# සිංහල පද්‍ය රචනා පොතක් කියවන කොට ගොඩක් ලස්සන කවි පෙළක් හම්බුණා. "බුලු ගහ යට" කියන මේ කවි පෙළ රචනා කරල තියෙන්නෙ ලාල් හෑගොඩ කියන ඉතාමත් ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක්.
කවි පෙළ අවසානයෙ පොඩි හැඳින්වීමකුත් තිබුණ.
"වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් වන ලාල් හෑගොඩ කාව්‍ය නිර්මාණයට පිවිස මේ වන විට කාව්‍ය සංග්‍රහ දෙකක් ප්‍රකාශයට පත් කොට ඇත. පද්‍ය සාහිත්‍ය වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබා ඇති හෑගොඩගේ බුලු ගහ යට කවි පෙළ 'මා මිනිසෙක් ඔබ ගඟක් නිසා' (1994) පද්‍ය සංග්‍රහයෙන් උපුටා ගැනුණකි."
පාවඩයකි එලු ඉලව් ගෙදරක
පොල් කෑල්ලෙන් එගොඩ වෙමි පාරට
තාමත් වසී වැස්ස ගස් යට
දොර ඇරුණු කූඩුවක
ඉගිලී නොගොස් සිටිනා
පැටවකු හා කිරිල්ලිය සේ
සීතාත් පැටියත් සිටිති දොරකඩ
ගොම්මනේ නොපෙනුණත්
හිතෙනවා ඇති...
ගොඩ නැඟුණු විට ගෙට
නෝක්කඩු මුහුණකි තෙතබරිත
බයයි ඉන්න අද නම් මේ ගෙදර මට
සුළඟ මේ තරමට
බලන්න බුලු ගහ
ඉගිලෙන්නට හදන
අස්වසා ඈ
ගිල දමා බත් ගුලියක්
දිග ඇදෙමි පැදුරේ
හැමුවා සුළඟ එකවර ම
නිවාගෙන කුප්පි ලාම්පුව
ඇරඹුණා කුණාටුව
ලෝකාන්ත මහා මේඝ වරුසාවට අඬගසා
වධක බෙර ගසා ගෙන
ඉඩ ඇති ඇති තැනින්
රිංගයි
විදුලි උරඟුන් ගෙතුළය
බිඳේ මහ අතු අඳුරේ
දෙපලුවන කඳන් හෙණ වැදී
ඉදිරී වැටේ ඝෝෂා නංවමින්
ගෙන මුගුරද ආයුධ
හැඳිවත් උස්සාගෙන
පරුෂ වචනයෙන් කෑ ගසමින්
උමතු මදාවියන් සේ දුවති රැළට
මිනීමරු සුළඟ
ත්‍රස්ත කරමින් වනපෙත
අම්මාවරු මෙන්
සඟවා ගෙන තුරුලේ කුඩා ගස්
කඩා වැටෙනා හඬ ඇසේ
විලාප නඟමින් මහ ගස්
කොටන්නේ විදුලිය
පෙන්වන්නටද නැසුණු ගස්
ජීවත්වන ගසට
තර්ජනය කරන්නට
දැන් වැටේ
දැන් වැටේ බුලු ගස
සිතේ - කළුවරේ
මැදි කරගෙන පුතු
ගුලි වීමු පැදුරේ
මැරුණොත් මැරුණාවෙ ඔක්කොම එකට
කුණාටුව නැවතුණු අලුයම
බැස බලමි මිදුලට
වැටුණු පොල් ගස් දෙකක් සුළඟට
රැඳී ඇති බුලු ගහේ අතු අතර
වළක්වා අපේ පැළ
දෑතෙන් දරා සිටිනු වැනි පොල් ගස්
රැයක් පහන් වන තුරු
උස මහත තාත්තා කෙනෙකු සේ...
No comments:
Post a Comment