෙසක් වලට ලොකු කූඩුවක් හදන්න. එතකොට අපි දහය වසරෙද කොහෙද. ඔය කාලෙට හෙන ජොලි ලු. මොකද ආයි ඕක හදල ඉවරවෙලා වෙසක් දවසට ලයිට් දාල පත්තු කරල පෙන්නනකං ඉගැන්විල්ලක් නෑනෙ.. :D වෙසක් දවසට සති දෙකක් විතර තියල ඉතිං වැඩේ පටන් ගන්නව. ඔය කිව්වට පළවෙනි දවස් දෙක තුනේ වැඩේ කෙරෙන්නෙ කටින්. කට්ටියක් අටේ නවයෙ පන්ති ගාණෙ ගොහිං මල් කැඩීමේ රාජකාරිය අරඹනව. තවත් කට්ටියක් හිටිය කොඩි ගස් පැනීමේ උණ තියෙන. පන්තියට ටිකක් එහායින් පොඩි පිට්ටනි කෑල්ලක කොස් ගහකුයි කොට්ටං ගහකුයි තිබ්බා. ඔය ගස් දෙක තමා කුණ වුනේ. කුණ කියන්නෙ කොඩි ගස් පනිද්දි ගන්න ගස් දෙකනෙ. :P කොහෙද දැං කාලෙ පොඩි එවුං ඕව දන්නවැයැ. ඕක තමා ඒ කාලෙ අපේ ප්‍රියතම සෙල්ලම. 

ඔහොම ඉඳල දවස් දෙක තුනකිං කූඩුව හැදිල්ල පටන් ගන්නවා. හදන කූඩුව මොන වගේ එකක්ද කොච්චර ලොකුද කියල එහෙම තීරණය කොරල ඉස්සෙල්ලාම හට් එක ගහං ඉන්න ඕන හන්ද ඔය ඉස්කෝලෙට අඩි දෙකේ තුනේ දුරින් හිටපු ළමයිංගෙ ගෙවල්වලිං මන්න, කැති, පොරෝ එහෙම හොයං ඇවිල්ල යනව උණ ගස් ටිකකුයි පුවක් ගහකුයි කපන්න. හංවැල්ල වගේ සුළු නාගරික පැත්තක අපේ ඉස්කෝලෙ, ඒ කියන්නෙ රාජසිංහ මධය විද්‍යාලය තිබ්බත් ඉස්කෝලෙ වටේම තියෙන්නෙ වෙල් යායවල්, මඩ වගුරු, රබර් වතු කෑලි. දහ පහළොස් දෙනෙක් විතර සෙට් වෙලා ගියා ඕං උණ ගස් පඳුරු හොයාගෙන. රටේ නැති වල්පල් දොඩෝ දොඩෝ ගිහිල්ල අන්තිමේදි හොඳ උණ පඳුරක් හොයාගත්තා. සෙට් එකේ හිටිය එකෙක් මෑන් ට කිව්වෙ ඇම්ඩන් කියල. :D මිනිහට ඒ නම හැදිච්ච හැටිනං තාමත් මං දන්නෑ. ඔය කැපිලි කෙටිලි වැඩ වලට මුලින්ම අතගහන්නෙ මිනිහ තමා. ඕං ඉතිං දහ පහළොස් දෙනෙක් ආවට තුන් හතර දෙනෙක් සෙට් වෙලා උණ ගස් ටික බිම පත බාන්න පටං ගත්තා. ටික වෙලාවක් යනකොට නිකං කටු අනිනව වගේ දැනෙන්න පටන් ගත්තා. බැලින්නං උණ ගහක තිබ්බ ලොකු දිමි ගොට්ටක් බිමට පත බෑවිලා ඇවිස්සිලා. කොහොමහරි අන්තිමේදි උණ ගස් හතරක් පහක් කපල උස්සං ආවා. ඔය එන අතරමගදි ගෙවල් වල පාර අයිනට වෙන්න තිබ්බ පේර ගස්වලට එහෙම මුකුත් වුණේ නෑ.!! :D

 තවත් අමතක වෙන්නැති වැඩක් වුණේ පුවක් ගහ කපන්න ගිහිල්ලා. කපන්න ගිය පුවක් ගහ තිබුණෙ ඉස්කොලෙට ළඟින්ම තිබුණ ගෙයක් එහා පැත්තෙ තිබුණ පාළු වත්තක. ඒ ගෙයයි පාළු වත්තයි වෙන් වුණේ කම්බි වැටකින්. ඕකටත් ඉතිං මුල් තැන ගත්තෙ ඇම්ඩන් තමා. පුවක් ගහ තිබුණෙ කම්බි වැටට ළඟින් වෙන්න. පුවක් ගහ කපන්නත් ඕනෙ කම්බි වැට බේරගන්නත් ඕනෙ. ඇම්ඩන් ළඟ තිබ්බ කොස් ගහට නැගල අත්තක් දිගේ ගොහිං පුවක් ගහේ මුදුනෙන් ලණුවක් අරගෙන බැඳල ලණුවෙ අනික් කොන කොස් අත්ත උඩින් පල්ලෙහාට දැම්මා. මිනිහ ගස් බඩ ගාන්නත් හෙන සූරයා. කට්ටිය ලණුව හයියෙන් අල්ලගෙන ඉන්න අතරෙ ඇම්ඩන් පුවක් ගහ කපන්න පටන් ගත්තා. අන්තිම ටික කපාගෙන ඉවර වෙනකොටම ඇම්ඩන් දාපු ගැටේ හොඳකම හින්දම පුවක් ගහ කම්බි වැටත් කඩාගෙන බිමට පත බෑ වුණා. අපේ වාසනාවට ඒ ගෙදර හිටියෙ අහිංසක සීය කෙනෙකුයි ආච්චි කෙනෙකුයි. ඕක හදාගන්න බැරියැ කියල අපිට පුවක් ගහත් අරං යන්න කිව්වා. පස්සෙ ඉතිං කට්ටියම එකතු වෙලා පුවක් ගහ කර තියං කූඩුව හදන තැනටම ගෙනිච්චා. හැබැයි මට මතකයි මට ඉස්සරහිං හිටපු එකා කොටයි. මං හිතන්නෙ මිනිහ පුවක් ගහේ එල්ලිලා ආවෙ. :D 

කූඩුවත් හදල ඉවර වුණා. හුටා..කූඩුව කරකවන්න මෝටරයක් ඕනෙ. ඔය සෙට් එක අතරෙ හිටියා ඔය ඉලෙක්ට්‍රික් වැඩ වලට එහෙම දස්ස හාදයෙක්. කාගෙවත් ගෙදර හොයාගන්න මෝටරයක් තිබ්බෙ නෑ. මිනිහ මොකද කරේ පන්තියෙ එල්ලල තිබ්බ ෆෑන් එක ගලෝල මෝටරේ ගත්තා. කොහොමහරි වෙසක් දවසත් ඉවරවෙලා දවස් දෙකු තුනක් යනකං මේක ටීචර්ස්ලට මාට්ටු වුණේ නෑ. අන්තිමට පන්තියටම අම්බානකට බැනුම් අහන්න සිද්ධ වුණා. 

කූඩුව අලෝල ලයිට් එල්ලන වැඩේ සිද්ධ වුණේ වෙසක් දවසට ඉස්සෙල්ල දවසෙ. ඉස්කෝලෙං පස්සෙ හවස් වෙනකංම හිටියා. ඒ දවස් මතක් වෙනකොටත් හිනා යනවා. කූඩුව අලෝල සැරසිලි දාන එක ඉතිං පිරිමි පාර්ශවේට තිබ්බ රාජකාරියක් නෙවේ නොවැ. අර ඉස්සෙල්ලා කිව්ව කොස් ගහේ වැල ගෙඩියක් තිබුණ. සුවඳේ ඉන්න බෑ. ඕක ඔහොම එල්ලි එල්ලි තියෙද්දි කොහොමද බලං ඉන්නෙ. ඇම්ඩන්ට පිං සිද්ධ වෙන්න ඒ වැල ගෙඩියත් කඩං කෑවා.   
  
ඔහොම කරපු පිස්සු වැඩ ගොඩක් අන්තිමේදි කූඩුවත් හදල ඉවර වුණා. වෙසක් දවසෙ රාත්තිරියෙදි ලයිට් පත්තු කරල කූඩුව ගමේ හැමෝටම පෙන්නද්දි තියෙන සතුට...! කියල නිම කරන්න බෑ...

ඒ වගේ අනන්තවත් සුන්දර මතකයන් ජීවිතේට එකතු කරපු මගෙ පාසලට සමුදෙන්න තියෙන්නෙ තවත් මාස දෙකක් විතරයි...!!




June 1, 2014

කියවිල්ල | Reading


මැයි මාසයටම ලිව්වේ එක ලිපියකි. බ්ලොග් එක පාළුවට ගොහිංය. අන් කිසිවක් නිසා නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ගේ 'වානේ පන්නරය ලැබූ හැටි' කෘතියේ දෙවැනි කොටස හම්බවීමයි. එය මා කවදත් ප්‍රිය කරන රුසියානු කෘති පරිවර්තකයෙක් වන දැදිගම වී.රුද්‍රිගු ගේ අනුවාදයකි.
මෙය විචාරයක් නොවේ..මට විචාර ලිවීමට දැනුමක් නැත.
මුළු ලෝකයෙන්ම මා වෙන් වී හුදෙකලා වන මොහොතක් ඇත. ඒ පොතක් කියවන විටයි. 
මා වඩාත් ප්‍රිය කරන්නේ ලාංකීය ඉතිහාසය ගැන පොත් වලටය. එහි ආරම්භය රොබට් නොක්ස් ගේ 'එදා හෙළ දිව' ය. ලංකාව ගැන ලාංකීය නොවන විදෙස් ලේඛකයන් විසින් ලියූ පොත් මට අගනා වස්තුවක්ය. වෙනස් රාමුවකින් ලංකාව ගැන විස්තර කරන විට එය වඩාත් රසවත්ය. එදා හෙළ දිව එහි මුදුන් මල් කඩකි.

"උගුල් ඇටවීමත් හන්දි වෙදකමටත් ඔවුන් තරම් දක්ෂයෝ මුළු ලෝකයෙහිම නැත්තෝය. බතකුත් මාළු දෙකකුත් උදවු වන්නට කලියෙන් ඔහුට පත්තුවක් ගල්වා බිදුණු හන්දියක් ප්‍රකෘතිමත් කළ හැකිය."                                                  -එදා හෙළ දිව-
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව, විල්හේල්ම් ගයිගර් ගේ ලංකා ගමන ඉන් කිහිපයකි. සංචාරය පිළිබඳ පුදුම උණකුත් ඇති වූයේ මේ නිසාමය. 

ඒ ගැන අපේ රටේ ලේකඛයන් විසින් ලියූ පොත් කිහිපයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'කළුනික සෙවීම' මා වඩාත් ආසාවෙන් කියවූ පොතකි. එස්.පී.එස්. වීරසිංහ නැමැති සොඳුරු සංචාරකයා විසින් ලිවූ හුළං හොරු, මුනි සිරිපා සිඹිමින්නේ වැනි පොත් පෙළත් අගනේය. 

ඒ පොත් මේ පොත් කියා විශේෂයක් නැත. අහුවෙන ඕන පොතක් මා කියවයි. ඒ කාලෙ නොහොත් හිච්චි කාලෙ :P කියවිල්ල පටන් ගත්තේ වික්‍රමසිංහයන්ගේ මඩොල් දූවෙනි. ඒ කාලෙ වීරයා උපාලි සහ ජින්නා ය. නැවත නැවත කියවමින් ඒ පොත අනේක වාරයක් රසවින්දේ ය. මා හිතාන උන්නේ මඩොල් දූව යනු කතාවෙ එන ස්ථානයක් පමණක් බවය. දවසක් අපි චාරිකාවක් යන අතරමගදී තාත්තා බෝඩ් ලෑල්ලක් පෙන්නා "අර තියෙන්නෙ මඩොල් දූවට යන පාර" කියා පුංචි අතුරු පාරක් පෙන්නුවේ ය. හුටා..! මඩොල් දූව කියන්නෙ ඇත්ත තැනක්ද..!? සතුට ඉයවහ ගියේය...!!! 
තාමත් මට වික්‍රමසිංහයන්ගේ පොත් සියල්ලම කියවා නිම කිරීමට බැරි වී තිබේය. කියවා ඇත්තේ ගම්පෙරළිය,උපන්දා සිට, යුගාන්තය, අපේ ගම, කලි යුගය, කළුනික සෙවීම, විරාගය හා මඩොල් දූව පමණිය. වික්‍රමසිංහයන්ගේ පොත් වලින් මා හට අමතක නොවනම චරිතය විරාගයෙහි අරවින්ද ය. 

 මහගමසේකරයන්ගේ ද පොත් කිහිපයක් කියවා ඇත. හෙට ඉරක් පායයි, ප්‍රබුද්ධ, තුංමංහංදිය ආදී පොත් ඉන් මා කියවූ වඩාත් රසවත් ඒවාය. මහගමසේකරයන්ගේ කාව්‍ය කෘති වල ඇත්තේ වචනයට නැඟීමට බැරි අමුතුම සුන්දරත්වයකි. 

"වසා දමමි මුළු මහත් අතීතය
 වසා දමමි අනාගතය
 වර්තමානය පමණි ජීවිතය

 එකෙනෙහිම අතීතය හොරෙන් විත්
 පෙනෙන නොපෙනන දුරට
 පෙන්වයි ඇඟිල්ල දික් කර
 අර බලපන් අර බලපන්
 අනාගතේ සොඳුරු සිහින"

මෑතකදී මා දුටු අන්තර්ජාල ලිපියක සඳහන් වූයේ පිටරටක එක්තරා පොත් කියවන මිනිසෙකු තම නිවස ඉදිරිපට තැපැල් පෙට්ටියක් වැනි පොත් කිහිපයකින් පිරවූ ජංගම පුස්තකාලයක් තනා ඇති අයුරුය. ඕනෑම කෙනෙකුට කැමති පොතක් ගෙන ගොස් කියවා නැවත එහි තැබීමට හැකිය. මෙවැන්නක් වර්තමාන ලංකාවෙ සිදු කරහොත් සිදුවන දේ මා නොදනී...!?!

මගේ එක් පුරුද්දක් වන්නේ කියවන සෑම පොතකම නම හා යම්කිසි විශේෂ දෙයක් වී නං එය කුඩා දිනපොතක සටහන් කිරීමය.  එය මා හට ආශ්වාදයක් ගෙන දෙන්නකි. සමහර වෙලාවට පුස්තකාලයෙන් ගෙනෙන පොත් කියවන්නේම නැතුව ආපසු භාර දෙන අවස්ථාද ඇත. ඒ ඊට වඩා රසවත් පොතක් මිලදී ගත් විට හෝ හම්බුණු විටය.  

තවත් නොයෙකුත් රසවත් වටිනා පොත් කියවා ඇතත් ඒවා සටහන් කිරීමෙන් ලිපිය දිග්ගැස්සෙයි. 
කුමක් හෝ ලියා තැබීමේ අරමුණින් අරමුණක් නැතුව ලිවීමට පටන් ගත් පෝස්ටුව අවසන් වූයේ මෙසේය. වචන ලස්සනට හසුරුවා ලිපි ලිවීමට හැකියාවක් මට නැතය... :P
නොක්ස්, වික්‍රමසිංහයන්, මහගමසේකර, ඩොයිල්, මක්සිම් ගෝර්කි ආදී එකී නොකී ලේඛකයන් ඔස්සේ ඇවිත් දැන් මගේ හිත නතර වී තිබෙන්නේ පාවෙල් කොර්චාගින් ළඟය...රුසියාවේය...බොල්ෂෙවික් සංවිධානයේය..!! 

"The World is a book..., and those who do not travel read only a page..."

So...



April 16, 2014

මනමාලි කැන්දන් ආවා..!

අලුත් අවුරුද්දෙන් පස්සෙ ඉස්සෙල්ලාම ලියන පෝස්ට් එකෙන් කියන්න යන්නෙ සුභ ආරංචියක් නොවැ.. අවුරුදු ගාණක් හීන මව මවා හිටපු දෙයක් ගිය සතියෙ සැබෑ වුණා.. මට ඉතිං ඔය ඉස්සර ඉඳන් තිබ්බ උණක් නෙ ෆොටෝග්රැෆි කියන්නෙ..Compact කැමරා එකක් යූස් කර කර ඉඳපු මට මගේම DSLR එකක් අතගානකං තිබ්බෙ බොහොම බරපතල සුව නොවන මෙව්ව එකක්. :P 
ඕං ඉතිං ගිය සතියෙ එකොළොස් වෙනිද ඒ මෙව්ව එක සුව උණා.. 


Nikon D3100... Entry Level DSLR එකක්...වැඩි ආටෝප නැති වුණත් මේක එදා වගේම අදටත් ගොඩක් හොඳ කැමරාවක්.. 
හාහා පුරා අවුරුද්දට වැඩ ඇල්ලුවෙත් මේකෙන් පොටෝ එකක් ගහල.. :D
උප්පැන්නෙ.


මේකත් එක්ක තව ලෙන්ස් එහෙකුත් නිකං ලැබුණා..
50 mm ප්‍රයිම් ලෙන්ස් එකක්.. 



මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Travel Photograaphy කරන අය. Potrait වලටත් නරකම නැහැ.

මේක අරං දුන්න මගෙ අම්මයි තාත්තටයි කොහොම ස්තූති කරන්නද මංද..කවදහරි මං ඒ ණය ගෙවනවා.. :)



ඉතිං මේක පට්ටම අවුරුද්දක්..! :D
දැං නං සංචාරකයට අවුලක් නැතුව සංචාරය කරතැහැකි..
සියලු බලාපොරොත්තු ඉටුවෙන, සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුුරුද්දක් වේවා...! 



Related Posts Plugin for WordPress, Blogger...