April 16, 2014

මනමාලි කැන්දන් ආවා..!

අලුත් අවුරුද්දෙන් පස්සෙ ඉස්සෙල්ලාම ලියන පෝස්ට් එකෙන් කියන්න යන්නෙ සුභ ආරංචියක් නොවැ.. අවුරුදු ගාණක් හීන මව මවා හිටපු දෙයක් ගිය සතියෙ සැබෑ වුණා.. මට ඉතිං ඔය ඉස්සර ඉඳන් තිබ්බ උණක් නෙ ෆොටෝග්රැෆි කියන්නෙ..Compact කැමරා එකක් යූස් කර කර ඉඳපු මට මගේම DSLR එකක් අතගානකං තිබ්බෙ බොහොම බරපතල සුව නොවන මෙව්ව එකක්. :P 
ඕං ඉතිං ගිය සතියෙ එකොළොස් වෙනිද ඒ මෙව්ව එක සුව උණා.. 


Nikon D3100... Entry Level DSLR එකක්...වැඩි ආටෝප නැති වුණත් මේක එදා වගේම අදටත් ගොඩක් හොඳ කැමරාවක්.. 
හාහා පුරා අවුරුද්දට වැඩ ඇල්ලුවෙත් මේකෙන් පොටෝ එකක් ගහල.. :D
උප්පැන්නෙ.


මේකත් එක්ක තව ලෙන්ස් එහෙකුත් නිකං ලැබුණා..
50 mm ප්‍රයිම් ලෙන්ස් එකක්.. 



මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Travel Photograaphy කරන අය. Potrait වලටත් නරකම නැහැ.

මේක අරං දුන්න මගෙ අම්මයි තාත්තටයි කොහොම ස්තූති කරන්නද මංද..කවදහරි මං ඒ ණය ගෙවනවා.. :)



ඉතිං මේක පට්ටම අවුරුද්දක්..! :D
දැං නං සංචාරකයට අවුලක් නැතුව සංචාරය කරතැහැකි..
සියලු බලාපොරොත්තු ඉටුවෙන, සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුුරුද්දක් වේවා...! 



April 2, 2014

මුදල් නෝට්ටුවල ආවේණික කුරුල්ලන් | Endemic Birds in Currency Notes

මීට අවුරුදු කිහිපයකට කලින් නිකුත් කරපු අලුත් මුදල් නෝට්ටුවල විශේෂ දෙයක් තමයි ලංකාවට ආවේණික කුරුළු වර්ග කිහිපයක් ඒ මුදල් නෝට්ටු වල දකින්නට හැකි වීම. කාගෙ වුනත් හොඳ අදහසක්. ඒත් ඒ කුරුල්ලන්ගෙ නම ඒ නෝට්ටු වල දකින්නට නැහැ.

ලංකා කුරුළු සංගමයට අනුවනම් ලංකාවෙ පක්ෂි වර්ග 441 ක් පමණ ඉන්නවා. එයින් 33 ක් පමණ ලංකාවටම ආවේණික පක්ෂීන්. එයින් කිහිපයක් තමයි මේ මුදල් නෝට්ටුවල ඉන්නෙ.

#රු.20
                                      
   ~ පඬුවන් කන්බස්සා
   ~ Serendib Scops Owl (Otus thilohoffmanni) 

ලංකාවට ආවේණික බස්සන් වර්ග 2 අතරින් එක්කෙනෙක්. පහත් බිම් කිහිපයක විතරක් දැකගන්න පුළුවන්. වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියන කුරුල්ලෙක්. හඳුනගන්න තරමක් පහසුයි මොකද මෙයාට හොඳින් වැඩුණු කන් පෙති (True ear tufts) නෑ. 17 cm ක් පමණ දිගයි.

ලංකාවට ආවේණික අනිත් බස්සගෙ නම “පිටතඹල උපබස්සා“.

#රු.50


   ~ ලංකා නීලන් මැසිමාරා (අඳුරු නිල් මැසිමාරා)
   ~ Lanka Dull Blue Flycatcher (Eumyias sordida)

හෝර්ටන් තැන්න ආශ්‍රිත ප්‍රදේශයෙ බහුලව දැකගන්නට පුළුවන්. නමින්ම පැහැදිලි වන්නෙ මොවුන්ගෙ ප්‍රධාන ආහාරය කෘමි සතුන්, මැස්සන් ආදිය. මොවුන් කූඩු සාදා ගන්නෙ පාසි වර්ග ආදී දේවලින්.


#රු.100

   ~ රතු දෙමලිච්චා
   ~ Orange - Billed Babbler (Turdoides rufescens)

රතු පැහැයට හුරු සාමාන්‍ය තැඹිලි වර්ණයට හුරු කුරුල්ලෙක්. තෙත් කලාපීය ප්‍රදේශවල බහුලව දකින්නට පුළුවන්. මෙයාව හොයාගෙන තියෙන්නෙ 1847 දි.


#රු.500

   ~ අළු ගිරවා
   ~ Layard's Parakeet (Psittacula calthropae)

උද්‍යාන, එළි පෙහෙළි වූ කැළෑ ආශ්‍රිත ජීවත් වෙනවා. 13 cm ක් පමණ පෙදයක් ඇති 29 cm ක් පමණ දිගැති ගිරා විශේෂයක්. හිස සහ පෙදය නිලට හුරු අළු පැහැයකින් යුක්ත වන නිසා හඳුනගන්න පහසුයි.


#රු.1000

   ~ ගිරා මලිත්තා (පොල් ගිරවා)
   ~ Lanka Hanging Parrot (Ioriculus beryllinus) 

ඉතා සුළු රංචු ලෙස හෝ තනිව ජීවත් වෙන ගිරා විශේෂයක්. හිසෙහි රතු පැහැයට හුරු පෙදසක් තියනවා.


#රු.5000

   ~ ගල ගුඩුවා (කහ කොණ්ඩයා)
   ~ Yellow Eared Bulbul (Pycnonotus penicillatus)

හෝර්ටන් තැන්න, නුවරඑළි ආදී ප්‍රදේශවල පඳුරු, ලැහැබවල් වල කූඩු සාදාගෙන ජීවත් වෙනවා. යටි පෙදෙස දීප්තිමත් කහ පැහැයකුත් හිස අළු පැහැයකුත් පිටුපස ඔලිව් පැහැයකුත් තියනවා. මේ කුරුල්ලගෙ විශේෂත්වයක් වෙන්නෙ ඉතා කුඩා වට ear tufts පිහිටා තිබීම.



මේ මුදල් නෝට්ටු වල සමනළ වර්ගත් ඉන්නව..එයාල ගැන පස්සෙ දවසක හොයනවා...! :)

ප.ලි. - මෙහි ඇති සියලු ඡායාරූපවල හිමිකම් එම ඡායාරූපශිල්පීන් සතු විය යුතුයි.




 
Related Posts Plugin for WordPress, Blogger...