January 4, 2014

ශ්‍රී පාදය | Sri Padaya

බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේදී සුමන සමන් දෙවියන්ගේ ඇරයුමින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සටහන පිහිටුවා වදාළ පූජනීය ගිරි හිස නම් වූ කළී සමනළ කන්ද හෙවත් ශ්‍රී පාදස්ථානය යි.



මුලින් ම ශ්‍රී පාදය වන්දනා කළ රජතුමා කවුරුන්දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි නමුත් වසර දෙදහසකට පෙර සිරිපා වැඳ පුදා ගත් රජ කෙනෙකු ලෙස ක්‍රි.පූ. 29 සිට 17 දක්වා රජ කළ වළගම්බා රජු පිළිබඳව සඳහන් වෙලා තියනව. නමුත් සිරිපා වන්දනාව පිළිබඳව ජනප්‍රියම ඉතිහාසය තිබෙන්නෙ නිශ්ශංකමල්ල රජතුමාටයි. 
ශ්‍රී පාදය සොයාගන්නා ලද්දේ එතුමාගේ රාජ්‍ය කාලයේ යැයි සඳහන් වෙන ජනප්‍රවාදයක් තියෙනව.

# ශ්‍රී පාදස්ථානය සොයා ගැනීම..

                          තමන්ගෙ උද්‍යානයෙ මල් හොරාගෙන යන බව දැන ගන්න ලැබුණු නිශ්ශංකමල්ල රජතුමා ඒ හොරු අල්ලා දෙන කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙන බවට පොරොන්දු වී අඬබෙර යැවුවා.
එක්තරා ගමක ජීවත් වුණු පවුලක සහෝදරයින් දෙදෙනෙක් සිටියා. වැඩිමහල් සොහොයුරා සමග ජීවත් වුණු ස්ත්‍රිය ඔහුගෙ බාල සොහොයුරාව අනියම් සම්බන්ධතාවයකට පොළඹවා ගන්න හැදුවා.
මේ සම්බන්ධතාවයට අකමැති වුණු බාල සොහොයුරා එය ප්‍රතික්ෂේප කරා. මේ නිසා ස්ත්‍රියට බාල සොහොයුරා පිළිබඳව වෛරයක් හට ගත්තා. දවසක් මේ ස්ත්‍රිය ඇය ගේ ස්වාමි පුරුෂයා හෙවත් වැඩිමහල් සොහොයුරා හමුවෙ "ඔබේ සොහොයුරා ඔබ නැති වෙලාවට මට කරදර හිරිහැර කරන්න උත්සහ කරනවා. ඒ කරදරයෙන් මාව බේර ගන්න" යැයි ඉල්ලා හිටියා. ස්ත්‍රියගෙ මේ කූට උපක්‍රමයෙන් වැඩිමහල් සොහොයුරාට තමන්ගෙ බාල සොහොයුරා පිළිබඳව කෝපයක් හට ගත්තා. කෝපයට පත් වුණු අයියා තමන්ගෙ මල්ලි ව රවටා ගෙන කැළයට ගෙන ගොස් ඔහුගෙ අත් පා කපා දමා පැමිණියා. කෙසේ නමුත් පෙර කළ පින් මහිමයකට මෙන් වන මුල්,ඵළ ආදිය කමින් මේ බාල සොහොයුරා පුදුම සහගත ලෙස සුවයට පත් වුණා. අත් පා අංගවිකල නිසා මොහුට 'කොටා' නමින් අමතන්නට ගම් වැසියන් පුරුදු වුණා. 

                           මේ අතර නිශ්ශංකමල්ල රජතුමා ගෙ උයනෙ මල් සොරාගන්න සොරුන් අල්ලා දෙන්නට යැවූ අඬබෙරය මොහුට ආරංචි වෙලා එම සොරුන් අල්ලා දෙන්නට මොහු බාරගත්තා. 
මේ රාජකීය උද්‍යානයෙන් මල් සොරාගෙන ගියේ සොරුන් පිරිසක් නොවේ. ඔවුන් දිව්‍යංගනාවන්. මල් ගෙන ගියේ සම්බුදු සිරි පතුල මල් වලින් පුදා වන්දනා කරන්නට. 
උද්‍යානයෙ මල් උයනෙ සෑදූ කුටියක නතර වුණු ආබාධිත මිනිසා මේ සොරුන් අල්ලා ගන්නට උත්සහ කරන අතර රාත්‍රී කාලයේදි ඉතා මිහිරි හඬින් සතිපට්ඨාන සූත්‍රය කියවන්නට පුරුදු වුණා. දවසක් රාත්‍රි කාලයෙදි සිරි පතුළ පුදන්නට මල් කැඩීමට පැමිණි දිව්‍යංගනාවන්ට මේ හඬ ඇසුණා. ධර්මය අසන්නට ඉතා ආශාවක් ඇති වූ මේ දිව්‍යංගනාවන් දින තුනක් පැමිණ මේ හඬට ඇහුම්කන් දුන්නා. අවසානයේදි මේ දිව්‍යංගනාවන්ට මෙසේ මිහිරි හඬින් පිරිත් කියන්නෙ කවුද කියල දැන ගන්නට වුවමනා වුණා. එක් දිව්‍යංගනාවක් එය විමසුවා. මේ ප්‍රශ්නය ඇසුණු මිනිසා 'අත් පා නැති කොටෙක්' යැයි පිළිතුරු ලබා දුන්නා. මල් ගෙන යන්නෙ මොවුන් බව දැනගත් මිනිසා "මල් කඩන්නේ කුමකට ද?" යැයි විමසූ විට ශ්‍රී පාද පද්මයට පූජා කිරීමට බව දිව්‍යංගනාවන් කියා සිටියා. "මටත් ශ්‍රී පාදය පෙන්වන්නැයි" කොටා ඉල්ලා සිටියා. "එසේ නම් මේ සළු පොට අල්ලා ගන්නැ"යි දෙවඟනක් සළු පොටක් කුටිය තුළට දැමුවා. ඒ සළු පොට ස්පර්ශ වෙනවාත් සමඟම ඔහුගේ අත් පා කලින් තිබූ ලෙසට ම පත් වුණා. සුරඟනන්ගේ සළු පොට අල්ලා ගෙන ශ්‍රී පාදස්ථානය ට ගොස් වන්දනා කළ කොටා නැවතත් රජ උයනට ඇරලපු දිව්‍යංගනාවන් අතුරුදහන් වුණා. 
                                  පසුව මේ මිනිසා රජතුමාට සියලු විස්තර දැන්වීමෙන් පසු නිශ්ශංකමල්ල රජතුමාට ද ශ්‍රී පද්මය දැක බලාගෙන වන්දනා කිරීමය මහත් ආශාවක් ඇති වුණා. ශ්‍රී පාදයට යන මග සළකුණු පෙන්වන ලෙස දිව්‍යංගනාවන්ට දන්වන්න යැයි රජතුමා එම මිනිසාට කිව්වා. එදින රාත්‍රියෙ දිව්‍යංගනාවන් පැමිණි පසු මිනිසා මේ සියලු විස්තර දිව්‍යංගනාවන්ට පැවසුවා. "අපි පාර දිගේ මල් දමාගෙන යන සළකුණින් ශ්‍රී පාදස්ථානයට යන්නැ"යි දිව්‍යංගනාවන් පැවසුවා. පසුව නිශ්ශංකමල්ල රජතුමා සේනාව පිරිවරා දෙවඟනන් මල් දමා ගිය මඟ සළකුණු ඔස්සේ ශ්‍රී පාදයට පිවිසියා.

#කොපමණ බර වූවත් වන්දනා කරුවන් බඩු බාහිරාදිය ගෙන යන මල්ල හඳුන්වන්නේ 'ඔලගුව' නමින්. එය 'සැහැල්ලුව' යන තේරුම සහිත වචනයක්.

# ඉඳිකටු පාන..
                           බුදුරජාණන් වහන්සේ මෙම ස්ථානයෙ වැඩ සිටිමින් බුදු සිවුර මැසූහ යැයි විශ්වාසයක් තිබෙනව. එම අවස්ථාවේදී මාරයා විසින් විශාල වර්ෂාවක් වැස්ස වුවද උන්වහන්සේ වැඩ සිටි ස්ථානයට වැසි දිය බිඳකුදු නොවැටුණ බව කියවෙන කතා පුවතක් තියෙනවා. මේ පුවත සිහි කරමින් ඉඳිකටුවක් අමුණා නූල් ඇද යාමේ චාරිත්‍රයක් ඉඳිකටුපානෙදි සිදු වෙනවා. විශේෂයෙන් මෙය සිදු කරන්නෙ කිරිකෝඩු (සිරිපා වදින්නට පළමු වරට යන පිරිස) විසින්.
                           "ගෙත්තම් පානට ගොසින් බසින්නේ
                             ගෙත්තම් කරලයි සැමදෙන යන්නේ
                             ඉඳිකටු නූලුත් සුරතට ගන්නේ
                             ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන්නේ"

#භගවා ලෙන..
                          දිවාගුහාව ලෙසට ද මෙය ව්‍යවහාර වෙනවා. සිරිපාදයට වැඩි ගමනේදී බුදුරජාණන් වහන්සේ දහවල් කල වැඩ සිටි තැන මෙය යැයි විශ්වාස කරනවා. නිශ්ශංකමල්ල රජතුමාද සිරිපා වැඳ පැමිණෙන විට මෙම ස්ථානයේදී විවේක ගත් බවට මතයක් තිබෙනවා. නිශ්ශංකමල්ල රජතුමා විසින් කරන ලද ශිලා ලේඛනයක් වර්තමානයේ භගවා ලෙන යැයි විශ්වාස කරන ස්ථානයෙහි පිහිටා තිබෙනවා.

#හැරමිටිපාන..
                         මෙම ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ හැරමිටියක් වාරු කරගෙන වැඩම කළ බවට පිළිගැනීමක් තිබෙනවා. කරදරයක් නැතිව සිරීපාදය වන්දනා කිරීමට හැරමිටියක් බාර වීම අරමුණු කර ගෙන මෙම ස්ථානයේදී දෙවියන්ට භාරයක් වේ.

#ධර්මරාජගල..
                        'ධර්මරාජ' නම් තාපසයෙකු බුදුබව පතා කළේ යැයි සැළකෙන සිරිපා වන්දනාව පහසු කරණු පිණිස ගලින් ම කපා ඇති පඩි පෙළක් මෙහි ඇත. වන්දනා කරුවෝ පඩි ගණන් කරත් ස්ථීර ගණනක් සැමට නොලැබෙන බවට විශ්වාසයක් ද ඇත.

#ලිහනි හෙළ..
                        තමන්ගේ දරුවා සමග ප්‍රපාතයට වැටුණු ලිහිනි අක්කා සිහි කිරීමට මේ නම යොදා ඇති බව ජනප්‍රවාදයෙ සඳහන් වෙනවා. ඇය දේවආත්මයක් ලබා ඇති බව ද කවුරුන් හෝ ඇයට අඬ ගැසුවොත් ඊට ඇය පිළිතුරු දෙන බවට විශ්වාසයක් ඇත. නමුත් සිදු වන්නේ කතා කරන හඬ දෝංකාර දීමයි. මහා ප්‍රපාතයක් සහිත දෝරුවක් ඇති ස්ථානයක් ය. 

#ආඬියා මළ තැන්න..
                       සීතාවක රාජසිංහ රජු සමයේදී ප්‍රධාන ශිව භක්තිකයෙකු (ආඬි) මළ නිසා මේ ස්ථානය 'ආඬියා මළ තැන්න' නමින් හැඳින්වෙන බවට විශ්වාස කරනවා.

#මහගිරිදඹය මෙම මාර්ගයේ ඉතාමත් දුෂ්කර කොටසකි. 'දඹේ' යන්න 'උස් වූ කඳු මුදුන' යන අරුත දේ.
                        "මහගිරි දඹයද පෙනෙති ය ගොල්ලේ
                          නගිනට පඩි ඇත එහි නැවතිල්ලේ
                          බුදු ගුණ කියමින් නගිති සියල්ලේ
                          බුදු මඟුලකි මෙය දනුව සියල්ලේ"

#ඇහැළ කණුව නමින් ස්ථානයක් ද ඇත. ගමනේ පහසුව ඇති කරනු පිණිස පැවති ශක්තිමත් කණුවක් නිසා මේ නම සෑදුනු බව පැවසේ. මෙම ගල් කණුවේ ඇතැම් අය හුණු ගාති.

#සිරිපා වන්දනා කරුවන් බොහොමයක් දෙනා සිරිපා කරුණා කිරීමට පටන් ගන්නේ සැන්දෑ වරුවේයි. එයට හේතුව වන්නේ හිමිදිරියේම සිරිපා මළුවට දර්ශනය වන මනස්කාන්ත ඉර සේවය නැරඹීමටයි. මධ්‍යම කඳුකරයේ කොටපොළ කඳු මුදුනින්ද තවත් වරකට සැඟවෙමින්ද නොයෙක් ආකාරයේ විවිධ රැස් ධාරා පතුරවමින් සූර්යයා එක්වරම උදාවන ආකාරය සැබැවින්ම මනස්කාන්ත දර්ශනයක්.
වන්දනා කරුවන් ශ්‍රී පද්මය වැඳ පුදා ගෙන තමන් සිරිපා පැමිණි වාර ගණනට අනුව ඝන්ඨාව නාද කරයි. 



#දොළොස් මහේ පහනට දැමීම සඳහා ඖෂධ වර්ග ගෙන යන අතර ඇතැම් වන්දනා කරුවන් ඒවා පහනට දමා එයින් තෙල් බිංදු කිහිපයක් ගෙදර ගෙන ඒමටද පුරුදව ඇත. මේ තෙල් වලට රෝගාබාධ සුවපත් කිරීමේ ගුණයක් ඇති බවට විශ්වාස කරනවා.



#හාස්කම්..
 
                   
ක්‍රි.ව. 1347 දී අරාබි ජාතික ඉබන් බතුතා නම් දේශාටකයාගේ වාර්තා වල සඳහන් වන පරිදි අරාබි ජාතික ඉමාමි අබු තිස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග ශ්‍රී පාදය වන්දනා කිරීමට ගොස් ඇත. අතරමගදී බඩගිනි වූ පිරිසට බඩගිනි වැඩි වී අලි පැටවෙකු මරාගෙන මස් කා තිබෙනවා. මෙයට ඉමාමි අබු තදින්ම විරුද්ධ වී තිබෙනවා. ඔහු මස් කෑම ප්‍රතික්ෂේප කර තිබෙනවා. අලි මස් අනුභව කර රාත්‍රියෙහි නිදා ගත් පිරිසට එසේ නිදා ගත නොහැකි විය. රාත්‍රියෙහි එහි පැමිණි අලි රංචුවක් ඉමාමි හැර අන් සියල්ලෝම මරා දමා තිබෙනවා. පසුව ඉමාමි අබු සොඬවැලින් ගෙන පිට උඩ තබාගෙන ගොස් තයිසෝරන් නම් බට ලී බහුල ගම්මානයකට ඇරලුව බව වාර්තාවෙහි සඳහන් වෙනවා. 
                       2003 වසරෙදි රත්නපුර ප්‍රදේශයට බල පෑ විශාල ජලගැල්ම සිරිපා අඩවියේ විසූ කුරු ඇතෙකු මරා දැමීම නිසා ඇති වූවක් ලෙස විශ්වාස කරනවා. සමනළ අඩවියට අධිපති සුමන සමන් දෙවියන්ගේ වාහනය ලෙස ද සැළකෙන්නේ සුදු ඇත් රජෙක්.
                       අතීතයේ සුමන සමන් දේවාලයෙහි පූජාව තැන්පත් කර ඇත්තෙ කෙසෙල් කොළ වල ය. ඒ සඳහා සමන් දේවාලයේ බත් දෙන රාළට කෙසෙල් කොළ සපයා ගැනීමට සිදු වූ අතර ඇතැම් විට එය ඔහුට කරදරයක් ලෙස හැඟුණි. දිනක් "දෙවියන්ට කන්න පිඟානක්වත් නැතැ"යි කියමින් කෙසෙල් කොළ සෙවීමට ගිය ඔහු අතරමං වී තිබෙනවා. අවසානයේදී ඔහු නතර වී තිබෙන්නෙ ශ්‍රී පාද කඳු පාමුල ආසන්නයෙහි ගල් ගුහාවක. එහි අපමණ ලෙස රන් රිදී වලින් කළ පිඟන් පිරී තිබුණු අතර බත් දෙන රාළ ඉන් දෙකක් ගෙන නැවත හැරී බලන විට සිට ඇත්තේ සමන් දේවාලය අසලය.අදටත් සමන් දේවාලයෙහි දේව පූජාව තබනුයේ එම පිඟන් භාජනවලය.
                      අවාරයෙහි ශ්‍රී පාදස්ථානයෙහි සිටින මුරකරු පවසන පරිදි වන්දනාකරුවන් කිසිවෙකු නොමැති අවස්ථාවල විටින් විට මනෝරම්‍ය ආලෝකධාරා, මල් සුවඳ, ඝණ්ඨා හඬ, තුන් සරණේ හඬ ආදි විවිධ ආශ්චර්ය්‍යන්ගෙන් පිරී යයි. එලෙස අවාරයෙහි සිරිපා වන්දනා කරනු ලබන්නේ දෙවිවරුන් බව පිළිගැනේ. ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙන්නේ දෙසැම්බර් මාසයෙනි. අවසන් වන්නේ මැයි මාසයෙනි. එම කාළය සිරිපා වාරය යි. අවාරයෙහි සිරිපා වන්දනා කිරීමට තහනමක් නැති වුවත් එම කාළයේදී කාලගුණය එතරම් යහපත් නොමැති නිසාවෙන් හා එම කාළය දෙවිවරුන් සිරිපා වන්දනා කරන කාළය නිසා මිනිසුන් එම කාළයෙහි සිරිපා වන්දනා කිරීමට නොපෙළඹති.
                     මෙම අඩවියේ හානිකර සතුන් සිටියද ඒ කිසිවකුගෙන් මිනිසුන්ට කරදරයක් නොවේ. නමුත් අධර්මයට, දුරාචාරයට විරුද්ධව ක්‍රියාකරන බලවේග ස්වාභාවධර්මය තුළ පවතී.  



                                සිරීපාද මළුව 1890 වර්ෂයේදී


තොරතුරු - මහාමේඝ පුවත්පතේ ලිපියකින්


                  

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...