Showing posts with label ඉතිහාසය. Show all posts
Showing posts with label ඉතිහාසය. Show all posts

February 5, 2015

කයිමන් දොරකඩ | Kaiman Gate


"පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා
ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපං මං එනතුරු සෙලෙස්තිනා"

එදානං සෙලෙස්තිනා එතෙනට වෙලා බලං හිටියට අදනං කයිමන් දොරටුව කියල එකක් නෑ.. තියෙන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරපු ඝණ්ඨාර කුළුණක් විතරයි. :)
ඉතිහාසයට, අතීත නටබුන් වලට කවදත් මනාප සංචාරකතුමා ඔය ඝණ්ඨාර කුළුණ බලාගෙන එන්නත් එක්ක ඊයෙ පෙරේදා දවසක කොටුවෙ රවුමක් දැම්මා. 

ලංකාව පළමු වතාවට පිට දේශක්කාරයින්ගෙ යටත් විජිතයක් බවට පත්වුණේ පෘතුගීසි පාලනය යටතෙ. පරංගින්ගෙ ප්‍රධානතම බලකොටුව වුණේ කොළඹ කොටුව. අද හඳුන්වන ඕල්කට් මාවත සහ අවට ප්‍රදේශය වටකරමින් පෘතුගීසින් කබොක් ගල් වලින් විශාල ප්‍රකාරයක් බැන්දා. ඒ විශාල තාප්පයෙන් කොටු වුණ කොටස තමයි කොටුව විදිහට හැඳින්වුනේ. තාප්පයෙන් පිටත පිටකොටුව. පිටකොටුවෙ ඉඳන් එන කෙනෙකුට කොටුවට ඇතුල් වෙන්න තිබ්බෙ එකම එක මාර්ගයක්, නැත්නම් දොරටුවක් විතරයි. ඒ තමයි කයිමන් දොරටුව. 
මේ කයිමන් ගේට්ටුව විවෘත වුණේ ශාන්ත ජෝන් ඇළ මාර්ගය (St. John's Canel) මතින් ඉදිවුණ පාලමට. පසු කාලයකදි ඉංග්‍රීසින් විසින් මේ කොටුව වටා තිබුණු ප්‍රකාරය කඩා දමලා ශාන්ත ජෝන් ඇළ සහ ඒ අවට පහත් බිම් පුරවල කොටුව සහ පිටකොටුව එකම භූමියක් විදිහට පත් කරා. 

                              ඉංග්‍රීසින් විසින් කොටු බැම්ම කඩා දැමීම (මූලාශ්‍රය - lankapura.com)

ඒ නිසා අද ඉතිරිවෙලා තියෙන්නෙ කයිමන් දොරටුව අසල තිබුණු සුවිශාල ඝණ්ඨාර කුළුණ විතරයි.


 පිටකොටුව ප්‍රධාන වීදියෙ ඉඳන් ඕල්කට් මාවත දෙසට 4 වෙනි හරස් වීදිය පටන් ගන්න තැනම තමයි මේ ඝණ්ඨාර කුළුණ පිහිටලා තියෙන්නෙ.


 කාලය කොයිතරම් දේවල් වෙනස් කරනවද..

පෘතුගීසින් නම් මේ දොරටුව හැඳින්නුවෙ "පුර්ටෙ රෙයිනා" හෙවත් "බිසෝ දොරටුව" යන නමින්ලු. ලන්දේසී යුගය වෙනකොටත් මේ පවුර සහ දොරටුව ඒ විදිහටම තිබුණා. ලන්දේසි මේ දොරටුව හැඳින්නුවෙ කයිමන් දොරටුව නමින්. ඒකට විශේෂ හේතුවක් තිබුණා. ඉහත සඳහන් කරපු ශාන්ත ජෝන් ඇළ බේරෙ වැවට සම්බන්ධයි. බේරෙ වැවේ හිටිය කිඹුලන් මේ ඇළ මාර්ගය දිගේ ඇවිත් මේ දොරටුව අසල හිඳිමින් කුණු කසල ආදිය කා දමමින් ජීවත් වුණාලු. හැම වෙලාවෙම කිඹුලන් ගැවසුණු තැනක් නිසා මෙතැනට ලන්දේසි බසින් Kaimaan Port විදිහට හඳුන්වන්න පටන් ගත්තා. ලන්දේසි බසින් කයිමාන් කියන්නෙ කිඹුලන්ටලු.  

මේ සුවිශේෂි දොරටුව පිහිටි තැන අදට ඉතිරිවෙලා තිබෙන මේ ඝණ්ඨාර කුළුණ මීටර් හතරක් විතර උස ආරුක්කු හැඩයෙන් යුක්ත එකක්. ඝණ්ටාරය බුවනෙකබාහු රජතුමා විසින් කතෝලික පියතුමන්ලගෙ ඉල්ලීමක් පිට වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටෙ ප්‍රදේශයෙ හදපු ශාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමන්ට කැප කරන ලද දේවස්ථානයකට අයිති ඝණ්ටාරයක්. මේ ඝණ්ඨාරය ඒ කාලෙදි එදිනෙදා වාදනය වුණේ රාත්‍රී කාලයෙදි කයිමන් දොරටුව වහන අවස්ථාව දැනුම් දෙන්නට.

නිල වශයෙන් අවසන් වතාවට මේ ඝණ්ටාරය වාදනය වෙලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය යුගයෙදි. ඒ 1926 ජනවාරි 21 වෙනිද පස්වැනි ජෝර්ජ් රජුගෙ අභාවය දැනුම් දීමටත්, ජනවාරි 28 ඔහුගේ දේව මෙහෙය වෙනුවෙනුත් සහ 1945 අගෝස්තු 14 වැනිදා දෙවන ලෝක යුද්ධයෙ අවසාන කාලයෙදි ජපානය යටත් වුණු දිනයෙදි.

ඒ කාලයෙ අධිකරණය මගින් වරදකරුවන් වුණු ඇතැම් අයව එල්ලා මරන ස්ථානයත් තිබිල තියෙන්නෙ කයිමන් දොරකඩ අසල තැනක. මිනීපෙට්ටි වෙළඳාමටත් කයිමන් දොරකඩ ප්‍රදේශය ප්‍රසිද්ධ වුණාලු.

බ්‍රිතාන්‍ය යුගය වෙනකොට මේ කයිමන් දොරකඩ අසල ප්‍රදේශය වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. ලන්දේසි යුගයෙදි ඔවුන්ගෙ කාසි මුද්‍රණය කර තිබෙන්නෙත් ඒ අසල තිබූ මුද්‍රණාගාරයකින්. (VoC)    

"කොළඹ කොටුවෙ කොටු දොරකඩ නෝනච්   චී
   නුඹ බලන්ට මා එනකොට රෑ වෙච්                  චී 
  නුඹට ගෙනා තල සූකිරි දිය වෙච්                     චී
  අදට පිනට දොර ඇරපං නෝනච්                     චී

තවත් රස්තියාදුවකින් හමුවෙමු.. :)

October 12, 2014

සියදෝරිස් අත්තා සහ පැල් කවි

'සියඹලදෙණිය' කියන්නෙ ඒ ඉසව්වෙ තියෙන පොඩිම ගම්මානෙ. හතරපැත්තෙන්ම සුවිසාල කඳු පේළියකට වටවෙලා තිබුණු හන්ද ඒ ගම්දනව්ව ඒ ඉසව්වෙ හැංඟිලා වගේ තිබුණේ. සියඹලාදෙණියෙ ජීවත් වෙච්ච මිනිස්සුත් හේන් ගොවිතැනට පිං සිද්ධ වෙන්ට අඩුවක් පාඩුවක් නැතුව කාල බීල ජීවත් වෙලා තමන්ගෙ පණ කෙන්දත් රැකගෙන උන්න මිසක් ගොවිතැනෙන් ලැබිච්ච ඵලදාව විකුණගන්ටයි, අවුරුදු කාලෙට නගරෙ කඩමංඩියට ගොහිං චීත්තයක් සරමක් අරං එන්නයි ඇරෙන්න ඉං එපිට පස් පෑගුවෙ නෑ. 
මේ ගම්මානෙට සියඹලදෙණිය කියල නම හැදුනෙනං බෝම සාරෙට හැදුණු සියඹල වත්තක් තිබුණු හන්ද..

ගම්මානෙටම තිබුණෙ එකම එක කඩයයි. ඒ අප්පුවගෙ කඩේ. දවස තිස්සෙම හේනත් එක්ක ඔට්ටු වෙන ගමේ කවුරුත් ඉර දෙයියො උන්දැලගෙ හේමලයත් අඬ ගහගෙන බස්නාහිර පැත්තෙන් හැංගිලා යන්න හදන වෙලාවට වැවෙන් ඇඟ පත එහෙම හෝදගෙන කාරිය කාත් කවුරුත් හකුරු කෑල්ලකුත් එක්ක කහට ඩිංගිත්තක් බොන්න, දාං අතක් අදින්ට එකතු වෙන්නෙ අප්පුවගෙ කඩපිලට. ඒ කාරණේ එහෙම සිද්ධ වුනාට මොකද කඩේ ඉස්සරහ සියඹල ගහ යට තිබුණු බංකුව උඩ දවසම ලැග් ගහගෙන ඉඳපු මනුස්සයෙක් හිටියා. ඒ සියදෝරිස් අත්තා. අවුරුදු අසූවක්ම වයස හන්ද ගොවිතැන් කරන්ටත් බැරි එකේ දවසම උන්නෙ ඔතන. ගෙදෙට්ට ගියේ වේල සප්පායම් වෙන්ටයි රෑට නිදාගන්ටයි විතරයි. උන්දැගෙ පුතණ්ඩියා සිරිපාලය, ගෙදෙට්ට අඩුවක් පාඩුවක් කරන්නැතුව අප්පොච්චගෙ හේන වගා කෙරුව. සියදෝරිස් අත්තගෙ රාජකාරිය දවසම බංකුවට වෙලා ඉඳගෙන කඩේට එන එවුන්ට කවියක් කතන්දරයක් කියා දීල විහිළුවක් තහළුවක් කරගෙන බුලත් හපයක් වික විකා ඉන්න එක. හවසට කඩේට රැස් වුණු කට්ටියත් පුරුදු වෙලා හිටියෙ සියදෝරිස් අත්තගෙ කවි කතන්දර අහන්න.

"ඈ බොල පොඩි මැණිකො. උඹෙන් බත් ඩිංගක් කෑවෙ නෑ බොල කාලෙකිං. උඹ හදන පොළොස් මාළුව වගේ පොළොස් මාළුවක් හදන්න බෑ මේ අහලගං හතක එකියකටවත්."
සියදෝරිස් අත්තා කඩේට ආපු පොඩි මැණිකට කීවා. 

"වෙලාවක එන්ටකො ඒ පැත්තෙ. මං හදල තියන්නම්"
පොඩි මැණිකා කීවෙ ලැබුණු වර්ණනාවෙන් තරමක ආඩම්බරකාර හිනාවකින් සැරසිලා. 

"ඇයි සියදෝරිස් අත්තට විතරක්. අපිටත් දීල කෑවාම මක් වෙනවද?.."
හේන් කටයුතු අහවර කරල ඇවිල්ල කඩපිලේ බංකුව උඩ සිරිපාලයත් එක්ක දාං අතක් ඇද ඇදා උන්නු ගුණපාලය කීවෙ තාමත් පෙළවහක් කරගනෙ නැති පොඩි මැණිකා දිහා මනමාල බැල්මකුත් දාගෙනම... 

"ඈ බං ගුණපාලයො උඹ අද පැල් රකින්න යන්නැතෙයි. ඊයෙත් මූකලානෙන් කඩා පාත් වුණු වල් ඌරො රංචුවක් සිරිපාලයගෙ හේන දෙවනක් කරල. සාරෙට හැදීගෙන ආපු බඩ ඉරිඟු පැළ ටික විනාස කරල දාල."
සියදෝරිස් අත්ත සියඹල ගහ මුලට බුලත් කෙළ පාරකුත් ගහල කීවා.

"තව ඩිංගිත්තකින් යන්ට ඕනෙ අත්තෙ. කොහෙද මේ ගම්මානෙ එකෙකුටවත් තාම තුවක්කු ලයිසන් එක ගන්ට හම්බුන්නෑනොවැ. ගිනි බටයක් තිබ්බනං ඕකුන්ට කරන වැඩේ දනී මං"
ගුණපාල කීවෙ සිරිපාලයගෙ ඉත්තො තුන්දෙනෙක්ම අරගන්න ගමං. 

"බොලා ඔහොම කියනකොට මටත් මතක් වුණා අපි ඒ කාලෙ පැල් රැකපු හැටි. බොලාට වගේ තමා අපිටත් ඒ කාලෙ ගිනි බට තියාගන්න සුදු මහත්තැයල අවසර දුන්නෑ. ගිනි බටයක් තිබ්බෙ ගමේ ආරච්චිල ගාව විතරයි. දරු මල්ලොත් ගෙදර තනිකරල දාල අපේ මායිය හදල දෙන බත් මුලත් අරගෙන හඳ පායගෙන එනකොට හේනට යනව පැල් රකින්න. ගෙදරින් එළියට බහින්නෙ සමන් දෙයියො සිහි කරගෙන. අර සිරිපාලයගෙ හේනෙ තිබ්බ විසාල මාර ගහේ තමා මගේ පැල තිබ්බෙ. හේනට ඇවිල්ල පැල ගාවින් ගිනි මැලයකුත් පත්තු කරල කාරිය පැලට නගිනව. හූ තියල ගිණි මැල පත්තු කරල තමා හේන දෙවනක් කරන්ට එන සත්තුන්ව එලවගන්නෙ. ඔහොම ඉන්නකොට දවසෙම හේනත් එකක් ඔට්ටු වුණු හන්ද නිදි මත, කාංසිය හැදෙනවා. ඔය වෙලාවට තමා කවියක් එහෙම කියල කාංසිය ඇරෝගන්නෙ. ඔය පොඩි මැණිකගෙ අප්පොච්චා තමා පැල් කවි කියන්න සූරයා. පොඩි එකෝ.., උඹ අහල තියේද මේ කවිය.."
සියදෝරිස් කීවෙ උගුරෙ රැල් බුරුල් ඇරල කවියක් කියන්ට සූදානං වෙන ගමන්..
"අහගනිංකො මේක.." 

                         පෙරකාලේ කරපු අකුසල්වල අප     ලා
                         මේ කාලේ විඳිති දුක් පැල්වලට වෙ   ලා
                         රජකාලේ පටන් පුරුදුව පැල් රැක     ලා
                         ලොකු රාලේ කියන් පැල්කවි තෝරා ලා

"මගේ හේන ගාවින්ම වගේ තිබ්බෙ සූරසේනයගෙ හේන. ඌත් කවි කියන්ට හපනා. මායි ඌයි පැල් රකිනකොට තරඟෙට පැල කවි කියාගත්තා."
                          දුකින් දුකින් මම පැලපිට උන්කල     ට
                          කිරලෙක් ඇවිත් බය ගැන්නුවයි එවි   ට
                          අනිච්චන් කිරලො මා බය ගැන්නුව    ට
                          හෙට වෙනදා දඩ පමුණවයි කිරලා     ට

"නිදිමත යන්ටත් එක්ක මං ඕම සීපදයක් කිව්වාම සූරසේනයත් ඒකට හරියන්ට එකක් කියනව"

                        මගේ රැලේ එක කිරලෙක් අඩු බැවි     න
                        අඬා ගියෙමි උඹ සිටිනා පැල උඩි         න
                        ඒ වරදට දඩගනිතොත් මා අති             න
                        අනිත් ගමන එන්නෙමි උඹෙ පැල උඩි  න

"ගුණපාලයො.., උඹත් කියාන්කො බලන්න පැල් කවියක්"
සියදෝරිස් ගුණපාලයට කීවා.
"ඕං එහෙනං අහගනිල්ලකො.."

                         කැලේ ගොසින් ඉනි කැපුවා කැත්ත     දනී
                         වෙලේ ගොසින් ඉනි හැදුවා නියර        දනී
                         පැලේ ගොසින් පැල් ලැග්ගා පැදුර       දනී
                         මෙදා පැලේ පැල් ලැග්ගා දෙවියො      දනී

ගුණපාලය සීපදය අහවර කරනවත් එක්කම සියදෝරිස් අත්ත තව සීපදයක් කියන්ට පටන් ගත්තා.

                         අඹුවට බයේ ගෙදරින් යයි පැල උඩ     ට
                         ඌරට බයේ නොබසියි මැරුවත් බිම    ට
                         ඒකට මොකද තව පුරසාරම් එම          ට
                         මූලට හොඳයි හැඳ නැතුවම පටවන්      ට

ඒ කවියට කඩ පිලේ හිටිය පොඩි එවුන්ට හිනා..
"අදනං මෙතන කවි මඬුවක් වෙන්ටයි යන්නෙ"
පොඩි මැණික ගාවින්ම බිම ඇන තියා ගත්තු එතනා කීවා.

"ඕං එහෙනං මේ ටිකත් අහගනිල්ලා.." සිරිපාලයත් බලාගෙන හිටියෙ සීපදයක් කියන්ට.
                         
                         අහස තනිවේද විදුලිය කෙටුවා           ම
                         පොළොව තනිවේද මම බිම බැලුවා    ම 
                         මූද බොරවේද ගොඩරැල ගැසුවා         ම
                         සිතේ දුක යාද දවසක් ඇඬුවා             ම

"ඕං බලහං මායියයි දරු පැංචො ටිකයි ගෙදර තනියම දාල පැල් රකින්ට ආපු දුක ඒ සීපදේම තියනවා.".. සියදෝරිස් අත්ත කීවා.

                         දනවා පපුව සිහිවෙනකොට අම්ම          මගේ
                         එනවා කඳුළු නෙත්දෙක රතුවෙලා         යුගේ
                         වෙනවා මෙහෙම කල් ලැබුනම සෙනසුරු ගේ
                         මොනවා කියා සිත සනසා ගන්ද            මගේ 

                         බුලත් කඩන්නේ නැටි අල්ල අල්        ලා
                         පුවක් කඩන්නේ නැටි සොල්ල සොල් ලා
                         වඳුරො පනින්නේ පිණි සොල්ල සොල්ලා
                         මගෙ පුතු අඬන්නේ ඉව අල්ල අල්      ලා

මෙච්චර වෙලා නිස්සබ්දව හිටිය පුංචි බණ්ඩත් ඈත කන්ද උඩින් පායගෙන එන හඳ දිහා බලාගෙනම කීවා. හඳ පායනව කියන්නෙ දරුමල්ලො ටික ගෙදර තනිකරල දාල පැල් රකින්න යන්න වෙලාව හරි කියන එක.

"නිදිමතක් කාංසියක් පාළුවක් දැනෙන්න නොදී රෑට පැල උඩට වෙලා හේන ආරක්සා කරගන්න පිහිට උනේ ඔය එවෙලෙට ගොතන පැල් කවි ටික තමා." සියදෝරිස් අත්ත කීවෙ තවත් පැල් කවියක් කියල.

                        අහසේ තරුසේම ගොවිතැන් කරන්     නේ
                        පොළොවේ වැලිසේම බෝගත් ඉසින් නේ
                        මගෙ හේනමයි ඌරට පෙණෙන්        නේ
                        විස්ණු සමන් දෙවියෝ නඩු බලන්      නේ

"හා හා දැන් ඉතින් ගෙවල්වලට පලයල්ලා..ගොම්මනත් වැටීගෙන එනවා." සියදෝරිස් අත්ත කීවෙ බංකුවෙන් නැගිටින ගමන්.
"පොඩි මැණිකෝ., ඔන්න එහෙනං මතක් කරල පොළොස් ඇඹුලක් හදාන් ඈ. උඹෙ පොළොස් ඇඹුල එක්ක කළු ගලක් උනත් කෑවහැකි බොල".. 
                        
                        සුවඳනැති මලක් පිපුනයි අපෙ වත්     තේ
                        සුවඳ නැති නමුත් ලෝකෙට රුව ඇත්තේ
                        එකයි දෙකයි තුන හතරයි එක ඉත්     තේ
                        එරබඳුමලට විතරයි බඹරිඳු නැත්        තේ

සියදෝරිස් අත්ත ගෙදෙට්ට හෙමින් හෙමින් යන ගමන් කියාගෙන ගියා..

ඒත් එක්කම අප්පුවගෙ කඩේ පරණ රේඩියෝ එකේ අමරදේව මහත්තයගෙ සින්දුවකුත් යනව ඇහුණා. අප්පුව සද්දෙ පොඩ්ඩක් වැඩි කරේ එක අතකින් තාලෙ අල්ලන ගමන්මයි. 






  


























 

September 23, 2014

ඇලස්කන් සිහිනය හඹා ගිය සංචාරකයා..

ඒ 1992 අගෝස්තු මාසයයි.. ශීත කාලය අවසන්ව හාත්පසම හරිත පැහැයෙන් බබළමින් තිබූ සුන්දර ඇලැස්කාවේ වනගතව එහි දර්ශනීයත්වය රසවිඳි ඔහුගේ දෑස් ඒ වනවිට ඇස්පිල්ලමක්වත් නොගසා, ඔහුට නවාතැන් දුන් වනමැද තිබී හමුවූ අබලන් බස් රියේ ජනේලය තුලින් නිල්වන් අඹර දෙසට මානා තිබුණි. ඔහු අසල වැටී තිබුණු ඔහුගේ දිනපොතේ අන්තිමට සටහන් කර තිබුණේ "Beautiful Berries" යනුවෙන් පමණි. ඒ අසලම විවිධ පැළැටි වර්ගවල විස්තර සහිත පොතක් ද ඔහුව මරණයේ ද්වාරය කරා යැවූ wild potato ශාකයක ඵල කිහිපයක්ද විසිරී තිබුණි. මද සුළඟට සලිත වූ ගස්කොළන් හැර සියල්ල නිශ්චලය..

1990 දී ඇමරිකාවේ Emory විශ්වවිද්‍යාලයේ ඉගෙනුමෙන් පසු ඔහුගේ එකම අරමුණ වූයේ මුදල් සහ මිනිසුන්ගෙන් සඳහටම වෙන් වී තම මුළු ජීවිතයම ත්‍රාසජනක සංචාරයන් සඳහා කැප කිරීමයි. ඔහු ළඟ ඉතිරි කරගත් ඩොලර් 24000 ක මුදල චෙක් පතක් මගින් OXFAM නම් වූ දිළිඳුන්ගේ කුසගින්න නිවාලන අරමුදලක් සඳහා පරිත්‍යාග කෙරුණි. ග්‍රීෂ්ම සෘතුවේ එක් දිනයක ඔහු තම පවුලෙන් සහ මුළු සමාජයෙන්ම රහසේම නික්මව ඔහුගේ පැරණි Datsun රථය කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇරිසෝනා සහ දකුණ ඩකෝටා ව හරහා පදවමින් සිටියේ කිලෝමීටර 6864 ක් දුරින් පිහිටා තිබූ සුන්දර ඇලස්කන් සිහිනය සපුරා ගැනීමටයි. 

කෙසේ හෝ එක් රාත්‍රියක ඔහුටත් ඔහුගේ ගමන් සගයා වූ කාර් රථයටත් සුළු විවේකයක් ලබා ගනු වස් ගං ඉවුරක රථය නවතා පිටිපස අසුනේ නිදි කිරමින් සිටි ඔහු තිගැස්සී අවදි වූයේ ක්ෂණික ගං වතුරක රළ පහරකටය.
අබලන් වූ තම Datsun රථය අතහැර ඔහු තම සංචාරය ඇරඹුවේය. 
විසල් වනාන්තර, ගංගා ඇළ දොළවල්, කඳු ගිරි ශිඛර සහ නොයෙකුත් මිනිසුන් වෙසෙන පෙදෙස් මැදින් ඔහු සංචාරය කළේය. අතරමගදී කුළුපග වූවෙකු "ඔබේ පවුල කොහෙද ජීවත් වන්නෙ..ඔවුන් මොනවද කරන්නෙ ?" යැයි ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ "මට තවදුරටත් පවුලක් කියා දෙයක් නොමැත" යන්නයි.

සුළු මුදලක් සොයාගැනීම සඳහා ඔහු ඔහුගේ දිගු සංචාරය අතරතුර සුළු රැකියාවල නිරත වුණි. කාලයත් සමඟ බොහෝ දුර ගෙවා දමමින්, ප්‍රාන්ත දේශ සීමා පසු කරමින් ඔහු ඇලස්කාවට ළං වෙමින් සිටියේය. එක් අවස්ථාවක රහසේම දේශ සීමාවක් පසු කරන්නට උත්සහ කරමින් සිටිද්දී ඔහු පොලිසියට අසු වුවද ඔහුගේ තත්වය තේරුම් ගත් ඔවුන් ඔහුව මුදා හැරුණි.

Ronald Franz නම් වූ මහල්ලෙක් ඔහුට හමුවුණි. ඔහුගේ ජීවිත කතාවට සවන් දෙන රොනල්ඩ් ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන යාමට පොරොන්දු වුණි. රොනල්ඩ් අත්කම් ශිල්පය ප්‍රගුණ කළ අයෙකු විය. ඔහු රොනල්ඩ් නම් මහළු මිත්‍රයාගෙන් අත්කම් ශිල්පය ඉගෙන ගැණුනි. ඔහු තමන් සඳහා ඉණ පටියක් සාදවාගෙන එහි ඔහු සංචාරය කළ පෙදෙස් සහ සිහිවටන කැටයම් කළේය. 

  
පවුලක් හෝ නෑදැයින් කිසිවෙකු නොමැති අවුරුදු 80 ක් වයසැති ඒ රොනල්ඩ් නම් වූ මහල්ලා ඔහුත් සමග දැඩි මිත්‍රත්වයක් ඇති කර ගැණුනි.
ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන ගොස් ඔහුගෙන් නික්ම යන මොහොතේදී "ඔබට මගේ මුණුබුරෙක් වී මාත් සමග ජීවත් වෙන්නට බැරිද ?" යැයි ඇසූ විට "අපි ඒ ගැන ඇලැස්කාවට ගිහිං ඇවිත් කතා කරමු.." යනුවෙන් පැවසූවත් ඔහු කවදාවත් නැවත නොපැමිණුනි.  

අවසානයේදී ඔහු 1992 අප්‍රේල් මාසයේදී Fairbanks සහ The Stampede Trail කඳු ශිඛරය ඔස්සේ ඔහුගේ එකම සිහිනය වූ සුන්දර ඇලැස්කාවට ළඟා වුණි. Teklanika නදිය තරණය කිරීමෙන් පසු ඇලැස්කාවෙ සුවිසල් වනයේ සැරිසැරූ ඔහුට Fairbanks නගරයේ අබලන් වූ බස් රථයක් වනය මැද තිබී හමුවුණි. ඔහු එය හැඳින්වූයේ Magic Bus ලෙසටයි. තම ස්ථීර නවාතැන කරගත් අබලන් බස් රථය ඔහුට සුරපුරයක් විය. 

හුදෙකලාවම තම ජීවිතය ඇලැස්කාවෙ මාස කිහිපයක් ගෙවා දැමූ ඔහු නැවතත් තම ත්‍රාසජනක සංචාරය ඇරඹීමට තීරණය කෙරුණි. අවාසනාවන්ත ලෙස ඔහු ඇලැස්කාවට පැමිණීම සඳහා තරණය කෙරූ Teklanika නදිය පිටාර ගලමින් තිබුණි. රෞද්‍ර සැඩ පහර ඔහුට කුරිරු වුණි. ඇලැස්කාවෙන් පිටවීමට නම් Teklanika නදිය තරණය කළ යුතුය. අවසානයේදී රෞද්‍ර සැඩ පහර කීකරු වන තෙක් තවත් කාලයක් ඇලැස්කාවේම ගත කිරීමට ඔහු තීරණය කළේය. දින ගෙවී යද්දී කෑම හිඟ වීම හේතුවෙන් ඔහු ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගැණුනි. 
අවසානයේදී ඔහු කුසගින්න නිවා ගැනීම සඳහා නොයෙක් ඵල වර්ග සොයමින් වනයේ ඇවිද්දේය. ඔහු නොදැනුවත්වම wild potato ශාකයක ඇල්කොලයිඩ නම් විෂ තැවරුණු ඵල කෑමට ගෙන තිබුණි. තම සිරුර ක්‍රමයෙන් මරණය කරා ඇදී යන බව ඔහුට දැනුණි. කිසිවක් කර කියා ගත නොහැකිව සුවිසල් වනයක් මැද අබලන් වූ බස් රියක ඔහු මරණය එන තෙක් බලා සිටියේය. ඩොලර් 24000 ක මුදලක් දිළිඳුන්ගේ කුසගින්න නිවාලීමේ අරමුදලක් වෙත පරිත්‍යාග කෙරූ  
Christopher McCandless නම් වූ ශ්‍රේෂ්ට සංචාරකයා ඒ වන විට කුසගින්න හේතුවෙන් අබලන් බස් රියක් තුළ මිය ගොස් සිටියේය. ඒ 1992 අගෝස්තු මාසයයි.  
ඔහුගේ මරණයෙන් දවස් 19 කට පසු ඇලැස්කාවට පැමිණ සිටි දඩයක්කාරයන් පිරිසක් විසින් ඔහුව Magic Bus රථය තුල සිට සොයා ගැණුනි. ඔහු විසින් සටහන් කළ වචන කිහිපයක් ඒ අසල තිබී හමුවිය.

" I have had a happy life and thank the Lord. Goodbye and may God bless all!"
_______________________________

Christopher McCandless ගේ කැමරාවේ තිබී ඔහු විසින් ලබාගත් self portrait කිහිපයක් හමු වුණි..





 _______________________________

Magic Bus..





   
_______________________________

1996 දී Christopher McCandless ගේ දිනපොත සහ සටහන් පාදක කරගෙන Jon Krakauer විසින් පොතක් ලියැවිණි. 2007 වර්ෂයේදී Sean Penn විසින් එම පොත පාදක කොටගෙන 
 Christopher McCandless ගේ ශ්‍රේෂ්ට සංචාරය Into the Wild නමින් සිනමාවට නැඟුවේය.

                                                             ♥

 

      
    

 


  




July 25, 2014

පෘතුගීසී කාරයා..රටවල් අල්ලන්න සූරයා..

"අපගේ කොළොම්තොටට ඉතා සුදු පැහැය ඇති ජාතියක් පැමිණ සිටිති. ඔවුහු බොහෝ රූපශ්‍රීයෙන් යුක්තව යකඩ හැට්ට ඇඟලා ගෙන, යකඩ තොප්පි හිස ලා ගෙන විගසක් එක තැනක නොසිට සක්මන් කරන්නාහ. සුදුගල් සපා කමින් ලේ බොන්නාහ. එක මාළු කූරියාට, එක දෙහි ගෙඩියට රන් රිදී දෙක තුන බැගින් දෙන්නාහ. ඔවුන්ගේ තුවක්කු උණ්ඩය ගවු ගණන් ගොසින් වන් කළ යුගන්ධර පර්වතය පවා පොඩි වන්නේය.."

  
ලංකාව මුල්ම වතාවට යටත් විජිතයක් බවට පත් කරපු පරංගින් කොළඹට ගොඩ බැස්ස වෙලාවෙ කොළොම්පුර වැසියන් ඒ ගැන රජ්ජුරුවන්ට දන්වල තිබුණ හැටි රාජාවලියෙ ලියැවිලා තියෙන්නෙ ඔය විදිහට. ඔය සුදුගල් කියන්නෙ පාන් වලට. ලේ බොනවැයි කියන්නෙ වයින් වලට. නැත්තං හිතයි ඩ්‍රැකියුල ගෙන් පැවත එන ජාතියක් කියල :D
 හෙහ් හෙහ්...

පෘතුගීසි කාරයා ලංකාවට ආවේ අහම්බෙන්. මාලදිවයන පැත්තට යාත්‍රා කරනකොට කුණාටුවකට හසු වෙලා, වාර්තාවලට අනුව දවස් 18 කට පස්සෙලු ගාලු වරායට ඇවිල්ලා තියෙන්නෙ. ගාලු වරායට සේන්දු වුනාම පස්සෙ තමයි දැනගෙන තියෙන්නෙ මේ ඇවිල්ලා තියෙන්නෙ නමින් විතරක් දැනගෙන උන්නු සිලෝන් දිවයිනට බව. ඒ කාලෙ ලංකාව කුරුඳු, අලි ඇතුන් සහ වෙළඳ ද්‍රව්‍ය වලට බොහොම ජනප්‍රියයිලු. මේ පෘතුගීසි නැව් කණ්ඩායමේ නායකයා ලොරෙන්සෝද අල්මේදා (Don Lourence da Almeda) කියන සෙන්පතියා. 


කරුණු කාරණා ටිකක් දැනගත්තට පස්සෙ අල්මේදා ප්‍රමුඛ නැව් කණ්ඩායම රජ්ජුරුවන්ව හම්බවෙන්න කොළඹ පැත්තට යාත්‍රා කරනවා. එතකොට රජ්ජුරුවො හත්වැනි පරාක්‍රමබාහු. හිටියෙ කෝට්ටෙ අගනුවරෙනෙ. 1505 නොවැම්බර් 15 වැනිදා තමයි කොළඹ වරායට ඇවිල්ලා නැංගුරම් දාන්නෙ. එතකොට තමයි ඔය පටන් ගන්න කොටම කිව්ව වගේ කාලතුවක්කු පත්තු කරල තියෙන්නෙ අපි ආවෝ කියල දැනුම් දෙන්න.. :D 

මේ බව දැනගත්තු පෘතුගාල අධිරාජයා හෙන සතුටු වුණා. මොකද ලංකාවෙ තියෙන මුළු සේසතම මොකක්හරි ජිල්මාට් එකක් දාල එහෙට අදින්න පුළුවන්නෙ. පාප්තුමා ප්‍රමුඛ කාදිනල් සභාව මේ පණිවිඩය සමරන්නට රෝම නගරයෙ විශේෂ පෙරහැරක් පවත්වලා වතිකානුවෙ අතිවිශේෂ යාඥාවකුත් සංවිධානය කරාලු. 

කොළඹට ළඟා වුණු පරංගියා සිහිවටනයක් හැටියට මුහුද වෙරළ ආසන්නයෙ තිබුණු ගල් පර්වතයක පාතුගීසී රාජ්‍ය ලාංඡනයයි වර්ෂයයි සටහන් කරා. 


මේ ගල් පර්වතේ ඉංග්‍රීසීන් මේ රට පාලනය කරන කාලෙදි වරාය පුළුල් කරන වැඩ කටයුතු වලදි පස් හාරනකොට හම්බවෙලා රජ ගෙදර ළඟ තියෙන ගෝර්ඩන් උද්‍යානයෙ තැන්පත් කරාලු. දැන්නං ඒ ගල් පර්වතේ ස්මාරකයක් හැටියට කොළඹ වරායෙද කොහෙද තියෙනවා.

ලොරෙන්සෝද අල්මේදා එහෙම එකපාරටම රජතුමාව හමුවෙන්න ගියෙ නෑ. ඉස්සෙල්ලාම පිටත් කරේ ෆර්නාඩ් කොට්රිම් කියන කපිතාන්ව දූතයෙක් විදිහට. එන පොට හොඳ නැහැයි කියල දැනගත්තු ෆර්නාඩ් ව රජ මාළිගාවට එක්කන් ගිය මිනිස්සු ෆර්නාඩ්ව කෝට්ටෙ නුවරට රැගෙන ගියේ වෙන පාරකින්. මයිල 6 ක දුර ගෙවා දැමීමට දින තුනක් ගත කරාලු. :D ඔය සිද්ධියෙන් තමයි "පරංගියා කෝට්ටෙ ගියා වගේ" කියල ප්‍රස්ථා පිරුළක් හැදුනෙ. 

කොහොමින් කොහොමහරි දෙගොල්ලොම කතා බස් කරගෙන ලංකාවෙ වරායන් සතුරන්ගෙන් ආරක්ෂා කරල දෙන්න පෘතුගීසින් පොරොන්දු වුණා. ඒ වෙනුවට ලංකාවෙන් ඔවුන්ට අවුරුද්දකට කුරුඳු බහාර් 400 ක්  (ටොන් 60 ක්) ගෙවීමට රජතුමා පොරොන්දු වුණා. ගබඩා සංකීර්ණයක් අවශ්‍ය වෙන හින්ද නිරිත දිග දිය කඩනය අසල වෙළඳ ගබඩාවකුත් හැදුවා රජ්ජුරුවන්ගෙන් අවසර අරගෙන. 
තම ආගම ඇදහීමට ඒ අසලින් අල්මේදා ගෙ පෞද්ගලික සාන්තුවරයා ගෙ නමට පල්ලියක් ඉදි කරා. 

ඒත් අරාබි වෙළදුන් පෘතුගීසින් වෙළඳ ගබඩාවක් හදන එකට විරුද්ධ වුණා. ඒ වෙනකොට එ් පෙදෙසෙ වෙළඳ ඒකාධිකරාය අත්පත් කරගෙන තිබුණෙ අරාබි ජාතිකයින්. ඒ නිසා විටින් විට පෘතුගීසි හේවායින්ට තාඩන පීඩන එල්ලා කරා. වෙළඳ ගබඩා සංකීර්ණයටක් ප්‍රහාර නිකුත් කරා. මේ සිද්ධිය දැනගත්තු පෘතුගාල අධිරාජයා මේ බව හොයා බලන්න ලෝපෙ සෝරස් ද අල්බගේරියා නම් ආණ්ඩුකාරවරයව ලංකාවට එව්වා. සෝරස් මේ බව රජුට දන්වල බලකොටුවකුත් හදන්න අවසර පැතුවා. රජතුමත් අවසර දුන්නා. පසුව ලෙපෝ ද පොරිටෝ කියන සැලසුම් ශිල්පියා ලව්වා කොහොමහරි කොළඹ බලකොටුවකුත් ඉදි කරා. නැව්වලින් ගෙනාපු කාලතුවක්කුවලින් බලකොටුව සන්නද්ධ කරා. එක් අවස්ථාවකදි පරංගි අරාබි ජාතිකයන්ගෙ ගෙවල් ගිනිබත් කරල දරුණු ප්‍රහාරයකුත් එල්ල කරාලු.

බලකොටුවෙ ආරක්ෂාවට දිය අගල් කපල හකුලන්න පුළුවන් දඬු කඳකුත් (පාලමක් වෙන්ඩ ඇති) සවි කරා. බ්‍රිටෝ කියන සෙනවියා කොටු බැම්මෙ දකුණු පැත්තෙන් කපපු දිය අගල තමයි ඔය පස්සෙ කාලෙකදි බේරෙ වැව නමින් සංවර්ධනය වෙලා තියෙන්නෙ. 
1587 දි සීතාවක රාජසිංහ 50000 ක සේනාවක් එක්ක මේ බලකොටුවට පහර දුන්නට පරංගි ගෝවෙන් සේනාව ගෙන්නගෙන ඒ ප්‍රහරය ව්‍යර්ථ කරා. 

පස්සෙ කාලෙකදි පරංගින්ගෙ රූකඩයක් බවට පත්වුණු ධර්මපාල රජු දොන් ජුවන් ධර්මපාල නමින් බෞතිස්ම ලැබුවා. පෘතුගීසින් කියන කියන පදේට නටපු හින්ද කෝට්ටෙ රට වැසියන්ගෙ අප්‍රසාදයට පත් වෙලා ධර්මපාල රජ්ජුරුවො කොළඹට ආවා. දැං අගනුවර කොළඹ. මේ නිසා කොළඹ නගරය පාලනය කරන පළමු රජු වෙන්නෙ ධර්මපාල.

දැං සියල්ලක්ම සිදු වුණෙ පරංගින්ගෙ කැමැත්තට. සැබැවින්ම කොළඹ පාලනය කරේ ධර්මපාල නෙවේ පෘතුගීසින්. පෘතුගාලයෙ සෙබස්තියන් අධිරාජයා කොළඹ නගරය හැඳින්නුවෙ "මගේ අගනුවර වූ කොළඹ" නමින්. කුරුඳු ඇතුළු සියලු වස්තු සම්භාරය ගනිමින් තම ආගම ප්‍රචාරය කිරීම තමයි පරංගින්ගෙ අරමුණ වුණේ. සෑම තැනම පල්ලි සෑදෙව්වා.

1597 දි දොන් ජුවන් මරණයට පත් වුණා. පරංගින් විසින් ධර්මපාල රජුව රහසේම වෙඩි තබා ඝාතනය කරයි කියලත් කියනවා. පෘතුගීසින් ඔහුගේ දේහය කොළඹ රජමැදුර පිටිපස්සෙ සාන්ත ෆ්‍රැන්සින් කන්‍යාරාමයෙදි ගරුසරු ඇතුව භූමිදාන කරා. 
පසුව පෘතුගාලයෙ අධිරාජයා විසින් ලංකාවේ එකම උරුමකරු හැටියට ඩී. ජෙරනිමෝද අසවේදු (Don Jeronimo Azevedu) පත් කරා.

ඔහොම තමයි පෘතුගීසි කාරයා රටවල් ඇල්ලුවෙ.. :D
  
ප.ලි. - තොරතුරු විකිපීඩියාවෙන් සහ සමන් කළුආරච්චි මහතා විසින් රචිත ලිපියක් ඇසුරෙනි..                                    
















            
  

February 7, 2014

වැලන්ටයින් සුල මුල | History of Valentine's Day

පෙබරවාරි 14 වැනි දිනට යෙදී ඇති වැලන්ටයින් දිනය, නැතිනම් පෙම්වතුන්ගේ දිනය ලොව පුරා වෙසෙන පෙම්වතුන්ට සුවිශේෂී දිනයක්.

අද වන විට බොහෝ ලෙස වාණිජකරණයට පත් වෙලා තිබෙන මේ ආදරවන්තයින්ගෙ දිනය බිහි වුණේ කොහොමද...

#දෙවැනි ක්ලෝඩියස් රජු රජ කරන කාලයෙදි රෝමයෙ යුද්ධය බොහෝ ලෙස පැතිරුණා. එම නිසා ක්ලෝඩියස් රජු තම යුධ සේනාව තව තවත් වර්ධනය කර ගැනීමට සියලුම අවිවාහක තරුණයන් යුද්ධය සඳහා සොල්දාදුවන් ලෙස බැඳිය යුතු බව පවසමින් ආඥාවක් ඉදිරිපත් කළා.
මේ අතර තව තවත් යුධ ගිනි දැල් ඇවිලෙද්දී ක්ලෝඩියස් රජුට සිතුණා රටේ විවාහක තරුණයින් තම පවුල ආරක්ෂා කරනවා මිස තම රට ගැන නොසිතන බව. එබැවින් රටේ සියලුම තරුණයින්ට විවාහ වීම තහනම් කරනු ලැබුවා. මෙයින් ආදරවන්තයින් ඉතා ශෝකයට පත් වුණා. 

මේ අතර වැලන්ටයින් නම් කිතුනු පූජකවරයෙක් සිටියා. තම පෙම්වතා, පෙම්වතිය සමග එකට ජීවත් වන්නට නොහැකි වීම නිසා ශෝකයට පත්ව සිටි ආදරවන්තයින් ගැන දුකට පත් වුණු මෙම වැලන්ටයින් නම් පූජකවරයා ක්ලෝඩියස් රජුගේ නීතියට පිටතින් ආදරවන්තයින්ට විවාහ බන්ධනය හොර රහසේම පිරි නැමුවා.

කලක් යාමේදී ක්ලෝඩියස් රජතුමාට මෙම වැලන්ටයින් ගැන දැනගන්නට ලැබුණා. වැලන්ටයින්ව සිරගත කිරීමට රජු නියම කළා.

මෙසේ වැලන්ටයින් සිරගතව සිටිද්දී බොහෝ තරුණ ආදරවන්තයින් මොහුගේ සුව දුක් විමසා යෑම පුරුද්දක් කර ගත්තා. ආදරවන්තයින් වැලන්ටයින්ගේ සිර කුටියේ ජනේලයෙන් මල් කළඹවල් සහ හසුන්පත් එව්වා. 
සිරගෙදර ආරක්ෂකයාගේ දියණිය මෙසේ වැලන්ටයින්ව දැක බලා සුව දුක් විමසා යෑම පුරුද්දක් කර ගත්තා. ඇයගේ පියා ඇයට ඒ සඳහා අවසර දී තිබුණා. ඇය වැලන්ටයින් සමඟ පැය ගණන් කතා කරමින් කාලය ගෙවා දැමුවා. 
මේ අතර දෙවැනි ක්ලෝඩියස් රජු වැලන්ටයින් පූජකවරයාට මරණ දඬුවම ලබා දී තිබුණා. මෙසේ මරණ දඬුවමට යටත් වන දිනයේදී වැලන්ටයින් තමා සමඟ පැවැත්වූ මිත්‍රත්වය වෙනුවෙන් ස්තූති කරමින් සිරගෙදර ආරක්ෂකයාගේ දියණිය ට දෙන ලෙස හසුනක් ලියා තැබුවා. 
එහී තිබී ඇත්තේ "Love from your Valentine" යනුවෙන්.
පසුව ආදරවන්තයිනගේ දිනයේදී ආදර හසුන්පත් හුවමාරු කර ගැනීමට මූලික වී ඇත්තේ මෙසේ වැලන්ටයින් විසින් ඇයට දෙනු ලැබූ හසුන් පතයි.
වැලන්ටයින් මිය ගිය දිනය ලෙස සඳහන් වී ඇත්තේ ක්‍රි.ව. 269, පෙබරවාරි 14 වන දිනයයි. එතැන් පටන් සෑම අවුරුද්දකම පෙබරවාරි මස 14 වැනි දිනය ආදරවන්තයින් විසින් ඉතාමත් ආදරයෙන් සමරනු ලබනවා. 











February 2, 2014

ලංකාවේ තේ | Ceylon Tea


දශක ගණනාවක් තිස්සෙ පැවත එන තේ කියන්නෙ විශ්ව පානයක්. මෙහි විද්‍යාත්මක නාමය වන්නෙ 'කැමෙලියා සිනෙන්සිස්' (Camellia sinensis). ලංකාවට මුලින්ම තේ පැළෑටි ගෙන එන ලැබුවෙ 1824 දි බව සඳහන් වෙනවා. පසුව තේ වගාව වාණිජ කර්මාන්තයක් ලෙස ලංකාවේ අරඹනු ලැබුවේ 1867 දී ජේම්ස් ටේලර් විසින් ලූ කොන්ඩෙරා නම් වතු යායෙදි.


 1965 දි ලංකාව ලෝකයෙ විශාලතම තේ අපනයනය කරන රට  විය. ශ්‍රී ලංකාවේ තේ අපනයනය සඳහා 1990 වර්ෂය වාර්තාගත වසරක් වුණි. එම වසරේදී ශ්‍රී ලංකාව තේ කිලෝග්රෑම් මිලියන 215.6 ක් අපනයනය කරමින් ලොව විශාලතම තේ ප්‍රමාණය අපනයනය කළ රට බවට පත් වුණි.

#තේ ගස සොයාගැනීම පිළිබඳ කතා පුවත
                  
ලොව රසවත්ම පානය වන තේ පළමුවෙන්ම සොයා ගෙන තිබෙන්නෙ චීනය විසින්. මීට වසර ගණනාවකට පෙර චීනයේ සිටි ෂෙන්නුන් අධිරාජ්‍යා වරක් දඩයම පිණිස වනාන්තරයෙ සැරි සරන අතරතුරෙදි තමන්ගෙ ප්‍රයෝජනය සඳහා වතුර උණු කරන අවස්ථාවක එම උඳුනට ඉහළින් තිබූ ගසක කොළ කිහිපයක් එම ජල බඳුනට වැටී එම කොළ ජලය හා එක් වී උණු වුණා. එම පත්‍ර හා මිශ්‍ර වුණු උණු කළ ජලය පානය කළ ෂෙන්නුන් අධිරාජ්‍යා එහි තිබූ වෙනස් රසයෙන් ඉතාමත් සතුටට පත්වූ බවද පසුව ඔහු එම ගසේ පැළෑටි කිහිපයක් තම මාළිගාව වටා පැළ කළ බවද ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙසේ අමුතුම රසයකින් යුත් පත්‍ර සහිත එම ගස අද තේ ලෙස හඳුන්වනු ලබනවා. චීනයේ බිහි වූ මෙම පානය අද මුළු ලොව පුරාම ව්‍යාප්ත වී තිබෙන්නෙ එහි තිබෙන වෙනස්ම රසය නිසායි.


#වගා කිරීම
                 කඳුකර ප්‍රදේශවල වැවෙන තේ සඳහා සුදුසු වන්නේ මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.6 සිට සෙල්සියස් අංශක 27 දක්වා පවතින ප්‍රදේශයන්. බීජ මගින් පැළ කිරීම පරණ ක්‍රමයක් වන අතර අද වන විට බොහෝ තේ පැළ කරනු ලබන්නේ රිකිළි මගින්. 
තේ ගස වරින් වර කප්පාදු කිරීම සුවිශේෂී කාරණයක් වෙනවා. මෙහි මූලික අරමුණ තේ ගස නැවත නැවත තරුණ කිරීම සහ තේ ගසට මීටර් 10 ක් පමණ උසට වැඩීමට හැකියාව තිබුණත් එය දළු නෙළීමට බාධාවක් නිසා කප්පාදු කරයි. මෙසේ කප්පාදු කිරීමෙන් තේ ගස දිගින් දිගටම දළු ලබා දෙන අතර මල් ඇති වීම වළක්වයි.

#දළු නෙළීම
                
 දළු නෙළීම අවුරුද්ද පුරා අඛණ්ඩව සිදු කිරීමට හැකි අතර සමහර ප්‍රදේශයන්හි තිබෙන දේශගුණික තත්වයන් මත එම ප්‍රදේශයන්හි තිබෙන තේ ගස අවුරුද්දේ ඇතැම් කාළවලදී පමණක් ගුණාත්මකභාවයෙන් වැඩි තේ දළු නිපදවයි. තේ දළු නෙළන්නේ බහුතරය කාන්තාවන්. මෙසේ දළු නෙළීමේදී නෙළාගන්නේ විවෘත නොවූ දල්ල සහ ඊට පහළින් ඇති කොළ දෙකක් පමණි.

 ඊට වඩා මේරු කොළ නෙළා ගැනීම තේ කොළවල තත්වය බාල කිරීමට හේතු වෙනවා.

#තේ නිෂ්පාදනය
                දළු නෙළීමෙන් අනතුරුව ඒවා කර්මාන්තශාලා වලට රැගෙන ගොස් වර්ග 4 කින් යුතුව සකස් කරනු ලැබේ.
       (01).කොළ තේ
       (02).කළු තේ
       (03).නොපසවන තේ
       (04).අර්ධ වශයෙන් පසවන තේ




#තේ සහ සෞඛ්‍ය
               ආහාර දිරවීමේ මාර්ගයේ හට ගන්නා එන්ටරොබැක්ටීරියේෂියා වැනි හානිකර ක්ෂද්‍ර ජීවින් හට ගන්නා ප්‍රමාණය අඩු කිරීමත් හිතකර බැක්ටීරියා වර්ධනයට ඉඩ සලසමින් ආහාර දිරවීමේ සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලියට ඉඩ සලසන බව සොයා ගෙන ඇත. ආහාර ජීරණ පද්ධතියේ පිළිකා ඇති වීම මෙන්ම මුත්‍රාශයේ ගල් ඇතිවීමට ද එරෙහිව තේ පානය කරන්නන් තුළ ස්වභාවික ආරාක්ෂාවක් ඇති බව සොයා ගෙන තිබේ.
               සැළකිය යුතු ෆ්ලෝරයිඩ් ප්‍රමාණයක් අඩංගු තේ වලින් දිනපතා ශරීරයට අවශ්‍ය ෆ්ලෝරයිඩ් ප්‍රමාණය ලබා ගැනීමට දායක වේ. තේ වල ඇති පොලිෆෙනොල්ස් මගින් දත් දිරා යෑම වර්ධනය කරන බැක්ටීරියා වර්ග මර්දනය කරයි.
              නිරන්තර තේ පරිභෝජනය හදවත් රෝග අඩු කිරීමට හේතු වේ. 
             තේ පානය කිරීමෙන් හුදෙකලා බව, තෙහෙට්ටුව සහ වේදනාවන් සමනය වෙනවා.
             සමහර පිළිකා රෝග මර්දනයට ද තේ සතුව අපූරු හැකියාවක් තිබෙන බවට සොයා ගෙන ඇත.
            

#අතීතයෙ ඉඳන්ම ශ්‍රී ලංකාව තේ වලට ඉතාමත් ප්‍රසිද්ධ රටක්. විදේශීය වෙළඳපොළේ ශ්‍රි ලංකාවෙ තේ වලට විදේශිකයින් ඉමහත් ලෙස ඇලුම් කරන්නෙ ලංකාවෙ තේ වල තිබෙන වෙනස්ම රසය සහ ගුණය ඔවුන් මනාව වටහාගෙන තිබෙන නිසායි. එකිනෙකාගෙ රසඥතාවය අනුව තේ වලට සෑමදෙනාටම අනන්‍ය වූ රසයක් තිබෙනවා. ඒක එකිනෙකාට ආවේණික රසයක්. එය අපගේ සංස්කෘතියත් එක්කම පැවත එන්නක්.









       

               

January 4, 2014

ශ්‍රී පාදය | Sri Padaya

බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේදී සුමන සමන් දෙවියන්ගේ ඇරයුමින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සටහන පිහිටුවා වදාළ පූජනීය ගිරි හිස නම් වූ කළී සමනළ කන්ද හෙවත් ශ්‍රී පාදස්ථානය යි.



මුලින් ම ශ්‍රී පාදය වන්දනා කළ රජතුමා කවුරුන්දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි නමුත් වසර දෙදහසකට පෙර සිරිපා වැඳ පුදා ගත් රජ කෙනෙකු ලෙස ක්‍රි.පූ. 29 සිට 17 දක්වා රජ කළ වළගම්බා රජු පිළිබඳව සඳහන් වෙලා තියනව. නමුත් සිරිපා වන්දනාව පිළිබඳව ජනප්‍රියම ඉතිහාසය තිබෙන්නෙ නිශ්ශංකමල්ල රජතුමාටයි. 
ශ්‍රී පාදය සොයාගන්නා ලද්දේ එතුමාගේ රාජ්‍ය කාලයේ යැයි සඳහන් වෙන ජනප්‍රවාදයක් තියෙනව.

# ශ්‍රී පාදස්ථානය සොයා ගැනීම..

                          තමන්ගෙ උද්‍යානයෙ මල් හොරාගෙන යන බව දැන ගන්න ලැබුණු නිශ්ශංකමල්ල රජතුමා ඒ හොරු අල්ලා දෙන කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙන බවට පොරොන්දු වී අඬබෙර යැවුවා.
එක්තරා ගමක ජීවත් වුණු පවුලක සහෝදරයින් දෙදෙනෙක් සිටියා. වැඩිමහල් සොහොයුරා සමග ජීවත් වුණු ස්ත්‍රිය ඔහුගෙ බාල සොහොයුරාව අනියම් සම්බන්ධතාවයකට පොළඹවා ගන්න හැදුවා.
මේ සම්බන්ධතාවයට අකමැති වුණු බාල සොහොයුරා එය ප්‍රතික්ෂේප කරා. මේ නිසා ස්ත්‍රියට බාල සොහොයුරා පිළිබඳව වෛරයක් හට ගත්තා. දවසක් මේ ස්ත්‍රිය ඇය ගේ ස්වාමි පුරුෂයා හෙවත් වැඩිමහල් සොහොයුරා හමුවෙ "ඔබේ සොහොයුරා ඔබ නැති වෙලාවට මට කරදර හිරිහැර කරන්න උත්සහ කරනවා. ඒ කරදරයෙන් මාව බේර ගන්න" යැයි ඉල්ලා හිටියා. ස්ත්‍රියගෙ මේ කූට උපක්‍රමයෙන් වැඩිමහල් සොහොයුරාට තමන්ගෙ බාල සොහොයුරා පිළිබඳව කෝපයක් හට ගත්තා. කෝපයට පත් වුණු අයියා තමන්ගෙ මල්ලි ව රවටා ගෙන කැළයට ගෙන ගොස් ඔහුගෙ අත් පා කපා දමා පැමිණියා. කෙසේ නමුත් පෙර කළ පින් මහිමයකට මෙන් වන මුල්,ඵළ ආදිය කමින් මේ බාල සොහොයුරා පුදුම සහගත ලෙස සුවයට පත් වුණා. අත් පා අංගවිකල නිසා මොහුට 'කොටා' නමින් අමතන්නට ගම් වැසියන් පුරුදු වුණා. 

                           මේ අතර නිශ්ශංකමල්ල රජතුමා ගෙ උයනෙ මල් සොරාගන්න සොරුන් අල්ලා දෙන්නට යැවූ අඬබෙරය මොහුට ආරංචි වෙලා එම සොරුන් අල්ලා දෙන්නට මොහු බාරගත්තා. 
මේ රාජකීය උද්‍යානයෙන් මල් සොරාගෙන ගියේ සොරුන් පිරිසක් නොවේ. ඔවුන් දිව්‍යංගනාවන්. මල් ගෙන ගියේ සම්බුදු සිරි පතුල මල් වලින් පුදා වන්දනා කරන්නට. 
උද්‍යානයෙ මල් උයනෙ සෑදූ කුටියක නතර වුණු ආබාධිත මිනිසා මේ සොරුන් අල්ලා ගන්නට උත්සහ කරන අතර රාත්‍රී කාලයේදි ඉතා මිහිරි හඬින් සතිපට්ඨාන සූත්‍රය කියවන්නට පුරුදු වුණා. දවසක් රාත්‍රි කාලයෙදි සිරි පතුළ පුදන්නට මල් කැඩීමට පැමිණි දිව්‍යංගනාවන්ට මේ හඬ ඇසුණා. ධර්මය අසන්නට ඉතා ආශාවක් ඇති වූ මේ දිව්‍යංගනාවන් දින තුනක් පැමිණ මේ හඬට ඇහුම්කන් දුන්නා. අවසානයේදි මේ දිව්‍යංගනාවන්ට මෙසේ මිහිරි හඬින් පිරිත් කියන්නෙ කවුද කියල දැන ගන්නට වුවමනා වුණා. එක් දිව්‍යංගනාවක් එය විමසුවා. මේ ප්‍රශ්නය ඇසුණු මිනිසා 'අත් පා නැති කොටෙක්' යැයි පිළිතුරු ලබා දුන්නා. මල් ගෙන යන්නෙ මොවුන් බව දැනගත් මිනිසා "මල් කඩන්නේ කුමකට ද?" යැයි විමසූ විට ශ්‍රී පාද පද්මයට පූජා කිරීමට බව දිව්‍යංගනාවන් කියා සිටියා. "මටත් ශ්‍රී පාදය පෙන්වන්නැයි" කොටා ඉල්ලා සිටියා. "එසේ නම් මේ සළු පොට අල්ලා ගන්නැ"යි දෙවඟනක් සළු පොටක් කුටිය තුළට දැමුවා. ඒ සළු පොට ස්පර්ශ වෙනවාත් සමඟම ඔහුගේ අත් පා කලින් තිබූ ලෙසට ම පත් වුණා. සුරඟනන්ගේ සළු පොට අල්ලා ගෙන ශ්‍රී පාදස්ථානය ට ගොස් වන්දනා කළ කොටා නැවතත් රජ උයනට ඇරලපු දිව්‍යංගනාවන් අතුරුදහන් වුණා. 
                                  පසුව මේ මිනිසා රජතුමාට සියලු විස්තර දැන්වීමෙන් පසු නිශ්ශංකමල්ල රජතුමාට ද ශ්‍රී පද්මය දැක බලාගෙන වන්දනා කිරීමය මහත් ආශාවක් ඇති වුණා. ශ්‍රී පාදයට යන මග සළකුණු පෙන්වන ලෙස දිව්‍යංගනාවන්ට දන්වන්න යැයි රජතුමා එම මිනිසාට කිව්වා. එදින රාත්‍රියෙ දිව්‍යංගනාවන් පැමිණි පසු මිනිසා මේ සියලු විස්තර දිව්‍යංගනාවන්ට පැවසුවා. "අපි පාර දිගේ මල් දමාගෙන යන සළකුණින් ශ්‍රී පාදස්ථානයට යන්නැ"යි දිව්‍යංගනාවන් පැවසුවා. පසුව නිශ්ශංකමල්ල රජතුමා සේනාව පිරිවරා දෙවඟනන් මල් දමා ගිය මඟ සළකුණු ඔස්සේ ශ්‍රී පාදයට පිවිසියා.

#කොපමණ බර වූවත් වන්දනා කරුවන් බඩු බාහිරාදිය ගෙන යන මල්ල හඳුන්වන්නේ 'ඔලගුව' නමින්. එය 'සැහැල්ලුව' යන තේරුම සහිත වචනයක්.

# ඉඳිකටු පාන..
                           බුදුරජාණන් වහන්සේ මෙම ස්ථානයෙ වැඩ සිටිමින් බුදු සිවුර මැසූහ යැයි විශ්වාසයක් තිබෙනව. එම අවස්ථාවේදී මාරයා විසින් විශාල වර්ෂාවක් වැස්ස වුවද උන්වහන්සේ වැඩ සිටි ස්ථානයට වැසි දිය බිඳකුදු නොවැටුණ බව කියවෙන කතා පුවතක් තියෙනවා. මේ පුවත සිහි කරමින් ඉඳිකටුවක් අමුණා නූල් ඇද යාමේ චාරිත්‍රයක් ඉඳිකටුපානෙදි සිදු වෙනවා. විශේෂයෙන් මෙය සිදු කරන්නෙ කිරිකෝඩු (සිරිපා වදින්නට පළමු වරට යන පිරිස) විසින්.
                           "ගෙත්තම් පානට ගොසින් බසින්නේ
                             ගෙත්තම් කරලයි සැමදෙන යන්නේ
                             ඉඳිකටු නූලුත් සුරතට ගන්නේ
                             ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන්නේ"

#භගවා ලෙන..
                          දිවාගුහාව ලෙසට ද මෙය ව්‍යවහාර වෙනවා. සිරිපාදයට වැඩි ගමනේදී බුදුරජාණන් වහන්සේ දහවල් කල වැඩ සිටි තැන මෙය යැයි විශ්වාස කරනවා. නිශ්ශංකමල්ල රජතුමාද සිරිපා වැඳ පැමිණෙන විට මෙම ස්ථානයේදී විවේක ගත් බවට මතයක් තිබෙනවා. නිශ්ශංකමල්ල රජතුමා විසින් කරන ලද ශිලා ලේඛනයක් වර්තමානයේ භගවා ලෙන යැයි විශ්වාස කරන ස්ථානයෙහි පිහිටා තිබෙනවා.

#හැරමිටිපාන..
                         මෙම ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ හැරමිටියක් වාරු කරගෙන වැඩම කළ බවට පිළිගැනීමක් තිබෙනවා. කරදරයක් නැතිව සිරීපාදය වන්දනා කිරීමට හැරමිටියක් බාර වීම අරමුණු කර ගෙන මෙම ස්ථානයේදී දෙවියන්ට භාරයක් වේ.

#ධර්මරාජගල..
                        'ධර්මරාජ' නම් තාපසයෙකු බුදුබව පතා කළේ යැයි සැළකෙන සිරිපා වන්දනාව පහසු කරණු පිණිස ගලින් ම කපා ඇති පඩි පෙළක් මෙහි ඇත. වන්දනා කරුවෝ පඩි ගණන් කරත් ස්ථීර ගණනක් සැමට නොලැබෙන බවට විශ්වාසයක් ද ඇත.

#ලිහනි හෙළ..
                        තමන්ගේ දරුවා සමග ප්‍රපාතයට වැටුණු ලිහිනි අක්කා සිහි කිරීමට මේ නම යොදා ඇති බව ජනප්‍රවාදයෙ සඳහන් වෙනවා. ඇය දේවආත්මයක් ලබා ඇති බව ද කවුරුන් හෝ ඇයට අඬ ගැසුවොත් ඊට ඇය පිළිතුරු දෙන බවට විශ්වාසයක් ඇත. නමුත් සිදු වන්නේ කතා කරන හඬ දෝංකාර දීමයි. මහා ප්‍රපාතයක් සහිත දෝරුවක් ඇති ස්ථානයක් ය. 

#ආඬියා මළ තැන්න..
                       සීතාවක රාජසිංහ රජු සමයේදී ප්‍රධාන ශිව භක්තිකයෙකු (ආඬි) මළ නිසා මේ ස්ථානය 'ආඬියා මළ තැන්න' නමින් හැඳින්වෙන බවට විශ්වාස කරනවා.

#මහගිරිදඹය මෙම මාර්ගයේ ඉතාමත් දුෂ්කර කොටසකි. 'දඹේ' යන්න 'උස් වූ කඳු මුදුන' යන අරුත දේ.
                        "මහගිරි දඹයද පෙනෙති ය ගොල්ලේ
                          නගිනට පඩි ඇත එහි නැවතිල්ලේ
                          බුදු ගුණ කියමින් නගිති සියල්ලේ
                          බුදු මඟුලකි මෙය දනුව සියල්ලේ"

#ඇහැළ කණුව නමින් ස්ථානයක් ද ඇත. ගමනේ පහසුව ඇති කරනු පිණිස පැවති ශක්තිමත් කණුවක් නිසා මේ නම සෑදුනු බව පැවසේ. මෙම ගල් කණුවේ ඇතැම් අය හුණු ගාති.

#සිරිපා වන්දනා කරුවන් බොහොමයක් දෙනා සිරිපා කරුණා කිරීමට පටන් ගන්නේ සැන්දෑ වරුවේයි. එයට හේතුව වන්නේ හිමිදිරියේම සිරිපා මළුවට දර්ශනය වන මනස්කාන්ත ඉර සේවය නැරඹීමටයි. මධ්‍යම කඳුකරයේ කොටපොළ කඳු මුදුනින්ද තවත් වරකට සැඟවෙමින්ද නොයෙක් ආකාරයේ විවිධ රැස් ධාරා පතුරවමින් සූර්යයා එක්වරම උදාවන ආකාරය සැබැවින්ම මනස්කාන්ත දර්ශනයක්.
වන්දනා කරුවන් ශ්‍රී පද්මය වැඳ පුදා ගෙන තමන් සිරිපා පැමිණි වාර ගණනට අනුව ඝන්ඨාව නාද කරයි. 



#දොළොස් මහේ පහනට දැමීම සඳහා ඖෂධ වර්ග ගෙන යන අතර ඇතැම් වන්දනා කරුවන් ඒවා පහනට දමා එයින් තෙල් බිංදු කිහිපයක් ගෙදර ගෙන ඒමටද පුරුදව ඇත. මේ තෙල් වලට රෝගාබාධ සුවපත් කිරීමේ ගුණයක් ඇති බවට විශ්වාස කරනවා.



#හාස්කම්..
 
                   
ක්‍රි.ව. 1347 දී අරාබි ජාතික ඉබන් බතුතා නම් දේශාටකයාගේ වාර්තා වල සඳහන් වන පරිදි අරාබි ජාතික ඉමාමි අබු තිස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග ශ්‍රී පාදය වන්දනා කිරීමට ගොස් ඇත. අතරමගදී බඩගිනි වූ පිරිසට බඩගිනි වැඩි වී අලි පැටවෙකු මරාගෙන මස් කා තිබෙනවා. මෙයට ඉමාමි අබු තදින්ම විරුද්ධ වී තිබෙනවා. ඔහු මස් කෑම ප්‍රතික්ෂේප කර තිබෙනවා. අලි මස් අනුභව කර රාත්‍රියෙහි නිදා ගත් පිරිසට එසේ නිදා ගත නොහැකි විය. රාත්‍රියෙහි එහි පැමිණි අලි රංචුවක් ඉමාමි හැර අන් සියල්ලෝම මරා දමා තිබෙනවා. පසුව ඉමාමි අබු සොඬවැලින් ගෙන පිට උඩ තබාගෙන ගොස් තයිසෝරන් නම් බට ලී බහුල ගම්මානයකට ඇරලුව බව වාර්තාවෙහි සඳහන් වෙනවා. 
                       2003 වසරෙදි රත්නපුර ප්‍රදේශයට බල පෑ විශාල ජලගැල්ම සිරිපා අඩවියේ විසූ කුරු ඇතෙකු මරා දැමීම නිසා ඇති වූවක් ලෙස විශ්වාස කරනවා. සමනළ අඩවියට අධිපති සුමන සමන් දෙවියන්ගේ වාහනය ලෙස ද සැළකෙන්නේ සුදු ඇත් රජෙක්.
                       අතීතයේ සුමන සමන් දේවාලයෙහි පූජාව තැන්පත් කර ඇත්තෙ කෙසෙල් කොළ වල ය. ඒ සඳහා සමන් දේවාලයේ බත් දෙන රාළට කෙසෙල් කොළ සපයා ගැනීමට සිදු වූ අතර ඇතැම් විට එය ඔහුට කරදරයක් ලෙස හැඟුණි. දිනක් "දෙවියන්ට කන්න පිඟානක්වත් නැතැ"යි කියමින් කෙසෙල් කොළ සෙවීමට ගිය ඔහු අතරමං වී තිබෙනවා. අවසානයේදී ඔහු නතර වී තිබෙන්නෙ ශ්‍රී පාද කඳු පාමුල ආසන්නයෙහි ගල් ගුහාවක. එහි අපමණ ලෙස රන් රිදී වලින් කළ පිඟන් පිරී තිබුණු අතර බත් දෙන රාළ ඉන් දෙකක් ගෙන නැවත හැරී බලන විට සිට ඇත්තේ සමන් දේවාලය අසලය.අදටත් සමන් දේවාලයෙහි දේව පූජාව තබනුයේ එම පිඟන් භාජනවලය.
                      අවාරයෙහි ශ්‍රී පාදස්ථානයෙහි සිටින මුරකරු පවසන පරිදි වන්දනාකරුවන් කිසිවෙකු නොමැති අවස්ථාවල විටින් විට මනෝරම්‍ය ආලෝකධාරා, මල් සුවඳ, ඝණ්ඨා හඬ, තුන් සරණේ හඬ ආදි විවිධ ආශ්චර්ය්‍යන්ගෙන් පිරී යයි. එලෙස අවාරයෙහි සිරිපා වන්දනා කරනු ලබන්නේ දෙවිවරුන් බව පිළිගැනේ. ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙන්නේ දෙසැම්බර් මාසයෙනි. අවසන් වන්නේ මැයි මාසයෙනි. එම කාළය සිරිපා වාරය යි. අවාරයෙහි සිරිපා වන්දනා කිරීමට තහනමක් නැති වුවත් එම කාළයේදී කාලගුණය එතරම් යහපත් නොමැති නිසාවෙන් හා එම කාළය දෙවිවරුන් සිරිපා වන්දනා කරන කාළය නිසා මිනිසුන් එම කාළයෙහි සිරිපා වන්දනා කිරීමට නොපෙළඹති.
                     මෙම අඩවියේ හානිකර සතුන් සිටියද ඒ කිසිවකුගෙන් මිනිසුන්ට කරදරයක් නොවේ. නමුත් අධර්මයට, දුරාචාරයට විරුද්ධව ක්‍රියාකරන බලවේග ස්වාභාවධර්මය තුළ පවතී.  



                                සිරීපාද මළුව 1890 වර්ෂයේදී


තොරතුරු - මහාමේඝ පුවත්පතේ ලිපියකින්


                  

December 4, 2013

ගල් විහාරය | Gal Viharaya

අද රස්තියාදු වෙන්නෙ ගල් විහාරය ගැන හොයන්න.
අනර්ඝ මූර්ති,කැටයම් හා චිත්‍ර වලින් පෝෂණය උනු ලෙන් විහාර සංකීර්ණයක් විදිහට පොළොන්නරු ගල් විහාරය හෙවත් උත්තරාරාමය හදුන්වන්න පුළුවන්. මෙය පිහිටා තිබෙන්නෙ මහාථූපය සහිත ආළාහන පිරිවෙන සංකීර්ණයට උතුරු දෙසින්.
        උසස් කලාශිල්පීන් ලවා පළමුවන පරාක්‍රමබාහු රජතුමා තමයි ගල් විහාරය ගොඩනගල තියෙන්නෙ. ගල් විහාරය පිළිබඳව මුල සිටම හදාරනවනං දැනගන්න ඕනෙ මූලික කරුණු ටිකක් ගැන තමයි මේ ලිපිය..මේ වගේ දේවල් ගැන හොයන එක මම ආස කරන දෙයක්..

           ගල් විහාරය ලෙණකින් සහ ගුහා දෙකකින් යුක්තයි. 
වමේ සිට පිළිවෙලින්,        
  1. විජ්ජාධර ගුහාව
  2. නිසින්න පටිමා ලෙණ
  3. නිපන්න පටිමා ගුහාව   
                                      # විජ්ජාධර ගුහාව


ගඩොල් බිත්ති සහිත මෙම ගුහාවේ දිග මීටර් 8 සෙන්ටිමීටර් 90 ක් හා පළල මීටර් 12 සෙන්ටිමීටර් 12 ක් වෙනව.ප්‍රධාන පිළිමය ප්‍රාසාදයක් මැද තියෙනව. මෙය වජ්‍රාසනය මත ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින විශාල බුදු පිළිමයක්. මෙහි පසුබිමේ ඇති අර්ධ උන්නත කුඩා බුදු පිළිම හතර මහායන බුදු දහමෙ සංකල්පයක් කියලත් පොත් වල සඳහන් වෙනව. නමුත් මෙය මෙතෙක් ලෝකයේ කොතනකින්වත් දක්නට නොලැබෙන හෙළ කළා ශිල්පියාගෙ අපූර්ව නිර්මාණයක්.

                                     # නිසින්න පටිමා ලෙණ   


ගල් පර්වතය ඇතුළට හාරා මෙම ලෙණ සාදා තිබෙනව.උඩින් ගල් සීලිම හා තුන් පැත්තෙන් ගල් බිත්ති තිබෙනව. මෙම ලෙණේ දොරටුවෙහි කැටයම් සහිත ගල් කණු හතරක් තිබෙනව. ලෙණ මීටර් 2.92 ක් උසින් ද මීටර් 7.8 ක් පළලින් ද මීටර් 3.82 ක් ගැඹුරින් යුක්තයි. සිංහ හා වජ්‍ර සංකේත ආසනයක් මත වූ විශ්ව පද්මය මත බුදුන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිනව. ආසනය දෙපස චාමර ගත් බෝධිසත්ව රූප දෙකක් තිබේ. හිසට උඩින් ඡත්‍රයක් ද තිබේ. මෙහි පසුබිමේ චිත්‍රයක මහලු තැනැත්තෙක් නිරූපණය කෙරෙන චිත්‍රයක් තිබෙන අතර ඔහු ගේ අතේ විජයොත් සක තිබෙන නිසා ඔහු ශක්‍ර දේවෙන්ද්‍රයා බව පුරාවිද්‍යාඥයින් පවසයි.
ඒ අනුව ශක්‍රයා දෙවියන් සමග ඉන්ද්‍රසාල ගුහාවේදි බුදුන් වහන්සේ බැහැ දැකීම මෙහි තේමාව බවට සැළකිය හැකියි.

                                     #නිපන්න පටිමා ගුහාව      


   මෙහි නමින්ම 'නිපන්න' යනු සැතපෙන යන්න අදහසයි. මෙහි ඇත්තේ සැතපෙන පිළිමයක්. පිළිමය මීටර් 14 ක් දිගයි. මෙම ගුහාව මීටර් 15.6 ක් දිගින් සහ උසින් මීටර් 4.5 ක් වෙනව. මෙම පිළිමය බුදුන් වහන්සේගෙ පරිනිර්වාණය දැක්වෙන පිළිමයක් ලෙස බොහෝ දෙනා සළකනව. නමුත් බොහෝ පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පරිදි එවන් අදහසක් පෙන්වන ලක්ෂණ මෙහි නොමැති බවයි. දකුණු පය මත ඇති වම් පය මදක් පස්සට වී නෙළා තිබීම මෙය පරිනිර්වාණ පිළිඹිමු කරන්නක් බවට තර්ක කරන ප්‍රධාන සාධකයක්. නමුත් බුදුන් වහන්සේ කවදත් සැතපුණේ මෙම ඉරියව්වෙන් බව සහ වම් පය පස්සට වී තබා ගන්නේ ගොප් ඇටය සහ දණහිස් එකට ගැටීමෙන් ඇතිවන වේදනාව මග හැරවීමට බව උගතුන් පවසා සිටියි. කෙසේ නමුත් මෙම පිළිමයත් ඉතා සියුම්ව තනා තිබෙන ඉතා විශිෂ්ට කලා කෘතියක්.

* නිසින්න පටිමා ලෙණ සහ නිපන්න පටිමා ගුහාව අතර ඇති හිටි පිළිමය..
               


පද්මයක් මත තනා ඇත. මෙම පිළිමයේ උස අඩි 22 අඟල් 9 කි. මෙම හිටි පිළිමය මත පදනම් වී ඇති තර්කයක් වන්නේ මෙය බුදු පිළිමයක් ද නැතිනම් ආනන්ද පිළිමයක් ද යන්න වගයි. මෙය ආනන්ද හිමියන්ගේ පිළිමයක් බවට පිළිගන්නෙ මෙයට දකුණු පස ඇති පිළිමය බුදුන් වහන්ස්ගෙ පරිනිර්වාණය පිළිඹිමු කරන පිළිමයක් ලෙස පිලිගන්න අයයි. එයට හේතුව බුදුන් වහන්සේගෙ පරිනිර්වාණය සිදුවන අවස්ථාවෙ ආනන්ද හිමියන් ශෝකයෙන් සිටින අවස්ථාවක් මෙම හිටි පිළිමයෙන් අදහස් කරන බවට පිලිගැනීමයි. නමුත් නිපන්න පටිමා ගුහාවෙහි ඇති පිළිමය සැතපෙන පිළිමයක් පමණක් බව ඉහත පරිච්ඡේදයේ සඳහන් කර ඇත. තවද මෙම හිටි පිළිමයෙන් පිළිඹිමු වන්නේ බුද්ධ ලක්ෂණ සහ මෙය තනා ඇත්තේ පද්මයක් මතය.මහායන බුදු දහමට අනුව පද්මයෙන් අදහස් වන්නේ ලෝකොත්තරභාවය යි. තවද ගල් විහාරයේ තේමාවන්වලට මහායානික ලක්ෂණ එකතු වී ඇත. ලෝකෝත්තර භාවයෙහි සංකේතයක් වන්නේ බුදුන් වහන්සේය.ආනන්ද හිමියන් නොව. ඒ අනුව මෙම හිටි පිළිමය බුදු පිළිමයක් වීමට වැඩි නැඹුරුවක් ඇත. තවත් සාධකයක් වන්නේ මෙම පිළිමයෙහි හිසෙහි දක්ෂිණාවර්ත කෙස් පිඬු තිබීමයි. එය බුදු පිළිමවල සාධකයකි. සෙනරත් පරණවිතාන ශූරින් පවසන පරිදි මෙහි ඇත්තේ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවයි. එයටද විවිධ මත පල වී ඇතත් බොහෝ දෙනා පිලිගනු ලබන්නේ මෙම මතයයි.මෙම මුද්‍රාවෙන් අදහස් වන්නේ ධම්මපද ගාථාවකට අනුව බුදුන් වහන්සේ අසෝකීව සෝකී ප්‍රජාව දෙස මහා කරුණාවෙන් බලා සිටීමයි. නමුත් මුහුණේ දුක් මුසු බවක් නොමැත. තොල් වල මඳ සිනහවක් ඇත.

             "ශ්‍රී ලංකාවේ මේ කැපී පෙනෙන ස්මාරකයෙහි ප්‍රදර්ශිත කලාව දැකීමෙන් කෙනෙකු විශ්මයට පත් වීම නොවැළැක්විය හැක්කකි. සමකාලීන යුරෝපයේ නිර්මාණවලට වඩා මෙය අග්‍රගණ්‍ය වෙයි"
                                                 ~ශ්‍රීමත් ටෙනන්ට්~
"කළු ගල් කපා තනන ලද මේ පැහැදිලිවම කලුගල් විහාරය එහි විශේෂ ලක්ෂණ අනුව අසාමාන්‍ය නිර්මාණයකි. මෙය ශ්‍රී ලංකාවේ බෙහෙවින් ම කැපී පෙනෙන අතිවිශිෂ්ට නිර්මාණයකි. ඊට සම කළ හැක්කක් ඉන්දියානු උප මහද්වීපයේවත් නැත"
                                                  ~එච්.සී.පී.බෙල්~   

ආදරය කරමු මේ උරුමයට. ජීවිතයේ එක පාරක් හෝ මේ සිංහලද්වීපයෙහි මෙවන් කලා නිර්මාණයක් දැක බලා ගෙන දැහැන්ගත වී නැත්නම් පසුතැවෙන්න ඔබ හෙළයෙකු වී ඉපදුනාට.

තවත් දවසක රස්තියාදු වෙමු...           
Related Posts Plugin for WordPress, Blogger...