December 4, 2014

ඇඹුල්ගමට ගිය ගමන

ගොඩ දවසකින් කොහෙවත් ඇවිදින්න යන්න බැරි වුණා. ෆොටෝග්රැෆි ක්ලාස් තියෙන දවස්වලටනං ක්ලාස් ඇරිල එනකොට කොහේ හරි පොඩි රස්තියාදුවක් ගහල තමා එන්නෙ. ගාල්ලෙ යන්න කියල හිතා හිටියත් තිබුණ අසනීප තත්වයත් එක්ක යන්න බැරි වුණා. ගොඩ කාලයක ඉඳං තියෙන ආශාවක් තමා මාර්ටින් වික්‍රමසිංහ මහත්මය ජීවත් වුණු කොග්ගල ප්‍රදේශයෙ සංචාරයක නිරත වෙන එක. ළඟදිම යන්න තමා හිතං ඉන්නෙ..! 

කොහොමහරි දවසක් හැන්දෑකොරේක හිතුණා ඇඹුල්ගම පුරාණ රජමහා විහාරයත් එක්ක තියෙන කන්ද නගින්න ඕනය කියල. ඇඹුල්ගම තියෙන්නෙ කඩුවෙල, ඒ කියන්නෙ අපේ ගෙවල් හරියෙ ඉඳන් කිලෝමීටර් 10 ක් විතර දුරින්. කොළඹ ඉඳන්නං අවිස්සාවේල්ල පාරෙ ආවොතින් කිලෝමීටර් 22 ක් වගේ ඇති. මහාලොකු ගමනක් නොවුනට ඒ ගැන පොඩියට බ්ලොග් එකේ සටහනක් දාන්න හිතුණා. .

මං කලින් කඳු නැගිල්ලකදි හඳුන්වල දීපු චමත් කියන හාදයත් මේ ගමනට එක් වුණා. ගෙදරින් පිටත් වෙද්දි නං වැස්සක පෙර සළකුණු අහසෙ පේන්න තිබ්බා. ඒත් වැස්ස වළාවක දෙයියො අපට අනුකම්පා කරා..
ඓතිහාසික වශයෙන් ඇඹුල්ගම පුරාණ විහාරය පිළිබඳ ගොඩක් කරුණු තියෙනවා. විශේෂයෙන්ම මේ කන්ද ආශ්‍රිතව පිහිටල තියෙන ගල් ගුහා.
දැන් ඇඹුල්ගම රජමහ විහාරය නමින් හැඳින්වුවට පුරාණ කාලෙදි මේ විහාරය හඳුන්වල තියෙන්නෙ ඇඹලව රත්ගල් වෙහෙර නමින්. ඒ කියන්නෙ ඉස්සර ඇඹුල්ගම ග්‍රාමයට කියල තියෙන්නෙ ඇඹලව කියල. කාලයත් එක්ක ඇඹලව, ඇඹුල්ගම විදිහට පරිණාමය වෙන්න ඇති. 
ඇඹුල්ගම හංදියෙ ඉඳන් මීටර් 500 ක් විතර තියෙන දුර ඇවිදං ගිහිල්ල අපි කන්ද නගින්න පටන් ගත්තා. 

කන්ද නගින්න පටන් ගන්නකොටම වගේ තමයි මේ විදිහට මිහිඳු මහරහතන් වහන්සේගෙ ලංකාගමනයෙ අවස්ථාවක් පිළිම විදිමට නිර්මාණය කරල තියෙනව දකින්න පුළුවන් වෙන්නෙ.

                                                                       (අන්තර්ජාලයෙනි)       
ගල් පඩි වලට අඩිය තිය තියා ටික දුරක් ගියාම පුංචි වැලි මළුවක් හමුවෙනවා. මෙතැන පසු කාලීනව ඉදි කරපු විශාල හිටි පිළිමයක් තියෙනවා.   

ඒ වගේම සැතපෙන පිළිමයකුත්, සමාධි බුදු පිළිමයකුත් දකින්නට පුළුවන්. විශාල හිටි පිළිමය හැරුණාම අනෙකුත් පිළිම නං මට හිතෙන්නෙ පෞරාණික පිළිම. දැන් ප්‍රතිසංස්කරණය කරල තියෙනවා. 


සැතපෙන බුදු පිළිමයට තරමක් එහායින් දැකගන්න පුළුවන් තවත් හිටි පිළිමයක්.

         
සංචාරකයට හිතෙන විදිහට ඒ ආනන්ද හිමියන්ව වෙන්න ඕනෙ නිරූපණය කරල තියෙන්නෙ. එතකොටම මතක් වෙන්නෙ ගල් විහාරයෙත් සැතපෙන පිළිමය අසලින්ම තියෙන පිළිමය. 
          (ගල් විහාරයෙ තියෙන පිළිමය)


ගොඩක් විද්වතුන්ගෙ අදහස ඒ බුද්ධ පරිණිර්වාණයෙන් ශෝකයට පත් ආනන්ද හිමියන්ගෙ පිළිමයක් බව. මේ පිළිමයෙත් තියෙන්නෙ ගල් විහාරයෙ පිළිමයෙ තියෙන මුද්‍රාවමයි..



                     

ඇඹලව රත්ගල් විහාරය ආශ්‍රිත ඓතිහාසික කතා පුවතුත් ගොඩක් තියෙනවා. ඉතිහාසයෙ සඳහන් වෙන විදිහට දුටුගැමුණු රජතුමාගෙ රාජ්‍ය කාලයෙ හිටිය මලියදේව මහරහතන් වහන්සේ කාලයක් කැළණි ගඟ ආශ්‍රිත ඇඹුල්හෙළු නම් පෙදසක වැඩ සිටියලු. ඒ පෙදෙස විදිහට ගොඩක් දෙනා පිළිගන්නෙ මේ ඇඹුල්ගම කන්ද ආශ්‍රිත ප්‍රදේශය. ඒ වගේම දඹදෙණියෙ රාජධානියෙ රජකම් කරපු 3 වන විජයබාහු රජතුමා ඒ කාලෙදි සිදුවුණු කාලිංඝ මාඝ ආක්‍රමණයට එරෙහිව තමන්ගෙ සේනා සංවිධානය කරපු ස්ථානයක් හැටියටත් ගොඩක් පාලකයින්ට හදිසි ආක්‍රමණ වලින් සැඟවෙන්න යොදාගත්තු ස්ථානයක් හැටියටත් මේ ප්‍රදේශය ප්‍රසිද්ධයි. අදටත් කටාරං කොටපු ගල්ගුහා ගොඩක් දැකගන්න පුළුවං. 

කන්ද උඩට නගින්න තියෙන්නෙ විශාල පර්වතයක් අයිනෙන් වගේ. දැන්නං යකඩ වැටවල් සවි කරල තියෙන හන්ද අවධානමක් නෑ. කොහොමහරි වැඩි වෙලාවක් යන්න කලින් අපි කන්ද උඩට ආවා. මුළු පළාතම හොඳට පේනවා එතෙන්ට. පැත්තකින් කැළණි නදියත් ගලාගෙන යනවා.  කන්දක් උඩට නැග්ගොත් මගෙ කැමරා පොඩ්ඩෙන් පැනරොමාවක් වරදින්නෑ ඉතින්.. :)



අපි කලින් දවසක නැග්ග කොරතොට කන්දත් මෙතෙන්ට පෙනුණා. 

                                           (මැදින් පොඩියට පේන්නෙ ඒ කන්ද)



තවත් ටික වෙලාවක් ඉඳල අපි ආපහු එන්න පටන් ගත්තා.
තවත් පුංචි රස්තියාදුවක නිමාව...

Travelling is almost like talking with men of other centuries..
                                                     ~Rene Descartes~
__________________
කාලයක් බ්ලොග් කියෝ කියෝ ඉඳල ඊට පස්සෙ මොනවහරි ලියනව කියල බ්ලොග් එකක් අටෝගත්තා.. 
ඉතිං අද බබාගෙ පළවෙනි උපන්දිනේ.. !! :D 














  

 


November 17, 2014

ආනන්ද, සර්පයා දුටුවාද ?

නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ සිනමා නිර්මාණය, තණ්හා රතී රඟා දින ගණනාවක සිට රස විඳීමට බලා සිටියත් ඇති වූ අසනීප තත්වය සහ යෙදුණු ගමන් බිමන් කිහිපය නිසා ම ඊට කාලයක් වෙන් කරගන්නට බැරි විය. වෙලාවක් කලාවක් ගැන නොහිතන මා මීට දින කිහිපයකට පෙර මොරසූරන වර්ෂාව මැද්දේම රාත්‍රී දර්ශනය බැලීමට කඩුවෙල නගරයේ විජයන්ති සිනමාහලට පැමිණියත් ගිය පයින්ම ආපසු එන්නට සිදු වූයේ රාත්‍රී දර්ශනය බැලීම සඳහා පැමිණ තිබුනේ මා පමණක් නිසාවෙනි.. 

කෙසේ හෝ ඉරිදා දිනයක නැවතත් සිනමාහලට ගොස් තණ්හා රතී රඟා රස වින්දෙමි. කාලාන්තරයක් තිස්සේ අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය සීනිබෝල සිනමා නිර්මාණ මගින් පට්ට ගසමින් ප්‍රේ්ක්ෂකයින්ට සිනමාව එපා වෙමින් තිබූ අවධියක තණ්හා රතී රඟා යනු ඉඩෝර බිම්කඩකට වැටුණු නැවුම් වර්ෂාවකි. 
මෙය විචාරයක් නම් නොවේ. හුදෙක් චිත්‍රපටිය නැරඹීමෙන් ඇති වූ ප්‍රබෝධය යුනිකෝඩ ගත කිරීමකි.

එදවස වර්ෂ දෙදාස් නවයේ මැයි මස දහ අට වන දිනයි. කතාව ඇරඹෙන්නේ ප්‍රභාකරන් මිය යාමේ පුවතත් සමග රතිඤ්ඤා පත්තු කරමින් සහ කිරිබත් දන්සැල් දෙමින් ආනන්දයට පත් මිනිසුන් ජාතික කොඩි වනමින් සතුටු වන අයුරු දෙරණ නාලිකාවේ විශේෂ ප්‍රවෘත්තියක් ලෙස පෙන්වමින්ය.  
කතාවේ ප්‍රධානම නළුවෙක් වන සිරිතුංග හෙවත් සරත් කොතලාවල අල්මාරිය පීරා සොයාගන්නා ජාතික කොඩියේ දුහුවිලි පිස දමා නැවත එළියට ගන්නේ නිදහසේ සතුට සැමරීම සඳහායි. 
මෙහි සංකීර්ණතම චරිතය වන්නේ ද තිදරු පියෙක් වන සිරිතුංගයි. අවසානය තෙක්ම මා ඔහුගේ මනෝමය සිතුවිලි කෙබඳුදැයි පිළිබඳව කුතුහලයකින් පෙළුණෙමි.

කෙසේ හෝ සිරිතුංගත් ඔහුගේ මිත්‍රයින් දෙදෙනා වන ත්‍රී රෝද රථ රියදුරෙක් වන විමල් හෙවත් කුමාර තිරිමාදු ත් සරසවි ශිෂ්‍යයකු වන සුරාජ් හෙවත් නාමල් ජයසිංහ ත් යාපනයේ සංචාරයක් යෑම සඳහා සැලසුම් කරයි. 
පසුව මිත්‍රයින් දෙදෙනා ජාතික කොඩිය සහ බෞද්ධ කොඩිය එල්ලූ විමල්ගේ ත්‍රීවිල් රථයෙන් යාපනයට යයි. මේ අතර විමල්, ජසින්තා නම් වූ තරුණිය සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගනියි. විමල් දුරකථනයෙන් ජසින්තා සමග පෙම්බස් හුවමාරු කරගනිමින් අවිඥාණිකව කකුලෙන් වෙරළේ වැලි හාරමින් සිටිද්දී ත්‍රස්තවාදීන් සතුව තිබූ ගිනි අවියක් ඔහුට හමුවේ. ඒ අසලම සර්පයෙකු සිටීමෙන් සංකේතාත්මකව විනාශය, තණ්හාව නිරූපණය කරයි. ගිනි අවියට කුමක් කරන්නේද යන්න මිත්‍රයින් තිදෙනා අතර අදහස් හුවමාරු වේ. විමල්ට අවශ්‍ය වන්නේ ගිනි අවිය කොළඹ රැගෙන ගොස් විකුණා මුදල් ගැනීමටයි. ගිනි අවිය ගමනේ සිහිවටනයක් ලෙස ළඟ තබා ගැනීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වන සුරාජ් අදහස් කරයි. මේ අතර සිරිතුංග ගිනි අවිය විසිකර දමා නැවත ආපු ලෙසම කොළඹ යාමට තම මිත්‍රයින් දෙදෙනාට බල කරයි. ඔහු තිදරු පියෙක් නිසා මේ හේතුවෙන් යම් කිසි කරදරයකට මුහුණ පාන්නට සිදු වුනොතින් බිරිඳ සහ දරුවන් ජීවත් වන්නේ කෙසේදැයි බියෙන් පසු වෙයි. නමුත් ඔහුගේ සිතේ ද ගිනි අවිය පිළිබඳ ආශාවක් තිබෙන බව ව්‍යංගයෙන් කතාවේ ඇතැම් දර්ශන වලින් පිළිඹිමු වන බව මට සිතුණි. කෙසේ හෝ ගිනි අවිය විමල් කොළඹ රැගෙන එයි. එන අතරමගදී අපට හමුවන සේවය නිම කළ පොලිස්කාරයෙකුගේ චරිතය බලය සහ තරාතිරම පෙරටු කර ගනිමින් වංචාව සහ දූෂණය සිදු කරන අයුරු පෙන්වා දෙයි. 

කෙසේ හෝ විමල් සහ සුරාජ් අතින් ගිනි අවිය තමන්ට සිදු වෙන අසාධාරණයක් හමුවේ පාවිච්චි කිරීමට සිදුවීමෙන් තමන් සතුව ගිනි අවියක් තිබෙන බවට සමාජයට හෙළි දරව් වේ. ඔවුන් දෙදෙනාම පොලීසියේ රැහැනට අසු වේ. ඊට ප්‍රථම සිරිතුංග ගිනි අවිය බලෙන් ගෙන තම නිවසේ පෙට්ටගමක් යට සඟවා තබයි. ඒ අසලම කඩුවක් ද සඟවා තිබීමෙන් ඔහු සතුව බලයට තිබූ ආශාව නිරූපණය කරයි.
නැවතත් සංකේතාත්මකව සර්පයකු පෙට්ටගම යට සැඟවෙයි...

තෙවන වරට ද ගිනි අවිය අවිඥ්ඤාණිකව පත්තු වේ.........!!!!
______________________________________

සිනමා කෘතියක තිබිය යුතු නාට්‍යමය විලාශය අවසානය තෙක්ම නොඅඩුව තිබුණි. සරත් කොතලාවල, කුමාර තිරිමාදුව, නාමල් ජයසිංහ සහ සුලෝචනා වීරසිංහ ගේ තාත්වික සහ ප්‍රතිභා පූර්ණ රංගනය කතාව ප්‍රේක්ෂකයාගේ හැඟිම් සමග එකට ගැටීමට සමත් වුණි.
කතාවේ අවසාන භාගයේදී සිදු වී ඇති දෙය ආරංචි වී සිරිතුංග තම සේවා ස්ථානයේ සිට නිවසට බයිසිකලය පදිමින් එන සැටි විනාඩි කිහිපයක රූප රාමවුක සටහන් වේ. එම මුළු කාලය තුල මෙතෙක් සිදූ වූ සිද්ධීන් ඒත් සමග වාදනය වන සිරිතුංග ගේ සියළු හැඟීම් මුසු කර තිබූ පියානෝ නාදයත් සමග නැවත මගේ මනසේ දෝංකාරය දීමට පටන් ගත්තේය. 

තවත් තීරණාත්මක රූප රාමු කිහිපයකින් කතාව අවසාන වෙයි..... :)
මෙතුවක් කාලයකට මා නැරඹූ සමාජීය සහ දේශපාලනික තේමාවක් රැගත් විශිෂ්ටතම සිනමා නිර්මාණයක් ලෙස තණ්හා රතී රඟා හැඳින්විය හැකිය. 






පින්තූර තණ්හා රතී රඟා facebook පිටුවෙනි...




November 13, 2014

අහිමි වාසනාව

උදා හිරු පූජනයේ
පිණිබිඳු සැඟව යන හිමිදිරියේ
විහඟුන්ගේ කූජනයටත් පෙර
ඇසෙන්නේ 
දැවමය සිරකුටියේ
සිරගත වුණු ඔබේ හඬයි..

රුපියල් සත කෝටි ගණනින් දන් දී
ලැබෙනා සොච්චම වෙනුවෙන්
කෑ ගසා අයදින..,
ලෑලි කුටියෙන් නික්ම
මාළිගාවක වැජඹෙන්නට
වෛවර්ණ කොල කැබලි අතර
දෝංකාර නගන ධ්වනි තරංග
ඔබේ හඬයි..
  
පිදුවත් වාසනාව
යනෙන උන් හට
අහිමිය එයම තවමත්
සිතුවම් කරන්නට වර්ණ
කළු සුදු ජීවිතයේ..




පින්තූරය ගූගලයෙනි..




October 12, 2014

සියදෝරිස් අත්තා සහ පැල් කවි

'සියඹලදෙණිය' කියන්නෙ ඒ ඉසව්වෙ තියෙන පොඩිම ගම්මානෙ. හතරපැත්තෙන්ම සුවිසාල කඳු පේළියකට වටවෙලා තිබුණු හන්ද ඒ ගම්දනව්ව ඒ ඉසව්වෙ හැංඟිලා වගේ තිබුණේ. සියඹලාදෙණියෙ ජීවත් වෙච්ච මිනිස්සුත් හේන් ගොවිතැනට පිං සිද්ධ වෙන්ට අඩුවක් පාඩුවක් නැතුව කාල බීල ජීවත් වෙලා තමන්ගෙ පණ කෙන්දත් රැකගෙන උන්න මිසක් ගොවිතැනෙන් ලැබිච්ච ඵලදාව විකුණගන්ටයි, අවුරුදු කාලෙට නගරෙ කඩමංඩියට ගොහිං චීත්තයක් සරමක් අරං එන්නයි ඇරෙන්න ඉං එපිට පස් පෑගුවෙ නෑ. 
මේ ගම්මානෙට සියඹලදෙණිය කියල නම හැදුනෙනං බෝම සාරෙට හැදුණු සියඹල වත්තක් තිබුණු හන්ද..

ගම්මානෙටම තිබුණෙ එකම එක කඩයයි. ඒ අප්පුවගෙ කඩේ. දවස තිස්සෙම හේනත් එක්ක ඔට්ටු වෙන ගමේ කවුරුත් ඉර දෙයියො උන්දැලගෙ හේමලයත් අඬ ගහගෙන බස්නාහිර පැත්තෙන් හැංගිලා යන්න හදන වෙලාවට වැවෙන් ඇඟ පත එහෙම හෝදගෙන කාරිය කාත් කවුරුත් හකුරු කෑල්ලකුත් එක්ක කහට ඩිංගිත්තක් බොන්න, දාං අතක් අදින්ට එකතු වෙන්නෙ අප්පුවගෙ කඩපිලට. ඒ කාරණේ එහෙම සිද්ධ වුනාට මොකද කඩේ ඉස්සරහ සියඹල ගහ යට තිබුණු බංකුව උඩ දවසම ලැග් ගහගෙන ඉඳපු මනුස්සයෙක් හිටියා. ඒ සියදෝරිස් අත්තා. අවුරුදු අසූවක්ම වයස හන්ද ගොවිතැන් කරන්ටත් බැරි එකේ දවසම උන්නෙ ඔතන. ගෙදෙට්ට ගියේ වේල සප්පායම් වෙන්ටයි රෑට නිදාගන්ටයි විතරයි. උන්දැගෙ පුතණ්ඩියා සිරිපාලය, ගෙදෙට්ට අඩුවක් පාඩුවක් කරන්නැතුව අප්පොච්චගෙ හේන වගා කෙරුව. සියදෝරිස් අත්තගෙ රාජකාරිය දවසම බංකුවට වෙලා ඉඳගෙන කඩේට එන එවුන්ට කවියක් කතන්දරයක් කියා දීල විහිළුවක් තහළුවක් කරගෙන බුලත් හපයක් වික විකා ඉන්න එක. හවසට කඩේට රැස් වුණු කට්ටියත් පුරුදු වෙලා හිටියෙ සියදෝරිස් අත්තගෙ කවි කතන්දර අහන්න.

"ඈ බොල පොඩි මැණිකො. උඹෙන් බත් ඩිංගක් කෑවෙ නෑ බොල කාලෙකිං. උඹ හදන පොළොස් මාළුව වගේ පොළොස් මාළුවක් හදන්න බෑ මේ අහලගං හතක එකියකටවත්."
සියදෝරිස් අත්තා කඩේට ආපු පොඩි මැණිකට කීවා. 

"වෙලාවක එන්ටකො ඒ පැත්තෙ. මං හදල තියන්නම්"
පොඩි මැණිකා කීවෙ ලැබුණු වර්ණනාවෙන් තරමක ආඩම්බරකාර හිනාවකින් සැරසිලා. 

"ඇයි සියදෝරිස් අත්තට විතරක්. අපිටත් දීල කෑවාම මක් වෙනවද?.."
හේන් කටයුතු අහවර කරල ඇවිල්ල කඩපිලේ බංකුව උඩ සිරිපාලයත් එක්ක දාං අතක් ඇද ඇදා උන්නු ගුණපාලය කීවෙ තාමත් පෙළවහක් කරගනෙ නැති පොඩි මැණිකා දිහා මනමාල බැල්මකුත් දාගෙනම... 

"ඈ බං ගුණපාලයො උඹ අද පැල් රකින්න යන්නැතෙයි. ඊයෙත් මූකලානෙන් කඩා පාත් වුණු වල් ඌරො රංචුවක් සිරිපාලයගෙ හේන දෙවනක් කරල. සාරෙට හැදීගෙන ආපු බඩ ඉරිඟු පැළ ටික විනාස කරල දාල."
සියදෝරිස් අත්ත සියඹල ගහ මුලට බුලත් කෙළ පාරකුත් ගහල කීවා.

"තව ඩිංගිත්තකින් යන්ට ඕනෙ අත්තෙ. කොහෙද මේ ගම්මානෙ එකෙකුටවත් තාම තුවක්කු ලයිසන් එක ගන්ට හම්බුන්නෑනොවැ. ගිනි බටයක් තිබ්බනං ඕකුන්ට කරන වැඩේ දනී මං"
ගුණපාල කීවෙ සිරිපාලයගෙ ඉත්තො තුන්දෙනෙක්ම අරගන්න ගමං. 

"බොලා ඔහොම කියනකොට මටත් මතක් වුණා අපි ඒ කාලෙ පැල් රැකපු හැටි. බොලාට වගේ තමා අපිටත් ඒ කාලෙ ගිනි බට තියාගන්න සුදු මහත්තැයල අවසර දුන්නෑ. ගිනි බටයක් තිබ්බෙ ගමේ ආරච්චිල ගාව විතරයි. දරු මල්ලොත් ගෙදර තනිකරල දාල අපේ මායිය හදල දෙන බත් මුලත් අරගෙන හඳ පායගෙන එනකොට හේනට යනව පැල් රකින්න. ගෙදරින් එළියට බහින්නෙ සමන් දෙයියො සිහි කරගෙන. අර සිරිපාලයගෙ හේනෙ තිබ්බ විසාල මාර ගහේ තමා මගේ පැල තිබ්බෙ. හේනට ඇවිල්ල පැල ගාවින් ගිනි මැලයකුත් පත්තු කරල කාරිය පැලට නගිනව. හූ තියල ගිණි මැල පත්තු කරල තමා හේන දෙවනක් කරන්ට එන සත්තුන්ව එලවගන්නෙ. ඔහොම ඉන්නකොට දවසෙම හේනත් එකක් ඔට්ටු වුණු හන්ද නිදි මත, කාංසිය හැදෙනවා. ඔය වෙලාවට තමා කවියක් එහෙම කියල කාංසිය ඇරෝගන්නෙ. ඔය පොඩි මැණිකගෙ අප්පොච්චා තමා පැල් කවි කියන්න සූරයා. පොඩි එකෝ.., උඹ අහල තියේද මේ කවිය.."
සියදෝරිස් කීවෙ උගුරෙ රැල් බුරුල් ඇරල කවියක් කියන්ට සූදානං වෙන ගමන්..
"අහගනිංකො මේක.." 

                         පෙරකාලේ කරපු අකුසල්වල අප     ලා
                         මේ කාලේ විඳිති දුක් පැල්වලට වෙ   ලා
                         රජකාලේ පටන් පුරුදුව පැල් රැක     ලා
                         ලොකු රාලේ කියන් පැල්කවි තෝරා ලා

"මගේ හේන ගාවින්ම වගේ තිබ්බෙ සූරසේනයගෙ හේන. ඌත් කවි කියන්ට හපනා. මායි ඌයි පැල් රකිනකොට තරඟෙට පැල කවි කියාගත්තා."
                          දුකින් දුකින් මම පැලපිට උන්කල     ට
                          කිරලෙක් ඇවිත් බය ගැන්නුවයි එවි   ට
                          අනිච්චන් කිරලො මා බය ගැන්නුව    ට
                          හෙට වෙනදා දඩ පමුණවයි කිරලා     ට

"නිදිමත යන්ටත් එක්ක මං ඕම සීපදයක් කිව්වාම සූරසේනයත් ඒකට හරියන්ට එකක් කියනව"

                        මගේ රැලේ එක කිරලෙක් අඩු බැවි     න
                        අඬා ගියෙමි උඹ සිටිනා පැල උඩි         න
                        ඒ වරදට දඩගනිතොත් මා අති             න
                        අනිත් ගමන එන්නෙමි උඹෙ පැල උඩි  න

"ගුණපාලයො.., උඹත් කියාන්කො බලන්න පැල් කවියක්"
සියදෝරිස් ගුණපාලයට කීවා.
"ඕං එහෙනං අහගනිල්ලකො.."

                         කැලේ ගොසින් ඉනි කැපුවා කැත්ත     දනී
                         වෙලේ ගොසින් ඉනි හැදුවා නියර        දනී
                         පැලේ ගොසින් පැල් ලැග්ගා පැදුර       දනී
                         මෙදා පැලේ පැල් ලැග්ගා දෙවියො      දනී

ගුණපාලය සීපදය අහවර කරනවත් එක්කම සියදෝරිස් අත්ත තව සීපදයක් කියන්ට පටන් ගත්තා.

                         අඹුවට බයේ ගෙදරින් යයි පැල උඩ     ට
                         ඌරට බයේ නොබසියි මැරුවත් බිම    ට
                         ඒකට මොකද තව පුරසාරම් එම          ට
                         මූලට හොඳයි හැඳ නැතුවම පටවන්      ට

ඒ කවියට කඩ පිලේ හිටිය පොඩි එවුන්ට හිනා..
"අදනං මෙතන කවි මඬුවක් වෙන්ටයි යන්නෙ"
පොඩි මැණික ගාවින්ම බිම ඇන තියා ගත්තු එතනා කීවා.

"ඕං එහෙනං මේ ටිකත් අහගනිල්ලා.." සිරිපාලයත් බලාගෙන හිටියෙ සීපදයක් කියන්ට.
                         
                         අහස තනිවේද විදුලිය කෙටුවා           ම
                         පොළොව තනිවේද මම බිම බැලුවා    ම 
                         මූද බොරවේද ගොඩරැල ගැසුවා         ම
                         සිතේ දුක යාද දවසක් ඇඬුවා             ම

"ඕං බලහං මායියයි දරු පැංචො ටිකයි ගෙදර තනියම දාල පැල් රකින්ට ආපු දුක ඒ සීපදේම තියනවා.".. සියදෝරිස් අත්ත කීවා.

                         දනවා පපුව සිහිවෙනකොට අම්ම          මගේ
                         එනවා කඳුළු නෙත්දෙක රතුවෙලා         යුගේ
                         වෙනවා මෙහෙම කල් ලැබුනම සෙනසුරු ගේ
                         මොනවා කියා සිත සනසා ගන්ද            මගේ 

                         බුලත් කඩන්නේ නැටි අල්ල අල්        ලා
                         පුවක් කඩන්නේ නැටි සොල්ල සොල් ලා
                         වඳුරො පනින්නේ පිණි සොල්ල සොල්ලා
                         මගෙ පුතු අඬන්නේ ඉව අල්ල අල්      ලා

මෙච්චර වෙලා නිස්සබ්දව හිටිය පුංචි බණ්ඩත් ඈත කන්ද උඩින් පායගෙන එන හඳ දිහා බලාගෙනම කීවා. හඳ පායනව කියන්නෙ දරුමල්ලො ටික ගෙදර තනිකරල දාල පැල් රකින්න යන්න වෙලාව හරි කියන එක.

"නිදිමතක් කාංසියක් පාළුවක් දැනෙන්න නොදී රෑට පැල උඩට වෙලා හේන ආරක්සා කරගන්න පිහිට උනේ ඔය එවෙලෙට ගොතන පැල් කවි ටික තමා." සියදෝරිස් අත්ත කීවෙ තවත් පැල් කවියක් කියල.

                        අහසේ තරුසේම ගොවිතැන් කරන්     නේ
                        පොළොවේ වැලිසේම බෝගත් ඉසින් නේ
                        මගෙ හේනමයි ඌරට පෙණෙන්        නේ
                        විස්ණු සමන් දෙවියෝ නඩු බලන්      නේ

"හා හා දැන් ඉතින් ගෙවල්වලට පලයල්ලා..ගොම්මනත් වැටීගෙන එනවා." සියදෝරිස් අත්ත කීවෙ බංකුවෙන් නැගිටින ගමන්.
"පොඩි මැණිකෝ., ඔන්න එහෙනං මතක් කරල පොළොස් ඇඹුලක් හදාන් ඈ. උඹෙ පොළොස් ඇඹුල එක්ක කළු ගලක් උනත් කෑවහැකි බොල".. 
                        
                        සුවඳනැති මලක් පිපුනයි අපෙ වත්     තේ
                        සුවඳ නැති නමුත් ලෝකෙට රුව ඇත්තේ
                        එකයි දෙකයි තුන හතරයි එක ඉත්     තේ
                        එරබඳුමලට විතරයි බඹරිඳු නැත්        තේ

සියදෝරිස් අත්ත ගෙදෙට්ට හෙමින් හෙමින් යන ගමන් කියාගෙන ගියා..

ඒත් එක්කම අප්පුවගෙ කඩේ පරණ රේඩියෝ එකේ අමරදේව මහත්තයගෙ සින්දුවකුත් යනව ඇහුණා. අප්පුව සද්දෙ පොඩ්ඩක් වැඩි කරේ එක අතකින් තාලෙ අල්ලන ගමන්මයි. 






  


























 

September 23, 2014

ඇලස්කන් සිහිනය හඹා ගිය සංචාරකයා..

ඒ 1992 අගෝස්තු මාසයයි.. ශීත කාලය අවසන්ව හාත්පසම හරිත පැහැයෙන් බබළමින් තිබූ සුන්දර ඇලැස්කාවේ වනගතව එහි දර්ශනීයත්වය රසවිඳි ඔහුගේ දෑස් ඒ වනවිට ඇස්පිල්ලමක්වත් නොගසා, ඔහුට නවාතැන් දුන් වනමැද තිබී හමුවූ අබලන් බස් රියේ ජනේලය තුලින් නිල්වන් අඹර දෙසට මානා තිබුණි. ඔහු අසල වැටී තිබුණු ඔහුගේ දිනපොතේ අන්තිමට සටහන් කර තිබුණේ "Beautiful Berries" යනුවෙන් පමණි. ඒ අසලම විවිධ පැළැටි වර්ගවල විස්තර සහිත පොතක් ද ඔහුව මරණයේ ද්වාරය කරා යැවූ wild potato ශාකයක ඵල කිහිපයක්ද විසිරී තිබුණි. මද සුළඟට සලිත වූ ගස්කොළන් හැර සියල්ල නිශ්චලය..

1990 දී ඇමරිකාවේ Emory විශ්වවිද්‍යාලයේ ඉගෙනුමෙන් පසු ඔහුගේ එකම අරමුණ වූයේ මුදල් සහ මිනිසුන්ගෙන් සඳහටම වෙන් වී තම මුළු ජීවිතයම ත්‍රාසජනක සංචාරයන් සඳහා කැප කිරීමයි. ඔහු ළඟ ඉතිරි කරගත් ඩොලර් 24000 ක මුදල චෙක් පතක් මගින් OXFAM නම් වූ දිළිඳුන්ගේ කුසගින්න නිවාලන අරමුදලක් සඳහා පරිත්‍යාග කෙරුණි. ග්‍රීෂ්ම සෘතුවේ එක් දිනයක ඔහු තම පවුලෙන් සහ මුළු සමාජයෙන්ම රහසේම නික්මව ඔහුගේ පැරණි Datsun රථය කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇරිසෝනා සහ දකුණ ඩකෝටා ව හරහා පදවමින් සිටියේ කිලෝමීටර 6864 ක් දුරින් පිහිටා තිබූ සුන්දර ඇලස්කන් සිහිනය සපුරා ගැනීමටයි. 

කෙසේ හෝ එක් රාත්‍රියක ඔහුටත් ඔහුගේ ගමන් සගයා වූ කාර් රථයටත් සුළු විවේකයක් ලබා ගනු වස් ගං ඉවුරක රථය නවතා පිටිපස අසුනේ නිදි කිරමින් සිටි ඔහු තිගැස්සී අවදි වූයේ ක්ෂණික ගං වතුරක රළ පහරකටය.
අබලන් වූ තම Datsun රථය අතහැර ඔහු තම සංචාරය ඇරඹුවේය. 
විසල් වනාන්තර, ගංගා ඇළ දොළවල්, කඳු ගිරි ශිඛර සහ නොයෙකුත් මිනිසුන් වෙසෙන පෙදෙස් මැදින් ඔහු සංචාරය කළේය. අතරමගදී කුළුපග වූවෙකු "ඔබේ පවුල කොහෙද ජීවත් වන්නෙ..ඔවුන් මොනවද කරන්නෙ ?" යැයි ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ "මට තවදුරටත් පවුලක් කියා දෙයක් නොමැත" යන්නයි.

සුළු මුදලක් සොයාගැනීම සඳහා ඔහු ඔහුගේ දිගු සංචාරය අතරතුර සුළු රැකියාවල නිරත වුණි. කාලයත් සමඟ බොහෝ දුර ගෙවා දමමින්, ප්‍රාන්ත දේශ සීමා පසු කරමින් ඔහු ඇලස්කාවට ළං වෙමින් සිටියේය. එක් අවස්ථාවක රහසේම දේශ සීමාවක් පසු කරන්නට උත්සහ කරමින් සිටිද්දී ඔහු පොලිසියට අසු වුවද ඔහුගේ තත්වය තේරුම් ගත් ඔවුන් ඔහුව මුදා හැරුණි.

Ronald Franz නම් වූ මහල්ලෙක් ඔහුට හමුවුණි. ඔහුගේ ජීවිත කතාවට සවන් දෙන රොනල්ඩ් ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන යාමට පොරොන්දු වුණි. රොනල්ඩ් අත්කම් ශිල්පය ප්‍රගුණ කළ අයෙකු විය. ඔහු රොනල්ඩ් නම් මහළු මිත්‍රයාගෙන් අත්කම් ශිල්පය ඉගෙන ගැණුනි. ඔහු තමන් සඳහා ඉණ පටියක් සාදවාගෙන එහි ඔහු සංචාරය කළ පෙදෙස් සහ සිහිවටන කැටයම් කළේය. 

  
පවුලක් හෝ නෑදැයින් කිසිවෙකු නොමැති අවුරුදු 80 ක් වයසැති ඒ රොනල්ඩ් නම් වූ මහල්ලා ඔහුත් සමග දැඩි මිත්‍රත්වයක් ඇති කර ගැණුනි.
ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන ගොස් ඔහුගෙන් නික්ම යන මොහොතේදී "ඔබට මගේ මුණුබුරෙක් වී මාත් සමග ජීවත් වෙන්නට බැරිද ?" යැයි ඇසූ විට "අපි ඒ ගැන ඇලැස්කාවට ගිහිං ඇවිත් කතා කරමු.." යනුවෙන් පැවසූවත් ඔහු කවදාවත් නැවත නොපැමිණුනි.  

අවසානයේදී ඔහු 1992 අප්‍රේල් මාසයේදී Fairbanks සහ The Stampede Trail කඳු ශිඛරය ඔස්සේ ඔහුගේ එකම සිහිනය වූ සුන්දර ඇලැස්කාවට ළඟා වුණි. Teklanika නදිය තරණය කිරීමෙන් පසු ඇලැස්කාවෙ සුවිසල් වනයේ සැරිසැරූ ඔහුට Fairbanks නගරයේ අබලන් වූ බස් රථයක් වනය මැද තිබී හමුවුණි. ඔහු එය හැඳින්වූයේ Magic Bus ලෙසටයි. තම ස්ථීර නවාතැන කරගත් අබලන් බස් රථය ඔහුට සුරපුරයක් විය. 

හුදෙකලාවම තම ජීවිතය ඇලැස්කාවෙ මාස කිහිපයක් ගෙවා දැමූ ඔහු නැවතත් තම ත්‍රාසජනක සංචාරය ඇරඹීමට තීරණය කෙරුණි. අවාසනාවන්ත ලෙස ඔහු ඇලැස්කාවට පැමිණීම සඳහා තරණය කෙරූ Teklanika නදිය පිටාර ගලමින් තිබුණි. රෞද්‍ර සැඩ පහර ඔහුට කුරිරු වුණි. ඇලැස්කාවෙන් පිටවීමට නම් Teklanika නදිය තරණය කළ යුතුය. අවසානයේදී රෞද්‍ර සැඩ පහර කීකරු වන තෙක් තවත් කාලයක් ඇලැස්කාවේම ගත කිරීමට ඔහු තීරණය කළේය. දින ගෙවී යද්දී කෑම හිඟ වීම හේතුවෙන් ඔහු ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගැණුනි. 
අවසානයේදී ඔහු කුසගින්න නිවා ගැනීම සඳහා නොයෙක් ඵල වර්ග සොයමින් වනයේ ඇවිද්දේය. ඔහු නොදැනුවත්වම wild potato ශාකයක ඇල්කොලයිඩ නම් විෂ තැවරුණු ඵල කෑමට ගෙන තිබුණි. තම සිරුර ක්‍රමයෙන් මරණය කරා ඇදී යන බව ඔහුට දැනුණි. කිසිවක් කර කියා ගත නොහැකිව සුවිසල් වනයක් මැද අබලන් වූ බස් රියක ඔහු මරණය එන තෙක් බලා සිටියේය. ඩොලර් 24000 ක මුදලක් දිළිඳුන්ගේ කුසගින්න නිවාලීමේ අරමුදලක් වෙත පරිත්‍යාග කෙරූ  
Christopher McCandless නම් වූ ශ්‍රේෂ්ට සංචාරකයා ඒ වන විට කුසගින්න හේතුවෙන් අබලන් බස් රියක් තුළ මිය ගොස් සිටියේය. ඒ 1992 අගෝස්තු මාසයයි.  
ඔහුගේ මරණයෙන් දවස් 19 කට පසු ඇලැස්කාවට පැමිණ සිටි දඩයක්කාරයන් පිරිසක් විසින් ඔහුව Magic Bus රථය තුල සිට සොයා ගැණුනි. ඔහු විසින් සටහන් කළ වචන කිහිපයක් ඒ අසල තිබී හමුවිය.

" I have had a happy life and thank the Lord. Goodbye and may God bless all!"
_______________________________

Christopher McCandless ගේ කැමරාවේ තිබී ඔහු විසින් ලබාගත් self portrait කිහිපයක් හමු වුණි..





 _______________________________

Magic Bus..





   
_______________________________

1996 දී Christopher McCandless ගේ දිනපොත සහ සටහන් පාදක කරගෙන Jon Krakauer විසින් පොතක් ලියැවිණි. 2007 වර්ෂයේදී Sean Penn විසින් එම පොත පාදක කොටගෙන 
 Christopher McCandless ගේ ශ්‍රේෂ්ට සංචාරය Into the Wild නමින් සිනමාවට නැඟුවේය.

                                                             ♥

 

      
    

 


  




September 21, 2014

නො කවි



ගංගාවක් වන්නට වෙර දරන
පිණි බිඳුවක් මෙන්
සිහින මවමි මා
ලැබුමට ඔබේ ස්නේහය

හැරගිය කල
සුවඳ පමණක් ඉතිරි කොට
පවසන්නම් මුහුදට
ඔබේ සිනහවේ ලස්සන..



අනේ මන්ද බං... !!

September 8, 2014

බැද්දේගම | The Village in the Jungle

ලෙනාඩ් වුල්ෆ් ගැන මං පළමුවරට දැනගත්තෙ ඔහු විසින් රචනා කරල, ප්‍රේමචන්ද්‍ර අල්විස් විසින් පරිවර්තනය කරල තිබුණු ඉතාමත් ආසාවෙන් කියවපු  ලක් බිමේ සත් වසක් නම් කෘතියෙන්. ලෙනාඩ් වුල්ෆ් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු ලංකාවට පැමිණෙන්නෙ 1904 ඔක්තොම්බරයෙදි. ඒ කියන්නෙ ලංකාව බ්‍රිතාන්‍ය යටක් විජිතයක්ව පැවති කාලයෙදි. ඒ සිවිල් සේවකයෙකු වශයෙන්. 
වුල්ෆ් ලංකාවෙ සේවය කරේ සුළු කාලයක් පමණක් වුවත් ඔහුට අත්දකින්න සිදුවෙන අත්දැකීම් ගොන්න අතිමහත්. ඔහු විසින් රචිත බොහොමයක් කෘති වලට පාදක වෙන්නෙ මේ අත්දැකීම්.


පහුගිය ඉරිද දවසක කොටුව පැත්තෙ පොඩි රවුමක් ගහන්න ඕනෙ කියල හිතාගෙන ගියපු මං ගුණසේන එකට ගියෙ නොදැනුවත්වම.
කොටින්ම මට යන්න උවමණාවකුත් තිබුණා. ඒ විභූතිභූෂණයන්ගෙ අරණකට පෙම් බැඳ පොත හොයා ගන්න. ඒත් ඉතින් අන්තිමට එන්න සිද්ධ වුනේ තව පොත් හතරක් පහක්ම අරගෙන. පර්ස් එකේ තිබ්බෙ රුපියල් දෙදාහක් හන්ද ඔයින් බේරුණා. :D සුසිත රුවන් ගෙ රාවණා මෙහෙයුම, එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ මළගිය ඇත්තෝ, සුනේත්‍රා රාජකරුණා මහත්මියගෙ කවිකඳුර අතර ලෙනාඩ් වුල්ෆ් ගෙ The village in the Jungle නොහොත් බැද්දේගමත් ඒ අතර තිබුණා. පරිවර්තනය කරල තියෙන්නෙ ඒ.පී. ගුණරත්න විසින්. 




සම්පූර්ණයෙන්ම බලලා නැති වුණාට මට මතකයි බැද්දේගම චිත්‍රපටියත් ටීවී එකේ පෙන්නුව. බැද්දේගම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් මහත්මයා. පොත කියවල ඉවර වෙලා චිත්‍රපටියත් බලන්න නෙට් එකේ සර්ච් කරල බැලුවට හම්බුන්නෑ..!


 ලෙනාඩ් වුල්ෆ් මේ පොත ලියල තියෙන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කියල තමා කියන්නෙ. විදේශිකයෙක් අතින් ලියැවුණාට බැද්දේගම කතාවෙ සිංහල මිනිසුන්ගෙ චරිත නිරූපණය, ජීවිතය පිළිබඳ සියුම් පැතිකඩයන් පවා ගෙන හැර පාමින් කතාව ලිවීම සිංහල නවකතා කරුවෙකුටත් වඩා විශිෂ්ටයි. කතාවෙ අන්තර්ගතය පිළිබඳව ගත්තොත් මෙහි සිදුවන්නෙ බැද්දේගම කියන කැළෑ බද අති දුෂ්කර ගමේ සහ එහි ඉතාමත් දුක්ඛිතව ජීවත් වෙන පවුල් කිහිපයක පරිහානිය. වැස්ස නැති කමින් නියඟය නිසා බැට කන, නූගත් කම සහ අන්ධ විශ්වාසයන්, ඉඩම් හිමියන් විසින් දුප්පත් ගොවියන්ව දරිද්‍රතාවයටම තල්ලු කිරීම හේතුවෙන් මිනිස්සු පරිහානියට පත්වන විදිහ වුල්ෆ් විසින් තම නිර්මාණයට සම්බන්ධ කරගෙන තියන විදිහ සිත්ගන්නා සුළුයි. 

"බැද්දේගම වනාහි අතිශයින් ප්‍රශංසනීය වූ ද මනහර වූ ද කෘතියකි. එහි අපට හමු වන්නේ නො ඇසූ විරූ චරිත විශේෂයන්ය. අපේ ගෞරවය ද අනුකම්පාව ද ඔවුන්ට එකවර හිමිවේ"
                                                         ~Morning Post පුවත්පත~

අන්තිම පිටුව වෙනකංම පුදුම කුතුහලයකින් වගේම ගොඩක් ආසාවෙන් පොත කියවන්න පුළුවන්. දුෂ්කර ගම්බද මිනිස්සුන්ගෙ ජීවිත අපි හිතාගෙන ඉන්නවටත් වඩා දුක්ඛිතයි. නමුත් ඒක තමයි සත්‍ය. 

බුක් ෆෙයාර් එකේදි ලෙනාඩ් වුල්ෆ ගෙ බැද්දේගම හමුවුණොත් රුපියල් තුන්සිය විසි පහක් දීල ගත්තට පාඩු වෙනනැති වෙයි..!  






August 21, 2014

රෑ මනමාලී..

"Queen of the Night"... සමහර රටවල් වල කඩුපුල් මල හඳුන්වන්නෙ ඒ නමින්. රාත්‍රියටම පිපිලා සඳ රාජිණියගෙ සෞම්‍යාලෝකය මැද බොහොම තේජවන්තව බැබලුණාට මොකද ඉර උදාවෙනවත් එක්කම හැමෝටම හොරෙන් හැංගිලා යනවා. 

සංචාරකයා මීට කලින් කඩුපුල් මලක් දැකල තිබුණෙ එක පාරයි. ඒ අසල්වැසි ගෙදරක තිබුණු කඩුපුල් පැළයක. මල් තුන හතරක්ම පිපිලා තිබුණා. අපිටත් එකක් දුන්නා බුදුන්ට පූජ කරන්නෙයි කියලා. ඒ ගෙදරින් තමයි අම්මා මීට අවුරුද්දකට විතර කලින් කොළයත් එක්කම තිබ්බ පොඩි මුල් කෑල්ලක් ගෙනල්ලා ගෙදර ඉස්සරහ තිබ්බ අඹ ගහේ පොල් ලෙලි වලින් පුංචි පෝච්චියක් හදල පැළ කරේ. කඩුපුල් පැළ හටගන්නෙ කොළවලින් නෙ. කොහොමහරි මීට දින කිහිපයකට කලින් ඒ ගෙනල්ලා පැළ කරපු කඩුපුල් පැළේ කොළයක අග්ගිස්සෙන් පුංචි පුංචිම පොහොට්ටුවක් ඇවිල්ලා තිබුණා. ඔහොම දවස් දෙක තුනක් හෙමිහිට යද්දි පොහොට්ටුවත් එන්න එන්න ලොකු වුණා. දවසක් අම්මා කිව්වා අද රෑටනං කඩුපුල් මල පිපෙනවා කියලා. මාත් බොහොම ආසාවෙන් හිටියෙ කඩුපුල් මල පිපෙනකංම ඒ දිහා බලං ඉන්න. හවස් වෙනකොටම කැමරාවයි ට්‍රයිපෝඩ් එකයි අටෝගත්තා.

මේ හවස 7.15ට විතර..
මට මේ පොහොට්ටුව දකිනකොට ඇතිවෙන්නෙම පුපුරන්න ඔන්න මෙන්න තියෙන දිය බුබුළක වගේ හැඟීමක්.. :D :)

චන්දන ලියනආරච්චි ගෙ සින්දුවකුත් මතක් වුණා ඒ ගමන්..

"සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ
නුඹ තාම නිදිද..
නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ.."

මේ ෆොටෝ එක ගත්තෙ රෑ 8.00 ට..
මනමාලි දැන්නං කළඑළි බහිහන්නයි සූදානම..

මේ වෙනකොට කඩුපුල් මල බලං ඉද්දි හෙමි හෙමිහිට පිපෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි සුවඳත්. 
මේ ෆොටෝ එක ගන්නකොට 8.10 යි..


8.40 විතර වෙද්දි කඩුපුල් මල බොහෝ දුරට පිපිලා. 
කඩුපුල් මලේ සුවඳනං දැං බොහොම මිහිරියට දැනෙනවා. 
දවස් ටිකේම තිබ්බෙ වැහිබර කාලගුණයක් හන්ද සීතලත් දැනෙනවා. ඒ මදිවට මදුරුවො. බැරිම තැන ගෙට ගිහිල්ලා සිද්ධාලේප කුප්පියක් ඇඟේ අතුල්ලගෙන ආවා. :P

9.00 ට විතර ෆොටෝ එකක් ගන්නකොට තිබුණේ මේ විදිහට.
                   
 10.00 ට තමයි මේ ෆොටෝ එක ගත්තෙ..
දැන්නම් කඩුපුල් මල හොඳටම වගේ පිපිලා..
රේණු ටිකයි කලංකයයි මුළුමනින්ම නිරාවරණය වෙලා. 
මුළු මිදුලම සුවඳයි.

දහය එකොළහ විතර වෙද්දි කඩුපුල් මල සම්පූර්ණයෙන්ම පිපෙනවා කියල තමයි කියන්නෙ. ඔය විද්‍යාත්මක භාෂාවෙන් කඩුපුල් මල හඳුන්වන්නෙ Epiphyllum oxypetalum කියලා. ඉන්දියාවෙ අයනං හඳුන්වන්නෙ "බ්‍රහ්ම කමලම්" කියලා. ඒ අයගෙ විශ්වාසයක් තියනවලු මේ අපි හඳුන්වන කඩුපුල් මල පිපෙන ගමන් දෙවියන්ට යාඤා කරාම ඒ අයගෙ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වෙන බව. 
ජපන්නු මේ කඩුපුල් මලට හඳුන්වන්නෙ "Beauty under the Moon" නමින්..

මේ තියෙන්නෙ ගත්තු තවත් ෆොටෝ ටිකක්..










කඩුපුල් මල පිපෙනකංම ෆොටෝ ගහල අන්තිමට හැදුව වීඩීයෝ එකක්. සංචාරකයගෙ Adobe Premier Pro දැනුමනං අන්තිමයි..කොහොමහරි වීඩියෝ කෑල්ලක් අටවගත්තා. පිපෙන හැටි බලාගන්න ඕන්නං මේක බලන්න.. :)


 ඔය එකෝමත් එක කියන රටේ.. :D තිබ්බලු විශාල පාළු වනාන්තරයක්. මේ පාළු වනය ඇතුලෙ තිබ්බා මල් ගොමු වලින් වට වෙච්ච ලස්සනම ලස්සන විලක්. මේ වනාන්තරයෙ හිටපු සුරංගනාවියන් එකතු වෙලා මේ විල වටේම නට නට සින්දු කියල සතුටු වෙන්න පුරුදු වෙලා හිටියලු. 
දවසක් මේ විදිහට සුරංගනාවියො විල වටේම නට නට සතුටින් ඉඳිද්දි තාපසයෙක් මේ ඉසව්වට ආවලු භාවනා කරන්න සුදුසු තැනක් හොය හොයා. මේ සුරංගනාවියො මේ තවුසව දැකපු ගමන්ම විලට බැහැල මානෙල් මල් බවට පත්වෙලා හැංගුණාලු. මේ ගැන දන්නැති තවුසා විල අසල තිබුණු ගහක් යට වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තලු. 
සුරංගනාවියන් විලෙන් ගොඩ වී ආපසු වාසස්ථාන කරා යන්න බලං හිටියත් මේ තවුස දකියි කියල බයේ විලටම වෙලා හිටියලු. ඒත් තාපසයා රාත්‍රිය වෙනකංම භාවනා කර කර හිටියා.
සඳත් උදා වෙනකංම විලටම වෙලා හිටපු සුරංගනාවියන්ට සීතලෙන් ගැහි ගැහි මේ විදිහට තවත් ඉන්න බැරි වුණා. ඉවසල බැරිම තැන තවුසට නොදැනෙන්න හෙමින් හෙමින් විලෙන් එගොඩට පිය නැඟුවත් සුළු ශබ්දයටත් තාපසයගෙ දැහැන බිඳුණා. තමන් මෙච්චර වෙලා තබාගත්තු දැහැන බිඳීමේ අමනාපයෙන් තවුසා මේ සුරංගනාවියන්ව යළිත් විලෙහි මානෙල් මල් බවට හැරෙව්වලු. මේ සිද්ධිය දැකපු වනයට අධිපති දෙවියො සුරංගනාවියන් ගැන අනුකම්පා හිතුණත් ඔවුන්ව මේ සාපයෙන් බේරගන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. ඒ වුණත් සුළුවෙන් හරි පිහිට වෙන්න ඕනෙ කියල හිතාගෙන වනයට අධිපති දෙවියො මේ මානෙල් මල් කඩාගෙන විල අසල තිබුණු ගස්වල අතු අග රැඳෙව්වා. 

උපුල් කියන්නෙ මානෙල් නෙ. කැඩූ+උපුල් = කඩුපුල් බවට හැරුණලු.
අදටත් මේ විදිහට සඳ ඇති සුන්දර රාත්‍රී කාලයෙදි විකසිත වෙන්නෙ මේ පුංචි සුරංගනාවියන්.. :)  


 


 ප.ලි. - අමතර තොරතුරු විකිපිඩියාවෙන් සහ පුවත්පත් ලිපියකින්...   






August 14, 2014

මැක්‍රො සෙල්ලං | Macro Photography with an Extension Tube

ෆොටෝග්රැෆි කියන්නෙ මගෙ ප්‍රියතම සබ්ජෙක්ට් එක කියල කවුරුත් දන්නව නෙහ්. ඔය අතරෙ සංචාරකයට තිබ්බ ලොකුම ආසාවක් තමා මැක්‍රො ඡායාරූප ගන්න එක. ඉස්සෙල්ලාම කියන්න ඕනෙ ඔය දැන් කාලෙ ඕනම ස්මාර්ට් ෆෝන් එහෙක ඉඳන් කම්පැක්ට් කැමරාවල පවා තියෙන Macro Mode එකට දැම්මා කියල ප්‍රායෝගිකව මැක්‍රො ඡායාරූප ගන්න බෑ කියන එක. ඡායාරූපයට ගන්න වස්තුවෙ යම් කිසි විශාලනයක් ලැබුනත් ඒව මැක්‍රො හෙවත් ක්ෂද්‍ර ඡායාරූප නෙවෙයි. එව්ව Close-Up විතරයි. ගන්න ඡායාරූපය මැක්‍රො වෙන්නනං කැමරාවෙ සෙන්සරයට ලැබෙන ප්‍රතිබිම්භය වස්තුවට සාපේක්ෂව 1:1 අනුපාතයක් වෙන්න ඕනෙ. ඒ කියන්නෙ සැබෑ ප්‍රමාණයම හරි ඒ ආසන්න අගයකට හරි.

DSLR එකක් තිබ්බ කියලත් එහෙම එළකිරි සහ ජලය වගේ මැක්‍රො ගන්න බෑ. පොඩි පොඩි කෘමින්ගෙ, මල්වල වගේ ඕනම මැක්‍රො ඡායාරූපයක් ගන්නවනං ඉතාම තියුණුව (Sharp), සමීපව නාභිගත කරගැනීමේ හැකියාවක් තියෙන්නෙ ඕනෙ. ඉතිං ඒ මෙව්ව එක ඔය DSLR එකත් එක්ක හම්බවෙන 18-55 වගේ ලෙන්ස් වල නෑ. ඒ වෙනුවෙන්ම නිපදවපු මැක්‍රො ලෙන්ස් තියනවා. හැබැයි ගාණ සැරයි.

 ඒත් මැක්‍රො ගන්න තව ක්‍රම නැතුව නෙවේ. අපේ අයිලාෂ් අයියා ඒ ගැන හොඳ විස්තර ටිකක් දාල තිබුණා. මෙතනින් යන්න එතෙන්ට...
ඉතිං ඔය අතුරු ක්‍රම වලින් ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ Extension Tube එක. කැමරාවෙ බොඩි එකයි ලෙන්ස් එකයි අතරට මේක සම්බන්ධ කරාම ඉතාම කුඩා දේවල්වලට ලේසියෙන් ෆෝක්ස් කරගන්න පුළුවන්. මේකෙන් වෙන්නෙ කැමරාවෙ නාභි තලයෙයි (Focal Plane) ලෙන්ස් එකයි අතර දුර වැඩි වෙන එක. එතකොට අපිට ළඟා වෙන්න පුළුවන් අවම නාභි දුර (Focus Distance) වැඩි වෙනවා.  (ඒ කොහොමද කියල අහන්න එපා..එහෙම වෙනවා :3)
ඉතිං රුපියල් බර ගාණක් ඔය මැක්‍රො ලෙන්ස් එහෙකට වියදම් කරන්න බැරි හන්ද මාත් Ebay දෙයියන්ගෙන් අහල බැලුව Extension Tube එකේ තත්වෙ. 
$ 6.02 ක් කියන්නෙ රුපියල් 780 ක් විතර..  
සති තුන හතරකින් බඩු ගෙදර. හැබැයි එක්ස්ටෙන්ෂන් ටියුබ් වලත් ජාති දෙකක් තියේ. කැමරාවත් එක්ක Electric Contacts නැති එක සහ තියෙන එක. Electric Contacts තියෙන එක තමයි වඩාත් හොඳ. ඒක පාවිච්චි කරද්දි කැමරාවෙ Auto Focus පසුකම සක්‍රිය කරගන්න පුළුවන්. හැබැයි ඒකෙත් ගාණ සැරයි. :P $ 50-80 ත් අතර තමා.

මේ තියෙන්නෙ ආපු එක
ටියුබ් රාජයා ආපු දවසෙම කැමරාවට 50mm ලෙන්ස් එකයි Extension Tube එකයි හයි කරගෙන වත්ත වටේ පොඩ්ඩක් ඇවිදල බැලුවා. අවුලක් නෑ. මැක්‍රො ලෙන්ස් එකක් තරමට නොවුනත් තරමක් දුරට වැඩේ සාර්ථකයි. ඉලෙක්ට්‍රික් කන්ටැක්ට්ස් නැති Extension Tube එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන් නියමම ලෙන්ස් එකක් තමයි 50mm f/1.8D එක. මොකද මේකෙ ඇපචර් එක වෙනස් කරන්න පුළුවන් රින්ග් එකක් වෙනමම තියේ. ^_^







මේ තියෙන්නෙ ගත්තු ඡායාරූප කිහිපයක්.. :)  

මේ මී මැස්සෙක් නං නෙවේ..පොඩිම පොඩි මලක වහල හිටපු කනෙයියාවෙක්.. මල්වල පරාගනය සිද්ධ වෙන්නෙ මෙහෙම තමා..
 

මේ මිදුලෙ මල් පැළයක පරවෙලා තිබුණු මලක අන්තිමට ඉතුරු වෙච්ච රේණු..


කැමරාවත් එල්ලං වත්තෙ පඳුරු අස්සෙ බඩගාද්දි තමයි මෙයාව හම්බුනේ. ෆොටෝ එකට ලොකුවට පෙනුනට වී ඇටයක් තරං ඇති..


මොණරකුඩුම්බිය පැළෑටියෙ මල්..
මේ පින්තූරෙ ෆෝකස් අවුට් ගිහිල්ල තමයි..
ඒත් මට හිතුණ ඒකත් ලස්සනයි කියල.. 

පඳුරක් අස්සෙ වහල හිටපු පුංචිම පුංචි කුරුමිණි ජෝඩුවක්.. නිදහසේ සංසර්ගයෙ යෙදෙන්නවත් නෑ කියල මට බැන්නද දන්නෙනම් නෑ.. :D


කවදහරි අවාරෙට සිරිපා වන්දනාවෙ යන්න පෙරුම් පුරන දළඹුවෙක්.. :)


මිදුලෙ තිබ්බා පුංචි දම් පාට මල් තියෙන පඳුරු වගයක්. මෙතෙන්ට හැමදාම මී මැස්සො එනවා. ෆොටෝ එකක් ගන්න ගියාට වැඩේ සාර්ථක නෑ මලේ වහල ටක්ගාල පියඹල යනවා. :( ඉතිං මී මැස්සා මලට ආපු ගමන් මැනුවල් ෆෝකස් කර කර ඉන්නකොට ඌ වැඩෙත් කරගෙන ගිහිං ඉවරයි. අර මං උඩදි කිව්ව Auto Focus එකක් තිබ්බනං මීට වැඩිය වැඩේ සාර්ථක වෙන්න තිබ්බා. 



මල්..






අපේ ජීවිතයත් මේ වගේ නෙහ්..


මැක්‍රො ඡායාරූප ගන්නවනං කැමරාව හෙලවෙන්නෙ නැති වෙන්න තියාගන්න ට්‍රයිපොඩ් එකක් හරි වෙන ආධාරකයක් හරි පාවිච්චි කරන එක ඇඟට ගුණයි. මොකද වස්තුවට ගොඩක් සමීප වෙන හන්ද පොඩි සෙලවීමකින් වුණත් පින්තූරය Blur වෙන්න පුළුවන්.. ඔය උඩ තියන වතුර බිංදුවෙ පින්තූරෙත් හොඳට බැලුවොත් තේරෙයි හෙලවිලා කියලා. 
එහෙම නැත්තං අවමය 1/200 වගේ ෂටර් ස්පීඩ් එහකටවත් යන්න ඕනෙ.. 



ගොහිං එන්නං ඈ.. 





























 
Related Posts Plugin for WordPress, Blogger...