Showing posts with label මතකයන්. Show all posts
Showing posts with label මතකයන්. Show all posts

July 20, 2014

කාලයත් සමග අමතක වුණු මතකයක්..

හිච්චි කාලෙ අපි හැමෝටම මොකක්හරි විනෝදාංශයක් තියෙන්න ඇති. නොතිබෙන්නත් ඇති.. ඔය පොඩි පන්තිවල ඉන්නකොට ටීචර්ස්ල අපේ නම ගම එහෙම අහනකොට අහන ප්‍රශ්නයක් තමා විනෝදාංශය මොකක්ද කියන එක. පොඩි එවුන් ඉතිං නානප්‍රකාර එව්ව කියනව. විනෝදාංශයක් නැති එවුන් මොකක්හරි බොරුවක් ඇදබාල නිකං ඉන්නවා. ගොඩක් දෙනා කියන්නෙ මුද්දර එකතු කරනවැයි කියල. :D විනෝදාංශ ගත්තාම නානප්‍රකාර එව්ව තියේ. අමුතු අමුතු එව්ව තියේ..

සා.පෙ වලින් පස්සෙ පන්තියෙ හිටිය හොඳම යාළුවො ටික කොළඹ ඉස්කෝලවලට මාරු වෙලා ගියා. ඉතුරු වුණේ පස් හය දෙනෙක් විතරයි.
දැං අවුරුදු දෙකක් ගෙවිලා ගිහිල්ල ඉවරයි. ඔය ඉස්කෝලෙන් ගිය සමහර යාළුවො දෙතුන් දෙනෙක් එක්ක එදායින් පස්සෙ තාම වචනයක්වත් කතා කරන්න බැරි වුනා. වෙන මොකක්වත් හින්ද නෙවේ කන්ටැක්ට් කරගන්න හරියට නම්බර් එකක්වත් ගන්න බැරි වුණු හන්දා. ගොඩක් අය නං නුගේගොඩ ක්ලාස්වලදි මුණගැහුනා. හාපෝ ලියන්න ගත්තාම ඔහේ ලියනව කතාව වෙන පැත්තකට යනව කියල තේරෙන්නෙවත් නෑ.. ! :P

කොහොමහරි ඉතිං පහුගිය දවසක මං මුහුණු පොතේ ඔය ඕපාදූපයක් කියවගෙන ඉන්නකොට මෙසේජ් එකක් ආවා. 
"අඩෝ අසංකයා මාව මතකද?" 
බැලින්නං එ් කාලෙ ළඟින්ම හිටපු පොරක්..එතකොට ඒ යකා බුකියෙ හිටියෙ නෑ නොවැ.. :D
ඔහොම ආ ගිය තොරතුරු කතා කර කර ඉන්දැද්දි මිනිහ එක පාරටම අහපි
"අර මුද්දර පොත් තාම උඹ ගාව තියනවද ?" කියල..
එතකොට තමා මට මතක් වුණේ මං හරි ආදරෙන් එකතු කරපු මුද්දර ටික.. :)
ඇත්තටම ඕ ලෙවල් කාලෙ වෙද්දි මුද්දර එකතු කිරිල්ල අතහැරල දාල තිබ්බෙ. අතහැරල දාල කිව්වෙ ඇත්තටම වෙලාවක් හම්බුන්නෑ ඔය වැඩේට. හතේදි අටේදි විතර තමා ඕක දරුණුවටම ක්‍රියාත්මක වුනේ. අර යාළුවා මාත් එක්ක හය වසරෙ ඉඳන්ම හිටපු යාළුවෙක්. මිනිහට ඒක මතක තිබුණ එක ගැන මට ඇත්තටම පුදුම හිතුණා.   

ඉතිං ඒ ප්‍රශ්නෙ මගෙන් ඇහුවාම මගෙ හිත අතීතයටම ගියා. ඒ මතකයන් ටික එවෙලෙ මට ලබා දුන්නෙ මාරම හැඟීමක්. 
ඒත් කෝ දැන් ඒ ටික....!!? :o 

හොයල බැලින්නං පුංචි කබඩ් කෑල්ලක තිබිල ඒ වස්තු සම්භාරය තිබ්බ විදිහටම හම්බුනා. කිසිම පලුද්දක් නැතිව... :) 



            


ඔය මුද්දර විනෝදය කියල තියෙන්නෙ පොතක්. මුද්දර වර්ග කරන හැටි වගේ ගොඩක් ඒව ඔය පොතේ විස්තර කරල තියෙනවා.

පන්තියෙ හිටපු යාළුවන්ගෙන් කිහිපදෙනෙක්ම ඔය මුද්දර එකතු කරන වැඩේ කරා. ඔය අතරින් මට තමා වැඩිම මුද්දර ගාණක් තිබ්බෙ කියල පුංචි ආඩම්බරයකුත් නැතිවම නෙවේ. 
ඒ කාලෙ තාත්තා වැඩ කරපු තැන බොස් ගෙ ගෙවල් තිබුණෙ බම්බලපිටියෙ. පස්සෙ කාලෙකදි එයා පිටරට පදිංචියට ගියා. බම්බලපිටියෙ ගෙදර ඉතුරු වුණේ එයාගෙ මල්ලි විතරයි. ගොඩක් වයසයි. තාත්තා ඉතිං මාසෙකට දෙවතාවක් විතර එහෙ ගිහිල්ල ගේ සුද්ධ පවිත්‍ර කරල දාල එන්න පුරුදු වෙලා හිටියා. එයත් මුද්දර පිස්සෙක්. මුළු ජීවිත කාලෙම කරල තියෙන්නෙ මුද්දර එකතු කරන එකද මන්ද..ඒ තරමට මුද්දර එයා ගාව තිබුණා. ඔය හින්දම කට්ටිය එයාට කිව්වෙ මුද්දර මහත්තයා කියල.. තාත්තා එහෙ යන යන සැරේට මට දෙන්න කියල මුද්දර පොඩ්ඩක් දෙන්න පුරුදු වෙලා හිටියා. ඔය කාරණාවත් මගෙ මුද්දර එකතුව වැඩි වෙන්න හේතු වුණා.. 

අපි ගොඩක් ආස වුණේ රට මුද්දර එකතු කරන්න. සමහර ළමයි කොහෙං හරි රට මුද්දරයක් හොයාගත්තාම ඒක කාට හරි දීල ලංකාවෙ මුද්දර කිහිපයකට හුවමාරු කරගන්නත් පුරුදු වෙලා හිටියා.  මා ගාව වැඩියෙන්ම රට මුද්දරවලට තිබුණෙ ඕස්ට්‍රේලියාවෙ මුද්දර..



මේ තියෙන්නෙ මුද්දරය නිකුත් කරන්න ඉස්සෙල්ල නිකුත් කරන සමරු කවර


මුද්දර එකතු කිරිල්ල ගැන මතකය අවධි වුණු හන්ද විකිපිඩියා එකත් පොඩ්ඩක් කරකෝල බැලින්නං මුද්දර එකතු කිරීමෙ විනෝදාංශයට 1860 වසර වෙනකං ඉතිහාසයක් තියනවලු... :o 

ඔය මුද්දර එකතු කරන අැල්බම් බුක්ෂොප් වල ගන්න තිබුණා. එතකොට නං ගාණ රුපියල් 300 ක් විතර ඇති. 
ටිකක් විතර පොෂ් වෙන්න ඕන්නං මුද්දර අැල්බම් වල රඳවනකොට එහෙම අල්ලන්න අඬුවක් වගේ එහෙකුත් තියේ.. :P මං ගාවත් තිබ්බා දැංනං ඕක කොහෙද දන්නෑ..ඒ වුනාට ඕකෙං මුද්දර අල්ලන්න ගියාම එපා වෙනවා. අතින් අල්ලන එක ඊට වඩා ලේසියි.. -_-   

                          මේ තියෙන්නෙ ඒ වගේ එකක්..පින්තූරය නෙට් එකෙං..

ලංකාවෙ මුද්දරනං නොයෙකුත් වර්ග වලට බෙදල තියෙනවා. මං වැඩියෙන්ම ආස වුණේ කුරුල්ලන්ගෙ මුද්දර වලට. 



 
                    96 වර්ල්ඩ් කප් එක වෙනුවෙන් නිකුත් කරපු මුද්දරේ.. ^_^ 

කුමාර් ආනන්දන්, පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීම වෙනුවෙන් නිකුත් කරපු මුද්දරය..







       ලංකා තේ ශත සංවත්සරය වෙනුවෙන් නිකුත් කරපු එකක්..

ඔය වගේ ගොඩක් මුද්දර තියේ..ඔක්කොම දාන්න ගියොත් හොඳට හිටී.. -_-


ඉතිං..කාලෙකට පස්සෙ මුහුණ පොතෙන් හම්බවෙච්ච යාළුවෙක් මගේ මතකය අවධි කරේ මේ විදිහට. මේ මුද්දර වලින් මං කොච්චර සතුටක් ලබන්න ඇත්ද කියල හිතාගන්න බෑ.. ඒත් මේක තවදුරටත් කරගෙන යන්න බැරි වේවි මේ කලබල ජීවිතෙත් එක්ක.

සමහර වෙලාවට අතීතය කියන්නෙ ආදරණීය හැඟීම් සාගරයක්... :)





June 13, 2014

කූඩු හැදිල්ල සහ ඇම්ඩන්ගෙ ගැටේ


වෙසක් වලට හදපු වෙසක් කූඩුව වැස්සට තෙමිල කීතු කීතු වලට ඉරිල ගිහිල්ලා. මේ පාර එකයි හැදුවෙ. ඒක හින්ද ලොකුවටම හැදුව. මොනව කරන්නද ඉතිං ඔය දේ තමයි ලෝකෙ වෙනස් වෙන්නැති එකම දේ...

ඔය අතරෙ මට තවත් පාසල් මතකයක් සිහියට ආව. වෙසක් කාලෙට ඉතිං ඉස්කෝල වල වෙන වැඩක් නෙ කූඩු හදන එක. එක අවුරුද්දක අපි හිටපු සෙක්ෂන් එකට භාර දුන්නා වෙසක් වලට ලොකු කූඩුවක් හදන්න. එතකොට අපි දහය වසරෙද කොහෙද. ඔය කාලෙට හෙන ජොලි ලු. මොකද ආයි ඕක හදල ඉවරවෙලා වෙසක් දවසට ලයිට් දාල පත්තු කරල පෙන්නනකං ඉගැන්විල්ලක් නෑනෙ.. :D වෙසක් දවසට සති දෙකක් විතර තියල ඉතිං වැඩේ පටන් ගන්නව. ඔය කිව්වට පළවෙනි දවස් දෙක තුනේ වැඩේ කෙරෙන්නෙ කටින්. කට්ටියක් අටේ නවයෙ පන්ති ගාණෙ ගොහිං මල් කැඩීමේ රාජකාරිය අරඹනව. තවත් කට්ටියක් හිටිය කොඩි ගස් පැනීමේ උණ තියෙන. පන්තියට ටිකක් එහායින් පොඩි පිට්ටනි කෑල්ලක කොස් ගහකුයි කොට්ටං ගහකුයි තිබ්බා. ඔය ගස් දෙක තමා කුණ වුනේ. කුණ කියන්නෙ කොඩි ගස් පනිද්දි ගන්න ගස් දෙකනෙ. :P කොහෙද දැං කාලෙ පොඩි එවුං ඕව දන්නවැයැ. ඕක තමා ඒ කාලෙ අපේ ප්‍රියතම සෙල්ලම. 

ඔහොම ඉඳල දවස් දෙක තුනකිං කූඩුව හැදිල්ල පටන් ගන්නවා. හදන කූඩුව මොන වගේ එකක්ද කොච්චර ලොකුද කියල එහෙම තීරණය කොරල ඉස්සෙල්ලාම හට් එක ගහං ඉන්න ඕන හන්ද ඔය ඉස්කෝලෙට අඩි දෙකේ තුනේ දුරින් හිටපු ළමයිංගෙ ගෙවල්වලිං මන්න, කැති, පොරෝ එහෙම හොයං ඇවිල්ල යනව උණ ගස් ටිකකුයි පුවක් ගහකුයි කපන්න. හංවැල්ල වගේ සුළු නාගරික පැත්තක අපේ ඉස්කෝලෙ, ඒ කියන්නෙ රාජසිංහ මධය විද්‍යාලය තිබ්බත් ඉස්කෝලෙ වටේම තියෙන්නෙ වෙල් යායවල්, මඩ වගුරු, රබර් වතු කෑලි. දහ පහළොස් දෙනෙක් විතර සෙට් වෙලා ගියා ඕං උණ ගස් පඳුරු හොයාගෙන. රටේ නැති වල්පල් දොඩෝ දොඩෝ ගිහිල්ල අන්තිමේදි හොඳ උණ පඳුරක් හොයාගත්තා. සෙට් එකේ හිටිය එකෙක් මෑන් ට කිව්වෙ ඇම්ඩන් කියල. :D මිනිහට ඒ නම හැදිච්ච හැටිනං තාමත් මං දන්නෑ. ඔය කැපිලි කෙටිලි වැඩ වලට මුලින්ම අතගහන්නෙ මිනිහ තමා. ඕං ඉතිං දහ පහළොස් දෙනෙක් ආවට තුන් හතර දෙනෙක් සෙට් වෙලා උණ ගස් ටික බිම පත බාන්න පටං ගත්තා. ටික වෙලාවක් යනකොට නිකං කටු අනිනව වගේ දැනෙන්න පටන් ගත්තා. බැලින්නං උණ ගහක තිබ්බ ලොකු දිමි ගොට්ටක් බිමට පත බෑවිලා ඇවිස්සිලා. කොහොමහරි අන්තිමේදි උණ ගස් හතරක් පහක් කපල උස්සං ආවා. ඔය එන අතරමගදි ගෙවල් වල පාර අයිනට වෙන්න තිබ්බ පේර ගස්වලට එහෙම මුකුත් වුණේ නෑ.!! :D

 තවත් අමතක වෙන්නැති වැඩක් වුණේ පුවක් ගහ කපන්න ගිහිල්ලා. කපන්න ගිය පුවක් ගහ තිබුණෙ ඉස්කොලෙට ළඟින්ම තිබුණ ගෙයක් එහා පැත්තෙ තිබුණ පාළු වත්තක. ඒ ගෙයයි පාළු වත්තයි වෙන් වුණේ කම්බි වැටකින්. ඕකටත් ඉතිං මුල් තැන ගත්තෙ ඇම්ඩන් තමා. පුවක් ගහ තිබුණෙ කම්බි වැටට ළඟින් වෙන්න. පුවක් ගහ කපන්නත් ඕනෙ කම්බි වැට බේරගන්නත් ඕනෙ. ඇම්ඩන් ළඟ තිබ්බ කොස් ගහට නැගල අත්තක් දිගේ ගොහිං පුවක් ගහේ මුදුනෙන් ලණුවක් අරගෙන බැඳල ලණුවෙ අනික් කොන කොස් අත්ත උඩින් පල්ලෙහාට දැම්මා. මිනිහ ගස් බඩ ගාන්නත් හෙන සූරයා. කට්ටිය ලණුව හයියෙන් අල්ලගෙන ඉන්න අතරෙ ඇම්ඩන් පුවක් ගහ කපන්න පටන් ගත්තා. අන්තිම ටික කපාගෙන ඉවර වෙනකොටම ඇම්ඩන් දාපු ගැටේ හොඳකම හින්දම පුවක් ගහ කම්බි වැටත් කඩාගෙන බිමට පත බෑ වුණා. අපේ වාසනාවට ඒ ගෙදර හිටියෙ අහිංසක සීය කෙනෙකුයි ආච්චි කෙනෙකුයි. ඕක හදාගන්න බැරියැ කියල අපිට පුවක් ගහත් අරං යන්න කිව්වා. පස්සෙ ඉතිං කට්ටියම එකතු වෙලා පුවක් ගහ කර තියං කූඩුව හදන තැනටම ගෙනිච්චා. හැබැයි මට මතකයි මට ඉස්සරහිං හිටපු එකා කොටයි. මං හිතන්නෙ මිනිහ පුවක් ගහේ එල්ලිලා ආවෙ. :D 

කූඩුවත් හදල ඉවර වුණා. හුටා..කූඩුව කරකවන්න මෝටරයක් ඕනෙ. ඔය සෙට් එක අතරෙ හිටියා ඔය ඉලෙක්ට්‍රික් වැඩ වලට එහෙම දස්ස හාදයෙක්. කාගෙවත් ගෙදර හොයාගන්න මෝටරයක් තිබ්බෙ නෑ. මිනිහ මොකද කරේ පන්තියෙ එල්ලල තිබ්බ ෆෑන් එක ගලෝල මෝටරේ ගත්තා. කොහොමහරි වෙසක් දවසත් ඉවරවෙලා දවස් දෙකු තුනක් යනකං මේක ටීචර්ස්ලට මාට්ටු වුණේ නෑ. අන්තිමට පන්තියටම අම්බානකට බැනුම් අහන්න සිද්ධ වුණා. 

කූඩුව අලෝල ලයිට් එල්ලන වැඩේ සිද්ධ වුණේ වෙසක් දවසට ඉස්සෙල්ල දවසෙ. ඉස්කෝලෙං පස්සෙ හවස් වෙනකංම හිටියා. ඒ දවස් මතක් වෙනකොටත් හිනා යනවා. කූඩුව අලෝල සැරසිලි දාන එක ඉතිං පිරිමි පාර්ශවේට තිබ්බ රාජකාරියක් නෙවේ නොවැ. අර ඉස්සෙල්ලා කිව්ව කොස් ගහේ වැල ගෙඩියක් තිබුණ. සුවඳේ ඉන්න බෑ. ඕක ඔහොම එල්ලි එල්ලි තියෙද්දි කොහොමද බලං ඉන්නෙ. ඇම්ඩන්ට පිං සිද්ධ වෙන්න ඒ වැල ගෙඩියත් කඩං කෑවා.   
  
ඔහොම කරපු පිස්සු වැඩ ගොඩක් අන්තිමේදි කූඩුවත් හදල ඉවර වුණා. වෙසක් දවසෙ රාත්තිරියෙදි ලයිට් පත්තු කරල කූඩුව ගමේ හැමෝටම පෙන්නද්දි තියෙන සතුට...! කියල නිම කරන්න බෑ...

ඒ වගේ අනන්තවත් සුන්දර මතකයන් ජීවිතේට එකතු කරපු මගෙ පාසලට සමුදෙන්න තියෙන්නෙ තවත් මාස දෙකක් විතරයි...!!




Related Posts Plugin for WordPress, Blogger...