October 12, 2014

සියදෝරිස් අත්තා සහ පැල් කවි

'සියඹලදෙණිය' කියන්නෙ ඒ ඉසව්වෙ තියෙන පොඩිම ගම්මානෙ. හතරපැත්තෙන්ම සුවිසාල කඳු පේළියකට වටවෙලා තිබුණු හන්ද ඒ ගම්දනව්ව ඒ ඉසව්වෙ හැංඟිලා වගේ තිබුණේ. සියඹලාදෙණියෙ ජීවත් වෙච්ච මිනිස්සුත් හේන් ගොවිතැනට පිං සිද්ධ වෙන්ට අඩුවක් පාඩුවක් නැතුව කාල බීල ජීවත් වෙලා තමන්ගෙ පණ කෙන්දත් රැකගෙන උන්න මිසක් ගොවිතැනෙන් ලැබිච්ච ඵලදාව විකුණගන්ටයි, අවුරුදු කාලෙට නගරෙ කඩමංඩියට ගොහිං චීත්තයක් සරමක් අරං එන්නයි ඇරෙන්න ඉං එපිට පස් පෑගුවෙ නෑ. 
මේ ගම්මානෙට සියඹලදෙණිය කියල නම හැදුනෙනං බෝම සාරෙට හැදුණු සියඹල වත්තක් තිබුණු හන්ද..

ගම්මානෙටම තිබුණෙ එකම එක කඩයයි. ඒ අප්පුවගෙ කඩේ. දවස තිස්සෙම හේනත් එක්ක ඔට්ටු වෙන ගමේ කවුරුත් ඉර දෙයියො උන්දැලගෙ හේමලයත් අඬ ගහගෙන බස්නාහිර පැත්තෙන් හැංගිලා යන්න හදන වෙලාවට වැවෙන් ඇඟ පත එහෙම හෝදගෙන කාරිය කාත් කවුරුත් හකුරු කෑල්ලකුත් එක්ක කහට ඩිංගිත්තක් බොන්න, දාං අතක් අදින්ට එකතු වෙන්නෙ අප්පුවගෙ කඩපිලට. ඒ කාරණේ එහෙම සිද්ධ වුනාට මොකද කඩේ ඉස්සරහ සියඹල ගහ යට තිබුණු බංකුව උඩ දවසම ලැග් ගහගෙන ඉඳපු මනුස්සයෙක් හිටියා. ඒ සියදෝරිස් අත්තා. අවුරුදු අසූවක්ම වයස හන්ද ගොවිතැන් කරන්ටත් බැරි එකේ දවසම උන්නෙ ඔතන. ගෙදෙට්ට ගියේ වේල සප්පායම් වෙන්ටයි රෑට නිදාගන්ටයි විතරයි. උන්දැගෙ පුතණ්ඩියා සිරිපාලය, ගෙදෙට්ට අඩුවක් පාඩුවක් කරන්නැතුව අප්පොච්චගෙ හේන වගා කෙරුව. සියදෝරිස් අත්තගෙ රාජකාරිය දවසම බංකුවට වෙලා ඉඳගෙන කඩේට එන එවුන්ට කවියක් කතන්දරයක් කියා දීල විහිළුවක් තහළුවක් කරගෙන බුලත් හපයක් වික විකා ඉන්න එක. හවසට කඩේට රැස් වුණු කට්ටියත් පුරුදු වෙලා හිටියෙ සියදෝරිස් අත්තගෙ කවි කතන්දර අහන්න.

"ඈ බොල පොඩි මැණිකො. උඹෙන් බත් ඩිංගක් කෑවෙ නෑ බොල කාලෙකිං. උඹ හදන පොළොස් මාළුව වගේ පොළොස් මාළුවක් හදන්න බෑ මේ අහලගං හතක එකියකටවත්."
සියදෝරිස් අත්තා කඩේට ආපු පොඩි මැණිකට කීවා. 

"වෙලාවක එන්ටකො ඒ පැත්තෙ. මං හදල තියන්නම්"
පොඩි මැණිකා කීවෙ ලැබුණු වර්ණනාවෙන් තරමක ආඩම්බරකාර හිනාවකින් සැරසිලා. 

"ඇයි සියදෝරිස් අත්තට විතරක්. අපිටත් දීල කෑවාම මක් වෙනවද?.."
හේන් කටයුතු අහවර කරල ඇවිල්ල කඩපිලේ බංකුව උඩ සිරිපාලයත් එක්ක දාං අතක් ඇද ඇදා උන්නු ගුණපාලය කීවෙ තාමත් පෙළවහක් කරගනෙ නැති පොඩි මැණිකා දිහා මනමාල බැල්මකුත් දාගෙනම... 

"ඈ බං ගුණපාලයො උඹ අද පැල් රකින්න යන්නැතෙයි. ඊයෙත් මූකලානෙන් කඩා පාත් වුණු වල් ඌරො රංචුවක් සිරිපාලයගෙ හේන දෙවනක් කරල. සාරෙට හැදීගෙන ආපු බඩ ඉරිඟු පැළ ටික විනාස කරල දාල."
සියදෝරිස් අත්ත සියඹල ගහ මුලට බුලත් කෙළ පාරකුත් ගහල කීවා.

"තව ඩිංගිත්තකින් යන්ට ඕනෙ අත්තෙ. කොහෙද මේ ගම්මානෙ එකෙකුටවත් තාම තුවක්කු ලයිසන් එක ගන්ට හම්බුන්නෑනොවැ. ගිනි බටයක් තිබ්බනං ඕකුන්ට කරන වැඩේ දනී මං"
ගුණපාල කීවෙ සිරිපාලයගෙ ඉත්තො තුන්දෙනෙක්ම අරගන්න ගමං. 

"බොලා ඔහොම කියනකොට මටත් මතක් වුණා අපි ඒ කාලෙ පැල් රැකපු හැටි. බොලාට වගේ තමා අපිටත් ඒ කාලෙ ගිනි බට තියාගන්න සුදු මහත්තැයල අවසර දුන්නෑ. ගිනි බටයක් තිබ්බෙ ගමේ ආරච්චිල ගාව විතරයි. දරු මල්ලොත් ගෙදර තනිකරල දාල අපේ මායිය හදල දෙන බත් මුලත් අරගෙන හඳ පායගෙන එනකොට හේනට යනව පැල් රකින්න. ගෙදරින් එළියට බහින්නෙ සමන් දෙයියො සිහි කරගෙන. අර සිරිපාලයගෙ හේනෙ තිබ්බ විසාල මාර ගහේ තමා මගේ පැල තිබ්බෙ. හේනට ඇවිල්ල පැල ගාවින් ගිනි මැලයකුත් පත්තු කරල කාරිය පැලට නගිනව. හූ තියල ගිණි මැල පත්තු කරල තමා හේන දෙවනක් කරන්ට එන සත්තුන්ව එලවගන්නෙ. ඔහොම ඉන්නකොට දවසෙම හේනත් එකක් ඔට්ටු වුණු හන්ද නිදි මත, කාංසිය හැදෙනවා. ඔය වෙලාවට තමා කවියක් එහෙම කියල කාංසිය ඇරෝගන්නෙ. ඔය පොඩි මැණිකගෙ අප්පොච්චා තමා පැල් කවි කියන්න සූරයා. පොඩි එකෝ.., උඹ අහල තියේද මේ කවිය.."
සියදෝරිස් කීවෙ උගුරෙ රැල් බුරුල් ඇරල කවියක් කියන්ට සූදානං වෙන ගමන්..
"අහගනිංකො මේක.." 

                         පෙරකාලේ කරපු අකුසල්වල අප     ලා
                         මේ කාලේ විඳිති දුක් පැල්වලට වෙ   ලා
                         රජකාලේ පටන් පුරුදුව පැල් රැක     ලා
                         ලොකු රාලේ කියන් පැල්කවි තෝරා ලා

"මගේ හේන ගාවින්ම වගේ තිබ්බෙ සූරසේනයගෙ හේන. ඌත් කවි කියන්ට හපනා. මායි ඌයි පැල් රකිනකොට තරඟෙට පැල කවි කියාගත්තා."
                          දුකින් දුකින් මම පැලපිට උන්කල     ට
                          කිරලෙක් ඇවිත් බය ගැන්නුවයි එවි   ට
                          අනිච්චන් කිරලො මා බය ගැන්නුව    ට
                          හෙට වෙනදා දඩ පමුණවයි කිරලා     ට

"නිදිමත යන්ටත් එක්ක මං ඕම සීපදයක් කිව්වාම සූරසේනයත් ඒකට හරියන්ට එකක් කියනව"

                        මගේ රැලේ එක කිරලෙක් අඩු බැවි     න
                        අඬා ගියෙමි උඹ සිටිනා පැල උඩි         න
                        ඒ වරදට දඩගනිතොත් මා අති             න
                        අනිත් ගමන එන්නෙමි උඹෙ පැල උඩි  න

"ගුණපාලයො.., උඹත් කියාන්කො බලන්න පැල් කවියක්"
සියදෝරිස් ගුණපාලයට කීවා.
"ඕං එහෙනං අහගනිල්ලකො.."

                         කැලේ ගොසින් ඉනි කැපුවා කැත්ත     දනී
                         වෙලේ ගොසින් ඉනි හැදුවා නියර        දනී
                         පැලේ ගොසින් පැල් ලැග්ගා පැදුර       දනී
                         මෙදා පැලේ පැල් ලැග්ගා දෙවියො      දනී

ගුණපාලය සීපදය අහවර කරනවත් එක්කම සියදෝරිස් අත්ත තව සීපදයක් කියන්ට පටන් ගත්තා.

                         අඹුවට බයේ ගෙදරින් යයි පැල උඩ     ට
                         ඌරට බයේ නොබසියි මැරුවත් බිම    ට
                         ඒකට මොකද තව පුරසාරම් එම          ට
                         මූලට හොඳයි හැඳ නැතුවම පටවන්      ට

ඒ කවියට කඩ පිලේ හිටිය පොඩි එවුන්ට හිනා..
"අදනං මෙතන කවි මඬුවක් වෙන්ටයි යන්නෙ"
පොඩි මැණික ගාවින්ම බිම ඇන තියා ගත්තු එතනා කීවා.

"ඕං එහෙනං මේ ටිකත් අහගනිල්ලා.." සිරිපාලයත් බලාගෙන හිටියෙ සීපදයක් කියන්ට.
                         
                         අහස තනිවේද විදුලිය කෙටුවා           ම
                         පොළොව තනිවේද මම බිම බැලුවා    ම 
                         මූද බොරවේද ගොඩරැල ගැසුවා         ම
                         සිතේ දුක යාද දවසක් ඇඬුවා             ම

"ඕං බලහං මායියයි දරු පැංචො ටිකයි ගෙදර තනියම දාල පැල් රකින්ට ආපු දුක ඒ සීපදේම තියනවා.".. සියදෝරිස් අත්ත කීවා.

                         දනවා පපුව සිහිවෙනකොට අම්ම          මගේ
                         එනවා කඳුළු නෙත්දෙක රතුවෙලා         යුගේ
                         වෙනවා මෙහෙම කල් ලැබුනම සෙනසුරු ගේ
                         මොනවා කියා සිත සනසා ගන්ද            මගේ 

                         බුලත් කඩන්නේ නැටි අල්ල අල්        ලා
                         පුවක් කඩන්නේ නැටි සොල්ල සොල් ලා
                         වඳුරො පනින්නේ පිණි සොල්ල සොල්ලා
                         මගෙ පුතු අඬන්නේ ඉව අල්ල අල්      ලා

මෙච්චර වෙලා නිස්සබ්දව හිටිය පුංචි බණ්ඩත් ඈත කන්ද උඩින් පායගෙන එන හඳ දිහා බලාගෙනම කීවා. හඳ පායනව කියන්නෙ දරුමල්ලො ටික ගෙදර තනිකරල දාල පැල් රකින්න යන්න වෙලාව හරි කියන එක.

"නිදිමතක් කාංසියක් පාළුවක් දැනෙන්න නොදී රෑට පැල උඩට වෙලා හේන ආරක්සා කරගන්න පිහිට උනේ ඔය එවෙලෙට ගොතන පැල් කවි ටික තමා." සියදෝරිස් අත්ත කීවෙ තවත් පැල් කවියක් කියල.

                        අහසේ තරුසේම ගොවිතැන් කරන්     නේ
                        පොළොවේ වැලිසේම බෝගත් ඉසින් නේ
                        මගෙ හේනමයි ඌරට පෙණෙන්        නේ
                        විස්ණු සමන් දෙවියෝ නඩු බලන්      නේ

"හා හා දැන් ඉතින් ගෙවල්වලට පලයල්ලා..ගොම්මනත් වැටීගෙන එනවා." සියදෝරිස් අත්ත කීවෙ බංකුවෙන් නැගිටින ගමන්.
"පොඩි මැණිකෝ., ඔන්න එහෙනං මතක් කරල පොළොස් ඇඹුලක් හදාන් ඈ. උඹෙ පොළොස් ඇඹුල එක්ක කළු ගලක් උනත් කෑවහැකි බොල".. 
                        
                        සුවඳනැති මලක් පිපුනයි අපෙ වත්     තේ
                        සුවඳ නැති නමුත් ලෝකෙට රුව ඇත්තේ
                        එකයි දෙකයි තුන හතරයි එක ඉත්     තේ
                        එරබඳුමලට විතරයි බඹරිඳු නැත්        තේ

සියදෝරිස් අත්ත ගෙදෙට්ට හෙමින් හෙමින් යන ගමන් කියාගෙන ගියා..

ඒත් එක්කම අප්පුවගෙ කඩේ පරණ රේඩියෝ එකේ අමරදේව මහත්තයගෙ සින්දුවකුත් යනව ඇහුණා. අප්පුව සද්දෙ පොඩ්ඩක් වැඩි කරේ එක අතකින් තාලෙ අල්ලන ගමන්මයි. 






  


























 

37 comments:

  1. සියදෝරිස් අත්තා නියම චරිතයක්නෙ.

    //අඹුවට බයේ ගෙදරින් යයි පැල උඩ ට
    ඌරට බයේ නොබසියි මැරුවත් බිම ට
    ඒකට මොකද තව පුරසාරම් එම ට
    මූලට හොඳයි හැඳ නැතුවම පටවන් ට// මේක තමා පට්ටම කවිය.

    ලැබුන සම්මානෙටත් උණුසුම් සුබ පැතුම් අසංකයො.!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියා... මටත් ඔය කවි සෙට් එකෙන් පට්ටම කවිය ඕක..

      Delete
  2. පලමුවව මගෙන් සුබ පැතුම් !!!!

    අනික සියදෝරිස් ආතා නම් සිරාම ආතෙක් තමයි....

    ජ ය වේ වා !!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විදානෙ..
      ජ ය වේ වා...!!!

      Delete
  3. ඒ කාලේ ආතලට පැල් කවි කියවුනාට දැන් කෝ ඒවා.......
    කවි ටික මරු....

    ReplyDelete
    Replies
    1. ඒක තමා.. දැන් කවි පොත්වලට විතරක් සීමා වෙලා ගිහිල්ල.
      ස්තූතියි නිහිංසා..

      Delete
  4. මෙහෙමවත් කවි ටිකක් තියෙන එක හොඳා.. නැත්නම් පුංචි උන් හිතයි පැල් කවි කියන්නේ ශිෂ්‍යත්ව කාලෙට විතරයි කියලා

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... අනේද කියන්නෙ නාඩියො.. ඒකනං ඇත්ත තමා..

      Delete
  5. කවි ටිකට කතාවක් හැදුව ද කොම වුණත් පංකාදුයි ..
    සුභපැතුම් ....(මොකටද කියලා දන්නෙ නෑ මොකක්ද ලැබුණා කියලා ප්‍රියා විදානේ කියලා තියෙන්නෙ මොකක් ගැනද 0

    ReplyDelete
    Replies
    1. නිකංම දැම්මොත් ගතියක් නැති හන්ද කතාවකින්ම දැම්මා...

      අර එකතුවෙන් තිබ්බ බ්ලොග් සම්මාන මෙව්ව එකනෙ... ඒකෙ එහෙකට මේකත් තේරිලාලුනෙ..
      ස්තූතියි සහෝ..

      Delete
  6. මේවයින් සමහර කවි, පොඩි පොඩි වෙනස්කම් සහිතව අහල තියනව. අහපු නැති ඒවත් තියනව. හොඳ සටහනක්.

    ඇත්තටම එරබදු මල් වලට බමරු එන්නෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ඒකනං. මං එරබදු මල් දැකල තියෙන්නෙ බොහොම කලාතුරකින්.. මේ පැත්තෙ අඩුයි..
      ස්තූතියි චන්දන අයියා....

      Delete
  7. මචෝ.. වෙනස්ම ආරක් ගත්ත ලිපියක්. උඹේ මේ විවිධත්වයට තමයි මං ගොඩක්ම කැමති. උඩ ඉඳල පහලටම පුදුම ආසාවලික් කියවගෙන ආව ලිපියක්. මේ අව්‍යාජ ගැමි ජීවිතට හරිම සුවඳයි බං. ඒ සුවඳට මං හරි පෙරේතයි. උඹ හරි අගේට චිත්ත රූප මවල මාව මේ ලෝකයේ ජීවත් කලා මේ ලිපිය කියවපු කාලය තුල.

    \\ගමේ කවුරුත් ඉර දෙයියො උන්දැලගෙ හේමලයත් අඬ ගහගෙන බස්නාහිර පැත්තෙන් හැංගිලා යන්න හදන වෙලාවට

    බලපන්, කොච්චරනම් ලස්සනද කියල. උඹට ලියන්න පුදුම හැකියාවක් තියෙනවා. දවසින් දවස මෙහෙම ලියල ඒක මුවහත් කරගනින්. මට පියසේන කහඳගමගේගෙ පොත් මතක් උනා.

    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. මටත් ඕනෙ උනේ නිකංම නිකං කවි ටික කොටල දාන්නැතුව ඒක කියවන්න ආස හිතෙන විදිහට නිර්මාණය කරන්න..උඹෙ මේ කමන්ට් එකෙන් මට හිතෙනව මං සාර්ථකයි කියල.. :)
      උඹ වගේමයි මමත් මේ ගැමි ආරට ගොඩක් කැමතියි.. ඒ හින්දම වෙන්න ඇති මේ විදිහට මේක නිර්මාණය කරන්න මට පුළුවන් වුනේ..
      උඹට ගොඩක් ස්තූතියි මනෝෂ්....!!!

      Delete
  8. ආ... උඹේ මේ වතාවෙ ප්‍රෝෆයිල් ෆොටෝ එකනම් පට්ට ඈ... ඕක තියාගනින්.

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඒකත් එහෙමද...හාකො හාකො.. :D

      Delete
  9. කයි ටිකත් හොදයි....
    ඒත් මං අර කැලේ ගොහිං එක ඇර අනෙකක් අසා බසා නෑ....
    ඊට වඩා මගෙ හිත ඇල්ලුවෙ අද උඹ මේකලියන්න බාවිතා කරල තියෙන භාෂාව...
    උපරිමයි මචෝ...
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. මටත් ඕනෙ උනේ ගැමි ආරකටම මේක ලියල දාන්න.
      බොහොම ස්තූතියි මහියො..

      Delete
  10. මල්ලියි මමයි තනි පාරේ යන කලට
    වල් අලියෙක් පන්නා ගති මරන්නට
    වටපිට බැලිමි ගසකුත් නැත නගින්නට
    කැහැපොට ගසා නැග්ගෙමි තුත්තිරි ගහට

    කවි ටික නම් පංකාදුයි, ඔහොමවත් ඕවා රැකුනොත ඇති, දැන් ඉතින් හේනේ පිලේ විතරක් නෙවෙයි මද ගොවිතැනත් එහෙමනෙ.

    යකඩ අම්බරුවන් මඩිනා කමතේ කොයි අද ඒ අම්බරුවන්
    කරල් කැපූනු රන් දෑකැති මොට වෙලාද මේ සුනාමියෙන්
    රෙද්ද ඇඳන් ඇඹුල ගෙනා එතානා අද කොහිදැයි කියන්
    මඩ හොදන් වෙලේ උන් අද රජ වෙලාදැයි හොයලා බලන්

    ReplyDelete
    Replies
    1. මම්බාලේ ඇති කළ තලගොයි පැටියා
      මට තනිවට මිදුලේ කෙළකෙළ හිටියා
      උගෙ මරුවා ඌ අරගෙන කැලේහි ගියා
      නිවන් පුරේ පලයන් තලගොයි පැටියා

      ඒකනෙ කියන්නෙ සොමියො අද මෙව්ව පොත් වලට විතරක් සීමා වෙලානෙ..
      බොහොම ස්තූතියි පංකාදු කවි දෙහෙකුත් එකතු කරාට...

      Delete
  11. යකෝ සියදෝරිස් ආතත් අපු නිට්ටඹු විදානේ වගේ ඩයල් එකක්නේ , ඔක්කොටම කලින් උඹට ලැබිච්ච සම්මානෙට සුබ පැතුම් , ජයම වේවා

    ReplyDelete
    Replies
    1. මං විදායනව ආදර්සයට අරං තමා මේක ලීවෙ... හැක් හැක්...
      ස්තූතියා ඉවානයො

      Delete
  12. පොඩි කාලේ ආසාවෙන් කියෙව්ව කවි.දැන්නම් පැල් කවි පොතක් වත් මං ගාව නෑ ඔක්කොම එක එක නංගිලාටයි මල්ලිලාටයි දීල. මේ කතාව නියමයි ඒවගේ සරල සුන්දර ගමක අව්‍යාජ මිනිස්සු එක්ක ජීවත් වෙන්න තිබ්බ නම් කියල හිතුන .... ලැබුන ජයග්‍රහණයට ඔන්න මගෙනුත් සුබ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. මටත් පොඩි කාලෙ මතකයි අපෙ අම්ම එහෙම අනන්තවත් ජන කවි පොත් ගෙනත් දෙනවා..
      අපි කාටත් එහෙම හිතෙනවා..
      බොහොම ස්තූතියි හංසියො...

      Delete
  13. අම්මපා උඹේ කයි පොඩ්ඩට වහ වැටිලා
    කියවං ගියා එක හුස්මට අත නොඈරා
    එ වගේ අත්තලා අද දැකගත නොහේනා
    ලිපියත් බසත් පංකාදුයි බං.. මලයා

    ReplyDelete
    Replies
    1. +++++++++++++
      කවියෙන්නං ඔන්න උත්තර බඳින්න මටනං ඔය හැකියාව නෑ.. :D

      ගොඩක් ස්තූතියි රාජ්....

      Delete
  14. බෝම මනාපයි මම කවි කියවන්න.. ඊටත් වඩා ආසයි මේ විදියට කයියක් එක්ක දැම්මම...

    ReplyDelete
    Replies
    1. මාත් මනාප ඉන්දමයි මේ විදිහට දැම්මේ.. :)

      Delete
  15. සංචා......මමත් හරි ආසාවෙන් කියෙව්වා උඹ ලියලා තියෙන රස නිසා. සියදෝරිස් ආතා එක්ක ටිකක් සෙට් වෙන්න හිතුනා. පොලොස් මාළුවකුත් ලිපේ හැදෙනවානේ. කළු ගලකුත් අරන් යන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. යමු යමු අපිත් එඤ්ඤං... :D

      Delete
  16. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..
      ඔන්න එහෙනං ඇඩ් කරා... :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...