එදා මා පුස්තකාලයෙන් ගෙන ආවේ එම පොතයි. සැබැවින්ම එය රුසියානු සාහිත්‍යයේ විශිෂ්ට සළකුණක්. එම පොත සිංහලයට පරිවර්තනය කර තිබුණේ දැදිගම වී. රුද්‍රිගු විසින්.
'වානේ පන්නරය ලැබූ හැටි' කෘතියේ ප්‍රධාන චරිතය වන 'පාවෙල් කොර්චාගින්' සහ කෘතියේ රචකයා වන 'නිකොලායි ඔස්ත්‍රොව්ස්කි' එකම චරිතයක් ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. ඔස්ත්‍රොව්ස්කි විසින් පාවෙල් හරහා ඔහු ඉදිරිපත් කරන්නෙ ඔහුගේම ජීවිත අත්දැකීම් සමුදායයි.
නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ජීවත් වුණේ අවුරුදු තිස් දෙකක් වැනි කෙටි කාලයක් පමණයි (1904-1936). එහෙත් ඔහු වීරෝධාර චරිතයක්. සෝවියට් දේශය ගොඩනැගීමට ඔහු තම ශක්තිය යෙදෙව්වා. ප්‍රතිවිප්ලවාදී කණ්ඩායම් සහ පෝලන්ත හමුදා වලට එරෙහිව සටන් කරන නිකොලායි අවසානයේ ස්නායු රෝගයකට සහ අංශබාගයට ගොදුරු වුණා.
අවුරුදු දොළහක් ඔහු රෝගියෙකු ලෙස තම ජීවිතය ඇඳට පමණක් සීමා කරා. එයින් අවසන් අවුරුදු අට අන්ධයෙකු ලෙස ගත කරා. තුවක්කුව වෙනුවට පෑන මෙහෙයවමින් තමා සීමා වී තිබුණු අයෝමය වළල්ල බිඳ දමමින් සෝවියට් දේශයේ පරම්පරා ගණනකම අත් පොත වන 'වානේ පන්නරය ලැබූ හැටි' කෘතිය ලියවෙන්නෙ මෙම වකවානුවෙදි.
"අතිශයින්ම වැදගත් වස්තුව වන සටන් කිරීමට ඇති හැකියාව නැතිව ගිය පසු ජීවත් වන්නේ කුමක් සඳහාද? සොම්නස රහිත අනාගතයේදී හා වර්තමානයේදී ජීවිතය සනාථ කරන්නේ කෙසේද? කා, බී, ආශ්වාස ප්‍රස්වාස කිරීමෙන් පමණක්ද? සිය සගයින් සටන් තුළින් ඉදිරියට යන විට, පැත්තකට වී නිකං බලා සිටින සාක්ෂි කරුවෙකු වී සිටිය හැකිද?"
අන්ධබාවය ඔස්ත්‍රොව්ස්කි හට බාධකයක් වුණේ නැහැ. පළමු අවධියෙදි ඔහු ඉතා අමාරුවෙන් පැන්සල තද කරගෙන අකුරු ලිව්වෙ ඒව අත ගා බලමින්. සමහර අවස්ථාවලදි ලියූ අකුරු පේළියට උඩින් තවත් අකුරු පේළියක් ලියපු නිසා එම ලිපි විනාශ වුණා. පසුව රුසියන් බසින් 'ට්‍රාන්ස්පරාන්ට්' ලෙස හැඳින්වෙන කාඩ්බෝඩ් කැබැල්ලක දිග අතට සිදුරු කපා ලියන කඩදාසිය මත තබා සිදුරු ඔස්සේ අකුරු ලියමින් ඔහු තම ජීවිත කතාව රචනා කරා.
ඔස්ත්‍රොව්ස්කි තරුණබව, ආදරය හා සටන ගැන පොතක් ලිව්වා.
වානේ පන්නරය ලැබූ හැටි කෘතිය තුලින් ලෝකයාට නිදහස වෙනුවෙන් කරන සටනට පන්නරයක් ලබා දුන්නා.
"1914-1918 ලෝක මහා යුද්ධය, සිවිල් යුද්ධය, සෝවියට් සංගමයේ ආර්ථිකය යළි ගොඩ නැගීම පසුතලය කරගනිමින් කතුවරයා නව රුසියාවේ තරුණ වීරයා වන පාවෙල් කොර්චාගීන්ගේ සේයාරුව මැනවින් සිත්තම් කරයි. එය අතිශයින්ම යථාර්තවාදී ය, චරිතය උපරිමය ලෙස පැහැදිලිය. ඉමහත් ශක්තියෙන් යුතුව ඔහු සැබෑ ජීවිතයෙන් කොටසක් මනහර ලෙස චමත්කාරජනක හැඟීමකින් යුතුව ඉදිරිපත් කරයි."
~ටයිම්ස් පුවත්පත~
පාසල් යන පාවෙල් පූජකයාගේ පිටි වලට දුම්කුඩු මිශ්‍ර කරනවා. එබැවින් ඔහු පාසලෙන් නෙරපා දමයි. ගිනි උදුම් සේවකයෙකු ලෙස, විදුලි බලාගාර සහයකයෙකු ලෙස, රේල් පීලි සවි කරන්නෙකු ලෙස ඔහු තම ශ්‍රමය මෙහෙයවනවා. දරිද්‍රතාවය සහ සමාජ විෂමතාවය හඳුනාගන්නා පාවෙල් ධනවාදීන්ට වෛර කරන්නට පටන් ගනියි.
ඔහුගේ රළු ස්වභාවය, නුරුස්සනා ගතිය නිසා තෝන්යා ඔහුට ආලය කරනවා. තෝන්යා ඔහුගේ ආදරවන්තිය වෙනවා.. නමුත් කම්කරුවෙකුට ආලය කිරීමට හැකි වූ තෝන්යාට කම්කරු අදහස් වලට ආදරය කරන්නට නොහැකි වෙනවා. මේ නිසා පාවෙල් කොර්චාගින්, තෝන්යා ගෙන් වෙන් වේ.
බලාපොරොත්තු කඩ වීමේ කටුක බව, දුප්පත් කම්කරුවන් විඳනා දුක් සමුදාය ගැන පාවෙල් ඉතා සංවේදී වුණා.
"මෝඩකම නිසා හා තරුණකම නිසාද, හැමටම වැඩියෙන් නොදත්කම නිසාද වැරදි බොහොමයක් කළෙමි." පාවෙල් තමා ගැන සිතුවෙ ඒ අයුරින්.
1935 දී නිකොලායි ඔස්ත්‍රොව්ස්කි හට මෙම කෘතිය වෙනුවෙන් ලෙනින් සම්මානය පිරිනැමුණා. ඔහුගේ දෙවැනි කෘතිය 'Born of the Storm' සහ අවසාන කෘතිය වන්නේ 'Russian Civil War' යන්නයි.
නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ගෙ මෙම ශ්‍රේෂ්ට නව කතාව නිසා ආස්වාදය ලැබූ ප්‍රංශ මහා ගත්කරු රොමේන් රොලාන්, ඔස්ත්‍රොව්ස්කි 'ක්‍රියාශීලිත්වයේ දීප්තිමත් ආලෝකය' ලෙසින් හැඳින්වුවා.
"විප්ලවවාදී යුගයේ ශේෂ්ඨතම කලාත්මක නිර්මාණය එය විසින් බිහි කරන ලද මිනිසුන්ය. නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ඔවුන්ගෙන් කෙනෙකි"
~සෙම්යොන් ත්‍රෙගුබ්~
ශාරීරින පීඩාවන්ට යමෙකුගේ ජීවිතය අඳුරු වළා පටලයකින් වසා දැමිය හැකි වුවත් ඔහුගේ ධෙර්යය, ආධ්‍යාත්මික සංවේදී බව හා හැකියාවන් සදාකාලිකව විනාශ කළ නොහැකිය...
වාර්තාකරුවෙකු දවසක් ඔස්ත්‍රොව්ස්කි ගෙන් මෙසේ ප්‍රශ්නයක් නැගුවා.
"ඔබ නිර්භීත මිනිසෙක්, කොමියුනිස්ට්වාදී අදහස් වලට කැප වීමට ඔබට හැකි වූයේ එම නිර්භීතකම හේතුවෙන්ද?"
"ඔව්"
ඔහු මොහොතකුදු පමා නොවී පිළිතුරු දුන්නේය.
මා කියවූ සිංහල අනුවාදයෙහි..,
කතෘ - දැදිගම වී. රුද්‍රිගු