මංතුමා දැං බම්බලපිටියෙ ලාල් හෑගොඩ සර්ගෙ ක්ලාස් එකට යනවනෙ. අදත් සුපුරුදු පරිදි ගිහිල්ලා වැඩ කටයුතු ටිකත් ඉෂ්ට සිද්ද කොරගෙන දොළහ හමාරට විතර ආපහු ගෙදරට මංගච්චන්න 177 බස් එකේ නැග්ගාම එවෙලෙ හීනියට වැහි පොදකුත් වැටෙන්න පටන් ගත්තා. ඒක නෙවේ කාරණේ දැං බස්වල සීසීටීවී කැමරාත් හයි කොරලනෙ. ඔය පිටිපස්සෙම සීට් වල ඉන්න කපල් දැං ලව් කරල හමාරයි. මොකද බස් එකේ හැම අස්සක් මුල්ලක්ම අර ඉස්සරහ තියෙන එල්සීඩී කෑල්ලෙන් පේනවනෙ. එව්ව වැඩක් නෑ මංතුමා දැන් කඩුවෙලට ආවයි කියමුකො. ගෙදරත් ඇවිල්ලා බාපු ෆිල්ම් කෑල්ලකුත් බලල කාල බීල රෑ දහයට විතර නිදා ගන්න ගියාට...මොන..නින්ද අහලකවත් නෑ..ෆිල්ම් කියපුවාම මතක් වුණේ ළඟදි බලපු හොඳම ෆිල්ම් එකක් තමා ජොනී ඩෙප් අයියා රඟපාන Transcendence.. කෘතිම බුද්ධිය ගැන බලපු හොඳම ෆිල්ම් එකක්..සැහ්..කියල වැඩක් නෑ ඒකනං.
නින්දට අධිපති දෙයියො මේ දවස්වල මයෙත් එක්ක හෙන මළෙන් ඉන්නෙ.
ඒ මදිවට නිදාගන්න ගියාම වෙලාව යන්නෙත් නෑ. හැබැයි උදේට තමයි ඒකෙ ආනිසංසෙ තේරෙන්නෙ..
හරියන්නෑ මේ වැඩේ කියල දාගත්ත ලැප. මොනව ගැන ලියනවද කියල අදහසක්වත් නැතුව පෝස්ට් එකක් කොටන්න ගත්තා. ඔච්චර වෙලා කොටපු ටික තමා ඔය උඩ තියෙන්නෙ. :P
අද (07/27) හෑගොඩ සර් අපේ ෆොටෝග්රැෆි ක්ලාස් එකේ විෂයට අමතරව අලුත් දෙයක් එකතු කරා. බොහෝවිට අපේ තරුණ පරම්පරාව කලාවත් එක්ක ගැවසෙනවා අඩුයි නේ. හැමෝම නෙවේ. ඒ වගේම තමයි විකෘති වෙච්ච සංස්කෘතියක් තමයි දැන් වර්ධනය වෙන්නෙ. විශේෂයෙන් ඔය ගීත කලාව එහෙම. මටනං අද එන සින්දු අහද්දි ඇඬෙනවා ඇ..නිකං නෙවේ හොටු බේර බේර. කලාතුරකින් එන සින්දුවක් අහන්න පුළුවන් සයිස් එකේ තිබ්බට රූප රචනයෙන් මුළු සින්දුවම එකම ඇඬිල්ලක් කරනවා. ඒක මාර ට්‍රෙන්ඩ් එක ඕයි දැං. අපේ අලුත් පරම්පරාවත් ඒ විදිහටම හැඩ ගැහෙන්න පුරුදු වෙලා නෙ.
ඉතිං ඔය නිසා අපේ සර් පන්තිය තව පැය කාලකින් දීර්ඝ කරා. මොකටවත් නෙවේ. අපි හැම සතියෙම දැං ඡායාරූපකරණයට අමතරව වෙන මොකක්හරි කලාවක් ගැන කතා කරනවා. ගීතයක් වෙන්න පුළුවං චිත්‍රයක් ගැන වෙන්න පුළුවන් ඒ මොකක්හරි නිර්මාණයක් ගැන. අපි ඒ නිර්මාණය එවෙලෙම රසවිඳල ඒ ගැන කතා කරනවා.
අද අපිට අහන්න දුන්නා මහගමසේකරයන්ගෙ කුණ්ඩල කේශි නාට්‍යයෙ එන ගීතයක්..
කුණ්ඩල කේශි නාට්‍යයෙ කතාව මේක..
එකමත් එක රටක ඉන්නවලු බොහොම ධනවත් සිටු පවුලක්. මේ සිටුතුමාටයි සිටුතුමියටයි හිටියා රූප සොබාවෙන් අග තැන්පත් බෝම හුරුබුහුටි සිටු කුමරියක්. දන්නවනෙ ඉතිං ඔය රූප සොබාව හෙන භයානකයි නොවැ. ඉතිං මේ කුමරියගෙ අම්මයි තාත්තායි මොකද කරේ මේ කුමරියව ආරක්ෂා කරගන්න ඔය එක්ටැම් ගේ කියන්නෙ..ආන්න ඒ වගේ එහෙක රඳවල තියනවා. ඉතිං මේ කුමරිය ඔහොම ඉන්නකොට කල් යත්ම ඔය අපේ එවුන්ගෙ පොඩ්ඩක් දැලි රුවුල එනකොට තරුණ විසේ ඔලුවට ගහනව වගේ මේ කුමරියගෙ හිතත් ආදර හැඟීම් වලින් පිරුණලු.
හරි හරි ඉතිං කුමරියගෙ දැලි රැවුල වැවුන්නෑ.. :3
කුමරිය ඔහොම ඉන්න අතරෙ දවසක් එක්ටැම් ගේ අසලින් බොහොම භයානක හොර දෙටුවෙක් රාජපුරුෂයන් විසින් අල්ලගෙන මාළිගාවට ගෙනියනව දැක්කා. හොර දෙටුවෙක් වුනාට මිනිහ ඇඟ පත එහෙම හොඳට තියෙන බොහොම කඩවසම් හොරෙක්. ඉතිං කුමරියට මේ හොරා දැකපු ගමන් ඒ මනුස්සයා ගැන ආදර හැඟීමක් ඇතිවෙලා එක්ටැම් ගෙට වෙලා කන්නෙ බොන්නෙ නැතුව කාන්සියෙන් වගේ ඉන්න ගත්තා. මේ වෙනස තේරුණු කුමරියගෙ දෙමව්පියො මේ ගැන ඇහුවාම කුමරිය විස්තරේ කිව්වා. මුලින් මුලින් අදිමදි කළාට සිටුතුමයි සිටුතුමියි කුමරිය මේ විදිහට කන්නෙ බොන්නෙ නැතුව ඉඳියි කියල හිතල මේ වැඩේට කැමති වුනා.
ඒත් මූ හොරෙක්. ඉන්නෙ රාජපුරුෂයන්ගෙ ආරක්ෂාව මැද්දෙ. ඒ කාලෙයි අද කාලෙයි වෙනසක් නෑ පගාව අල්ලස් ගැනීම් ඒ කාලෙත් තිබ්බලු. :D සිටුතුමා මොකද කරේ රාජපුරුෂයන්ට කහවණු දීල හොරාව ගෙල සිඳ දමන්න ගෙනියන පෙරහැරේදි පැහැරගන්නවා. රාජපුරුෂයොත් හොරා පැනල ගියා වගේ ඇක්ට් එකක් දාන්න ඇති.
කොහොමහරි කුමරියයි හොරායි කසාඳ බැඳල බෝම ආදරෙන් හිටියට මොකෝ හොරාගෙ ජන්ම පුරුද්ද නවත්තගන්න බැරි වුණා. කුමරියගෙ කරේ තිබ්බ රත්තරං ආභරණ වලට හොරාට කෑදරකමක් ඇති වුණා. ගැහුව ප්ලෑනක්..
හොරාත් කන්නෙ බොන්නෙ නැතුව නිකං දුකින් වගේ හිටියා. ඉන්නකොට කුමරිය ඇහුවලු ඇයි ඒ කියල. හොර දෙටුවා කිව්ව මං ගෙල සිඳ දාන්න ගෙනියන්න කලින් දෙවියෙක්ට භාරයක් වුණා ඒකයි මට මෙච්චර වස්තුව ලැබුණෙ ඒ හින්ද ඒ භාරෙ ඔප්පු කරන්න අර දෙයියො වාසය කරන සොරුන් හෙලන ගල උඩට යන්න ඕනැයි කියල.
කුමරියක් කැමති වෙලා දෙන්න එක්ක ගමන පිටත් වුණා. අන්තිමේදි කැලෑවක් මැද්දෙන් ගිහිල්ල පර්වතය උඩට නැගල හොර දෙටුවා කුමරියට ඇත්තම විස්තරේ කියනවා. හොරා කුමරියව පර්වතයෙන් පහලට තල්ලු කරල දාන්න සූදානම් වෙනවා. දැං කුමරිය දන්නවා තමං රැවටුණා කියල. කුමරියත් බේරෙන්න උපායක් යොදල හොරාට කියනව මට මැරෙන්න ඉස්සෙල්ලා ඔබ වටේ පැදකුණු කරල වන්දනා කරන්න ඕනි කියල අන්තිම වටේදි හොරාව තල්ලු කරනවා ගලෙන් පල්ලෙහාට.
ඔන්න ඕකයි කුණ්ඩල කේශි නාට්‍යයෙ කතාව.. කතාවෙ කුමරියයි හොර දෙටුවයි සොරුන් හෙලන ගල උඩට නගින්න ඉස්සෙල්ලා කෑළෑවක් මැද්දෙන් ගමන් කරනවා. ඒ ජවනිකාවෙදි තමයි "අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා" කියන මහගමසේකරයන් විසින් රචිත ගීතය ඇසෙන්නෙ. මේ ගීතය පළමුවෙන් ගායනා කරේ බෙන් සිරිමාන්න සහ ට්‍රිලීෂියා ගුණවර්ධන. දෙවනුව ගායනා කරේ විශාරද එඩ්වඩ් ජයකොඩි සමග සන්ධ්‍යා දීපානි.
--------------------------------------------------
අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා
අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනී
ලිය වැල් පැටලී ගොසිනී
පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා
මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ
--------------------------------------------------
චන්දන පල්ලව කියන්නෙ සඳුන් දළු.
කෝකිලයන්ගෙ කූජනය මඳ සුළඟත් එක්ක සඳුන් දළු වල පැටලිලා අපූරූ සංගීතයක් මවනවා කියල තමයි ඒ කියන්නෙ. සුන්දරත්වයෙන් පරිපූර්ණ වුනු වනය ආදර බස් දොඩන යහන් ගැබක් වගේ.. මහගමසේකරයන්ට මේ වගේ සිතුවිලි පද බඳින්න කොයිතරම් නං ප්‍රතිභාවක් තියෙන්න ඇත්ද..
මේ පද ටිකේ මං ආසම කොටස අන්තිමට තියෙන "පුෂ්ප පිපී මකරන්ද ගලා" කියන පද ටික.. ඒ කොටස කුමාරිය විසින් අර හොර දෙටුවට ව්‍යංගාර්තයෙන් කරන ඉල්ලීමක් වගේ..
මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ
මේ පද මාලාව හෑගොඩ සර් අපූරුවට විස්තර කරා. හිතේ තියෙන ඒ සිතුවිලි ටික ඒ තරං ලස්සනට ලියලා දාන්න මං තුමාට දස්සකමක් නෑ නොවැ.. නිදහසේ ඉන්න වෙලාවක අහල බලන්නකො...
මේ ගීතය නූර්ති ශෛලයට නිර්මාණය කරපු එකක්..
මහගමසේකරයන්
ගොහිං එන්නං ඈ...
රජිත දිසානායකගෙ නාට්‍ය තුනක් වේදිකාගත කරනව ලයනල් වෙන්ඩ්ට් එකේ අගෝස්තු 1,2,3..
හ්ම්...
ReplyDeleteබලල නෑ සනෝ.. කොහෙද ඉතිං වෙලාව තිබ්බත් ඕ වගේ එකක් බලනවයැ..
ඒක නං මහ නරක පුරුද්දක්...
ඔක්කටම කලිං මේ පිචෑර් බලනෙක නවත්තන්න ඕනෙ..
Transcendence.. කියද්දි මතක් වුනේ...
ඒ වගේ එකක් තියේ HER කියල මට ඒක නං නැගලම ගියා ඈ
HER මාත් බැලුවා. ඒකත් පට්ට ඈ..
Deleteනාට්‍ය බැලිල්ලනං මං ඉස්සර ඉඳංම ආස දෙයක්...
ගීතය අහල තිබුනත් ඒකට පදනම් වෙච්ච මේ නිර්මාණය ගැන දැනගත්තෙනම් අද. ගීතයට සපයල තියෙන සංවේදනාව සහ විචාරයනම් ඉස්තරම්. ඉහලම මට්ටමක තියෙනවා. ජය වේවා මලේ.
ReplyDelete+++++++++++
Deleteබොහොම ස්තූතියි මනෝටත් ප්‍රියාටත්..
Deleteමාත් ගීතය කලින් අහල තිබ්බට නාට්‍ය ගැනයි ගීතයේ කතාවයි දැනගත්තෙ එදා..
මං ගීතයට විචාරයක් කරාද...!? O.o
ගීතයත් කතාවත් දෙකම අහලා තිබුනත් ඔය දෙකේ සම්බන්දෙ දැන ගත්තෙ අදයි!!
ReplyDeleteසමහරුන් කියනවා මේ කතාව ජාතක කතාවක්ය කියල.. සමහරුන් කියනව නෑ කියල.. ඇත්තටම මේ කතාව තියෙන්නෙ සද්ධර්මරත්නාවලියෙ කියල දැනගත්තෙ මේ ළඟදි.
Deleteස්තූතියි ප්‍රියා..
ගීතය මනාවට විස්තර කරනවා ඔබ...............අගෙයි ලිපිය.....
ReplyDeleteනාට්‍ය තුනෙන් දෙකක් ම බලන්න අවස්ථාව ලැබුණා. පේරා වලේදි.... අනිකත් දවසක බලන්න ඕනේ..........
අනික එහෙනං මෙදාට බැලුවනං හරි...මටත් වෙලාවක් තිබ්බොත් කොහොමහරි යනව.
Deleteජය වේවා..
ගීතය කෙසේ වෙතත් වේදිකා නාට්‍ය ගැන නම් කම්පනාවෙන් මටත් යන්න අදහසක් තියේ බලන්ඩ.
ReplyDeleteමාත් නාට්‍යක් බැලුවෙ නෑ කාලෙකිං.. බකමූණා වීදි බසියි බලන්න යන්න හිතං ඉන්නෙ..
Deleteහෑගොඩ සර් පොටෝ ගැහිල්ල වගේම කවි හෙමත් ලියලා තියෙනවා..මට පහුගිය දවසක පොත් ප්‍රදර්ශනයකදි හමු වුනා හෑගොඩ සර්ගේ කවි පොතක්..
ReplyDeleteඔව් අමිල...හෑගොඩ සර් හොඳ ඡායාරූපශිල්පියෙක් වගේම කවියෙක්..
Deleteඔය අතරින් මං ආසම කවි පන්තියක් තමා බුළු ගහ යට කවි පන්තිය..
හොඳ ලිපියක් සංචාරකයා.. සා.පෙ. න් පස්සෙ නාට්‍ය හා රංගකලාව ගැන වැඩි විස්තර හොයන්න බලන්න
ReplyDeleteබැරි උනා.එහෙමයි කියල බැලුවෙ කැම්පස් එකෙන් පෙන්නපු "හස්තිකාන්ත මන්ත්‍රය " තමා. ආරංචියට ස්තූතියි වෙලාවක් තිබුනොත් බලන්න යන්න ඕනි .
මම නම් හුගාක් අසාවෙන් කියෙව්ව ඔයාගේ ලිපිය .ජය !!
බොහොම ස්තූතියි දිලිනි..
Deleteමං සා.පෙ දි තෝරගත්තෙ චිත්‍ර.. නාට්‍ය කලාවට ආසාවක් තිබ්බට නාට්‍ය හා රංග කලාව තෝරගත්තෙ නෑ රඟපාන්න වෙයි කියල බයේ.. :D
ජය වේවා...
ඔය කුණ්ඩල කේෂි නාට්ටිය ඉස්කෝලේ පෙන්නද්දී මමත් රාජ පුර්ෂයෙක්ට රඟ පාල තියනවා බොලව්!
ReplyDeleteබලන්න හිටිය එවුන්ගෙ නාඩි නතර වෙන්නම ඇක්ට් එක දාන්න ඇති නෙහ්.. :D
Deleteජෝක් එකක් ඈ.. ;)
මේ පැත්තට වෙල්කම්...
වේදිකා නාට්‍යක් බැලුව කාලයක් මතක නෑ බං..
ReplyDeleteහිකිස්..
Delete