Showing posts with label ශ්‍රී ලංකාව. Show all posts
Showing posts with label ශ්‍රී ලංකාව. Show all posts

January 20, 2017

ඇල්ල කඳු මුදුනට | To Ella Summit

ඈත දුර රටක කුඩා චමරියක ගත වෙන නීරස ජීවිතයට සංචාරකයා මොහොතකට සමු දුන්නා. හිතේ හැටියට සැරිසරන්න තැන් බොහොමයි. නිවාඩුව කෙටියි.!

දිනය 2016 දෙසැම්බර් 16.

කොටුව දෙසට ඇදෙන බස් රථයක එල්ලුණ මං රාත්‍රී 7.50 ට කොටුව දුම්රිය ස්ථානය අසල. මං බදුල්ලට යන රාත්‍රී තැපැල් දුම්රියට ගොඩ වුණා. ගමනාන්තය කිතල් ඇල්ල දුම්රිය ස්ථානය. හැමදාමත් වගේ මේ හුදෙකලා රස්තියාදුකාරයට ගමන් සගයා වුණේ මගේ ආදරණීය කැමරාව විතරමයි..

කෝච්චි ගමන ඇතැම් විට වෙහෙස කරයි. ඒත් නිදහස්. බසයක එල්ලුනොත් පැය 5 කට ආසන්න කාලයකින් ළඟා වෙන්න හැකි දුරක් මම මේ පැය 11 ක් පමණ රේල් පීලි දෙකක් උඩ ගෙවා දමන්න සැරසෙන්නෙ. මං පාපුවරුවට ගොඩ වුණා. ඇඟේ හිරිගඩු නංවන උඳුවප් සීතල සුළඟ. ටික වෙලාවකින් කොංගො සද්දෙත් එක්ක හොඳ සිංදු වගයක් කියවෙන්න පටන් ගත්තා. මේ  අවස්ථාව එනකං තමයි මාත් බල බල හිටියෙ...!

පහුවදා හිමිදිරි උදේ මං ඇල්ල දුම්රිය ස්ථානයෙන් කෝච්චි ගමනට සමු දෙනකොට වෙලාව 7.00 ට පමණ ඇති. රේල් පාර දිගේ ආපසු කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දෙසට මං ඇවිදන් යන්න පටන් ගත්තා. මගේ ගමනාන්තය ඇල්ල කඳු මුදුන.!

රේල් පාර දිගේ යනකොට හමුවුණු සීයා කෙනෙක්ගෙන් පාර අහගත්තු මං බෝ ගහක් අසලින් වැටී තිබුණු අඩි පාරක් දිගේ මගේ ගමන ආරම්භ කරා. පුංචි දිය පාරක් මතින් වැටිල තිබුණ පාලමකින් එතෙර වුණාම හමුවුණේ විශාල මාන පඳුරු යායක්. පුංචි පුංචි අඩි පාරවල් හැම පැත්තටම. නිණව්වක් නැතිවම කන්ද දෙසට ඇදෙන අඩි පාරක් දිගේ මං ගමන් කරා. මාන පඳුරු යායෙන් බේරිච්ච මං පුංචි තේ වත්තක් මැද. තවත් හිතවත් ගැමියෙක්ගෙන් මාර්ගය ගැන අවබෝධයක් ගත්තු මං කඳු මුදුන දෙසට ඇදුනා.


බැක්පැක් එකේ බර, ගමන් වෙහෙස, මනස්කාන්ත හරිත වන දනව්, බඩගින්න, පිපාසය, නැවුම් සුළඟ. මේ ඔක්කොම එකතු වෙන්න ඕනෙ නියම සංචාරයකට.  

මද දුරක් තැනිතලා භූමියකුත් පසු කරගෙන ඉදිරියට ඇදුණ මට දර්ශනය වුණා ඇල්ල කඳු මස්තකය. ඊට මුහුණලා තියෙන පුංචි ශ්‍රී පාදයත්. මේ කන්දට පුංචි ශ්‍රී පාදය කියන්නෙ එය සමනළ කන්දෙ හැඩයට බොහෝ අතින් සමාන නිසා. වතුර පිපාසාව නිවාගන්නට මොහොතකට මං නතර වුණා. 


තවත් විනාඩි කිහිපයක ගමනකින් පසු හමුවෙන අඩි පාර තරමක් බෑවුම් සහිත මාර්ගයක්. පොළොව තෙත බරිත නිසා තරමක් ලිස්සන සුළුයි. 


අවසන මං කඳු මුදුනට ළඟා වුණා. මුළු ගමනට ගත වෙලා තිබුණා පැය එක හමාරකට ආසන්න කාලයක්. හෙමි හෙමින් වැටෙන අව් රශ්මියත් එක්ක මීදුම අතරින් දිස් වෙන දර්ශනය ගොඩක් ලස්සනයි. පහළට ගැඹුරු ප්‍රපාතය. එතැන පොඩියට වෙළඳාමක් කරපු ගැමියෙක්ගෙන් තේ කහට කෝප්පයක් ගත්තු මං තුඩුවෙ කෙළවරටම ළං වුණා. 
මේ කඳු හුස්ම ගන්නවා. මටත් දැනෙනවා..මම හුස්ම ගන්නවා.!




















May 15, 2014

අනුරපුර චාරිකාව | Anuradhapura Trip

ගිය සිකුරාද උදේම අපි ලැහැස්ති වුණේ අනුරාධපුරේ යන්න. පාන්දරින්ම පිටත් වුණු නිසා වැඩි මහන්සියක් දැනුණෙ නෑ. දවස් දෙක තුනක් අනුරාධපුරේ නවාතැන් අරගෙන නිදහසේ වැඳ පුදාගෙන එන්න තීරණය කරගෙන හිටියත් වෑන් එක කලින් භාර දෙන්න සිද්ධ වුණු නිසා අනිද්ද උදේම ආයි පිටත් වෙන්න තීරණය කර ගත්තා. ඔක්කොම කට්ටිය පහළොස් දෙනයි. 

උදෙන්ම පිටත් වුණු හින්දද මන්ද ටික වෙලාවක් යනකොට අම්බානකට බඩගිනියි. යන ගමන් ගලිගමුව හරියෙ බේකරියකින් පාන් ගෙඩි අටක් ගත්තා. ඇස්වහක් කටවහක් නෑ ඒ පැත්තෙ පාන් ගෙඩියක් රුපියල් හැටයි. :P :P සම්බෝලයි පරිප්පුයි ගෙදරින්ම හදාගෙන ඇවිල්ල තිබුණා. තාත්ත හොඳ තැනක් බලල වාහනේ නැවැත්තුව. 

කොහොමහරි පාන් කෑල්ලක් දෙකක් කන්න පටන් ගන්නකොට,.. මෙන්න රිලව් එන්න පටන් ගත්තා...!! ඕං ඉතිං කන එක පැත්තකින් තියල මං උන්ගෙ පොටෝ ගහ ගහ උන්නා.. :D






කොහොමින් කොහොමහරි අනුරාධපුරේට කිට්ටු කරනකොට නාච්චදූව වැවෙන් නාගෙනම යන්න වාහනේ හැරෙව්ව ඒ දිහාවට. 


නාච්චදූව වැව හදල තියෙන්නෙ දෙවන මුගලන් රජ්ජුරුවො. මේ වැවට වතුර රැස් වෙන්නෙ මල්වතු ඔයෙනුයි, මමිනියාව ඔයෙනුයි. පස්සෙ විජයබාහු රජ්ජුරුවොත් මේ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරාලු.

                                         ඉස්සරහින් ඉන්න එකා වැව් කප්පිත්තා

හොඳට නාගෙන අනිත් ඈයො ලක ලැහැස්ති වෙනකං මං ගියා ඉවුර දිගේ ටික දුරක් ඇවිදගෙන. ඈතින් පොඩියට මිහින්තලේ පේනව.


                                                              කුරුළු දඩයම
ආපහු කට්ටිය හිටපු තැනට මං එනකොට මෙන්න මුං හොඳට කනවා..!
මාත් ඉතිං බත් පිඟානක් සප්පායම් වෙලා තව අයිය කෙනෙක් එක්ක ගියා සොරව්ව එහෙම තියන පැත්තට. 


                                                                 පාලම

                                                   පැනරෝමා

                                                 
නාච්චදූවෙන් පිටත් වෙලා ආපහු අනුරාධපුරේට යන්න පිටත් වුණා..
නාපු ටික කොහෙං ගියාද දන්නෑ ගිනි රස්නෙයි..දාඩිය බේරෙනවා..
අපේ නෑදෑයෙක් හිටිය ගම අනුරාධපුරේ. දැං කොළඹ. ටික දුරක් යනකොට මේක කෑ ගැහැපිය ඔය කඩේ ගාවින් නවත්තන කියල. බැලින්නං ඒ කඩේ මේකා අනුරාධපුරේ ඉන්නකොට හිටපු යාළුවෙක්ගෙ. අපරාදෙ කියන්න ඕන්නෑ ලොකු බීම බෝතල් තුනක්ම නිකං දුන්නා. :P

ඊට පස්සෙ අපි ගියේ ඉසුරුමුණියට. 



මේ කැටයම ක්‍රි.ව. 7 හෝ 8 වන සියවසයට අයත් වෙන එකක්ලු. මහාරාජා ලීලාවෙන් වාඩි වී සිටින මිනිසෙකුයි ඊට පසෙකින් නෙළා ඇති අශ්ව හිසකුයි මේ කැටයමෙන් නිරූපණය වෙනවා. මේ ගැන විවිධ මත තියෙනවා. එක මතයක් වන්නෙ අශ්ව හිසින් ගින්නට අධිපති අග්නි දෙවියනුත් මිනිස් රූපයෙන් වර්ෂාවට අධිපති පර්ජන්‍ය දෙවියනුත් නිරූපණය වෙනවා කියන එක. තවත් මතයක් තමයි හින්දු දේව කතාවල එන කපිල නම් සෘෂිවරයා සහ ඔහුගේ අශ්වයා මෙයින් නිරූපණය වෙනවා කියන එක. 

ඉසුරුමුණි පෙම් යුවල වගේම දුටුගැමුණු රජ පවුල වගේ කැටයම් ගොඩක් කෞතුගාරයෙ තිබුණා.



 ඉසුරුමුණියෙන් පස්සෙ අපි ගියා ශ්‍රී මහා බෝධියට.








 

එදා රුවන්වැලි මහා සෑයට සිවුරු පූජා කරන පිංකමක්..කට්ටියම හොඳට වැඳ පුදා ගත්තා. 














ඊළඟට අපිට රෑට නවතින්න තැනක් හොයාගන්න ඕන වුණා. හොයාගෙන හොයාගෙන යනකොට ශ්‍රී සරණංකර පිරිවෙනේ විශ්‍රාම ශාලාවෙ නවතින්න තීරණය කර ගත්තා. රෑට කෑම ළඟ ගෙයකින් සල්ලි වලට ගත්තා. අපිත් එක්ක හිටිය සමහර ඈයො ඒ ගෙදර හිටිය නංගිලාටත් ඇල්ම බැල්ම දාන්න අමතක කරේ නැහැයිලු. :P කට්ටියටම ආයිමත් හොඳට නාගන්න ඕන වෙලා තිබුණු හන්ද හැන්දෑවෙ ගියා තිසා වැවට. මුළු වැවම මීයට පිම්බ වගේ කිසිම හැලහොල්මනක් නෑ. නිදහසේ නාගත්ත. ආයි ඊළඟ දවසෙත් උදේම නාගන්න එනවා කියල හිතාගෙන අපි නවාතැන්පලට ගියා. බලාගෙන යනකොට වැඳ පුදා ගන්නවට වැඩිය කරල තියෙන්නෙ නාන එක. කොහෙද ඉතිං කොළඹ වැව් තියේයැ.




පහුවදා උදේම තව තැන් වලට යන්න හිතාගෙන හිටියත් වෑන් එක කලිං භාර දෙන්න වුණු නිසා අපි පිටත් වුණා.


                                                     තිසා වැව

ගෙදර යන ගමං...






  
                      






   


April 2, 2014

මුදල් නෝට්ටුවල ආවේණික කුරුල්ලන් | Endemic Birds in Currency Notes

මීට අවුරුදු කිහිපයකට කලින් නිකුත් කරපු අලුත් මුදල් නෝට්ටුවල විශේෂ දෙයක් තමයි ලංකාවට ආවේණික කුරුළු වර්ග කිහිපයක් ඒ මුදල් නෝට්ටු වල දකින්නට හැකි වීම. කාගෙ වුනත් හොඳ අදහසක්. ඒත් ඒ කුරුල්ලන්ගෙ නම ඒ නෝට්ටු වල දකින්නට නැහැ.

ලංකා කුරුළු සංගමයට අනුවනම් ලංකාවෙ පක්ෂි වර්ග 441 ක් පමණ ඉන්නවා. එයින් 33 ක් පමණ ලංකාවටම ආවේණික පක්ෂීන්. එයින් කිහිපයක් තමයි මේ මුදල් නෝට්ටුවල ඉන්නෙ.

#රු.20
                                      
   ~ පඬුවන් කන්බස්සා
   ~ Serendib Scops Owl (Otus thilohoffmanni) 

ලංකාවට ආවේණික බස්සන් වර්ග 2 අතරින් එක්කෙනෙක්. පහත් බිම් කිහිපයක විතරක් දැකගන්න පුළුවන්. වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියන කුරුල්ලෙක්. හඳුනගන්න තරමක් පහසුයි මොකද මෙයාට හොඳින් වැඩුණු කන් පෙති (True ear tufts) නෑ. 17 cm ක් පමණ දිගයි.

ලංකාවට ආවේණික අනිත් බස්සගෙ නම “පිටතඹල උපබස්සා“.

#රු.50


   ~ ලංකා නීලන් මැසිමාරා (අඳුරු නිල් මැසිමාරා)
   ~ Lanka Dull Blue Flycatcher (Eumyias sordida)

හෝර්ටන් තැන්න ආශ්‍රිත ප්‍රදේශයෙ බහුලව දැකගන්නට පුළුවන්. නමින්ම පැහැදිලි වන්නෙ මොවුන්ගෙ ප්‍රධාන ආහාරය කෘමි සතුන්, මැස්සන් ආදිය. මොවුන් කූඩු සාදා ගන්නෙ පාසි වර්ග ආදී දේවලින්.


#රු.100

   ~ රතු දෙමලිච්චා
   ~ Orange - Billed Babbler (Turdoides rufescens)

රතු පැහැයට හුරු සාමාන්‍ය තැඹිලි වර්ණයට හුරු කුරුල්ලෙක්. තෙත් කලාපීය ප්‍රදේශවල බහුලව දකින්නට පුළුවන්. මෙයාව හොයාගෙන තියෙන්නෙ 1847 දි.


#රු.500

   ~ අළු ගිරවා
   ~ Layard's Parakeet (Psittacula calthropae)

උද්‍යාන, එළි පෙහෙළි වූ කැළෑ ආශ්‍රිත ජීවත් වෙනවා. 13 cm ක් පමණ පෙදයක් ඇති 29 cm ක් පමණ දිගැති ගිරා විශේෂයක්. හිස සහ පෙදය නිලට හුරු අළු පැහැයකින් යුක්ත වන නිසා හඳුනගන්න පහසුයි.


#රු.1000

   ~ ගිරා මලිත්තා (පොල් ගිරවා)
   ~ Lanka Hanging Parrot (Ioriculus beryllinus) 

ඉතා සුළු රංචු ලෙස හෝ තනිව ජීවත් වෙන ගිරා විශේෂයක්. හිසෙහි රතු පැහැයට හුරු පෙදසක් තියනවා.


#රු.5000

   ~ ගල ගුඩුවා (කහ කොණ්ඩයා)
   ~ Yellow Eared Bulbul (Pycnonotus penicillatus)

හෝර්ටන් තැන්න, නුවරඑළි ආදී ප්‍රදේශවල පඳුරු, ලැහැබවල් වල කූඩු සාදාගෙන ජීවත් වෙනවා. යටි පෙදෙස දීප්තිමත් කහ පැහැයකුත් හිස අළු පැහැයකුත් පිටුපස ඔලිව් පැහැයකුත් තියනවා. මේ කුරුල්ලගෙ විශේෂත්වයක් වෙන්නෙ ඉතා කුඩා වට ear tufts පිහිටා තිබීම.



මේ මුදල් නෝට්ටු වල සමනළ වර්ගත් ඉන්නව..එයාල ගැන පස්සෙ දවසක හොයනවා...! :)

ප.ලි. - මෙහි ඇති සියලු ඡායාරූපවල හිමිකම් එම ඡායාරූපශිල්පීන් සතු විය යුතුයි.




 
Related Posts Plugin for WordPress, Blogger...