Showing posts with label රස්තා. Show all posts
Showing posts with label රස්තා. Show all posts

January 20, 2017

ඇල්ල කඳු මුදුනට | To Ella Summit

ඈත දුර රටක කුඩා චමරියක ගත වෙන නීරස ජීවිතයට සංචාරකයා මොහොතකට සමු දුන්නා. හිතේ හැටියට සැරිසරන්න තැන් බොහොමයි. නිවාඩුව කෙටියි.!

දිනය 2016 දෙසැම්බර් 16.

කොටුව දෙසට ඇදෙන බස් රථයක එල්ලුණ මං රාත්‍රී 7.50 ට කොටුව දුම්රිය ස්ථානය අසල. මං බදුල්ලට යන රාත්‍රී තැපැල් දුම්රියට ගොඩ වුණා. ගමනාන්තය කිතල් ඇල්ල දුම්රිය ස්ථානය. හැමදාමත් වගේ මේ හුදෙකලා රස්තියාදුකාරයට ගමන් සගයා වුණේ මගේ ආදරණීය කැමරාව විතරමයි..

කෝච්චි ගමන ඇතැම් විට වෙහෙස කරයි. ඒත් නිදහස්. බසයක එල්ලුනොත් පැය 5 කට ආසන්න කාලයකින් ළඟා වෙන්න හැකි දුරක් මම මේ පැය 11 ක් පමණ රේල් පීලි දෙකක් උඩ ගෙවා දමන්න සැරසෙන්නෙ. මං පාපුවරුවට ගොඩ වුණා. ඇඟේ හිරිගඩු නංවන උඳුවප් සීතල සුළඟ. ටික වෙලාවකින් කොංගො සද්දෙත් එක්ක හොඳ සිංදු වගයක් කියවෙන්න පටන් ගත්තා. මේ  අවස්ථාව එනකං තමයි මාත් බල බල හිටියෙ...!

පහුවදා හිමිදිරි උදේ මං ඇල්ල දුම්රිය ස්ථානයෙන් කෝච්චි ගමනට සමු දෙනකොට වෙලාව 7.00 ට පමණ ඇති. රේල් පාර දිගේ ආපසු කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දෙසට මං ඇවිදන් යන්න පටන් ගත්තා. මගේ ගමනාන්තය ඇල්ල කඳු මුදුන.!

රේල් පාර දිගේ යනකොට හමුවුණු සීයා කෙනෙක්ගෙන් පාර අහගත්තු මං බෝ ගහක් අසලින් වැටී තිබුණු අඩි පාරක් දිගේ මගේ ගමන ආරම්භ කරා. පුංචි දිය පාරක් මතින් වැටිල තිබුණ පාලමකින් එතෙර වුණාම හමුවුණේ විශාල මාන පඳුරු යායක්. පුංචි පුංචි අඩි පාරවල් හැම පැත්තටම. නිණව්වක් නැතිවම කන්ද දෙසට ඇදෙන අඩි පාරක් දිගේ මං ගමන් කරා. මාන පඳුරු යායෙන් බේරිච්ච මං පුංචි තේ වත්තක් මැද. තවත් හිතවත් ගැමියෙක්ගෙන් මාර්ගය ගැන අවබෝධයක් ගත්තු මං කඳු මුදුන දෙසට ඇදුනා.


බැක්පැක් එකේ බර, ගමන් වෙහෙස, මනස්කාන්ත හරිත වන දනව්, බඩගින්න, පිපාසය, නැවුම් සුළඟ. මේ ඔක්කොම එකතු වෙන්න ඕනෙ නියම සංචාරයකට.  

මද දුරක් තැනිතලා භූමියකුත් පසු කරගෙන ඉදිරියට ඇදුණ මට දර්ශනය වුණා ඇල්ල කඳු මස්තකය. ඊට මුහුණලා තියෙන පුංචි ශ්‍රී පාදයත්. මේ කන්දට පුංචි ශ්‍රී පාදය කියන්නෙ එය සමනළ කන්දෙ හැඩයට බොහෝ අතින් සමාන නිසා. වතුර පිපාසාව නිවාගන්නට මොහොතකට මං නතර වුණා. 


තවත් විනාඩි කිහිපයක ගමනකින් පසු හමුවෙන අඩි පාර තරමක් බෑවුම් සහිත මාර්ගයක්. පොළොව තෙත බරිත නිසා තරමක් ලිස්සන සුළුයි. 


අවසන මං කඳු මුදුනට ළඟා වුණා. මුළු ගමනට ගත වෙලා තිබුණා පැය එක හමාරකට ආසන්න කාලයක්. හෙමි හෙමින් වැටෙන අව් රශ්මියත් එක්ක මීදුම අතරින් දිස් වෙන දර්ශනය ගොඩක් ලස්සනයි. පහළට ගැඹුරු ප්‍රපාතය. එතැන පොඩියට වෙළඳාමක් කරපු ගැමියෙක්ගෙන් තේ කහට කෝප්පයක් ගත්තු මං තුඩුවෙ කෙළවරටම ළං වුණා. 
මේ කඳු හුස්ම ගන්නවා. මටත් දැනෙනවා..මම හුස්ම ගන්නවා.!




















July 13, 2014

කඳු නැගිල්ල

පොඩි රස්තියාදුවක්..

ගිය බදාදා හවස කලාතුරකින් රින්ග් වෙන මගේ ෆෝන් කට්ටට කෝල් එකක් ආවා.. :D (මෙසේජ් එකක් ආවත් එන්නෙ මොබිටෙල් එකෙං)

"අඩෝ මේ පොඩි ගමනක් යන්ද ?"
"කොහෙද බං ?"
"කොරතොට පන්සලට ටිකක් එහා තියෙන ගල් වල ගාව කන්ද.."
"ඉතිං.."
"දැක්කාම නිකං කිචි කිචි වගේ..නඟිමුද කියහං"
"මොන කඳුද බං..වහින්නත් එනවා.."
"වරෙංකො.."
"අද බෑ ඕයි..මේ පොතක් හම්බුනා බං..හෙට බලමු."

ඕං ඔහොමයි කන්ද නගින්න තීරණය කර ගත්තෙ.. 
මේකගෙ නම චමත්. ඉස්කෝලෙ ඉන්න හැම කෙල්ලෙක්ගෙම සම්පූර්ණ දත්ත මුගෙ ඔලුවෙ තියනවා. 



උදේ අට වෙනකොට යං කියල කිව්වාට මේකා එනව කියල කෝල් එක දෙනකොට නවය විතර ඇති..කිව්වට මොකෝ මේ නිදිකුම්බරයා කොල් එක දුන්නාම තමා මටත් ඇහැරුණේ.. :D  (ආ එතකොට නිදිකුම්බරයො දෙන්නයි නෙහ්)
කොහොමහරි කැමරාවත් ලෑස්ති කරන් ගෙදර තිබ්බ රෝද තුනත් අරගෙන (ස්පෙයාර් වීල් එකත් එක්ක හතරයි) මෑන්වත් දාගෙන කොරතොටට ගියා..බයිසිකලෙන් ගමන යන්න ආස වුණාට කොහෙද ඉතිං අනික් එකාගෙ පුටාර් එක කැඩිල.. 
ගිහිල්ල ත්‍රීවීල් එක පන්සලෙන් දාල පයිං ගෑටුවා කන්ද ගාවට. හොයල හොයල අන්තිමේදි කන්ද උඩට නගින්න පාරක් හොයාගත්තා. කොයිකටත් ගල් වලේ වැඩ කරන මාමා කෙනේක්ගෙන් අැහුවා. මුං අපි නගිනකං ඉඳල බෝර දාන්න පටන් ගත්තොත් එහෙම. ආයි බෝර දාන්නෙ හවස එකටලු. පුපුරවන්න ඉස්සෙල්ලා නලා හතරක් පිඹිනවලු. 
අපිත් ඉතිං බණ්ඩාර හැටහත්කට්ටුවක පිහිට ආරක්සාවයි කියල හිතාගෙන කන්ද නගින්න පටන් ගත්තා. සෙරෙප්පු දෙකක් දාං ආව එකේ ඵල විපාකෙ තේරෙන්නෙ කන්ද නගිනකොට. ලිස්සනවා ලිස්සනවා ඉවරයක් නෑ. අන්තිමේදි යටි පතුල් දෙකට අබ සරණයි කියල හිතාගෙන සෙරෙප්පු දෙක ගත්තා අතට. මහලොකුවට කඳු නගින්න ආවට අරූ වතුර බෝතලයක්වත් ගෙනල්ල නෑ.. -_- 
අම්මා බලෙං මගෙ බෑග් එකට වතුර බෝතලයක් එබුව හින්ද හොඳට ගියා.

පොඩි පොඩි ගස්වල අතු අයින් කර කර කන්දෙ පළවෙනි ටික නැග්ගට පස්සෙ තමා අමාරුම හරිය හම්බුණේ. පොඩි පොඩි ගල් පර්වත බඩගාගෙන, කටු පඳුරු අස්සෙන් රිංග රිංග යනකොට එපා වෙනවා. හැබැයි එතකොට තමා මරු.. ^_^ 

ඔහොම යනකොට චමතා එකපාරටම අතින් නවතින්න කියල සිග්නල් එකක් දුන්නා. කොළ පොඩි වෙන සද්දයකුත් ඇහුණා. 
"අඩෝ වල් ඌරො ඉන්නවද දන්නෑ.." 
"මේ පැත්තෙ කොහෙද යකෝ වල් ඌරො.."

කටට ආපු එක කියල දැම්මට හාරල තිබ්බ පොඩි පොඩි ගුහා ටිකකුත් දැක්කා.. 

බඩගාල බඩගාල අන්තිමේදි කන්ද උඩ ගල් තලාවට ආවා.. උඩට කොරතොට පන්සලේ අලුතෙන් හදන ලොකු බුදු පිළිමෙ පේනවා..


මාර හුළඟක් තියෙන්නෙ.. ගල් තලාව උඩ පැයක් විතර හිටියා. 



                               මේ තියෙන්නෙ බෝවිටියා මල් කියල තමා අර මහදැනමුත්තා කීවෙ...

සංචාරක තෙමේ පොඩ්ඩක් ඇහැ කරකෝල බැලින්නං මෙතෙන්ට කොළඹ වරායත් පේනවා.. කැමරාව අංශක 180 ක්ම කරකෝල ගත්ත ෆොටෝ දෙක තුනක්, ගෙදර ගිහිල්ල ෆොටෝෂොප් දෙයියංගෙ පිහිටෙන් පැනරෝමාවක් හදන්න..  


කන්ද උඩ සිග්නල් ටවර් එහෙකුත් තියේ.. චමතා කිව්ව එතෙන්ටත් යං කියල..ටවර් එකේ ඉතිං මොනව බලන්නද..ඔන්න ඔහෙ එතෙන්ටත් ගිහිල්ල ආවා. එන ගමන් සමනළ්ලු කිහිපදෙනෙක් දැක්කත් සංචාරකයා ගාව තියන 18-55 ලෙන්ස් එකත් එක්ක උංගෙ ෆොටෝ ගන්නව බොරු..හෙමින් සීරුවෙ ෆොටෝ එකක් ගන්න බැලුවත් ළඟට එද්දි ටක්ගාල පියාඹලා යනවා..සමනළ්ලු දහ පහළොස් දෙනෙක්ම මං ගාවට ඇවිල්ල කින්ඩිය දාල පියාඹලා ගියා.. අන්තිමේදි අල්ලගත්තෙ කොහෙදෝ ඉඳං කඩං පාත් වෙච්ච බත් කූරෙක් විතරයි.


එකට විතර බෝර දානව කිව්ව හන්ද හෙමින් හෙමින් කන්ද බහින්න පටන් ගත්තා.. ආපු පාර හොයාගන්න බැරුව එකම අඩි පාරවල් ටිකේ කැරකි කැරකි ඉඳල තමා අන්තිමේදි පල්ලං බහින්න මාර්ගයක් හොයාගත්තෙ.. 

ෆෝන් කට්ටෙන් ගත් සංචාරක තුමාගෙ ෆොටෝ කෑල්ලක්... 





 භාගයක් දුර ආපහු එනකොට මෙන්න බොලව් දඩාං ගාල පොළොව දෙදරන සද්දයක් ඇහුණා.. චමත ෆෝන් එකෙං වෙලාව බැලුවා. තාම එකට නෑ. මුං දැම්මම බෝර දානවද. ගහපු නළාවකුත් නෑ.. එවෙලෙ නං පොඩි බයකුත් දැනුණා. ඇයි යකෝ ගල් කෑල්ලක් පත බෑ වුණොත් එහෙම මළ කෙළියයි..කොයිකටත් අඩිය ඉක්මන් කරා. කඳු නගින වැඩේට වඩා අමාරුයි බහින වැඩේ. ඒ මදිවට සෙරෙප්පුවත් කැඩිල ගියා. 

බෝර තුන හතරක් විතර දාපුවාම ආයි සද්දයක් ආවේ නෑ.. අන්තිමේදි මාර ගේමක් දීල කන්ද පාමුලට බැස්සා. ආපහු යන්න පාර තිබුණෙ ගල්වල ගාවින්. මිනිස්සු කවුරුත් පේන්න හිටියෙත් නෑ.. ඒ ළඟින් යනකොටම බෝරයක් පිපිරුවොත් එහෙම.. ඈතට වෙලා යන්න වෙනිං පාරක් තියේද කියල බලද්දි ඈතින් මිනිස්සු තුන් හතර දෙනෙක් ආපහු වැඩ කරන්න එනව දැක්කා.. ඒ කියන්නෙ පුපුරෝල ඉවරයි..එතකොට තමා ඇඟට ලේ ටිකක් ඉනුවෙ..

මේ තියෙන්න ඔය කියපු ගල් වල.. 



කොහොමහරි ත්‍රාසජනක (එහෙමද මන්ද) චාරිකාවකින් පස්සෙ පන්සලට ආවා. 

මේ බුදු පිළිමය තමයි අර කන්දට පෙනුණෙ..
 
  
කොරතොට රජමහා විහාරය කියන්නෙ ගොඩක් ඓතිහාසික ස්ථානයක්. ලෙන් ලිපි ගණනාවක්ම තියනවා.. කටාරං කොටපු ගල් ගුහා කිහිපයකුත් තියනවා. 

අන්තිමේදි යාළුවගෙ ගෙදෙරට ගිහිල්ල බත් වේලකුත් සප්පායම් වෙලා ගෙදර එනකොට හවස පහ විතර ඇති.
කකුල් දෙකටනං හොඳ ගණං.. 












   
 

March 17, 2014

රාජාලියන්ගෙ හොටෙල් කැලිෆෝනියා | Eagles' Hotel California

Eagles

1971 දි ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් නුවරින් Eagles නමින් බිහි වුණු සංගීත කණ්ඩායම වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ 1976 වර්ෂයෙදි නිර්මාණය වුණු Hotel California ගීතයත් සමගින්.
හොටෙල් කැලිෆෝනියා රචනා කරේ ඊගල් සංගීත කණ්ඩායමේ ම සගයන් තිදෙනෙකු වන Don Felder, Don Henley සහ Glenn Frey විසින්. 

" මේ ගීතය තුලින් අර්ථ දැක්වීමට උත්සහ කෙරුණෙ ධනවාදී ඇමරිකානු සිහිනයේ අඳුරු යටිබඩ සහ දුරාචාරය ගැන. ලොස් ඇන්ජලීස් නුවර ධනවතුන්ගෙ ධනවාදී ජීවිතය."
                                                                  ~Don Henley~
' Mirrors on ceiling, 
The pink champagne on ice '

හොටෙල් කැලිෆෝර්නියා ගීතයේ ගැබ් වී තිබුණු අදහස පිළිබඳ ලෝකයේ බොහෝ මතිමතාන්තර නිර්මාණය  වුණා. 
ඇතැමුන් පැවසුවෙ හොටෙල් කැලිෆෝනියා තුලින් පැවසීමට උත්සහ කරන්නෙ යක්ෂයා ඇදහීම පිළිබඳව බවයි. 

' They stab it with their steely knives,
 But they just can't kill the beast '

ගීතය නිර්මාණය වුණු මුල් කාලයේ බොහෝ දෙනා විශ්වාස කරේ මෙම ගීතය California සංචාරක හෝටලයේදී ගායනා කරනු ලැබූවක් බවයි. නමුත් සත්‍ය වශයෙන්ම එවන් සංචාරක හෝටලයක් එම වකවානුවේදී තිබී නැහැ. 

" අපි රාත්‍රියෙදි රිය පදවාගෙන ලොස් ඇන්ජලීස් නුවරට පැමිණෙනවා. එවිට ඔබට දකින්න පුලුවන් ලොස් ඇන්ජලීස් වල ක්ෂිතජයේ දිලිසෙන විදුලි බුබුළු වල ආලෝකය. ඒත් එක්කම අපේ මනසට එන්නේ ධනවතුන්ගේ සුපෝබභෝගි ජීවිත, හොලිවුඩ් පුරවරය සහ අපේ සියලුම හීන.. හොටෙල් කැලිෆෝනියා ලියවුණෙත් ඒ ආකාරයට "
                                                                  ~Don Felder~
කෙසේ නමුත් හොටෙල් කැලිෆෝනියා යනු හදවතට කතා කරන ගීතයක්.. 


February 26, 2014

මගේ ෂර්ලොක් හෝම්ස් පිස්සුව | My Sherlock Holmes Mania


මම ෂර්ලොක් හෝම්ස් කතා රස විඳින්න පටන් ගත්තෙ 2008 අවුරුද්දෙ ඉඳන් වගේ. අහඹු විදිහට පොත් කඩයකින් හම්බුණු ෂර්ලොක් හෝම්ස් පොතක් ගෙදර අරගෙන ඇවිල්ල කියෙව්වා. එදා ඉඳන් වැළදුනු මේ පිස්සුව තාමත් තියෙනවා. අදටත් අලුතෙන් ෂර්ලොක් හෝම්ස් පොතක් තියනව දැක්කොත් ආතර් කොනල් ඩොයිල් ගෙ කතාවක පරිවර්තනයක් වුනත්, නොවුනත් අනිවාර්යෙන් ගෙනල්ල කියවනවා. 

ෂර්ලොක් හෝම්ස් කතා මාලාව රචනා කරේ ශ්‍රීමත් ආතර් කොනල් ඩොයිල් නම් වෛද්‍යවරයා විසින්. මුල්ම කතාව රචනා කරේ 1887 වර්ෂයෙදි. 
ඒ A Study in Scarlet නම් දීර්ඝ කතාවයි. 
කොනල් ඩොයිල් විසින් රචනා වුණු මුලු ෂර්ලොක් හෝම්ස් කතා ගණන 60 කි. ඉන් හතරක් නවකථා. ඉතිරි පනස් හය කෙටි කතා යි.

#නවකථා 4    
       01. A Study in Scarlet (1887)
       02. The Sign of the Four (1890)
       03. The Hound of the Baskervilles (1901)
       04. The Valley of Fear (1914)

#ඉතිරි කෙටි කතා 56 පොත් 5 ක අඩංගුයි.
       01. The Adventures of Sherlock Holmes (1892)
       02. The Memoirs of Sherlock Holmes (1894)
       03. The Return of Sherlock Holmes (1905)
       04. His Last Bow (1917)
       05. The Case Book of Sherlock Holmes (1927)

එංගලන්තයෙන් උපත ලද මේ රහස් පරීක්ෂක චරිත 2 වැඩි කල් නොගොස්ම ලොව ඉතාමත් ජනප්‍රිය වුණා. ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන් මනඃකල්පිත චරිත දෙකක් වුණත් ලොව ප්‍රසිද්ධම ලිපිනය ලෙස ප්‍රකට වෙලා තියෙන්නෙ හෝම්ස් ජීවත් වුණු 
221B, Baker Street, London. යන ලිපිනය. උන්මාදය කෙතරම්ද කිව්වොත් මේ ලිපිනයට හෝම්ස් ගෙ නමට ලියුම් පවා පැමිණුනාලු. එදා මේ ලිපිනය අනුව එතන තිබුනෙ බැංකුවක් බවයි සඳහන් වෙන්නෙ. පසුව එම ස්ථානයේ ෂර්ලොක් හෝම්ස් නමින් ‍කෞතුකාගාරයක් ඉදි වුණා. 
ශ්‍රී ලංකාවෙ ෂර්ලොක් හෝම්ස් කතා සිංහල පරිවර්තන පොත් බොහොමයක් තිබුණත් ඉන් වඩාත් ප්‍රචලිත චන්දන මෙන්ඩිස් මහතා ගෙ පරිවර්තන පොත් පෙළයි. 
ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන් පොත් වලට සීමා නොවී හෝම්ස් ඇසුරෙන් වේදිකා නාට්‍ය, චිත්‍රපටි පමණක් නොව රූපවාහිනී කතා මාලා පවා නිර්මාණය වුණා.

මේ අතරින් මම වැඩියෙන්ම ආස නව්‍යකරණයට ලක් වුණු 21 වෙනි සියවසේ ෂර්ලොක් හෝම්ස් ප්‍රබන්ධයක් වන BBC රූපවාහිනී චැනලය මගින් නිෂ්පාදනය වුණු SHERLOCK රූපවාහිනී කතා මාලාවට. කොනල් ඩොයිල් ගෙ නිර්මාණ වලින් තරමක් වෙනස් වුවත් ඉතා ආසාවෙන් බලන්න පුලුවන්. මෙහි හෝම්ස් ගේ චරිතය ඉතා දක්ෂ නළුවෙක් වෙන Benedict Cumberbatch විසිනුත් වොට්සන් ගේ චරිතය Martin Freeman විසිනුත් රඟපානවා.

ඇත්තටම මේක ඇබ්බැහි වුණු උණක්..!!     

Related Posts Plugin for WordPress, Blogger...