July 25, 2014

පෘතුගීසී කාරයා..රටවල් අල්ලන්න සූරයා..

"අපගේ කොළොම්තොටට ඉතා සුදු පැහැය ඇති ජාතියක් පැමිණ සිටිති. ඔවුහු බොහෝ රූපශ්‍රීයෙන් යුක්තව යකඩ හැට්ට ඇඟලා ගෙන, යකඩ තොප්පි හිස ලා ගෙන විගසක් එක තැනක නොසිට සක්මන් කරන්නාහ. සුදුගල් සපා කමින් ලේ බොන්නාහ. එක මාළු කූරියාට, එක දෙහි ගෙඩියට රන් රිදී දෙක තුන බැගින් දෙන්නාහ. ඔවුන්ගේ තුවක්කු උණ්ඩය ගවු ගණන් ගොසින් වන් කළ යුගන්ධර පර්වතය පවා පොඩි වන්නේය.."

  
ලංකාව මුල්ම වතාවට යටත් විජිතයක් බවට පත් කරපු පරංගින් කොළඹට ගොඩ බැස්ස වෙලාවෙ කොළොම්පුර වැසියන් ඒ ගැන රජ්ජුරුවන්ට දන්වල තිබුණ හැටි රාජාවලියෙ ලියැවිලා තියෙන්නෙ ඔය විදිහට. ඔය සුදුගල් කියන්නෙ පාන් වලට. ලේ බොනවැයි කියන්නෙ වයින් වලට. නැත්තං හිතයි ඩ්‍රැකියුල ගෙන් පැවත එන ජාතියක් කියල :D
 හෙහ් හෙහ්...

පෘතුගීසි කාරයා ලංකාවට ආවේ අහම්බෙන්. මාලදිවයන පැත්තට යාත්‍රා කරනකොට කුණාටුවකට හසු වෙලා, වාර්තාවලට අනුව දවස් 18 කට පස්සෙලු ගාලු වරායට ඇවිල්ලා තියෙන්නෙ. ගාලු වරායට සේන්දු වුනාම පස්සෙ තමයි දැනගෙන තියෙන්නෙ මේ ඇවිල්ලා තියෙන්නෙ නමින් විතරක් දැනගෙන උන්නු සිලෝන් දිවයිනට බව. ඒ කාලෙ ලංකාව කුරුඳු, අලි ඇතුන් සහ වෙළඳ ද්‍රව්‍ය වලට බොහොම ජනප්‍රියයිලු. මේ පෘතුගීසි නැව් කණ්ඩායමේ නායකයා ලොරෙන්සෝද අල්මේදා (Don Lourence da Almeda) කියන සෙන්පතියා. 


කරුණු කාරණා ටිකක් දැනගත්තට පස්සෙ අල්මේදා ප්‍රමුඛ නැව් කණ්ඩායම රජ්ජුරුවන්ව හම්බවෙන්න කොළඹ පැත්තට යාත්‍රා කරනවා. එතකොට රජ්ජුරුවො හත්වැනි පරාක්‍රමබාහු. හිටියෙ කෝට්ටෙ අගනුවරෙනෙ. 1505 නොවැම්බර් 15 වැනිදා තමයි කොළඹ වරායට ඇවිල්ලා නැංගුරම් දාන්නෙ. එතකොට තමයි ඔය පටන් ගන්න කොටම කිව්ව වගේ කාලතුවක්කු පත්තු කරල තියෙන්නෙ අපි ආවෝ කියල දැනුම් දෙන්න.. :D 

මේ බව දැනගත්තු පෘතුගාල අධිරාජයා හෙන සතුටු වුණා. මොකද ලංකාවෙ තියෙන මුළු සේසතම මොකක්හරි ජිල්මාට් එකක් දාල එහෙට අදින්න පුළුවන්නෙ. පාප්තුමා ප්‍රමුඛ කාදිනල් සභාව මේ පණිවිඩය සමරන්නට රෝම නගරයෙ විශේෂ පෙරහැරක් පවත්වලා වතිකානුවෙ අතිවිශේෂ යාඥාවකුත් සංවිධානය කරාලු. 

කොළඹට ළඟා වුණු පරංගියා සිහිවටනයක් හැටියට මුහුද වෙරළ ආසන්නයෙ තිබුණු ගල් පර්වතයක පාතුගීසී රාජ්‍ය ලාංඡනයයි වර්ෂයයි සටහන් කරා. 


මේ ගල් පර්වතේ ඉංග්‍රීසීන් මේ රට පාලනය කරන කාලෙදි වරාය පුළුල් කරන වැඩ කටයුතු වලදි පස් හාරනකොට හම්බවෙලා රජ ගෙදර ළඟ තියෙන ගෝර්ඩන් උද්‍යානයෙ තැන්පත් කරාලු. දැන්නං ඒ ගල් පර්වතේ ස්මාරකයක් හැටියට කොළඹ වරායෙද කොහෙද තියෙනවා.

ලොරෙන්සෝද අල්මේදා එහෙම එකපාරටම රජතුමාව හමුවෙන්න ගියෙ නෑ. ඉස්සෙල්ලාම පිටත් කරේ ෆර්නාඩ් කොට්රිම් කියන කපිතාන්ව දූතයෙක් විදිහට. එන පොට හොඳ නැහැයි කියල දැනගත්තු ෆර්නාඩ් ව රජ මාළිගාවට එක්කන් ගිය මිනිස්සු ෆර්නාඩ්ව කෝට්ටෙ නුවරට රැගෙන ගියේ වෙන පාරකින්. මයිල 6 ක දුර ගෙවා දැමීමට දින තුනක් ගත කරාලු. :D ඔය සිද්ධියෙන් තමයි "පරංගියා කෝට්ටෙ ගියා වගේ" කියල ප්‍රස්ථා පිරුළක් හැදුනෙ. 

කොහොමින් කොහොමහරි දෙගොල්ලොම කතා බස් කරගෙන ලංකාවෙ වරායන් සතුරන්ගෙන් ආරක්ෂා කරල දෙන්න පෘතුගීසින් පොරොන්දු වුණා. ඒ වෙනුවට ලංකාවෙන් ඔවුන්ට අවුරුද්දකට කුරුඳු බහාර් 400 ක්  (ටොන් 60 ක්) ගෙවීමට රජතුමා පොරොන්දු වුණා. ගබඩා සංකීර්ණයක් අවශ්‍ය වෙන හින්ද නිරිත දිග දිය කඩනය අසල වෙළඳ ගබඩාවකුත් හැදුවා රජ්ජුරුවන්ගෙන් අවසර අරගෙන. 
තම ආගම ඇදහීමට ඒ අසලින් අල්මේදා ගෙ පෞද්ගලික සාන්තුවරයා ගෙ නමට පල්ලියක් ඉදි කරා. 

ඒත් අරාබි වෙළදුන් පෘතුගීසින් වෙළඳ ගබඩාවක් හදන එකට විරුද්ධ වුණා. ඒ වෙනකොට එ් පෙදෙසෙ වෙළඳ ඒකාධිකරාය අත්පත් කරගෙන තිබුණෙ අරාබි ජාතිකයින්. ඒ නිසා විටින් විට පෘතුගීසි හේවායින්ට තාඩන පීඩන එල්ලා කරා. වෙළඳ ගබඩා සංකීර්ණයටක් ප්‍රහාර නිකුත් කරා. මේ සිද්ධිය දැනගත්තු පෘතුගාල අධිරාජයා මේ බව හොයා බලන්න ලෝපෙ සෝරස් ද අල්බගේරියා නම් ආණ්ඩුකාරවරයව ලංකාවට එව්වා. සෝරස් මේ බව රජුට දන්වල බලකොටුවකුත් හදන්න අවසර පැතුවා. රජතුමත් අවසර දුන්නා. පසුව ලෙපෝ ද පොරිටෝ කියන සැලසුම් ශිල්පියා ලව්වා කොහොමහරි කොළඹ බලකොටුවකුත් ඉදි කරා. නැව්වලින් ගෙනාපු කාලතුවක්කුවලින් බලකොටුව සන්නද්ධ කරා. එක් අවස්ථාවකදි පරංගි අරාබි ජාතිකයන්ගෙ ගෙවල් ගිනිබත් කරල දරුණු ප්‍රහාරයකුත් එල්ල කරාලු.

බලකොටුවෙ ආරක්ෂාවට දිය අගල් කපල හකුලන්න පුළුවන් දඬු කඳකුත් (පාලමක් වෙන්ඩ ඇති) සවි කරා. බ්‍රිටෝ කියන සෙනවියා කොටු බැම්මෙ දකුණු පැත්තෙන් කපපු දිය අගල තමයි ඔය පස්සෙ කාලෙකදි බේරෙ වැව නමින් සංවර්ධනය වෙලා තියෙන්නෙ. 
1587 දි සීතාවක රාජසිංහ 50000 ක සේනාවක් එක්ක මේ බලකොටුවට පහර දුන්නට පරංගි ගෝවෙන් සේනාව ගෙන්නගෙන ඒ ප්‍රහරය ව්‍යර්ථ කරා. 

පස්සෙ කාලෙකදි පරංගින්ගෙ රූකඩයක් බවට පත්වුණු ධර්මපාල රජු දොන් ජුවන් ධර්මපාල නමින් බෞතිස්ම ලැබුවා. පෘතුගීසින් කියන කියන පදේට නටපු හින්ද කෝට්ටෙ රට වැසියන්ගෙ අප්‍රසාදයට පත් වෙලා ධර්මපාල රජ්ජුරුවො කොළඹට ආවා. දැං අගනුවර කොළඹ. මේ නිසා කොළඹ නගරය පාලනය කරන පළමු රජු වෙන්නෙ ධර්මපාල.

දැං සියල්ලක්ම සිදු වුණෙ පරංගින්ගෙ කැමැත්තට. සැබැවින්ම කොළඹ පාලනය කරේ ධර්මපාල නෙවේ පෘතුගීසින්. පෘතුගාලයෙ සෙබස්තියන් අධිරාජයා කොළඹ නගරය හැඳින්නුවෙ "මගේ අගනුවර වූ කොළඹ" නමින්. කුරුඳු ඇතුළු සියලු වස්තු සම්භාරය ගනිමින් තම ආගම ප්‍රචාරය කිරීම තමයි පරංගින්ගෙ අරමුණ වුණේ. සෑම තැනම පල්ලි සෑදෙව්වා.

1597 දි දොන් ජුවන් මරණයට පත් වුණා. පරංගින් විසින් ධර්මපාල රජුව රහසේම වෙඩි තබා ඝාතනය කරයි කියලත් කියනවා. පෘතුගීසින් ඔහුගේ දේහය කොළඹ රජමැදුර පිටිපස්සෙ සාන්ත ෆ්‍රැන්සින් කන්‍යාරාමයෙදි ගරුසරු ඇතුව භූමිදාන කරා. 
පසුව පෘතුගාලයෙ අධිරාජයා විසින් ලංකාවේ එකම උරුමකරු හැටියට ඩී. ජෙරනිමෝද අසවේදු (Don Jeronimo Azevedu) පත් කරා.

ඔහොම තමයි පෘතුගීසි කාරයා රටවල් ඇල්ලුවෙ.. :D
  
ප.ලි. - තොරතුරු විකිපීඩියාවෙන් සහ සමන් කළුආරච්චි මහතා විසින් රචිත ලිපියක් ඇසුරෙනි..                                    
















            
  

July 20, 2014

කාලයත් සමග අමතක වුණු මතකයක්..

හිච්චි කාලෙ අපි හැමෝටම මොකක්හරි විනෝදාංශයක් තියෙන්න ඇති. නොතිබෙන්නත් ඇති.. ඔය පොඩි පන්තිවල ඉන්නකොට ටීචර්ස්ල අපේ නම ගම එහෙම අහනකොට අහන ප්‍රශ්නයක් තමා විනෝදාංශය මොකක්ද කියන එක. පොඩි එවුන් ඉතිං නානප්‍රකාර එව්ව කියනව. විනෝදාංශයක් නැති එවුන් මොකක්හරි බොරුවක් ඇදබාල නිකං ඉන්නවා. ගොඩක් දෙනා කියන්නෙ මුද්දර එකතු කරනවැයි කියල. :D විනෝදාංශ ගත්තාම නානප්‍රකාර එව්ව තියේ. අමුතු අමුතු එව්ව තියේ..

සා.පෙ වලින් පස්සෙ පන්තියෙ හිටිය හොඳම යාළුවො ටික කොළඹ ඉස්කෝලවලට මාරු වෙලා ගියා. ඉතුරු වුණේ පස් හය දෙනෙක් විතරයි.
දැං අවුරුදු දෙකක් ගෙවිලා ගිහිල්ල ඉවරයි. ඔය ඉස්කෝලෙන් ගිය සමහර යාළුවො දෙතුන් දෙනෙක් එක්ක එදායින් පස්සෙ තාම වචනයක්වත් කතා කරන්න බැරි වුනා. වෙන මොකක්වත් හින්ද නෙවේ කන්ටැක්ට් කරගන්න හරියට නම්බර් එකක්වත් ගන්න බැරි වුණු හන්දා. ගොඩක් අය නං නුගේගොඩ ක්ලාස්වලදි මුණගැහුනා. හාපෝ ලියන්න ගත්තාම ඔහේ ලියනව කතාව වෙන පැත්තකට යනව කියල තේරෙන්නෙවත් නෑ.. ! :P

කොහොමහරි ඉතිං පහුගිය දවසක මං මුහුණු පොතේ ඔය ඕපාදූපයක් කියවගෙන ඉන්නකොට මෙසේජ් එකක් ආවා. 
"අඩෝ අසංකයා මාව මතකද?" 
බැලින්නං එ් කාලෙ ළඟින්ම හිටපු පොරක්..එතකොට ඒ යකා බුකියෙ හිටියෙ නෑ නොවැ.. :D
ඔහොම ආ ගිය තොරතුරු කතා කර කර ඉන්දැද්දි මිනිහ එක පාරටම අහපි
"අර මුද්දර පොත් තාම උඹ ගාව තියනවද ?" කියල..
එතකොට තමා මට මතක් වුණේ මං හරි ආදරෙන් එකතු කරපු මුද්දර ටික.. :)
ඇත්තටම ඕ ලෙවල් කාලෙ වෙද්දි මුද්දර එකතු කිරිල්ල අතහැරල දාල තිබ්බෙ. අතහැරල දාල කිව්වෙ ඇත්තටම වෙලාවක් හම්බුන්නෑ ඔය වැඩේට. හතේදි අටේදි විතර තමා ඕක දරුණුවටම ක්‍රියාත්මක වුනේ. අර යාළුවා මාත් එක්ක හය වසරෙ ඉඳන්ම හිටපු යාළුවෙක්. මිනිහට ඒක මතක තිබුණ එක ගැන මට ඇත්තටම පුදුම හිතුණා.   

ඉතිං ඒ ප්‍රශ්නෙ මගෙන් ඇහුවාම මගෙ හිත අතීතයටම ගියා. ඒ මතකයන් ටික එවෙලෙ මට ලබා දුන්නෙ මාරම හැඟීමක්. 
ඒත් කෝ දැන් ඒ ටික....!!? :o 

හොයල බැලින්නං පුංචි කබඩ් කෑල්ලක තිබිල ඒ වස්තු සම්භාරය තිබ්බ විදිහටම හම්බුනා. කිසිම පලුද්දක් නැතිව... :) 



            


ඔය මුද්දර විනෝදය කියල තියෙන්නෙ පොතක්. මුද්දර වර්ග කරන හැටි වගේ ගොඩක් ඒව ඔය පොතේ විස්තර කරල තියෙනවා.

පන්තියෙ හිටපු යාළුවන්ගෙන් කිහිපදෙනෙක්ම ඔය මුද්දර එකතු කරන වැඩේ කරා. ඔය අතරින් මට තමා වැඩිම මුද්දර ගාණක් තිබ්බෙ කියල පුංචි ආඩම්බරයකුත් නැතිවම නෙවේ. 
ඒ කාලෙ තාත්තා වැඩ කරපු තැන බොස් ගෙ ගෙවල් තිබුණෙ බම්බලපිටියෙ. පස්සෙ කාලෙකදි එයා පිටරට පදිංචියට ගියා. බම්බලපිටියෙ ගෙදර ඉතුරු වුණේ එයාගෙ මල්ලි විතරයි. ගොඩක් වයසයි. තාත්තා ඉතිං මාසෙකට දෙවතාවක් විතර එහෙ ගිහිල්ල ගේ සුද්ධ පවිත්‍ර කරල දාල එන්න පුරුදු වෙලා හිටියා. එයත් මුද්දර පිස්සෙක්. මුළු ජීවිත කාලෙම කරල තියෙන්නෙ මුද්දර එකතු කරන එකද මන්ද..ඒ තරමට මුද්දර එයා ගාව තිබුණා. ඔය හින්දම කට්ටිය එයාට කිව්වෙ මුද්දර මහත්තයා කියල.. තාත්තා එහෙ යන යන සැරේට මට දෙන්න කියල මුද්දර පොඩ්ඩක් දෙන්න පුරුදු වෙලා හිටියා. ඔය කාරණාවත් මගෙ මුද්දර එකතුව වැඩි වෙන්න හේතු වුණා.. 

අපි ගොඩක් ආස වුණේ රට මුද්දර එකතු කරන්න. සමහර ළමයි කොහෙං හරි රට මුද්දරයක් හොයාගත්තාම ඒක කාට හරි දීල ලංකාවෙ මුද්දර කිහිපයකට හුවමාරු කරගන්නත් පුරුදු වෙලා හිටියා.  මා ගාව වැඩියෙන්ම රට මුද්දරවලට තිබුණෙ ඕස්ට්‍රේලියාවෙ මුද්දර..



මේ තියෙන්නෙ මුද්දරය නිකුත් කරන්න ඉස්සෙල්ල නිකුත් කරන සමරු කවර


මුද්දර එකතු කිරිල්ල ගැන මතකය අවධි වුණු හන්ද විකිපිඩියා එකත් පොඩ්ඩක් කරකෝල බැලින්නං මුද්දර එකතු කිරීමෙ විනෝදාංශයට 1860 වසර වෙනකං ඉතිහාසයක් තියනවලු... :o 

ඔය මුද්දර එකතු කරන අැල්බම් බුක්ෂොප් වල ගන්න තිබුණා. එතකොට නං ගාණ රුපියල් 300 ක් විතර ඇති. 
ටිකක් විතර පොෂ් වෙන්න ඕන්නං මුද්දර අැල්බම් වල රඳවනකොට එහෙම අල්ලන්න අඬුවක් වගේ එහෙකුත් තියේ.. :P මං ගාවත් තිබ්බා දැංනං ඕක කොහෙද දන්නෑ..ඒ වුනාට ඕකෙං මුද්දර අල්ලන්න ගියාම එපා වෙනවා. අතින් අල්ලන එක ඊට වඩා ලේසියි.. -_-   

                          මේ තියෙන්නෙ ඒ වගේ එකක්..පින්තූරය නෙට් එකෙං..

ලංකාවෙ මුද්දරනං නොයෙකුත් වර්ග වලට බෙදල තියෙනවා. මං වැඩියෙන්ම ආස වුණේ කුරුල්ලන්ගෙ මුද්දර වලට. 



 
                    96 වර්ල්ඩ් කප් එක වෙනුවෙන් නිකුත් කරපු මුද්දරේ.. ^_^ 

කුමාර් ආනන්දන්, පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීම වෙනුවෙන් නිකුත් කරපු මුද්දරය..







       ලංකා තේ ශත සංවත්සරය වෙනුවෙන් නිකුත් කරපු එකක්..

ඔය වගේ ගොඩක් මුද්දර තියේ..ඔක්කොම දාන්න ගියොත් හොඳට හිටී.. -_-


ඉතිං..කාලෙකට පස්සෙ මුහුණ පොතෙන් හම්බවෙච්ච යාළුවෙක් මගේ මතකය අවධි කරේ මේ විදිහට. මේ මුද්දර වලින් මං කොච්චර සතුටක් ලබන්න ඇත්ද කියල හිතාගන්න බෑ.. ඒත් මේක තවදුරටත් කරගෙන යන්න බැරි වේවි මේ කලබල ජීවිතෙත් එක්ක.

සමහර වෙලාවට අතීතය කියන්නෙ ආදරණීය හැඟීම් සාගරයක්... :)





July 19, 2014

පියානෝ නාදය..

මා වඩාත්ම ප්‍රිය කරන ලොව විශිෂ්ට ඡායාරූපශිල්පියෙකු වන 
Steve McCurry ගේ පින්තූරයක් රස විඳිමින් සිටි අවස්තාවක සිතට ආ සිතුවිලි පොදක සටහනකි.. කවි නිසැදෙස් පද බඳින්නට සහ අදහස් ගැලපීමට මා හට කිසිදු දක්ෂතාවයක් නොමැති නිසා සහ ස්වයං තෘප්තිය උදෙසා ලියූ හේතුවෙන් නොදැක්ක ගානට සිටියාට අවුලක් නැත..! :D








අහිංසක දෑස්
වෙනත් ලොවක අතරමංව..
පසෙකින් තිබෙන කුඩා මල්ලක් 
ඇඳ වුන් ඉරී ගිය වැරහැල්ලක්
ගයයි දුක්බර ශෝකාන්තයක්..
වැසී ගිය කඩයක් ඉදිරිපිට
ඉඳ සිටිනා ඔහු අත
පොතක් නොවරදියි සැම විට..
විටෙක යනෙන එවුන් දෙස
නෙත් අයාගෙන සිටියි 
අහිංසක බැල්මකින් නිතරම
මිරිඟුවක් පසුපස හඹා යන්නන්..

වාහනවල ධූමයෙන් කළු වුණු මුහුණ..
අතරින් නැඟෙන සුදුවන් දෑස්
ලොප් වී ඇත පරණ ෆෝඩ් රථයකට
පවසයි ඔහුගෙ සිත
"මටත් තිබුණා ඉස්සර"..
බිම වැටුණු කාසියක නාදයෙන්
බිඳී ගියේය ඔහුගේ දැහැන..

නගරයේ ඝෝෂාව මැද
සියුමැලි ඇඟිලි තුඩු තත් අතර දුවන
ඇසෙයි පියානෝ සංගීතයක්
පාර අයිනේ බංගලාවෙන්..
 පෙරලීය තවත් පිටුවක්
රසවත් කතාවක..
 
 

July 13, 2014

කඳු නැගිල්ල

පොඩි රස්තියාදුවක්..

ගිය බදාදා හවස කලාතුරකින් රින්ග් වෙන මගේ ෆෝන් කට්ටට කෝල් එකක් ආවා.. :D (මෙසේජ් එකක් ආවත් එන්නෙ මොබිටෙල් එකෙං)

"අඩෝ මේ පොඩි ගමනක් යන්ද ?"
"කොහෙද බං ?"
"කොරතොට පන්සලට ටිකක් එහා තියෙන ගල් වල ගාව කන්ද.."
"ඉතිං.."
"දැක්කාම නිකං කිචි කිචි වගේ..නඟිමුද කියහං"
"මොන කඳුද බං..වහින්නත් එනවා.."
"වරෙංකො.."
"අද බෑ ඕයි..මේ පොතක් හම්බුනා බං..හෙට බලමු."

ඕං ඔහොමයි කන්ද නගින්න තීරණය කර ගත්තෙ.. 
මේකගෙ නම චමත්. ඉස්කෝලෙ ඉන්න හැම කෙල්ලෙක්ගෙම සම්පූර්ණ දත්ත මුගෙ ඔලුවෙ තියනවා. 



උදේ අට වෙනකොට යං කියල කිව්වාට මේකා එනව කියල කෝල් එක දෙනකොට නවය විතර ඇති..කිව්වට මොකෝ මේ නිදිකුම්බරයා කොල් එක දුන්නාම තමා මටත් ඇහැරුණේ.. :D  (ආ එතකොට නිදිකුම්බරයො දෙන්නයි නෙහ්)
කොහොමහරි කැමරාවත් ලෑස්ති කරන් ගෙදර තිබ්බ රෝද තුනත් අරගෙන (ස්පෙයාර් වීල් එකත් එක්ක හතරයි) මෑන්වත් දාගෙන කොරතොටට ගියා..බයිසිකලෙන් ගමන යන්න ආස වුණාට කොහෙද ඉතිං අනික් එකාගෙ පුටාර් එක කැඩිල.. 
ගිහිල්ල ත්‍රීවීල් එක පන්සලෙන් දාල පයිං ගෑටුවා කන්ද ගාවට. හොයල හොයල අන්තිමේදි කන්ද උඩට නගින්න පාරක් හොයාගත්තා. කොයිකටත් ගල් වලේ වැඩ කරන මාමා කෙනේක්ගෙන් අැහුවා. මුං අපි නගිනකං ඉඳල බෝර දාන්න පටන් ගත්තොත් එහෙම. ආයි බෝර දාන්නෙ හවස එකටලු. පුපුරවන්න ඉස්සෙල්ලා නලා හතරක් පිඹිනවලු. 
අපිත් ඉතිං බණ්ඩාර හැටහත්කට්ටුවක පිහිට ආරක්සාවයි කියල හිතාගෙන කන්ද නගින්න පටන් ගත්තා. සෙරෙප්පු දෙකක් දාං ආව එකේ ඵල විපාකෙ තේරෙන්නෙ කන්ද නගිනකොට. ලිස්සනවා ලිස්සනවා ඉවරයක් නෑ. අන්තිමේදි යටි පතුල් දෙකට අබ සරණයි කියල හිතාගෙන සෙරෙප්පු දෙක ගත්තා අතට. මහලොකුවට කඳු නගින්න ආවට අරූ වතුර බෝතලයක්වත් ගෙනල්ල නෑ.. -_- 
අම්මා බලෙං මගෙ බෑග් එකට වතුර බෝතලයක් එබුව හින්ද හොඳට ගියා.

පොඩි පොඩි ගස්වල අතු අයින් කර කර කන්දෙ පළවෙනි ටික නැග්ගට පස්සෙ තමා අමාරුම හරිය හම්බුණේ. පොඩි පොඩි ගල් පර්වත බඩගාගෙන, කටු පඳුරු අස්සෙන් රිංග රිංග යනකොට එපා වෙනවා. හැබැයි එතකොට තමා මරු.. ^_^ 

ඔහොම යනකොට චමතා එකපාරටම අතින් නවතින්න කියල සිග්නල් එකක් දුන්නා. කොළ පොඩි වෙන සද්දයකුත් ඇහුණා. 
"අඩෝ වල් ඌරො ඉන්නවද දන්නෑ.." 
"මේ පැත්තෙ කොහෙද යකෝ වල් ඌරො.."

කටට ආපු එක කියල දැම්මට හාරල තිබ්බ පොඩි පොඩි ගුහා ටිකකුත් දැක්කා.. 

බඩගාල බඩගාල අන්තිමේදි කන්ද උඩ ගල් තලාවට ආවා.. උඩට කොරතොට පන්සලේ අලුතෙන් හදන ලොකු බුදු පිළිමෙ පේනවා..


මාර හුළඟක් තියෙන්නෙ.. ගල් තලාව උඩ පැයක් විතර හිටියා. 



                               මේ තියෙන්නෙ බෝවිටියා මල් කියල තමා අර මහදැනමුත්තා කීවෙ...

සංචාරක තෙමේ පොඩ්ඩක් ඇහැ කරකෝල බැලින්නං මෙතෙන්ට කොළඹ වරායත් පේනවා.. කැමරාව අංශක 180 ක්ම කරකෝල ගත්ත ෆොටෝ දෙක තුනක්, ගෙදර ගිහිල්ල ෆොටෝෂොප් දෙයියංගෙ පිහිටෙන් පැනරෝමාවක් හදන්න..  


කන්ද උඩ සිග්නල් ටවර් එහෙකුත් තියේ.. චමතා කිව්ව එතෙන්ටත් යං කියල..ටවර් එකේ ඉතිං මොනව බලන්නද..ඔන්න ඔහෙ එතෙන්ටත් ගිහිල්ල ආවා. එන ගමන් සමනළ්ලු කිහිපදෙනෙක් දැක්කත් සංචාරකයා ගාව තියන 18-55 ලෙන්ස් එකත් එක්ක උංගෙ ෆොටෝ ගන්නව බොරු..හෙමින් සීරුවෙ ෆොටෝ එකක් ගන්න බැලුවත් ළඟට එද්දි ටක්ගාල පියාඹලා යනවා..සමනළ්ලු දහ පහළොස් දෙනෙක්ම මං ගාවට ඇවිල්ල කින්ඩිය දාල පියාඹලා ගියා.. අන්තිමේදි අල්ලගත්තෙ කොහෙදෝ ඉඳං කඩං පාත් වෙච්ච බත් කූරෙක් විතරයි.


එකට විතර බෝර දානව කිව්ව හන්ද හෙමින් හෙමින් කන්ද බහින්න පටන් ගත්තා.. ආපු පාර හොයාගන්න බැරුව එකම අඩි පාරවල් ටිකේ කැරකි කැරකි ඉඳල තමා අන්තිමේදි පල්ලං බහින්න මාර්ගයක් හොයාගත්තෙ.. 

ෆෝන් කට්ටෙන් ගත් සංචාරක තුමාගෙ ෆොටෝ කෑල්ලක්... 





 භාගයක් දුර ආපහු එනකොට මෙන්න බොලව් දඩාං ගාල පොළොව දෙදරන සද්දයක් ඇහුණා.. චමත ෆෝන් එකෙං වෙලාව බැලුවා. තාම එකට නෑ. මුං දැම්මම බෝර දානවද. ගහපු නළාවකුත් නෑ.. එවෙලෙ නං පොඩි බයකුත් දැනුණා. ඇයි යකෝ ගල් කෑල්ලක් පත බෑ වුණොත් එහෙම මළ කෙළියයි..කොයිකටත් අඩිය ඉක්මන් කරා. කඳු නගින වැඩේට වඩා අමාරුයි බහින වැඩේ. ඒ මදිවට සෙරෙප්පුවත් කැඩිල ගියා. 

බෝර තුන හතරක් විතර දාපුවාම ආයි සද්දයක් ආවේ නෑ.. අන්තිමේදි මාර ගේමක් දීල කන්ද පාමුලට බැස්සා. ආපහු යන්න පාර තිබුණෙ ගල්වල ගාවින්. මිනිස්සු කවුරුත් පේන්න හිටියෙත් නෑ.. ඒ ළඟින් යනකොටම බෝරයක් පිපිරුවොත් එහෙම.. ඈතට වෙලා යන්න වෙනිං පාරක් තියේද කියල බලද්දි ඈතින් මිනිස්සු තුන් හතර දෙනෙක් ආපහු වැඩ කරන්න එනව දැක්කා.. ඒ කියන්නෙ පුපුරෝල ඉවරයි..එතකොට තමා ඇඟට ලේ ටිකක් ඉනුවෙ..

මේ තියෙන්න ඔය කියපු ගල් වල.. 



කොහොමහරි ත්‍රාසජනක (එහෙමද මන්ද) චාරිකාවකින් පස්සෙ පන්සලට ආවා. 

මේ බුදු පිළිමය තමයි අර කන්දට පෙනුණෙ..
 
  
කොරතොට රජමහා විහාරය කියන්නෙ ගොඩක් ඓතිහාසික ස්ථානයක්. ලෙන් ලිපි ගණනාවක්ම තියනවා.. කටාරං කොටපු ගල් ගුහා කිහිපයකුත් තියනවා. 

අන්තිමේදි යාළුවගෙ ගෙදෙරට ගිහිල්ල බත් වේලකුත් සප්පායම් වෙලා ගෙදර එනකොට හවස පහ විතර ඇති.
කකුල් දෙකටනං හොඳ ගණං.. 












   
 

July 8, 2014

අලුත් ඇරඹුමක්..

ජූලි හය වෙනිදා..එදා තමයි මට ලාල් හෑගොඩ නම් වූ සොඳුරුතම මිනිසා හමුවුණු දවස..!!



මේ තාක් කල් මං ඡායාරූපකරණයෙහි නියැලුණේ පොත්පත් වලින්, නෙට් එකෙන් අහුලගත්ත දැනුමකින්. කැමරාවෙ බොත්තමක් එබුවාම ෆොටෝ එක වදිනවා.. ෆොටෝග්රැෆි වල රහ තේරිලා ගෙදර තිබ්බ පුංචි ඩිජිටල් බට්ටගෙන් අහුවෙන අහුවෙන එකේ ෆොටෝ ගන්න පටන් ගන්නකොට දැනං හිටියෙ එච්චරයි. ඒ මීට අවුරුදු ගාණකට කලිං.  
කොහොමින් කොහොමහරි ෆොටෝ එකක් වෙනුවට හොඳ ඡායාරූපයක් ගන්න තරමට ඒ දැනුම යංතමින් හරි වැඩි දියුණු කරගත්තා. ඩිජිටල් බට්ටට සමුදීලා DSLR එකක් ගන්න නාහෙං අඬ අඬා ඉද්දි තාත්තා ඒකත් අරං දුන්නා..
ඡායාරූපකරණය කියන්නෙ ඉගෙනගෙන ඉවරකරන්න පුළුවං කලාවක් නෙවේ මං හිතන්නෙ. තමං ඡායාරූපයට ගන්න අලුත් රාමුවක් පාසා අලුත් අත්දැකීමක්, අලුත් දෙයක් ඉගෙනගන්නවා. 

ඔය අතරෙ පිළිවෙලකට මේ දේ ඉගෙනගන්න මට ඕන වුණා. 
ශ්‍රී ලංකාවෙ ප්‍රසිද්ධම ඡායාරූපශිල්පියෙක් වෙච්ච විල්සන් හෑගොඩයන්ගෙ පුත් ලාල් හෑගොඩ සර් ගෙ ඡායාරූපකරණ පාඨමාලාවට ඇතුළත් වෙන්න මට තිබුණෙ පුදුම ආසාවක්. හතු පිපෙන්නා වගේ කොළඹ පුරාම පොටෝ පන්ති තිබුණට ලාල් හෑගොඩ සර්ගෙ ඡායාරූපකරණ පාඨාමාලාවට යනවමයි කියල හිතාගත්තා. 
ඒත් මාස දෙකක් හොඳට කාල බීලා ජීවත් වෙන්න පුළුවං ගාණක් වියදම් කරල කැමරාවකුත් අරං දීපු මගෙ දෙමව්පියන්ගෙන් ඒ මදිවට තව පන්තියකට යන්නත් රු.විසිපන්දාහක් ඉල්ලන්න මට මගෙ හිත ඉඩ දුන්නෑ.. 

අනවශ්‍යයයි කියල හිතුණු ඔක්කොම වියදම් නැවැත්තුවා. හම්බවෙච්ච හැම රුපියලම (සතේ ඒව දැං නෑනෙ :D) එකතු කරල අන්තිමේදි ගාණ ගොඩ දාගත්තා. කොටින්ම කිව්වොත් අවුරුද්දට ඇඳුමක් ගන්න කියල දීපු සල්ලිත් හෙමීට පොතට දැම්මා. 
ගාණ හදාගෙන ක්ලාස් එක ගැන අයිඩියා එක අම්මට කියල බැලුවා. එදා ඉඳංම ඉතිං තාත්ගෙන් අහන්නෙ නැතුව මෙලෝ දෙයක් නොකරපු හින්ද හම්බවෙන උත්තරේ මං දැනං උන්නා. 
"තාත්තගෙන් අහල බලමු".. 

සිකුරාදා.. එදාට එහෙ නිවාඩු.. 
තාත්තා ආවා ස්කයිප්.. අම්මා ඇහුවා මේ ගැන.. මං සල්ලි හිටං එකතු කරගෙන තියෙන්නෙ කියලත් කීවා. 
ක්ලාස් එක ගැන විස්තර ටික අහල තාත්තා දීපු උත්තරෙන් මං උඩ ගියා..
"හරි ඔය සල්ලි ටික ඔයාගෙ පොතට දාගන්නව.. course එක කරන්න ඕන සල්ලි ටික මං හෙට එවන්නං.. " :)   

තාත්තගේ ආදරේ මහ සාගරේ වගේ කියනවනෙ.. 
  
ඉහේ මල් වත්තක්ම පිපුණු හැපී එකෙන් ටක්ගාල ලාල් හෑගොඩ සර්ගෙ සයිට් එකට ගිහිල්ලා විස්තර ටිකත් දැනගෙන මුහුණුපොතේ හිටපු යාළුවෙක්ගෙන් පන්තිය තියෙන්නෙ බම්බලපිටියෙ පොලීසිය ඉස්සරහ බිල්ඩිමේ කියලත් දැනගත්තා..මගෙ වාසනාවටමද මන්දා ඊළඟට ළමයි ඇතුළත් කරගන්න දිනය තිබුණෙ ජූලි හය කියල..


 ගිය ඉරිද උදේම බම්බලපිටි ගියා. එන්න කියල තිබුණෙ උදේ අටට වුණාට සංචාරක තෙමේ උදේ හත වෙනකොට එහෙ. කලිං දවසෙ ෆෝන් එකේ තිබ්බ ඇප් කෑල්ලකින් කොල්ලුපිටියෙ ඉඳං බම්බලපිටියට යන බස් එක සර්ච් පාරක් දාල බලපුවාම ආවෙ 100, 101 කියල නොවැ..කොල්ලුපිටිය බස් ස්ටෑන්ඩ් එකෙං බැහැල ටිකක් ඇවිදල බැලින්නං මෙන්න බොලේ පාරවල් වන් වේ කරල එක විකාරයයි.. කොහොමහරි බස් එකට නැගල බම්බලපිටිය පොලිසීය ගාවට ටිකට් එකක් අරගෙන ගූගල් මැප් දෙයියන්ගෙන් බම්බලපිටිය පොලෝසීය තියන තැනත් හොයාගෙන GPS මෙව්ව එකත් ඕන් කරගෙන මූණ ෆෝන් එකේ ඔබාගෙන හිටියා. බුකියෙ හිටපු උන්දැ කිව්වෙ එච්චර දුරක් නෑ කියල. ඒ වුණාට බස් එක ගියාට GPS මෙව්ව එක යන්නෑ.. 
එදා තමයි මං තේරුං ගත්තෙ තාක්සණේ එච්චර විස්වාස කරන්න හොඳ නෑ කියල.. කිලෝමීටරයක් විතර ආපහු ආවා.. -_- 
පැයක් කලිං ආපු හන්ද හොඳයි..

ලාල් හෑගොඩ සර්ව ඉස්සෙල්ලාම හමුවුණු දවස එදා. ඇත්තටම ඡායාරූපකරණය කියන්නෙ මොකක්ද කියල මං තේරුම් ගත්තෙ එදා.
 ඉතිං මේක මගෙ තවත් සැබෑ වුණු සිහිනයක්.. 

 ලාල් හෑගොඩ සර් ශ්‍රේෂ්ට ඡායාරූපශිල්පියෙක් වගේම විශිෂ්ට කවියෙක්..



බුලු ගහ යට කවි පන්තිය මීට කළිං දාල ඇති.. 


     

 

July 1, 2014

මහල්ලා සහ මුහුද | The Old Man and the Sea


"ඔවුහු හොඳට යාත්‍රා කළහ. නිතර කරදියෙන් දෑත තෙමා ගත් මහල්ලා හොඳ සිහියෙන් සිටීමට වෑයම් කළේය. අහසේ රැස් වන්නට වූ කුමුලස් වළාකුළු උඩින් ප්‍රමාණවත් තරම් කුන්තල වළාකුළු තිබුණු හෙයින් රෑ එළි වන තෙක් සුළඟ නොමඳව හමන බව මහල්ලා දැන ගත්තේය. තමා මහ මාළුවකු අල්ලා ගැනීම සිහිනයක් නොව සැබෑවක් බව සැක හැර දැන ගැනීම පිණිස මහල්ලා නිතර මාළුවා දෙස බැලුවේය. මෙය සිදු වුණේ ඔහුට පළමු වන මෝරා පහර දීමට පැයකට කලින්ය."

පොත ලියල තියෙන්නෙ 'අර්නස්ට් මිලර් හෙමින්වේ'. 1951 දි.
පෙරේදා පුස්තකාලයට ගිය වෙලේ ගත්තු පොත් අතර මේකත් තිබුණා.
පොතේ කතෘ, අර්නස්ට් හෙමින්වේ, ඔහුගේ ජීවිත කාලය පුරාම අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබා ගත්ත පුද්ගලයෙක්. පුවත්පත් වාර්තාකරුවෙක් හැටියට ග්‍රීක යුද්ධයට, ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට, දෙවන මහා යුද්ධයට සහභාගි වෙලා ජීවිතයේ ඉතුරු කාලය සාහිත්‍ය කරුවෙක් ලෙස ගත කරලා. ඒ වගේම හෙමින්වේ දඩයක්කාරයෙක්, මසුන් මරන්නෙක්.



ඔහු දවසක් උදේම මසුන් ඇල්ලීමට මුහුදු යන්න ගිය වෙලාවක 'මැනුවෙලි උලිබාරි මොන්ටේස්පෑන්' නම් කියුබානු ධීවරයෙක් අහම්බෙන් හමු වෙනවා. ඔහු හෙමින්වේට ඔහුට සිදු වූ දුක්මුසු සිදුවීමක් ගැන පවසනවා. 
හෙමින්වේ 'The Old Man and the Sea' නමින් රචනා කරන්නෙ ඒ කතාව. 

කතාවනං බොහොම සරළයි. නමින් 'සන්තියාගෝ' කියන මසුන් මරන මහල්ලෙක්ට අවාසනාව පිරුණු දවස් අසූ හතරකට පස්සෙ වාසනාව පෑදෙමින් බිලී කොක්කට විශාල මාළුවෙක් අහුවෙනවා. අන්තිමේදි මේ මාළුවා අල්ලගන්න සන්තියාගෝට විශාල වෙහෙසක් දරන්න වෙනවා.  ඒත් ආයිමත් අවාසනාව සන්තියාගෝට පහර දෙන්න පටන් ගන්නවා...!! ජයග්‍රහණය, පරාජය, දුක, වේදනාව, හාස්‍ය පිරුණු කතාවක් තමයි මහල්ලා සහ මුහුද.      

"මේ කතාව ලිවීමේදි මා අනුගමනය කළේ මුහුදේ පාවෙන හිම පර්වතයක පිළිවෙත. හිම පර්වතයෙන් අටෙන් හතක් පමණ දිය යට නොපෙනී පාවෙන අතර දියෙන් මතු වී පෙනෙන්නෙ අටෙන් කොටසක් පමණයි. මසුන් මැරීම හා කියුබානු ධීවරයන්ගෙ ජීවිතය පිළිබඳ මගේ දැනුම හා අත්දැකීම් ඇතුළත් කොට මහල්ලාගේ කතාව ඇසුරෙන් මට මහා නව කතාවක් ලියන්නට තිබුණා. නමුත් කතාව ලිවීමේදි මා ඒ සියල්ල ඉවත දමා අවශ්‍ය දෙය පමණයි ගත්තෙ. නවකතාකාරයා ලිවිය යුත්තෙ තමා දන්නා දෙයින් අවශ්‍යම දෙය පමණයි. අනෙක් සියල්ලම ඔහු විසින් ඉවත දැමිය යුතුයි. කතාව ශක්තිමත් වෙන්නෙ එවිටයි. එය තමාගෙ ආත්මයෙන් පෙරී එන හරයයි. මම මේ පොත ලිව්වෙ බොහොම ලොකු වෑයමකින්. මා එය දෙසීය වාරයකටත් වඩා කියවා තියෙනවා. ඒ හැම විටම මා තුළ කිසියම් විපර්යාසයක් ඇති වන බව මට දැනෙනවා."
                                                                            ~අර්නස්ට් හෙමින්වේ~

කෙටියෙන් කිව්වොත් මට දැනෙන්නෙ මහල්ලා සහ මුහුද ගොඩක් සරළ  කතාවක්. ඒත් සරළ බව සාර්ථකත්වය මනින්න පුළුවන් සාධකයක් නෙවේ.  

හෙමින්වේට මේ පොත සඳහා ඇමරිකන් ෆුලිස්ටර් ත්‍යාගයත්, නොබෙල් ත්‍යාගයත් හිමි වුණා. කියුබානු ජාතිකයන් හෙමිංවේට ඉහළම රාජ්‍ය සම්මානයක් දීල ජාතික වීරයෙක් හැටියටත් නම් කරා. 
 'The Old Man and the Sea' 'මහල්ලා සහ මුහුද' නමින් සිංහලයට පරිවර්තනය කරල තිබුණෙ සිරිල් සී. පෙරේරා. 

පස්සෙ කාලෙකදි මේ නමින් Animation කෙටි චිත්‍රපටියකුත් නිර්මාණය වෙලා. :)


Related Posts Plugin for WordPress, Blogger...