June 1, 2014

කියවිල්ල | Reading


මැයි මාසයටම ලිව්වේ එක ලිපියකි. බ්ලොග් එක පාළුවට ගොහිංය. අන් කිසිවක් නිසා නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ගේ 'වානේ පන්නරය ලැබූ හැටි' කෘතියේ දෙවැනි කොටස හම්බවීමයි. එය මා කවදත් ප්‍රිය කරන රුසියානු කෘති පරිවර්තකයෙක් වන දැදිගම වී.රුද්‍රිගු ගේ අනුවාදයකි.
මෙය විචාරයක් නොවේ..මට විචාර ලිවීමට දැනුමක් නැත.
මුළු ලෝකයෙන්ම මා වෙන් වී හුදෙකලා වන මොහොතක් ඇත. ඒ පොතක් කියවන විටයි. 
මා වඩාත් ප්‍රිය කරන්නේ ලාංකීය ඉතිහාසය ගැන පොත් වලටය. එහි ආරම්භය රොබට් නොක්ස් ගේ 'එදා හෙළ දිව' ය. ලංකාව ගැන ලාංකීය නොවන විදෙස් ලේඛකයන් විසින් ලියූ පොත් මට අගනා වස්තුවක්ය. වෙනස් රාමුවකින් ලංකාව ගැන විස්තර කරන විට එය වඩාත් රසවත්ය. එදා හෙළ දිව එහි මුදුන් මල් කඩකි.

"උගුල් ඇටවීමත් හන්දි වෙදකමටත් ඔවුන් තරම් දක්ෂයෝ මුළු ලෝකයෙහිම නැත්තෝය. බතකුත් මාළු දෙකකුත් උදවු වන්නට කලියෙන් ඔහුට පත්තුවක් ගල්වා බිදුණු හන්දියක් ප්‍රකෘතිමත් කළ හැකිය."                                                  -එදා හෙළ දිව-
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව, විල්හේල්ම් ගයිගර් ගේ ලංකා ගමන ඉන් කිහිපයකි. සංචාරය පිළිබඳ පුදුම උණකුත් ඇති වූයේ මේ නිසාමය. 

ඒ ගැන අපේ රටේ ලේකඛයන් විසින් ලියූ පොත් කිහිපයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'කළුනික සෙවීම' මා වඩාත් ආසාවෙන් කියවූ පොතකි. එස්.පී.එස්. වීරසිංහ නැමැති සොඳුරු සංචාරකයා විසින් ලිවූ හුළං හොරු, මුනි සිරිපා සිඹිමින්නේ වැනි පොත් පෙළත් අගනේය. 

ඒ පොත් මේ පොත් කියා විශේෂයක් නැත. අහුවෙන ඕන පොතක් මා කියවයි. ඒ කාලෙ නොහොත් හිච්චි කාලෙ :P කියවිල්ල පටන් ගත්තේ වික්‍රමසිංහයන්ගේ මඩොල් දූවෙනි. ඒ කාලෙ වීරයා උපාලි සහ ජින්නා ය. නැවත නැවත කියවමින් ඒ පොත අනේක වාරයක් රසවින්දේ ය. මා හිතාන උන්නේ මඩොල් දූව යනු කතාවෙ එන ස්ථානයක් පමණක් බවය. දවසක් අපි චාරිකාවක් යන අතරමගදී තාත්තා බෝඩ් ලෑල්ලක් පෙන්නා "අර තියෙන්නෙ මඩොල් දූවට යන පාර" කියා පුංචි අතුරු පාරක් පෙන්නුවේ ය. හුටා..! මඩොල් දූව කියන්නෙ ඇත්ත තැනක්ද..!? සතුට ඉයවහ ගියේය...!!! 
තාමත් මට වික්‍රමසිංහයන්ගේ පොත් සියල්ලම කියවා නිම කිරීමට බැරි වී තිබේය. කියවා ඇත්තේ ගම්පෙරළිය,උපන්දා සිට, යුගාන්තය, අපේ ගම, කලි යුගය, කළුනික සෙවීම, විරාගය හා මඩොල් දූව පමණිය. වික්‍රමසිංහයන්ගේ පොත් වලින් මා හට අමතක නොවනම චරිතය විරාගයෙහි අරවින්ද ය. 

 මහගමසේකරයන්ගේ ද පොත් කිහිපයක් කියවා ඇත. හෙට ඉරක් පායයි, ප්‍රබුද්ධ, තුංමංහංදිය ආදී පොත් ඉන් මා කියවූ වඩාත් රසවත් ඒවාය. මහගමසේකරයන්ගේ කාව්‍ය කෘති වල ඇත්තේ වචනයට නැඟීමට බැරි අමුතුම සුන්දරත්වයකි. 

"වසා දමමි මුළු මහත් අතීතය
 වසා දමමි අනාගතය
 වර්තමානය පමණි ජීවිතය

 එකෙනෙහිම අතීතය හොරෙන් විත්
 පෙනෙන නොපෙනන දුරට
 පෙන්වයි ඇඟිල්ල දික් කර
 අර බලපන් අර බලපන්
 අනාගතේ සොඳුරු සිහින"

මෑතකදී මා දුටු අන්තර්ජාල ලිපියක සඳහන් වූයේ පිටරටක එක්තරා පොත් කියවන මිනිසෙකු තම නිවස ඉදිරිපට තැපැල් පෙට්ටියක් වැනි පොත් කිහිපයකින් පිරවූ ජංගම පුස්තකාලයක් තනා ඇති අයුරුය. ඕනෑම කෙනෙකුට කැමති පොතක් ගෙන ගොස් කියවා නැවත එහි තැබීමට හැකිය. මෙවැන්නක් වර්තමාන ලංකාවෙ සිදු කරහොත් සිදුවන දේ මා නොදනී...!?!

මගේ එක් පුරුද්දක් වන්නේ කියවන සෑම පොතකම නම හා යම්කිසි විශේෂ දෙයක් වී නං එය කුඩා දිනපොතක සටහන් කිරීමය.  එය මා හට ආශ්වාදයක් ගෙන දෙන්නකි. සමහර වෙලාවට පුස්තකාලයෙන් ගෙනෙන පොත් කියවන්නේම නැතුව ආපසු භාර දෙන අවස්ථාද ඇත. ඒ ඊට වඩා රසවත් පොතක් මිලදී ගත් විට හෝ හම්බුණු විටය.  

තවත් නොයෙකුත් රසවත් වටිනා පොත් කියවා ඇතත් ඒවා සටහන් කිරීමෙන් ලිපිය දිග්ගැස්සෙයි. 
කුමක් හෝ ලියා තැබීමේ අරමුණින් අරමුණක් නැතුව ලිවීමට පටන් ගත් පෝස්ටුව අවසන් වූයේ මෙසේය. වචන ලස්සනට හසුරුවා ලිපි ලිවීමට හැකියාවක් මට නැතය... :P
නොක්ස්, වික්‍රමසිංහයන්, මහගමසේකර, ඩොයිල්, මක්සිම් ගෝර්කි ආදී එකී නොකී ලේඛකයන් ඔස්සේ ඇවිත් දැන් මගේ හිත නතර වී තිබෙන්නේ පාවෙල් කොර්චාගින් ළඟය...රුසියාවේය...බොල්ෂෙවික් සංවිධානයේය..!! 

"The World is a book..., and those who do not travel read only a page..."

So...



8 comments:

  1. මාත් පොත් නම් තෝර තෝර කියවන්නෑ. ආහුවෙන ඕන පොතක් කියවනවා.

    අර සටහන් කර ගන්න වැඩේ නම් ඇත්තටම වටිනවා බං. වැඩේ තියෙන්නෙ සමහර පොත්වල වැදගත් තැන් සටහන් කරනවට වඩා ලේසියි ෆොටෝ කොපි ගහලා තියා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඒකත් හොඳයි තමා.. :D

      Delete
  2. අද ගත්තා වානේ පන්...... පොතේ 1ක 2ක එකට තියන පොතක්,පරිවර්තක ගැන හා කතෘ ගැන කියෙව්වට මේකට කොමෙන්ටුවක් දානකම් කියවන්න පටන් ගන්න හිතුන්නැහැ.හොද පොතක් තිබුනොත් අපිටත් දැනගන්න පොස්ටුවක් දාන්න.

    ReplyDelete
    Replies
    1. අනිව දාන්නං...ඒකෙ පළවෙනි පොතනං මාරම ලස්සනයි..
      බොහොම ස්තූතියි... :)

      Delete
  3. මේක කියවද්දී ඉස්සර මන් පිස්සෙක් වගේ පොත් පත්තර කියෙව්ව හැටි මතක් වෙනවා .හැබැයි දැන් එක්ක ඒ ආශාව යටවෙලා ගිහින් .මේ ලිපිය මගේ පොත් කියවීමේ ආශාව අයෙත් ඇතිකලා ..සේකරයන්ගේ කවි වලට මමත් ආසයි ඒවා හරිම ලස්සනයි . .අහම්බෙන් ගොඩ වැදුනත් කියවපු බ්ලොග් ලිපිය ලස්සනයි ....

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක හින්ද ආයි පොත් කියවන්න හිතුණනං ඒක මටත් සතුටක්..
      බොහොම ස්තූතියි හංසි මේ පැත්තට ගොඩ වැදුනට..

      Delete
  4. මං හිතුවෙ මං තරං පොත් පිස්සෙක් තවත් නැතිව ඇති කියලා. පොත් කියවන එක තරම් මානසික සුවයක් මට වෙන ලැබෙන්න ක්‍රමයක් තියෙනවා නම් ඒ ගීත රසවිඳීම පමණයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...