April 19, 2015

අබුඩාබියේ මතකයන්

සංචාරකතුමාට අබුඩාබි යන්න අවස්ථාවක් ලැබුණා. 
තාත්තත් දවස් කිහිපයකට ඉස්සෙල්ලා ලංකාවට ආවා මාත් එක්කම යන්න. මේ සංචාරකයගෙ පළමු ගුවන් ගමන.. :P

කොළඹ ඉඳන් අබුඩාබි වලට ගුවන් ගමන පැය හතර හමාරක් වගේ තියෙන්නෙ. 

                                       උඩ ඉඳං අබුඩාබි නගරය රෑට පේන හැටි
අපි අබුඩාබි ගුවන්තොටුපලෙන් බැහැල කෙලින්ම තාත්ත නවාතැන් ගන්න බෝඩිමට ගියා. අපි නවාතැන් ගන්න බෝඩිම තිබුනෙ Mussafah වල. අබුඩිබා සිටි එකේ ඉඳන් කිලෝමීටර් 25 ක් විතර දුරින්. එතන තවත් ලංකාවෙ තුන්දෙනෙක් හිටියා. කාමරේ පස්දෙනෙක්ට සෑහෙන්න ඉඩකඩ තිබුණ නිසා නවාතැන් ගන්න එක ප්‍රශ්නයක් වුනේ නෑ. උදේට ඔක්කොමල රැකියාවට යන නිසා තනියම කම්මැලිකමේ තමයි කාමරේ ඉන්න වුනේ. හැන්දෑ වරුවෙනං රටතොට බලාගන්නත් එක්ක පොඩ්ඩක ඇවිද්දා. හොඳ වෙලාවට එනකොට කියවන්න පොත් ටිකකුත් අරං ආව.. :D  

සිකුරාද කියන්නෙ අරාබි රටවල් වල හැමෝටම නිවාඩු දවසක්. එ් වගේ දවසක තමයි අපි කොහෙ හරි යනවනං ගියේ. 
අපි ඉස්සෙල්ලාම ගියා අබුඩාබි Ferrari World එකට. ඒක පිහිටල තිබුනෙ Yas Island කියල තැනක. ලෝකෙ විශාලතම ගෘහස්ථ විනෝද උද්‍යානය තමයි මේක. ඒ වගේම ලෝකෙ වේගවත්ම roller coaster එකත් තියෙන්නෙ මේ පාර්ක් එකේ. 

                                                     Formula 1 තරඟ වලට ගන්න රේසින් කාර්

                                                                       රේසින් කරා එහෙක එන්ජිමක්

 

අබුඩාබි වලට දෙසැම්බර් ඉඳන් මාර්තු, අප්‍රේල් වෙනකං වගේ තරමක හොඳ කාලගුණයක් තියනව. අවුරුද්දකට දෙතුන් පාරක් වගේ තමා වැහි පොදයක් වැටෙන්නෙ.  ඊටපස්සෙ ඉතිං මුළු අවුරුද්දෙම ගිනියම් රස්නෙ. 

ඩුබායි තියෙන්නෙ අබුඩාබි ඉඳන් කිලෝමීටර් 141 ක් දුරින්. ලෝකෙ උසම ගොඩනැගිල්ල තියෙන්නෙ ඩුබායි වල. ඒ ඩුබායි බර්ජ් කලීෆා (Burj Khalifa) බිල්ඩිම. මේකෙ උස මීටර් 829.8 ක් (අඩි 2722ක්).  
2004 වැඩ පටන් ගත්තු මේ බිල්ඩිමේ වැඩ අවසන් කරල තියෙන්නෙ 2009 දි. 


 


                               මේ රටේ කොහෙ බැලුවත් රට ඉඳි ගහක්නං වරදින්නෑ.. 
                                                                     සංචාරකතුමා :3
ඒ බිල්ඩිම ඉදිරිපසින් තියන පොඩි ජලාශයෙ වතුර මල් සංදර්ශනයක් තියෙනවා. රෑටනං විදුලි බුබුළු වල ආලෝකයත් එක්ක එතන හරි ලස්සනයිලු. ඒත් අපි රෑ වෙනකං හිටියෙ නෑ ආවා. 





එමිරේට්ස් පැලස් (Emirates Palace) කියන්නෙ අබුඩාබි වල තියෙන සුප්‍රසිද්ධම තරු හතේ හෝටලයක්.


                                                            ඡායාරූපය අන්තර්ජාලයෙනි

ලෝකයේ දෙවැනියට මිල අධිකම හෝටලයත් මේ එමිරේට්ස් පැලස් හෝටලය. තවත් විශේෂත්වයක් තමයි Fast and Furious 7 ෆිල්ම් එකේ කොටස් කිහිපයකුත් මේ පැලස් එක පරිශ්‍රයෙ රූගත කරල තියෙනවා. කාමර 302 කින් සමන්විත මේ හෝටලේ ඒ කාමර වලින් බොහොමයක් රත්තරන් සහ මාබල් වලින් නිමවල තියෙන්නෙ. ඉතිං මේ හෝටලේ ඇතුලෙ ප්‍රධාන ඉංජිනේරුවෙක් ලංකාවෙ මහත්මයෙක්. කොහොමහරි මේ පැලස් එක ඇතුලෙ පොඩ්ඩක් දැක බලාගෙන ෆොටෝ දෙක තුනක් ගන්න මටත් දුර්ලභ අවස්ථාවක් හම්බුනා. :D


                                           පැලස් එක ඇතුලෙ ප්‍රධාන නැටුම් ශාලාව




                                    ෆොටෝ එකේ ඉන්නෙ අබුඩාබි වල පාලකයා Khalifa bin Zayed. ඔහුත් ඉඳල හිටල මේ හෝටලේ කාලය ගත කරන්න එනවලු. 









අබුඩාබි වල ගත කරපු දවස් කිහිපය ඇතුලත මං ගිය කැමතිම තැන Al-Ain. අබුඩාබි ඉඳන් කිලෝමීටර් 174 ක් දුර ගෙවන් සිකුරාද දවසක අපි ඔක්කොම Al-Ain ගියා. අබුඩාබි වලට වැඩිය මේ ප්‍රදේශයෙ තරමක් ස්වභාවික සෞන්දර්යත්වය වැඩියි. Jebel Hafeet කඳු පන්තිය තියෙන්නෙ Al-Ain ප්‍රදේශයෙ. 

                                         ඈතින් පේන්නෙ Jebel Hafeet කඳු පන්තිය.


                                                                         කන්ද උඩම


                                                                ඈතින් පේන්නෙ ඕමාන්

කන්ද උඩ පැයක් විතර ගත කරල හැන්දෑවෙලේ අපි ආයිත් බෝඩිමට එන්න පිටත් වුණා. 

ඒ වෙනකොට ලංකාවට එන්න තව දවස් කිහිපයක් විතරයි ඉතුරු වෙලා තිබුණෙ. ඒ දවස් ටිකත් නොදැනීම ගෙවිල ගියා.. 








February 5, 2015

කයිමන් දොරකඩ | Kaiman Gate


"පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා
ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපං මං එනතුරු සෙලෙස්තිනා"

එදානං සෙලෙස්තිනා එතෙනට වෙලා බලං හිටියට අදනං කයිමන් දොරටුව කියල එකක් නෑ.. තියෙන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරපු ඝණ්ඨාර කුළුණක් විතරයි. :)
ඉතිහාසයට, අතීත නටබුන් වලට කවදත් මනාප සංචාරකතුමා ඔය ඝණ්ඨාර කුළුණ බලාගෙන එන්නත් එක්ක ඊයෙ පෙරේදා දවසක කොටුවෙ රවුමක් දැම්මා. 

ලංකාව පළමු වතාවට පිට දේශක්කාරයින්ගෙ යටත් විජිතයක් බවට පත්වුණේ පෘතුගීසි පාලනය යටතෙ. පරංගින්ගෙ ප්‍රධානතම බලකොටුව වුණේ කොළඹ කොටුව. අද හඳුන්වන ඕල්කට් මාවත සහ අවට ප්‍රදේශය වටකරමින් පෘතුගීසින් කබොක් ගල් වලින් විශාල ප්‍රකාරයක් බැන්දා. ඒ විශාල තාප්පයෙන් කොටු වුණ කොටස තමයි කොටුව විදිහට හැඳින්වුනේ. තාප්පයෙන් පිටත පිටකොටුව. පිටකොටුවෙ ඉඳන් එන කෙනෙකුට කොටුවට ඇතුල් වෙන්න තිබ්බෙ එකම එක මාර්ගයක්, නැත්නම් දොරටුවක් විතරයි. ඒ තමයි කයිමන් දොරටුව. 
මේ කයිමන් ගේට්ටුව විවෘත වුණේ ශාන්ත ජෝන් ඇළ මාර්ගය (St. John's Canel) මතින් ඉදිවුණ පාලමට. පසු කාලයකදි ඉංග්‍රීසින් විසින් මේ කොටුව වටා තිබුණු ප්‍රකාරය කඩා දමලා ශාන්ත ජෝන් ඇළ සහ ඒ අවට පහත් බිම් පුරවල කොටුව සහ පිටකොටුව එකම භූමියක් විදිහට පත් කරා. 

                              ඉංග්‍රීසින් විසින් කොටු බැම්ම කඩා දැමීම (මූලාශ්‍රය - lankapura.com)

ඒ නිසා අද ඉතිරිවෙලා තියෙන්නෙ කයිමන් දොරටුව අසල තිබුණු සුවිශාල ඝණ්ඨාර කුළුණ විතරයි.


 පිටකොටුව ප්‍රධාන වීදියෙ ඉඳන් ඕල්කට් මාවත දෙසට 4 වෙනි හරස් වීදිය පටන් ගන්න තැනම තමයි මේ ඝණ්ඨාර කුළුණ පිහිටලා තියෙන්නෙ.


 කාලය කොයිතරම් දේවල් වෙනස් කරනවද..

පෘතුගීසින් නම් මේ දොරටුව හැඳින්නුවෙ "පුර්ටෙ රෙයිනා" හෙවත් "බිසෝ දොරටුව" යන නමින්ලු. ලන්දේසී යුගය වෙනකොටත් මේ පවුර සහ දොරටුව ඒ විදිහටම තිබුණා. ලන්දේසි මේ දොරටුව හැඳින්නුවෙ කයිමන් දොරටුව නමින්. ඒකට විශේෂ හේතුවක් තිබුණා. ඉහත සඳහන් කරපු ශාන්ත ජෝන් ඇළ බේරෙ වැවට සම්බන්ධයි. බේරෙ වැවේ හිටිය කිඹුලන් මේ ඇළ මාර්ගය දිගේ ඇවිත් මේ දොරටුව අසල හිඳිමින් කුණු කසල ආදිය කා දමමින් ජීවත් වුණාලු. හැම වෙලාවෙම කිඹුලන් ගැවසුණු තැනක් නිසා මෙතැනට ලන්දේසි බසින් Kaimaan Port විදිහට හඳුන්වන්න පටන් ගත්තා. ලන්දේසි බසින් කයිමාන් කියන්නෙ කිඹුලන්ටලු.  

මේ සුවිශේෂි දොරටුව පිහිටි තැන අදට ඉතිරිවෙලා තිබෙන මේ ඝණ්ඨාර කුළුණ මීටර් හතරක් විතර උස ආරුක්කු හැඩයෙන් යුක්ත එකක්. ඝණ්ටාරය බුවනෙකබාහු රජතුමා විසින් කතෝලික පියතුමන්ලගෙ ඉල්ලීමක් පිට වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටෙ ප්‍රදේශයෙ හදපු ශාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමන්ට කැප කරන ලද දේවස්ථානයකට අයිති ඝණ්ටාරයක්. මේ ඝණ්ඨාරය ඒ කාලෙදි එදිනෙදා වාදනය වුණේ රාත්‍රී කාලයෙදි කයිමන් දොරටුව වහන අවස්ථාව දැනුම් දෙන්නට.

නිල වශයෙන් අවසන් වතාවට මේ ඝණ්ටාරය වාදනය වෙලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය යුගයෙදි. ඒ 1926 ජනවාරි 21 වෙනිද පස්වැනි ජෝර්ජ් රජුගෙ අභාවය දැනුම් දීමටත්, ජනවාරි 28 ඔහුගේ දේව මෙහෙය වෙනුවෙනුත් සහ 1945 අගෝස්තු 14 වැනිදා දෙවන ලෝක යුද්ධයෙ අවසාන කාලයෙදි ජපානය යටත් වුණු දිනයෙදි.

ඒ කාලයෙ අධිකරණය මගින් වරදකරුවන් වුණු ඇතැම් අයව එල්ලා මරන ස්ථානයත් තිබිල තියෙන්නෙ කයිමන් දොරකඩ අසල තැනක. මිනීපෙට්ටි වෙළඳාමටත් කයිමන් දොරකඩ ප්‍රදේශය ප්‍රසිද්ධ වුණාලු.

බ්‍රිතාන්‍ය යුගය වෙනකොට මේ කයිමන් දොරකඩ අසල ප්‍රදේශය වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. ලන්දේසි යුගයෙදි ඔවුන්ගෙ කාසි මුද්‍රණය කර තිබෙන්නෙත් ඒ අසල තිබූ මුද්‍රණාගාරයකින්. (VoC)    

"කොළඹ කොටුවෙ කොටු දොරකඩ නෝනච්   චී
   නුඹ බලන්ට මා එනකොට රෑ වෙච්                  චී 
  නුඹට ගෙනා තල සූකිරි දිය වෙච්                     චී
  අදට පිනට දොර ඇරපං නෝනච්                     චී

තවත් රස්තියාදුවකින් හමුවෙමු.. :)

Related Posts Plugin for WordPress, Blogger...