ලෙනාඩ් වුල්ෆ් ගැන මං පළමුවරට දැනගත්තෙ ඔහු විසින් රචනා කරල, ප්‍රේමචන්ද්‍ර අල්විස් විසින් පරිවර්තනය කරල තිබුණු ඉතාමත් ආසාවෙන් කියවපු ලක් බිමේ සත් වසක් නම් කෘතියෙන්. ලෙනාඩ් වුල්ෆ් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු ලංකාවට පැමිණෙන්නෙ 1904 ඔක්තොම්බරයෙදි. ඒ කියන්නෙ ලංකාව බ්‍රිතාන්‍ය යටක් විජිතයක්ව පැවති කාලයෙදි. ඒ සිවිල් සේවකයෙකු වශයෙන්.
වුල්ෆ් ලංකාවෙ සේවය කරේ සුළු කාලයක් පමණක් වුවත් ඔහුට අත්දකින්න සිදුවෙන අත්දැකීම් ගොන්න අතිමහත්. ඔහු විසින් රචිත බොහොමයක් කෘති වලට පාදක වෙන්නෙ මේ අත්දැකීම්.
පහුගිය ඉරිද දවසක කොටුව පැත්තෙ පොඩි රවුමක් ගහන්න ඕනෙ කියල හිතාගෙන ගියපු මං ගුණසේන එකට ගියෙ නොදැනුවත්වම.
කොටින්ම මට යන්න උවමණාවකුත් තිබුණා. ඒ විභූතිභූෂණයන්ගෙ අරණකට පෙම් බැඳ පොත හොයා ගන්න. ඒත් ඉතින් අන්තිමට එන්න සිද්ධ වුනේ තව පොත් හතරක් පහක්ම අරගෙන. පර්ස් එකේ තිබ්බෙ රුපියල් දෙදාහක් හන්ද ඔයින් බේරුණා. :D සුසිත රුවන් ගෙ රාවණා මෙහෙයුම, එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ මළගිය ඇත්තෝ, සුනේත්‍රා රාජකරුණා මහත්මියගෙ කවිකඳුර අතර ලෙනාඩ් වුල්ෆ් ගෙ The village in the Jungle නොහොත් බැද්දේගමත් ඒ අතර තිබුණා. පරිවර්තනය කරල තියෙන්නෙ ඒ.පී. ගුණරත්න විසින්.
සම්පූර්ණයෙන්ම බලලා නැති වුණාට මට මතකයි බැද්දේගම චිත්‍රපටියත් ටීවී එකේ පෙන්නුව. බැද්දේගම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් මහත්මයා. පොත කියවල ඉවර වෙලා චිත්‍රපටියත් බලන්න නෙට් එකේ සර්ච් කරල බැලුවට හම්බුන්නෑ..!
ලෙනාඩ් වුල්ෆ් මේ පොත ලියල තියෙන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කියල තමා කියන්නෙ. විදේශිකයෙක් අතින් ලියැවුණාට බැද්දේගම කතාවෙ සිංහල මිනිසුන්ගෙ චරිත නිරූපණය, ජීවිතය පිළිබඳ සියුම් පැතිකඩයන් පවා ගෙන හැර පාමින් කතාව ලිවීම සිංහල නවකතා කරුවෙකුටත් වඩා විශිෂ්ටයි. කතාවෙ අන්තර්ගතය පිළිබඳව ගත්තොත් මෙහි සිදුවන්නෙ බැද්දේගම කියන කැළෑ බද අති දුෂ්කර ගමේ සහ එහි ඉතාමත් දුක්ඛිතව ජීවත් වෙන පවුල් කිහිපයක පරිහානිය. වැස්ස නැති කමින් නියඟය නිසා බැට කන, නූගත් කම සහ අන්ධ විශ්වාසයන්, ඉඩම් හිමියන් විසින් දුප්පත් ගොවියන්ව දරිද්‍රතාවයටම තල්ලු කිරීම හේතුවෙන් මිනිස්සු පරිහානියට පත්වන විදිහ වුල්ෆ් විසින් තම නිර්මාණයට සම්බන්ධ කරගෙන තියන විදිහ සිත්ගන්නා සුළුයි.
"බැද්දේගම වනාහි අතිශයින් ප්‍රශංසනීය වූ ද මනහර වූ ද කෘතියකි. එහි අපට හමු වන්නේ නො ඇසූ විරූ චරිත විශේෂයන්ය. අපේ ගෞරවය ද අනුකම්පාව ද ඔවුන්ට එකවර හිමිවේ"
~Morning Post පුවත්පත~
අන්තිම පිටුව වෙනකංම පුදුම කුතුහලයකින් වගේම ගොඩක් ආසාවෙන් පොත කියවන්න පුළුවන්. දුෂ්කර ගම්බද මිනිස්සුන්ගෙ ජීවිත අපි හිතාගෙන ඉන්නවටත් වඩා දුක්ඛිතයි. නමුත් ඒක තමයි සත්‍ය.
බුක් ෆෙයාර් එකේදි ලෙනාඩ් වුල්ෆ ගෙ බැද්දේගම හමුවුණොත් රුපියල් තුන්සිය විසි පහක් දීල ගත්තට පාඩු වෙනනැති වෙයි..!
Showing posts with label පොතක් ගැන. Show all posts
Showing posts with label පොතක් ගැන. Show all posts
September 8, 2014
July 1, 2014
මහල්ලා සහ මුහුද | The Old Man and the Sea
"ඔවුහු හොඳට යාත්‍රා කළහ. නිතර කරදියෙන් දෑත තෙමා ගත් මහල්ලා හොඳ සිහියෙන් සිටීමට වෑයම් කළේය. අහසේ රැස් වන්නට වූ කුමුලස් වළාකුළු උඩින් ප්‍රමාණවත් තරම් කුන්තල වළාකුළු තිබුණු හෙයින් රෑ එළි වන තෙක් සුළඟ නොමඳව හමන බව මහල්ලා දැන ගත්තේය. තමා මහ මාළුවකු අල්ලා ගැනීම සිහිනයක් නොව සැබෑවක් බව සැක හැර දැන ගැනීම පිණිස මහල්ලා නිතර මාළුවා දෙස බැලුවේය. මෙය සිදු වුණේ ඔහුට පළමු වන මෝරා පහර දීමට පැයකට කලින්ය."
පොත ලියල තියෙන්නෙ 'අර්නස්ට් මිලර් හෙමින්වේ'. 1951 දි.
පෙරේදා පුස්තකාලයට ගිය වෙලේ ගත්තු පොත් අතර මේකත් තිබුණා.
පොතේ කතෘ, අර්නස්ට් හෙමින්වේ, ඔහුගේ ජීවිත කාලය පුරාම අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබා ගත්ත පුද්ගලයෙක්. පුවත්පත් වාර්තාකරුවෙක් හැටියට ග්‍රීක යුද්ධයට, ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට, දෙවන මහා යුද්ධයට සහභාගි වෙලා ජීවිතයේ ඉතුරු කාලය සාහිත්‍ය කරුවෙක් ලෙස ගත කරලා. ඒ වගේම හෙමින්වේ දඩයක්කාරයෙක්, මසුන් මරන්නෙක්.
ඔහු දවසක් උදේම මසුන් ඇල්ලීමට මුහුදු යන්න ගිය වෙලාවක 'මැනුවෙලි උලිබාරි මොන්ටේස්පෑන්' නම් කියුබානු ධීවරයෙක් අහම්බෙන් හමු වෙනවා. ඔහු හෙමින්වේට ඔහුට සිදු වූ දුක්මුසු සිදුවීමක් ගැන පවසනවා.
හෙමින්වේ 'The Old Man and the Sea' නමින් රචනා කරන්නෙ ඒ කතාව.
කතාවනං බොහොම සරළයි. නමින් 'සන්තියාගෝ' කියන මසුන් මරන මහල්ලෙක්ට අවාසනාව පිරුණු දවස් අසූ හතරකට පස්සෙ වාසනාව පෑදෙමින් බිලී කොක්කට විශාල මාළුවෙක් අහුවෙනවා. අන්තිමේදි මේ මාළුවා අල්ලගන්න සන්තියාගෝට විශාල වෙහෙසක් දරන්න වෙනවා. ඒත් ආයිමත් අවාසනාව සන්තියාගෝට පහර දෙන්න පටන් ගන්නවා...!! ජයග්‍රහණය, පරාජය, දුක, වේදනාව, හාස්‍ය පිරුණු කතාවක් තමයි මහල්ලා සහ මුහුද.
"මේ කතාව ලිවීමේදි මා අනුගමනය කළේ මුහුදේ පාවෙන හිම පර්වතයක පිළිවෙත. හිම පර්වතයෙන් අටෙන් හතක් පමණ දිය යට නොපෙනී පාවෙන අතර දියෙන් මතු වී පෙනෙන්නෙ අටෙන් කොටසක් පමණයි. මසුන් මැරීම හා කියුබානු ධීවරයන්ගෙ ජීවිතය පිළිබඳ මගේ දැනුම හා අත්දැකීම් ඇතුළත් කොට මහල්ලාගේ කතාව ඇසුරෙන් මට මහා නව කතාවක් ලියන්නට තිබුණා. නමුත් කතාව ලිවීමේදි මා ඒ සියල්ල ඉවත දමා අවශ්‍ය දෙය පමණයි ගත්තෙ. නවකතාකාරයා ලිවිය යුත්තෙ තමා දන්නා දෙයින් අවශ්‍යම දෙය පමණයි. අනෙක් සියල්ලම ඔහු විසින් ඉවත දැමිය යුතුයි. කතාව ශක්තිමත් වෙන්නෙ එවිටයි. එය තමාගෙ ආත්මයෙන් පෙරී එන හරයයි. මම මේ පොත ලිව්වෙ බොහොම ලොකු වෑයමකින්. මා එය දෙසීය වාරයකටත් වඩා කියවා තියෙනවා. ඒ හැම විටම මා තුළ කිසියම් විපර්යාසයක් ඇති වන බව මට දැනෙනවා."
~අර්නස්ට් හෙමින්වේ~
කෙටියෙන් කිව්වොත් මට දැනෙන්නෙ මහල්ලා සහ මුහුද ගොඩක් සරළ කතාවක්. ඒත් සරළ බව සාර්ථකත්වය මනින්න පුළුවන් සාධකයක් නෙවේ.
හෙමින්වේට මේ පොත සඳහා ඇමරිකන් ෆුලිස්ටර් ත්‍යාගයත්, නොබෙල් ත්‍යාගයත් හිමි වුණා. කියුබානු ජාතිකයන් හෙමිංවේට ඉහළම රාජ්‍ය සම්මානයක් දීල ජාතික වීරයෙක් හැටියටත් නම් කරා.
'The Old Man and the Sea' 'මහල්ලා සහ මුහුද' නමින් සිංහලයට පරිවර්තනය කරල තිබුණෙ සිරිල් සී. පෙරේරා.
පස්සෙ කාලෙකදි මේ නමින් Animation කෙටි චිත්‍රපටියකුත් නිර්මාණය වෙලා. :)
June 1, 2014
කියවිල්ල | Reading
මැයි මාසයටම ලිව්වේ එක ලිපියකි. බ්ලොග් එක පාළුවට ගොහිංය. අන් කිසිවක් නිසා නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ගේ 'වානේ පන්නරය ලැබූ හැටි' කෘතියේ දෙවැනි කොටස හම්බවීමයි. එය මා කවදත් ප්‍රිය කරන රුසියානු කෘති පරිවර්තකයෙක් වන දැදිගම වී.රුද්‍රිගු ගේ අනුවාදයකි.
මෙය විචාරයක් නොවේ..මට විචාර ලිවීමට දැනුමක් නැත.
මුළු ලෝකයෙන්ම මා වෙන් වී හුදෙකලා වන මොහොතක් ඇත. ඒ පොතක් කියවන විටයි.
මා වඩාත් ප්‍රිය කරන්නේ ලාංකීය ඉතිහාසය ගැන පොත් වලටය. එහි ආරම්භය රොබට් නොක්ස් ගේ 'එදා හෙළ දිව' ය. ලංකාව ගැන ලාංකීය නොවන විදෙස් ලේඛකයන් විසින් ලියූ පොත් මට අගනා වස්තුවක්ය. වෙනස් රාමුවකින් ලංකාව ගැන විස්තර කරන විට එය වඩාත් රසවත්ය. එදා හෙළ දිව එහි මුදුන් මල් කඩකි.
"උගුල් ඇටවීමත් හන්දි වෙදකමටත් ඔවුන් තරම් දක්ෂයෝ මුළු ලෝකයෙහිම නැත්තෝය. බතකුත් මාළු දෙකකුත් උදවු වන්නට කලියෙන් ඔහුට පත්තුවක් ගල්වා බිදුණු හන්දියක් ප්‍රකෘතිමත් කළ හැකිය." -එදා හෙළ දිව-
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව, විල්හේල්ම් ගයිගර් ගේ ලංකා ගමන ඉන් කිහිපයකි. සංචාරය පිළිබඳ පුදුම උණකුත් ඇති වූයේ මේ නිසාමය.
ඒ ගැන අපේ රටේ ලේකඛයන් විසින් ලියූ පොත් කිහිපයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'කළුනික සෙවීම' මා වඩාත් ආසාවෙන් කියවූ පොතකි. එස්.පී.එස්. වීරසිංහ නැමැති සොඳුරු සංචාරකයා විසින් ලිවූ හුළං හොරු, මුනි සිරිපා සිඹිමින්නේ වැනි පොත් පෙළත් අගනේය.
ඒ පොත් මේ පොත් කියා විශේෂයක් නැත. අහුවෙන ඕන පොතක් මා කියවයි. ඒ කාලෙ නොහොත් හිච්චි කාලෙ :P කියවිල්ල පටන් ගත්තේ වික්‍රමසිංහයන්ගේ මඩොල් දූවෙනි. ඒ කාලෙ වීරයා උපාලි සහ ජින්නා ය. නැවත නැවත කියවමින් ඒ පොත අනේක වාරයක් රසවින්දේ ය. මා හිතාන උන්නේ මඩොල් දූව යනු කතාවෙ එන ස්ථානයක් පමණක් බවය. දවසක් අපි චාරිකාවක් යන අතරමගදී තාත්තා බෝඩ් ලෑල්ලක් පෙන්නා "අර තියෙන්නෙ මඩොල් දූවට යන පාර" කියා පුංචි අතුරු පාරක් පෙන්නුවේ ය. හුටා..! මඩොල් දූව කියන්නෙ ඇත්ත තැනක්ද..!? සතුට ඉයවහ ගියේය...!!!
තාමත් මට වික්‍රමසිංහයන්ගේ පොත් සියල්ලම කියවා නිම කිරීමට බැරි වී තිබේය. කියවා ඇත්තේ ගම්පෙරළිය,උපන්දා සිට, යුගාන්තය, අපේ ගම, කලි යුගය, කළුනික සෙවීම, විරාගය හා මඩොල් දූව පමණිය. වික්‍රමසිංහයන්ගේ පොත් වලින් මා හට අමතක නොවනම චරිතය විරාගයෙහි අරවින්ද ය.
මහගමසේකරයන්ගේ ද පොත් කිහිපයක් කියවා ඇත. හෙට ඉරක් පායයි, ප්‍රබුද්ධ, තුංමංහංදිය ආදී පොත් ඉන් මා කියවූ වඩාත් රසවත් ඒවාය. මහගමසේකරයන්ගේ කාව්‍ය කෘති වල ඇත්තේ වචනයට නැඟීමට බැරි අමුතුම සුන්දරත්වයකි.
"වසා දමමි මුළු මහත් අතීතය
වසා දමමි අනාගතය
වර්තමානය පමණි ජීවිතය
එකෙනෙහිම අතීතය හොරෙන් විත්
පෙනෙන නොපෙනන දුරට
පෙන්වයි ඇඟිල්ල දික් කර
අර බලපන් අර බලපන්
අනාගතේ සොඳුරු සිහින"
මෑතකදී මා දුටු අන්තර්ජාල ලිපියක සඳහන් වූයේ පිටරටක එක්තරා පොත් කියවන මිනිසෙකු තම නිවස ඉදිරිපට තැපැල් පෙට්ටියක් වැනි පොත් කිහිපයකින් පිරවූ ජංගම පුස්තකාලයක් තනා ඇති අයුරුය. ඕනෑම කෙනෙකුට කැමති පොතක් ගෙන ගොස් කියවා නැවත එහි තැබීමට හැකිය. මෙවැන්නක් වර්තමාන ලංකාවෙ සිදු කරහොත් සිදුවන දේ මා නොදනී...!?!
මගේ එක් පුරුද්දක් වන්නේ කියවන සෑම පොතකම නම හා යම්කිසි විශේෂ දෙයක් වී නං එය කුඩා දිනපොතක සටහන් කිරීමය. එය මා හට ආශ්වාදයක් ගෙන දෙන්නකි. සමහර වෙලාවට පුස්තකාලයෙන් ගෙනෙන පොත් කියවන්නේම නැතුව ආපසු භාර දෙන අවස්ථාද ඇත. ඒ ඊට වඩා රසවත් පොතක් මිලදී ගත් විට හෝ හම්බුණු විටය.
තවත් නොයෙකුත් රසවත් වටිනා පොත් කියවා ඇතත් ඒවා සටහන් කිරීමෙන් ලිපිය දිග්ගැස්සෙයි.
කුමක් හෝ ලියා තැබීමේ අරමුණින් අරමුණක් නැතුව ලිවීමට පටන් ගත් පෝස්ටුව අවසන් වූයේ මෙසේය. වචන ලස්සනට හසුරුවා ලිපි ලිවීමට හැකියාවක් මට නැතය... :P
නොක්ස්, වික්‍රමසිංහයන්, මහගමසේකර, ඩොයිල්, මක්සිම් ගෝර්කි ආදී එකී නොකී ලේඛකයන් ඔස්සේ ඇවිත් දැන් මගේ හිත නතර වී තිබෙන්නේ පාවෙල් කොර්චාගින් ළඟය...රුසියාවේය...බොල්ෂෙවික් සංවිධානයේය..!!
"The World is a book..., and those who do not travel read only a page..."
So...
March 24, 2014
වානේ පන්නරය ලැබූ හැටි | How the Steel Was Tempered
එදා මා පුස්තකාලයෙන් ගෙන ආවේ එම පොතයි. සැබැවින්ම එය රුසියානු සාහිත්‍යයේ විශිෂ්ට සළකුණක්. එම පොත සිංහලයට පරිවර්තනය කර තිබුණේ දැදිගම වී. රුද්‍රිගු විසින්.
'වානේ පන්නරය ලැබූ හැටි' කෘතියේ ප්‍රධාන චරිතය වන 'පාවෙල් කොර්චාගින්' සහ කෘතියේ රචකයා වන 'නිකොලායි ඔස්ත්‍රොව්ස්කි' එකම චරිතයක් ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. ඔස්ත්‍රොව්ස්කි විසින් පාවෙල් හරහා ඔහු ඉදිරිපත් කරන්නෙ ඔහුගේම ජීවිත අත්දැකීම් සමුදායයි.
නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ජීවත් වුණේ අවුරුදු තිස් දෙකක් වැනි කෙටි කාලයක් පමණයි (1904-1936). එහෙත් ඔහු වීරෝධාර චරිතයක්. සෝවියට් දේශය ගොඩනැගීමට ඔහු තම ශක්තිය යෙදෙව්වා. ප්‍රතිවිප්ලවාදී කණ්ඩායම් සහ පෝලන්ත හමුදා වලට එරෙහිව සටන් කරන නිකොලායි අවසානයේ ස්නායු රෝගයකට සහ අංශබාගයට ගොදුරු වුණා.
අවුරුදු දොළහක් ඔහු රෝගියෙකු ලෙස තම ජීවිතය ඇඳට පමණක් සීමා කරා. එයින් අවසන් අවුරුදු අට අන්ධයෙකු ලෙස ගත කරා. තුවක්කුව වෙනුවට පෑන මෙහෙයවමින් තමා සීමා වී තිබුණු අයෝමය වළල්ල බිඳ දමමින් සෝවියට් දේශයේ පරම්පරා ගණනකම අත් පොත වන 'වානේ පන්නරය ලැබූ හැටි' කෘතිය ලියවෙන්නෙ මෙම වකවානුවෙදි.
"අතිශයින්ම වැදගත් වස්තුව වන සටන් කිරීමට ඇති හැකියාව නැතිව ගිය පසු ජීවත් වන්නේ කුමක් සඳහාද? සොම්නස රහිත අනාගතයේදී හා වර්තමානයේදී ජීවිතය සනාථ කරන්නේ කෙසේද? කා, බී, ආශ්වාස ප්‍රස්වාස කිරීමෙන් පමණක්ද? සිය සගයින් සටන් තුළින් ඉදිරියට යන විට, පැත්තකට වී නිකං බලා සිටින සාක්ෂි කරුවෙකු වී සිටිය හැකිද?"
අන්ධබාවය ඔස්ත්‍රොව්ස්කි හට බාධකයක් වුණේ නැහැ. පළමු අවධියෙදි ඔහු ඉතා අමාරුවෙන් පැන්සල තද කරගෙන අකුරු ලිව්වෙ ඒව අත ගා බලමින්. සමහර අවස්ථාවලදි ලියූ අකුරු පේළියට උඩින් තවත් අකුරු පේළියක් ලියපු නිසා එම ලිපි විනාශ වුණා. පසුව රුසියන් බසින් 'ට්‍රාන්ස්පරාන්ට්' ලෙස හැඳින්වෙන කාඩ්බෝඩ් කැබැල්ලක දිග අතට සිදුරු කපා ලියන කඩදාසිය මත තබා සිදුරු ඔස්සේ අකුරු ලියමින් ඔහු තම ජීවිත කතාව රචනා කරා.
ඔස්ත්‍රොව්ස්කි තරුණබව, ආදරය හා සටන ගැන පොතක් ලිව්වා.
වානේ පන්නරය ලැබූ හැටි කෘතිය තුලින් ලෝකයාට නිදහස වෙනුවෙන් කරන සටනට පන්නරයක් ලබා දුන්නා.
"1914-1918 ලෝක මහා යුද්ධය, සිවිල් යුද්ධය, සෝවියට් සංගමයේ ආර්ථිකය යළි ගොඩ නැගීම පසුතලය කරගනිමින් කතුවරයා නව රුසියාවේ තරුණ වීරයා වන පාවෙල් කොර්චාගීන්ගේ සේයාරුව මැනවින් සිත්තම් කරයි. එය අතිශයින්ම යථාර්තවාදී ය, චරිතය උපරිමය ලෙස පැහැදිලිය. ඉමහත් ශක්තියෙන් යුතුව ඔහු සැබෑ ජීවිතයෙන් කොටසක් මනහර ලෙස චමත්කාරජනක හැඟීමකින් යුතුව ඉදිරිපත් කරයි."
~ටයිම්ස් පුවත්පත~
පාසල් යන පාවෙල් පූජකයාගේ පිටි වලට දුම්කුඩු මිශ්‍ර කරනවා. එබැවින් ඔහු පාසලෙන් නෙරපා දමයි. ගිනි උදුම් සේවකයෙකු ලෙස, විදුලි බලාගාර සහයකයෙකු ලෙස, රේල් පීලි සවි කරන්නෙකු ලෙස ඔහු තම ශ්‍රමය මෙහෙයවනවා. දරිද්‍රතාවය සහ සමාජ විෂමතාවය හඳුනාගන්නා පාවෙල් ධනවාදීන්ට වෛර කරන්නට පටන් ගනියි.
ඔහුගේ රළු ස්වභාවය, නුරුස්සනා ගතිය නිසා තෝන්යා ඔහුට ආලය කරනවා. තෝන්යා ඔහුගේ ආදරවන්තිය වෙනවා.. නමුත් කම්කරුවෙකුට ආලය කිරීමට හැකි වූ තෝන්යාට කම්කරු අදහස් වලට ආදරය කරන්නට නොහැකි වෙනවා. මේ නිසා පාවෙල් කොර්චාගින්, තෝන්යා ගෙන් වෙන් වේ.
බලාපොරොත්තු කඩ වීමේ කටුක බව, දුප්පත් කම්කරුවන් විඳනා දුක් සමුදාය ගැන පාවෙල් ඉතා සංවේදී වුණා.
"මෝඩකම නිසා හා තරුණකම නිසාද, හැමටම වැඩියෙන් නොදත්කම නිසාද වැරදි බොහොමයක් කළෙමි." පාවෙල් තමා ගැන සිතුවෙ ඒ අයුරින්.
1935 දී නිකොලායි ඔස්ත්‍රොව්ස්කි හට මෙම කෘතිය වෙනුවෙන් ලෙනින් සම්මානය පිරිනැමුණා. ඔහුගේ දෙවැනි කෘතිය 'Born of the Storm' සහ අවසාන කෘතිය වන්නේ 'Russian Civil War' යන්නයි.
නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ගෙ මෙම ශ්‍රේෂ්ට නව කතාව නිසා ආස්වාදය ලැබූ ප්‍රංශ මහා ගත්කරු රොමේන් රොලාන්, ඔස්ත්‍රොව්ස්කි 'ක්‍රියාශීලිත්වයේ දීප්තිමත් ආලෝකය' ලෙසින් හැඳින්වුවා.
"විප්ලවවාදී යුගයේ ශේෂ්ඨතම කලාත්මක නිර්මාණය එය විසින් බිහි කරන ලද මිනිසුන්ය. නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ඔවුන්ගෙන් කෙනෙකි"
~සෙම්යොන් ත්‍රෙගුබ්~
ශාරීරින පීඩාවන්ට යමෙකුගේ ජීවිතය අඳුරු වළා පටලයකින් වසා දැමිය හැකි වුවත් ඔහුගේ ධෙර්යය, ආධ්‍යාත්මික සංවේදී බව හා හැකියාවන් සදාකාලිකව විනාශ කළ නොහැකිය...
වාර්තාකරුවෙකු දවසක් ඔස්ත්‍රොව්ස්කි ගෙන් මෙසේ ප්‍රශ්නයක් නැගුවා.
"ඔබ නිර්භීත මිනිසෙක්, කොමියුනිස්ට්වාදී අදහස් වලට කැප වීමට ඔබට හැකි වූයේ එම නිර්භීතකම හේතුවෙන්ද?"
"ඔව්"
ඔහු මොහොතකුදු පමා නොවී පිළිතුරු දුන්නේය.
මා කියවූ සිංහල අනුවාදයෙහි..,
කතෘ - දැදිගම වී. රුද්‍රිගු
Subscribe to:
Posts (Atom)












