Showing posts with label ඡායාරූපකරණය. Show all posts
Showing posts with label ඡායාරූපකරණය. Show all posts

August 21, 2014

රෑ මනමාලී..

"Queen of the Night"... සමහර රටවල් වල කඩුපුල් මල හඳුන්වන්නෙ ඒ නමින්. රාත්‍රියටම පිපිලා සඳ රාජිණියගෙ සෞම්‍යාලෝකය මැද බොහොම තේජවන්තව බැබලුණාට මොකද ඉර උදාවෙනවත් එක්කම හැමෝටම හොරෙන් හැංගිලා යනවා. 

සංචාරකයා මීට කලින් කඩුපුල් මලක් දැකල තිබුණෙ එක පාරයි. ඒ අසල්වැසි ගෙදරක තිබුණු කඩුපුල් පැළයක. මල් තුන හතරක්ම පිපිලා තිබුණා. අපිටත් එකක් දුන්නා බුදුන්ට පූජ කරන්නෙයි කියලා. ඒ ගෙදරින් තමයි අම්මා මීට අවුරුද්දකට විතර කලින් කොළයත් එක්කම තිබ්බ පොඩි මුල් කෑල්ලක් ගෙනල්ලා ගෙදර ඉස්සරහ තිබ්බ අඹ ගහේ පොල් ලෙලි වලින් පුංචි පෝච්චියක් හදල පැළ කරේ. කඩුපුල් පැළ හටගන්නෙ කොළවලින් නෙ. කොහොමහරි මීට දින කිහිපයකට කලින් ඒ ගෙනල්ලා පැළ කරපු කඩුපුල් පැළේ කොළයක අග්ගිස්සෙන් පුංචි පුංචිම පොහොට්ටුවක් ඇවිල්ලා තිබුණා. ඔහොම දවස් දෙක තුනක් හෙමිහිට යද්දි පොහොට්ටුවත් එන්න එන්න ලොකු වුණා. දවසක් අම්මා කිව්වා අද රෑටනං කඩුපුල් මල පිපෙනවා කියලා. මාත් බොහොම ආසාවෙන් හිටියෙ කඩුපුල් මල පිපෙනකංම ඒ දිහා බලං ඉන්න. හවස් වෙනකොටම කැමරාවයි ට්‍රයිපෝඩ් එකයි අටෝගත්තා.

මේ හවස 7.15ට විතර..
මට මේ පොහොට්ටුව දකිනකොට ඇතිවෙන්නෙම පුපුරන්න ඔන්න මෙන්න තියෙන දිය බුබුළක වගේ හැඟීමක්.. :D :)

චන්දන ලියනආරච්චි ගෙ සින්දුවකුත් මතක් වුණා ඒ ගමන්..

"සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ
නුඹ තාම නිදිද..
නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ.."

මේ ෆොටෝ එක ගත්තෙ රෑ 8.00 ට..
මනමාලි දැන්නං කළඑළි බහිහන්නයි සූදානම..

මේ වෙනකොට කඩුපුල් මල බලං ඉද්දි හෙමි හෙමිහිට පිපෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි සුවඳත්. 
මේ ෆොටෝ එක ගන්නකොට 8.10 යි..


8.40 විතර වෙද්දි කඩුපුල් මල බොහෝ දුරට පිපිලා. 
කඩුපුල් මලේ සුවඳනං දැං බොහොම මිහිරියට දැනෙනවා. 
දවස් ටිකේම තිබ්බෙ වැහිබර කාලගුණයක් හන්ද සීතලත් දැනෙනවා. ඒ මදිවට මදුරුවො. බැරිම තැන ගෙට ගිහිල්ලා සිද්ධාලේප කුප්පියක් ඇඟේ අතුල්ලගෙන ආවා. :P

9.00 ට විතර ෆොටෝ එකක් ගන්නකොට තිබුණේ මේ විදිහට.
                   
 10.00 ට තමයි මේ ෆොටෝ එක ගත්තෙ..
දැන්නම් කඩුපුල් මල හොඳටම වගේ පිපිලා..
රේණු ටිකයි කලංකයයි මුළුමනින්ම නිරාවරණය වෙලා. 
මුළු මිදුලම සුවඳයි.

දහය එකොළහ විතර වෙද්දි කඩුපුල් මල සම්පූර්ණයෙන්ම පිපෙනවා කියල තමයි කියන්නෙ. ඔය විද්‍යාත්මක භාෂාවෙන් කඩුපුල් මල හඳුන්වන්නෙ Epiphyllum oxypetalum කියලා. ඉන්දියාවෙ අයනං හඳුන්වන්නෙ "බ්‍රහ්ම කමලම්" කියලා. ඒ අයගෙ විශ්වාසයක් තියනවලු මේ අපි හඳුන්වන කඩුපුල් මල පිපෙන ගමන් දෙවියන්ට යාඤා කරාම ඒ අයගෙ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වෙන බව. 
ජපන්නු මේ කඩුපුල් මලට හඳුන්වන්නෙ "Beauty under the Moon" නමින්..

මේ තියෙන්නෙ ගත්තු තවත් ෆොටෝ ටිකක්..










කඩුපුල් මල පිපෙනකංම ෆොටෝ ගහල අන්තිමට හැදුව වීඩීයෝ එකක්. සංචාරකයගෙ Adobe Premier Pro දැනුමනං අන්තිමයි..කොහොමහරි වීඩියෝ කෑල්ලක් අටවගත්තා. පිපෙන හැටි බලාගන්න ඕන්නං මේක බලන්න.. :)


 ඔය එකෝමත් එක කියන රටේ.. :D තිබ්බලු විශාල පාළු වනාන්තරයක්. මේ පාළු වනය ඇතුලෙ තිබ්බා මල් ගොමු වලින් වට වෙච්ච ලස්සනම ලස්සන විලක්. මේ වනාන්තරයෙ හිටපු සුරංගනාවියන් එකතු වෙලා මේ විල වටේම නට නට සින්දු කියල සතුටු වෙන්න පුරුදු වෙලා හිටියලු. 
දවසක් මේ විදිහට සුරංගනාවියො විල වටේම නට නට සතුටින් ඉඳිද්දි තාපසයෙක් මේ ඉසව්වට ආවලු භාවනා කරන්න සුදුසු තැනක් හොය හොයා. මේ සුරංගනාවියො මේ තවුසව දැකපු ගමන්ම විලට බැහැල මානෙල් මල් බවට පත්වෙලා හැංගුණාලු. මේ ගැන දන්නැති තවුසා විල අසල තිබුණු ගහක් යට වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තලු. 
සුරංගනාවියන් විලෙන් ගොඩ වී ආපසු වාසස්ථාන කරා යන්න බලං හිටියත් මේ තවුස දකියි කියල බයේ විලටම වෙලා හිටියලු. ඒත් තාපසයා රාත්‍රිය වෙනකංම භාවනා කර කර හිටියා.
සඳත් උදා වෙනකංම විලටම වෙලා හිටපු සුරංගනාවියන්ට සීතලෙන් ගැහි ගැහි මේ විදිහට තවත් ඉන්න බැරි වුණා. ඉවසල බැරිම තැන තවුසට නොදැනෙන්න හෙමින් හෙමින් විලෙන් එගොඩට පිය නැඟුවත් සුළු ශබ්දයටත් තාපසයගෙ දැහැන බිඳුණා. තමන් මෙච්චර වෙලා තබාගත්තු දැහැන බිඳීමේ අමනාපයෙන් තවුසා මේ සුරංගනාවියන්ව යළිත් විලෙහි මානෙල් මල් බවට හැරෙව්වලු. මේ සිද්ධිය දැකපු වනයට අධිපති දෙවියො සුරංගනාවියන් ගැන අනුකම්පා හිතුණත් ඔවුන්ව මේ සාපයෙන් බේරගන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. ඒ වුණත් සුළුවෙන් හරි පිහිට වෙන්න ඕනෙ කියල හිතාගෙන වනයට අධිපති දෙවියො මේ මානෙල් මල් කඩාගෙන විල අසල තිබුණු ගස්වල අතු අග රැඳෙව්වා. 

උපුල් කියන්නෙ මානෙල් නෙ. කැඩූ+උපුල් = කඩුපුල් බවට හැරුණලු.
අදටත් මේ විදිහට සඳ ඇති සුන්දර රාත්‍රී කාලයෙදි විකසිත වෙන්නෙ මේ පුංචි සුරංගනාවියන්.. :)  


 


 ප.ලි. - අමතර තොරතුරු විකිපිඩියාවෙන් සහ පුවත්පත් ලිපියකින්...   






August 14, 2014

මැක්‍රො සෙල්ලං | Macro Photography with an Extension Tube

ෆොටෝග්රැෆි කියන්නෙ මගෙ ප්‍රියතම සබ්ජෙක්ට් එක කියල කවුරුත් දන්නව නෙහ්. ඔය අතරෙ සංචාරකයට තිබ්බ ලොකුම ආසාවක් තමා මැක්‍රො ඡායාරූප ගන්න එක. ඉස්සෙල්ලාම කියන්න ඕනෙ ඔය දැන් කාලෙ ඕනම ස්මාර්ට් ෆෝන් එහෙක ඉඳන් කම්පැක්ට් කැමරාවල පවා තියෙන Macro Mode එකට දැම්මා කියල ප්‍රායෝගිකව මැක්‍රො ඡායාරූප ගන්න බෑ කියන එක. ඡායාරූපයට ගන්න වස්තුවෙ යම් කිසි විශාලනයක් ලැබුනත් ඒව මැක්‍රො හෙවත් ක්ෂද්‍ර ඡායාරූප නෙවෙයි. එව්ව Close-Up විතරයි. ගන්න ඡායාරූපය මැක්‍රො වෙන්නනං කැමරාවෙ සෙන්සරයට ලැබෙන ප්‍රතිබිම්භය වස්තුවට සාපේක්ෂව 1:1 අනුපාතයක් වෙන්න ඕනෙ. ඒ කියන්නෙ සැබෑ ප්‍රමාණයම හරි ඒ ආසන්න අගයකට හරි.

DSLR එකක් තිබ්බ කියලත් එහෙම එළකිරි සහ ජලය වගේ මැක්‍රො ගන්න බෑ. පොඩි පොඩි කෘමින්ගෙ, මල්වල වගේ ඕනම මැක්‍රො ඡායාරූපයක් ගන්නවනං ඉතාම තියුණුව (Sharp), සමීපව නාභිගත කරගැනීමේ හැකියාවක් තියෙන්නෙ ඕනෙ. ඉතිං ඒ මෙව්ව එක ඔය DSLR එකත් එක්ක හම්බවෙන 18-55 වගේ ලෙන්ස් වල නෑ. ඒ වෙනුවෙන්ම නිපදවපු මැක්‍රො ලෙන්ස් තියනවා. හැබැයි ගාණ සැරයි.

 ඒත් මැක්‍රො ගන්න තව ක්‍රම නැතුව නෙවේ. අපේ අයිලාෂ් අයියා ඒ ගැන හොඳ විස්තර ටිකක් දාල තිබුණා. මෙතනින් යන්න එතෙන්ට...
ඉතිං ඔය අතුරු ක්‍රම වලින් ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ Extension Tube එක. කැමරාවෙ බොඩි එකයි ලෙන්ස් එකයි අතරට මේක සම්බන්ධ කරාම ඉතාම කුඩා දේවල්වලට ලේසියෙන් ෆෝක්ස් කරගන්න පුළුවන්. මේකෙන් වෙන්නෙ කැමරාවෙ නාභි තලයෙයි (Focal Plane) ලෙන්ස් එකයි අතර දුර වැඩි වෙන එක. එතකොට අපිට ළඟා වෙන්න පුළුවන් අවම නාභි දුර (Focus Distance) වැඩි වෙනවා.  (ඒ කොහොමද කියල අහන්න එපා..එහෙම වෙනවා :3)
ඉතිං රුපියල් බර ගාණක් ඔය මැක්‍රො ලෙන්ස් එහෙකට වියදම් කරන්න බැරි හන්ද මාත් Ebay දෙයියන්ගෙන් අහල බැලුව Extension Tube එකේ තත්වෙ. 
$ 6.02 ක් කියන්නෙ රුපියල් 780 ක් විතර..  
සති තුන හතරකින් බඩු ගෙදර. හැබැයි එක්ස්ටෙන්ෂන් ටියුබ් වලත් ජාති දෙකක් තියේ. කැමරාවත් එක්ක Electric Contacts නැති එක සහ තියෙන එක. Electric Contacts තියෙන එක තමයි වඩාත් හොඳ. ඒක පාවිච්චි කරද්දි කැමරාවෙ Auto Focus පසුකම සක්‍රිය කරගන්න පුළුවන්. හැබැයි ඒකෙත් ගාණ සැරයි. :P $ 50-80 ත් අතර තමා.

මේ තියෙන්නෙ ආපු එක
ටියුබ් රාජයා ආපු දවසෙම කැමරාවට 50mm ලෙන්ස් එකයි Extension Tube එකයි හයි කරගෙන වත්ත වටේ පොඩ්ඩක් ඇවිදල බැලුවා. අවුලක් නෑ. මැක්‍රො ලෙන්ස් එකක් තරමට නොවුනත් තරමක් දුරට වැඩේ සාර්ථකයි. ඉලෙක්ට්‍රික් කන්ටැක්ට්ස් නැති Extension Tube එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන් නියමම ලෙන්ස් එකක් තමයි 50mm f/1.8D එක. මොකද මේකෙ ඇපචර් එක වෙනස් කරන්න පුළුවන් රින්ග් එකක් වෙනමම තියේ. ^_^







මේ තියෙන්නෙ ගත්තු ඡායාරූප කිහිපයක්.. :)  

මේ මී මැස්සෙක් නං නෙවේ..පොඩිම පොඩි මලක වහල හිටපු කනෙයියාවෙක්.. මල්වල පරාගනය සිද්ධ වෙන්නෙ මෙහෙම තමා..
 

මේ මිදුලෙ මල් පැළයක පරවෙලා තිබුණු මලක අන්තිමට ඉතුරු වෙච්ච රේණු..


කැමරාවත් එල්ලං වත්තෙ පඳුරු අස්සෙ බඩගාද්දි තමයි මෙයාව හම්බුනේ. ෆොටෝ එකට ලොකුවට පෙනුනට වී ඇටයක් තරං ඇති..


මොණරකුඩුම්බිය පැළෑටියෙ මල්..
මේ පින්තූරෙ ෆෝකස් අවුට් ගිහිල්ල තමයි..
ඒත් මට හිතුණ ඒකත් ලස්සනයි කියල.. 

පඳුරක් අස්සෙ වහල හිටපු පුංචිම පුංචි කුරුමිණි ජෝඩුවක්.. නිදහසේ සංසර්ගයෙ යෙදෙන්නවත් නෑ කියල මට බැන්නද දන්නෙනම් නෑ.. :D


කවදහරි අවාරෙට සිරිපා වන්දනාවෙ යන්න පෙරුම් පුරන දළඹුවෙක්.. :)


මිදුලෙ තිබ්බා පුංචි දම් පාට මල් තියෙන පඳුරු වගයක්. මෙතෙන්ට හැමදාම මී මැස්සො එනවා. ෆොටෝ එකක් ගන්න ගියාට වැඩේ සාර්ථක නෑ මලේ වහල ටක්ගාල පියඹල යනවා. :( ඉතිං මී මැස්සා මලට ආපු ගමන් මැනුවල් ෆෝකස් කර කර ඉන්නකොට ඌ වැඩෙත් කරගෙන ගිහිං ඉවරයි. අර මං උඩදි කිව්ව Auto Focus එකක් තිබ්බනං මීට වැඩිය වැඩේ සාර්ථක වෙන්න තිබ්බා. 



මල්..






අපේ ජීවිතයත් මේ වගේ නෙහ්..


මැක්‍රො ඡායාරූප ගන්නවනං කැමරාව හෙලවෙන්නෙ නැති වෙන්න තියාගන්න ට්‍රයිපොඩ් එකක් හරි වෙන ආධාරකයක් හරි පාවිච්චි කරන එක ඇඟට ගුණයි. මොකද වස්තුවට ගොඩක් සමීප වෙන හන්ද පොඩි සෙලවීමකින් වුණත් පින්තූරය Blur වෙන්න පුළුවන්.. ඔය උඩ තියන වතුර බිංදුවෙ පින්තූරෙත් හොඳට බැලුවොත් තේරෙයි හෙලවිලා කියලා. 
එහෙම නැත්තං අවමය 1/200 වගේ ෂටර් ස්පීඩ් එහකටවත් යන්න ඕනෙ.. 



ගොහිං එන්නං ඈ.. 





























 

July 8, 2014

අලුත් ඇරඹුමක්..

ජූලි හය වෙනිදා..එදා තමයි මට ලාල් හෑගොඩ නම් වූ සොඳුරුතම මිනිසා හමුවුණු දවස..!!



මේ තාක් කල් මං ඡායාරූපකරණයෙහි නියැලුණේ පොත්පත් වලින්, නෙට් එකෙන් අහුලගත්ත දැනුමකින්. කැමරාවෙ බොත්තමක් එබුවාම ෆොටෝ එක වදිනවා.. ෆොටෝග්රැෆි වල රහ තේරිලා ගෙදර තිබ්බ පුංචි ඩිජිටල් බට්ටගෙන් අහුවෙන අහුවෙන එකේ ෆොටෝ ගන්න පටන් ගන්නකොට දැනං හිටියෙ එච්චරයි. ඒ මීට අවුරුදු ගාණකට කලිං.  
කොහොමින් කොහොමහරි ෆොටෝ එකක් වෙනුවට හොඳ ඡායාරූපයක් ගන්න තරමට ඒ දැනුම යංතමින් හරි වැඩි දියුණු කරගත්තා. ඩිජිටල් බට්ටට සමුදීලා DSLR එකක් ගන්න නාහෙං අඬ අඬා ඉද්දි තාත්තා ඒකත් අරං දුන්නා..
ඡායාරූපකරණය කියන්නෙ ඉගෙනගෙන ඉවරකරන්න පුළුවං කලාවක් නෙවේ මං හිතන්නෙ. තමං ඡායාරූපයට ගන්න අලුත් රාමුවක් පාසා අලුත් අත්දැකීමක්, අලුත් දෙයක් ඉගෙනගන්නවා. 

ඔය අතරෙ පිළිවෙලකට මේ දේ ඉගෙනගන්න මට ඕන වුණා. 
ශ්‍රී ලංකාවෙ ප්‍රසිද්ධම ඡායාරූපශිල්පියෙක් වෙච්ච විල්සන් හෑගොඩයන්ගෙ පුත් ලාල් හෑගොඩ සර් ගෙ ඡායාරූපකරණ පාඨමාලාවට ඇතුළත් වෙන්න මට තිබුණෙ පුදුම ආසාවක්. හතු පිපෙන්නා වගේ කොළඹ පුරාම පොටෝ පන්ති තිබුණට ලාල් හෑගොඩ සර්ගෙ ඡායාරූපකරණ පාඨාමාලාවට යනවමයි කියල හිතාගත්තා. 
ඒත් මාස දෙකක් හොඳට කාල බීලා ජීවත් වෙන්න පුළුවං ගාණක් වියදම් කරල කැමරාවකුත් අරං දීපු මගෙ දෙමව්පියන්ගෙන් ඒ මදිවට තව පන්තියකට යන්නත් රු.විසිපන්දාහක් ඉල්ලන්න මට මගෙ හිත ඉඩ දුන්නෑ.. 

අනවශ්‍යයයි කියල හිතුණු ඔක්කොම වියදම් නැවැත්තුවා. හම්බවෙච්ච හැම රුපියලම (සතේ ඒව දැං නෑනෙ :D) එකතු කරල අන්තිමේදි ගාණ ගොඩ දාගත්තා. කොටින්ම කිව්වොත් අවුරුද්දට ඇඳුමක් ගන්න කියල දීපු සල්ලිත් හෙමීට පොතට දැම්මා. 
ගාණ හදාගෙන ක්ලාස් එක ගැන අයිඩියා එක අම්මට කියල බැලුවා. එදා ඉඳංම ඉතිං තාත්ගෙන් අහන්නෙ නැතුව මෙලෝ දෙයක් නොකරපු හින්ද හම්බවෙන උත්තරේ මං දැනං උන්නා. 
"තාත්තගෙන් අහල බලමු".. 

සිකුරාදා.. එදාට එහෙ නිවාඩු.. 
තාත්තා ආවා ස්කයිප්.. අම්මා ඇහුවා මේ ගැන.. මං සල්ලි හිටං එකතු කරගෙන තියෙන්නෙ කියලත් කීවා. 
ක්ලාස් එක ගැන විස්තර ටික අහල තාත්තා දීපු උත්තරෙන් මං උඩ ගියා..
"හරි ඔය සල්ලි ටික ඔයාගෙ පොතට දාගන්නව.. course එක කරන්න ඕන සල්ලි ටික මං හෙට එවන්නං.. " :)   

තාත්තගේ ආදරේ මහ සාගරේ වගේ කියනවනෙ.. 
  
ඉහේ මල් වත්තක්ම පිපුණු හැපී එකෙන් ටක්ගාල ලාල් හෑගොඩ සර්ගෙ සයිට් එකට ගිහිල්ලා විස්තර ටිකත් දැනගෙන මුහුණුපොතේ හිටපු යාළුවෙක්ගෙන් පන්තිය තියෙන්නෙ බම්බලපිටියෙ පොලීසිය ඉස්සරහ බිල්ඩිමේ කියලත් දැනගත්තා..මගෙ වාසනාවටමද මන්දා ඊළඟට ළමයි ඇතුළත් කරගන්න දිනය තිබුණෙ ජූලි හය කියල..


 ගිය ඉරිද උදේම බම්බලපිටි ගියා. එන්න කියල තිබුණෙ උදේ අටට වුණාට සංචාරක තෙමේ උදේ හත වෙනකොට එහෙ. කලිං දවසෙ ෆෝන් එකේ තිබ්බ ඇප් කෑල්ලකින් කොල්ලුපිටියෙ ඉඳං බම්බලපිටියට යන බස් එක සර්ච් පාරක් දාල බලපුවාම ආවෙ 100, 101 කියල නොවැ..කොල්ලුපිටිය බස් ස්ටෑන්ඩ් එකෙං බැහැල ටිකක් ඇවිදල බැලින්නං මෙන්න බොලේ පාරවල් වන් වේ කරල එක විකාරයයි.. කොහොමහරි බස් එකට නැගල බම්බලපිටිය පොලිසීය ගාවට ටිකට් එකක් අරගෙන ගූගල් මැප් දෙයියන්ගෙන් බම්බලපිටිය පොලෝසීය තියන තැනත් හොයාගෙන GPS මෙව්ව එකත් ඕන් කරගෙන මූණ ෆෝන් එකේ ඔබාගෙන හිටියා. බුකියෙ හිටපු උන්දැ කිව්වෙ එච්චර දුරක් නෑ කියල. ඒ වුණාට බස් එක ගියාට GPS මෙව්ව එක යන්නෑ.. 
එදා තමයි මං තේරුං ගත්තෙ තාක්සණේ එච්චර විස්වාස කරන්න හොඳ නෑ කියල.. කිලෝමීටරයක් විතර ආපහු ආවා.. -_- 
පැයක් කලිං ආපු හන්ද හොඳයි..

ලාල් හෑගොඩ සර්ව ඉස්සෙල්ලාම හමුවුණු දවස එදා. ඇත්තටම ඡායාරූපකරණය කියන්නෙ මොකක්ද කියල මං තේරුම් ගත්තෙ එදා.
 ඉතිං මේක මගෙ තවත් සැබෑ වුණු සිහිනයක්.. 

 ලාල් හෑගොඩ සර් ශ්‍රේෂ්ට ඡායාරූපශිල්පියෙක් වගේම විශිෂ්ට කවියෙක්..



බුලු ගහ යට කවි පන්තිය මීට කළිං දාල ඇති.. 


     

 

June 4, 2014

දුම් කලාව | Smoke Photography

අලුත් කැමරාව අරං මාස දෙකක් වත් ගත නොවුනට ඒ ටික කාලටෙ කැමරාවෙං ගත්තු වැඩනං ගොඩයි. මුළු දවස තිස්සෙම වහිනව. ඉතිං මේ ටිකේ කැමරාව නිවාඩු ගොහිං. එහෙමයි කියල නිකං ඉන්න පුළුවනයැ. ඉතිං ඔහොම ඉන්නකොට හිතුණා දුමක් ගහන්න.. :P හැබැයි හඳුන්කූරකින්..! :D

වැඩේ කරන්න මං පාවිච්චි කරේ කැමරාවයි, 50mm Prime ලෙන්ස් එකයි, හඳුන්කූරු දෙහෙකුයි, LED ටේබල් ලෑම්ප් එකයි, කළු පාට කමිසයකුයි..!
ඔක්කොටම ඉස්සෙල්ල මේ ටික අටෝගෙන ඉන්න ඕනෙ. පසුබිම කළු පාටින් අඳුරු කරන්න ඕන හින්ද ඉස්සෙල්ලාම කමිසය රැඳෙව්ව.



හඳුන්කූරු දෙක මෙව්ව එහෙකිං රඳවල තිබ්බ. :P 



දුම ආලෝකවත් කරන්න මං ගාව Flashers නැති හින්ද LED ලෑම්ප් එකකින් පැති ආලෝකයක් දුන්න. කැමරාවෙ Flasher එක භාවිතයෙන් නං එච්චර සාර්ථක වෙන්න බෑ කියල හිතුණ.




ඡායාරූපය ගන්න වෙලාවෙදි ඇතිවෙන සෙලවීම් වලිං බොඳ වීම නැති කරගන්න Tripode එකක් පාවිච්චි කරා. 



මේ වැඩේ කරන පරිසර තත්වය හුළං හමන්නෙ නැති තැනක් වෙන්න ඕනෙ. ජනෙල් ටික වහල දැම්මාම හරි ඉතිං.  

ඔක්කොම අටෝගෙන ඉවරයි. 


දැං තියෙන්නෙ අවසාන episode එක. 
ආලෝක තත්වය අනුව කැමරාවෙ සැකසුම් හදාගන්න ඕනෙ. Shutter Speed එක 1/200 ක් ගත්ත. Aperture එක f/2 ක් වගේ ගාණකට තියාගත්ත. ISO ගොඩක්ම ඉහළ දැම්මොත් ඡායාරූපයෙ ඇති වන Noise (ඒ Noise නෙවේ මේ Noise) ප්‍රමාණය වැඩි වෙනව. ඒ හින්ද 200 කට විතර දා ගත්ත.

Shoot...!!

දුම් වලිං විවිධ රටා මැවෙන විදිහට පොඩි හුළඟක් දුන්නට කමකුත් නෑ..
නිවැරදි අවස්ථාව ග්‍රහණය කර ගැනීම තමා වැදගත්..  

සාර්ථකයි කියල හිතෙනකං විවිධ රටා වල ඡායාරූප ගත්තා. 
පස්සෙ Adobe Lightroom වලිං පොඩ්ඩක් Contrast, Brightness වගේ ඒව හදල පසුබිම තව කළු කරන්න ඕන්නං එහෙමත් කරල, කැමති Effect එකක් යොදල අන්තිමේදි මේ වගේ ටිකක් ප්‍රතිඵලේ විදිහට හම්බුණා..! 

                                         Dancers













Pattern of the Smoke

                                         Dragon




                                         Women                            


Understanding Photography is Understanding Light.. :)
                                                     

                   


             

May 15, 2014

අනුරපුර චාරිකාව | Anuradhapura Trip

ගිය සිකුරාද උදේම අපි ලැහැස්ති වුණේ අනුරාධපුරේ යන්න. පාන්දරින්ම පිටත් වුණු නිසා වැඩි මහන්සියක් දැනුණෙ නෑ. දවස් දෙක තුනක් අනුරාධපුරේ නවාතැන් අරගෙන නිදහසේ වැඳ පුදාගෙන එන්න තීරණය කරගෙන හිටියත් වෑන් එක කලින් භාර දෙන්න සිද්ධ වුණු නිසා අනිද්ද උදේම ආයි පිටත් වෙන්න තීරණය කර ගත්තා. ඔක්කොම කට්ටිය පහළොස් දෙනයි. 

උදෙන්ම පිටත් වුණු හින්දද මන්ද ටික වෙලාවක් යනකොට අම්බානකට බඩගිනියි. යන ගමන් ගලිගමුව හරියෙ බේකරියකින් පාන් ගෙඩි අටක් ගත්තා. ඇස්වහක් කටවහක් නෑ ඒ පැත්තෙ පාන් ගෙඩියක් රුපියල් හැටයි. :P :P සම්බෝලයි පරිප්පුයි ගෙදරින්ම හදාගෙන ඇවිල්ල තිබුණා. තාත්ත හොඳ තැනක් බලල වාහනේ නැවැත්තුව. 

කොහොමහරි පාන් කෑල්ලක් දෙකක් කන්න පටන් ගන්නකොට,.. මෙන්න රිලව් එන්න පටන් ගත්තා...!! ඕං ඉතිං කන එක පැත්තකින් තියල මං උන්ගෙ පොටෝ ගහ ගහ උන්නා.. :D






කොහොමින් කොහොමහරි අනුරාධපුරේට කිට්ටු කරනකොට නාච්චදූව වැවෙන් නාගෙනම යන්න වාහනේ හැරෙව්ව ඒ දිහාවට. 


නාච්චදූව වැව හදල තියෙන්නෙ දෙවන මුගලන් රජ්ජුරුවො. මේ වැවට වතුර රැස් වෙන්නෙ මල්වතු ඔයෙනුයි, මමිනියාව ඔයෙනුයි. පස්සෙ විජයබාහු රජ්ජුරුවොත් මේ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරාලු.

                                         ඉස්සරහින් ඉන්න එකා වැව් කප්පිත්තා

හොඳට නාගෙන අනිත් ඈයො ලක ලැහැස්ති වෙනකං මං ගියා ඉවුර දිගේ ටික දුරක් ඇවිදගෙන. ඈතින් පොඩියට මිහින්තලේ පේනව.


                                                              කුරුළු දඩයම
ආපහු කට්ටිය හිටපු තැනට මං එනකොට මෙන්න මුං හොඳට කනවා..!
මාත් ඉතිං බත් පිඟානක් සප්පායම් වෙලා තව අයිය කෙනෙක් එක්ක ගියා සොරව්ව එහෙම තියන පැත්තට. 


                                                                 පාලම

                                                   පැනරෝමා

                                                 
නාච්චදූවෙන් පිටත් වෙලා ආපහු අනුරාධපුරේට යන්න පිටත් වුණා..
නාපු ටික කොහෙං ගියාද දන්නෑ ගිනි රස්නෙයි..දාඩිය බේරෙනවා..
අපේ නෑදෑයෙක් හිටිය ගම අනුරාධපුරේ. දැං කොළඹ. ටික දුරක් යනකොට මේක කෑ ගැහැපිය ඔය කඩේ ගාවින් නවත්තන කියල. බැලින්නං ඒ කඩේ මේකා අනුරාධපුරේ ඉන්නකොට හිටපු යාළුවෙක්ගෙ. අපරාදෙ කියන්න ඕන්නෑ ලොකු බීම බෝතල් තුනක්ම නිකං දුන්නා. :P

ඊට පස්සෙ අපි ගියේ ඉසුරුමුණියට. 



මේ කැටයම ක්‍රි.ව. 7 හෝ 8 වන සියවසයට අයත් වෙන එකක්ලු. මහාරාජා ලීලාවෙන් වාඩි වී සිටින මිනිසෙකුයි ඊට පසෙකින් නෙළා ඇති අශ්ව හිසකුයි මේ කැටයමෙන් නිරූපණය වෙනවා. මේ ගැන විවිධ මත තියෙනවා. එක මතයක් වන්නෙ අශ්ව හිසින් ගින්නට අධිපති අග්නි දෙවියනුත් මිනිස් රූපයෙන් වර්ෂාවට අධිපති පර්ජන්‍ය දෙවියනුත් නිරූපණය වෙනවා කියන එක. තවත් මතයක් තමයි හින්දු දේව කතාවල එන කපිල නම් සෘෂිවරයා සහ ඔහුගේ අශ්වයා මෙයින් නිරූපණය වෙනවා කියන එක. 

ඉසුරුමුණි පෙම් යුවල වගේම දුටුගැමුණු රජ පවුල වගේ කැටයම් ගොඩක් කෞතුගාරයෙ තිබුණා.



 ඉසුරුමුණියෙන් පස්සෙ අපි ගියා ශ්‍රී මහා බෝධියට.








 

එදා රුවන්වැලි මහා සෑයට සිවුරු පූජා කරන පිංකමක්..කට්ටියම හොඳට වැඳ පුදා ගත්තා. 














ඊළඟට අපිට රෑට නවතින්න තැනක් හොයාගන්න ඕන වුණා. හොයාගෙන හොයාගෙන යනකොට ශ්‍රී සරණංකර පිරිවෙනේ විශ්‍රාම ශාලාවෙ නවතින්න තීරණය කර ගත්තා. රෑට කෑම ළඟ ගෙයකින් සල්ලි වලට ගත්තා. අපිත් එක්ක හිටිය සමහර ඈයො ඒ ගෙදර හිටිය නංගිලාටත් ඇල්ම බැල්ම දාන්න අමතක කරේ නැහැයිලු. :P කට්ටියටම ආයිමත් හොඳට නාගන්න ඕන වෙලා තිබුණු හන්ද හැන්දෑවෙ ගියා තිසා වැවට. මුළු වැවම මීයට පිම්බ වගේ කිසිම හැලහොල්මනක් නෑ. නිදහසේ නාගත්ත. ආයි ඊළඟ දවසෙත් උදේම නාගන්න එනවා කියල හිතාගෙන අපි නවාතැන්පලට ගියා. බලාගෙන යනකොට වැඳ පුදා ගන්නවට වැඩිය කරල තියෙන්නෙ නාන එක. කොහෙද ඉතිං කොළඹ වැව් තියේයැ.




පහුවදා උදේම තව තැන් වලට යන්න හිතාගෙන හිටියත් වෑන් එක කලිං භාර දෙන්න වුණු නිසා අපි පිටත් වුණා.


                                                     තිසා වැව

ගෙදර යන ගමං...






  
                      






   


Related Posts Plugin for WordPress, Blogger...