සා.පෙ වලින් පස්සෙ පන්තියෙ හිටිය හොඳම යාළුවො ටික කොළඹ ඉස්කෝලවලට මාරු වෙලා ගියා. ඉතුරු වුණේ පස් හය දෙනෙක් විතරයි.
දැං අවුරුදු දෙකක් ගෙවිලා ගිහිල්ල ඉවරයි. ඔය ඉස්කෝලෙන් ගිය සමහර යාළුවො දෙතුන් දෙනෙක් එක්ක එදායින් පස්සෙ තාම වචනයක්වත් කතා කරන්න බැරි වුනා. වෙන මොකක්වත් හින්ද නෙවේ කන්ටැක්ට් කරගන්න හරියට නම්බර් එකක්වත් ගන්න බැරි වුණු හන්දා. ගොඩක් අය නං නුගේගොඩ ක්ලාස්වලදි මුණගැහුනා. හාපෝ ලියන්න ගත්තාම ඔහේ ලියනව කතාව වෙන පැත්තකට යනව කියල තේරෙන්නෙවත් නෑ.. ! :P
කොහොමහරි ඉතිං පහුගිය දවසක මං මුහුණු පොතේ ඔය ඕපාදූපයක් කියවගෙන ඉන්නකොට මෙසේජ් එකක් ආවා.
"අඩෝ අසංකයා මාව මතකද?"
බැලින්නං එ් කාලෙ ළඟින්ම හිටපු පොරක්..එතකොට ඒ යකා බුකියෙ හිටියෙ නෑ නොවැ.. :D
ඔහොම ආ ගිය තොරතුරු කතා කර කර ඉන්දැද්දි මිනිහ එක පාරටම අහපි
"අර මුද්දර පොත් තාම උඹ ගාව තියනවද ?" කියල..
එතකොට තමා මට මතක් වුණේ මං හරි ආදරෙන් එකතු කරපු මුද්දර ටික.. :)
ඇත්තටම ඕ ලෙවල් කාලෙ වෙද්දි මුද්දර එකතු කිරිල්ල අතහැරල දාල තිබ්බෙ. අතහැරල දාල කිව්වෙ ඇත්තටම වෙලාවක් හම්බුන්නෑ ඔය වැඩේට. හතේදි අටේදි විතර තමා ඕක දරුණුවටම ක්‍රියාත්මක වුනේ. අර යාළුවා මාත් එක්ක හය වසරෙ ඉඳන්ම හිටපු යාළුවෙක්. මිනිහට ඒක මතක තිබුණ එක ගැන මට ඇත්තටම පුදුම හිතුණා.
ඉතිං ඒ ප්‍රශ්නෙ මගෙන් ඇහුවාම මගෙ හිත අතීතයටම ගියා. ඒ මතකයන් ටික එවෙලෙ මට ලබා දුන්නෙ මාරම හැඟීමක්.
ඒත් කෝ දැන් ඒ ටික....!!? :o
හොයල බැලින්නං පුංචි කබඩ් කෑල්ලක තිබිල ඒ වස්තු සම්භාරය තිබ්බ විදිහටම හම්බුනා. කිසිම පලුද්දක් නැතිව... :)
ඔය මුද්දර විනෝදය කියල තියෙන්නෙ පොතක්. මුද්දර වර්ග කරන හැටි වගේ ගොඩක් ඒව ඔය පොතේ විස්තර කරල තියෙනවා.
පන්තියෙ හිටපු යාළුවන්ගෙන් කිහිපදෙනෙක්ම ඔය මුද්දර එකතු කරන වැඩේ කරා. ඔය අතරින් මට තමා වැඩිම මුද්දර ගාණක් තිබ්බෙ කියල පුංචි ආඩම්බරයකුත් නැතිවම නෙවේ.
ඒ කාලෙ තාත්තා වැඩ කරපු තැන බොස් ගෙ ගෙවල් තිබුණෙ බම්බලපිටියෙ. පස්සෙ කාලෙකදි එයා පිටරට පදිංචියට ගියා. බම්බලපිටියෙ ගෙදර ඉතුරු වුණේ එයාගෙ මල්ලි විතරයි. ගොඩක් වයසයි. තාත්තා ඉතිං මාසෙකට දෙවතාවක් විතර එහෙ ගිහිල්ල ගේ සුද්ධ පවිත්‍ර කරල දාල එන්න පුරුදු වෙලා හිටියා. එයත් මුද්දර පිස්සෙක්. මුළු ජීවිත කාලෙම කරල තියෙන්නෙ මුද්දර එකතු කරන එකද මන්ද..ඒ තරමට මුද්දර එයා ගාව තිබුණා. ඔය හින්දම කට්ටිය එයාට කිව්වෙ මුද්දර මහත්තයා කියල.. තාත්තා එහෙ යන යන සැරේට මට දෙන්න කියල මුද්දර පොඩ්ඩක් දෙන්න පුරුදු වෙලා හිටියා. ඔය කාරණාවත් මගෙ මුද්දර එකතුව වැඩි වෙන්න හේතු වුණා..
අපි ගොඩක් ආස වුණේ රට මුද්දර එකතු කරන්න. සමහර ළමයි කොහෙං හරි රට මුද්දරයක් හොයාගත්තාම ඒක කාට හරි දීල ලංකාවෙ මුද්දර කිහිපයකට හුවමාරු කරගන්නත් පුරුදු වෙලා හිටියා. මා ගාව වැඩියෙන්ම රට මුද්දරවලට තිබුණෙ ඕස්ට්‍රේලියාවෙ මුද්දර..
මේ තියෙන්නෙ මුද්දරය නිකුත් කරන්න ඉස්සෙල්ල නිකුත් කරන සමරු කවර
මුද්දර එකතු කිරිල්ල ගැන මතකය අවධි වුණු හන්ද විකිපිඩියා එකත් පොඩ්ඩක් කරකෝල බැලින්නං මුද්දර එකතු කිරීමෙ විනෝදාංශයට 1860 වසර වෙනකං ඉතිහාසයක් තියනවලු... :o
ඔය මුද්දර එකතු කරන අැල්බම් බුක්ෂොප් වල ගන්න තිබුණා. එතකොට නං ගාණ රුපියල් 300 ක් විතර ඇති.
ටිකක් විතර පොෂ් වෙන්න ඕන්නං මුද්දර අැල්බම් වල රඳවනකොට එහෙම අල්ලන්න අඬුවක් වගේ එහෙකුත් තියේ.. :P මං ගාවත් තිබ්බා දැංනං ඕක කොහෙද දන්නෑ..ඒ වුනාට ඕකෙං මුද්දර අල්ලන්න ගියාම එපා වෙනවා. අතින් අල්ලන එක ඊට වඩා ලේසියි.. -_-
මේ තියෙන්නෙ ඒ වගේ එකක්..පින්තූරය නෙට් එකෙං..
ලංකාවෙ මුද්දරනං නොයෙකුත් වර්ග වලට බෙදල තියෙනවා. මං වැඩියෙන්ම ආස වුණේ කුරුල්ලන්ගෙ මුද්දර වලට.
කුමාර් ආනන්දන්, පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීම වෙනුවෙන් නිකුත් කරපු මුද්දරය..
ලංකා තේ ශත සංවත්සරය වෙනුවෙන් නිකුත් කරපු එකක්..
ඔය වගේ ගොඩක් මුද්දර තියේ..ඔක්කොම දාන්න ගියොත් හොඳට හිටී.. -_-
ඉතිං..කාලෙකට පස්සෙ මුහුණ පොතෙන් හම්බවෙච්ච යාළුවෙක් මගේ මතකය අවධි කරේ මේ විදිහට. මේ මුද්දර වලින් මං කොච්චර සතුටක් ලබන්න ඇත්ද කියල හිතාගන්න බෑ.. ඒත් මේක තවදුරටත් කරගෙන යන්න බැරි වේවි මේ කලබල ජීවිතෙත් එක්ක.
සමහර වෙලාවට අතීතය කියන්නෙ ආදරණීය හැඟීම් සාගරයක්... :)

