January 20, 2017

ඇල්ල කඳු මුදුනට | To Ella Summit

ඈත දුර රටක කුඩා චමරියක ගත වෙන නීරස ජීවිතයට සංචාරකයා මොහොතකට සමු දුන්නා. හිතේ හැටියට සැරිසරන්න තැන් බොහොමයි. නිවාඩුව කෙටියි.!

දිනය 2016 දෙසැම්බර් 16.

කොටුව දෙසට ඇදෙන බස් රථයක එල්ලුණ මං රාත්‍රී 7.50 ට කොටුව දුම්රිය ස්ථානය අසල. මං බදුල්ලට යන රාත්‍රී තැපැල් දුම්රියට ගොඩ වුණා. ගමනාන්තය කිතල් ඇල්ල දුම්රිය ස්ථානය. හැමදාමත් වගේ මේ හුදෙකලා රස්තියාදුකාරයට ගමන් සගයා වුණේ මගේ ආදරණීය කැමරාව විතරමයි..

කෝච්චි ගමන ඇතැම් විට වෙහෙස කරයි. ඒත් නිදහස්. බසයක එල්ලුනොත් පැය 5 කට ආසන්න කාලයකින් ළඟා වෙන්න හැකි දුරක් මම මේ පැය 11 ක් පමණ රේල් පීලි දෙකක් උඩ ගෙවා දමන්න සැරසෙන්නෙ. මං පාපුවරුවට ගොඩ වුණා. ඇඟේ හිරිගඩු නංවන උඳුවප් සීතල සුළඟ. ටික වෙලාවකින් කොංගො සද්දෙත් එක්ක හොඳ සිංදු වගයක් කියවෙන්න පටන් ගත්තා. මේ  අවස්ථාව එනකං තමයි මාත් බල බල හිටියෙ...!

පහුවදා හිමිදිරි උදේ මං ඇල්ල දුම්රිය ස්ථානයෙන් කෝච්චි ගමනට සමු දෙනකොට වෙලාව 7.00 ට පමණ ඇති. රේල් පාර දිගේ ආපසු කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දෙසට මං ඇවිදන් යන්න පටන් ගත්තා. මගේ ගමනාන්තය ඇල්ල කඳු මුදුන.!

රේල් පාර දිගේ යනකොට හමුවුණු සීයා කෙනෙක්ගෙන් පාර අහගත්තු මං බෝ ගහක් අසලින් වැටී තිබුණු අඩි පාරක් දිගේ මගේ ගමන ආරම්භ කරා. පුංචි දිය පාරක් මතින් වැටිල තිබුණ පාලමකින් එතෙර වුණාම හමුවුණේ විශාල මාන පඳුරු යායක්. පුංචි පුංචි අඩි පාරවල් හැම පැත්තටම. නිණව්වක් නැතිවම කන්ද දෙසට ඇදෙන අඩි පාරක් දිගේ මං ගමන් කරා. මාන පඳුරු යායෙන් බේරිච්ච මං පුංචි තේ වත්තක් මැද. තවත් හිතවත් ගැමියෙක්ගෙන් මාර්ගය ගැන අවබෝධයක් ගත්තු මං කඳු මුදුන දෙසට ඇදුනා.


බැක්පැක් එකේ බර, ගමන් වෙහෙස, මනස්කාන්ත හරිත වන දනව්, බඩගින්න, පිපාසය, නැවුම් සුළඟ. මේ ඔක්කොම එකතු වෙන්න ඕනෙ නියම සංචාරයකට.  

මද දුරක් තැනිතලා භූමියකුත් පසු කරගෙන ඉදිරියට ඇදුණ මට දර්ශනය වුණා ඇල්ල කඳු මස්තකය. ඊට මුහුණලා තියෙන පුංචි ශ්‍රී පාදයත්. මේ කන්දට පුංචි ශ්‍රී පාදය කියන්නෙ එය සමනළ කන්දෙ හැඩයට බොහෝ අතින් සමාන නිසා. වතුර පිපාසාව නිවාගන්නට මොහොතකට මං නතර වුණා. 


තවත් විනාඩි කිහිපයක ගමනකින් පසු හමුවෙන අඩි පාර තරමක් බෑවුම් සහිත මාර්ගයක්. පොළොව තෙත බරිත නිසා තරමක් ලිස්සන සුළුයි. 


අවසන මං කඳු මුදුනට ළඟා වුණා. මුළු ගමනට ගත වෙලා තිබුණා පැය එක හමාරකට ආසන්න කාලයක්. හෙමි හෙමින් වැටෙන අව් රශ්මියත් එක්ක මීදුම අතරින් දිස් වෙන දර්ශනය ගොඩක් ලස්සනයි. පහළට ගැඹුරු ප්‍රපාතය. එතැන පොඩියට වෙළඳාමක් කරපු ගැමියෙක්ගෙන් තේ කහට කෝප්පයක් ගත්තු මං තුඩුවෙ කෙළවරටම ළං වුණා. 
මේ කඳු හුස්ම ගන්නවා. මටත් දැනෙනවා..මම හුස්ම ගන්නවා.!




















May 15, 2016

The Lonely Shepherd | තනි වූ එඬේරා




එය රොමානියාවෙ කුඩා ගම්බද පෙදෙසකි. තණ බිම් යායම ටිකෙන් ටික අඳුරේ ගිල්වමින් සූර්යයා තවත් දවසක අවසානය සනිටුවහන් කරමින් සිටියි. බටහිර අහස දීප්තිමත් රතු පැහැයකින් නැහැවී ඇත. උදේම තණ බිමට රැගෙන ආ බැටළු රංචුව තවමත් නිදැල්ලෙ තණ කමින් සිටියි. උන්ගෙ කටවල් මොහොතකටවත් නවතින්නෙ නැති හැටි.!
එඬේරා තම අවට පරිසරය සිසාරා දෑස් යොමු කළේය. බැලු බැලූ අත හාත්පස විහිදී ඇත්ත‍ෙ ලොකු පොඩි කඳු පන්තිය. 
"කන්ද.., මේ හාත්පසටම සජීවි ප්‍රාණයකට ඇත්තෙ උඹත්, මාත්, මගේ මේ මිත්‍රයින් පිරිසත් පමණි.! ඔව්..නුඹත් හුස්ම ගන්නා බව මම දනිමි.!!"
                                  ඝණ ඕක් ගස් මුදුන් සිප ගෙන සීත සුළං හමයි. පැරණි ඕක් ගස් සෙවණක් යට ඉඳගත් එඩේරා සැඳෑවෙ තිබූ කාන්සිය දුරුලීමට තම බටනලාව වාදනය කිරීමට පටන් ගත්තේය. දිගින් දිගටම.. ඔව්..මුළු විශ්වයම ඔහුට දැන් අවනතය..
                                               ------------------------------

මේ සියුමැලි ස්වර මාලාව ඇසූ පළමු අවස්ථාවේම මා මනසේ ඇඳුණේ ඒ වගේ චිත්‍රයක්. හදවතට දැනෙන්නෙ අපූරු වේදනාත්මක හැඟීමක්. විශිෂ්ඨ සංගීතඥයෙක් වන ජේම්ස් ලාස්ට් (James Last)ගෙ සුප්‍රසිද්ධ නිර්මාණයක් වන The Lonely Shepherd. මෙය වාදනය කරන්නෙ ඒ වගේම විශිෂ්ට බටනලා (Pan Flute) වාදකයෙක් වන රොමේනියානු ජාතික ජෝර්ජ් සැම්ෆියර් (Gheorge Zamfire).

                                                        Gheorge Zamfire

                                                                           James Last

Quentin Tarantino ගෙ Kill Bill චිත්‍රපටය බලා ඇත්නම් ඔබට මේ වාදනය හුරු පුරුදු ඇති. 

විඳින්න..ඔබේ හදවත හඬා වැළපේවි..! :)

 





 
                              

 


 
Related Posts Plugin for WordPress, Blogger...