December 4, 2013

ගල් විහාරය | Gal Viharaya

අද රස්තියාදු වෙන්නෙ ගල් විහාරය ගැන හොයන්න.
අනර්ඝ මූර්ති,කැටයම් හා චිත්‍ර වලින් පෝෂණය උනු ලෙන් විහාර සංකීර්ණයක් විදිහට පොළොන්නරු ගල් විහාරය හෙවත් උත්තරාරාමය හදුන්වන්න පුළුවන්. මෙය පිහිටා තිබෙන්නෙ මහාථූපය සහිත ආළාහන පිරිවෙන සංකීර්ණයට උතුරු දෙසින්.
        උසස් කලාශිල්පීන් ලවා පළමුවන පරාක්‍රමබාහු රජතුමා තමයි ගල් විහාරය ගොඩනගල තියෙන්නෙ. ගල් විහාරය පිළිබඳව මුල සිටම හදාරනවනං දැනගන්න ඕනෙ මූලික කරුණු ටිකක් ගැන තමයි මේ ලිපිය..මේ වගේ දේවල් ගැන හොයන එක මම ආස කරන දෙයක්..

           ගල් විහාරය ලෙණකින් සහ ගුහා දෙකකින් යුක්තයි. 
වමේ සිට පිළිවෙලින්,        
  1. විජ්ජාධර ගුහාව
  2. නිසින්න පටිමා ලෙණ
  3. නිපන්න පටිමා ගුහාව   
                                      # විජ්ජාධර ගුහාව


ගඩොල් බිත්ති සහිත මෙම ගුහාවේ දිග මීටර් 8 සෙන්ටිමීටර් 90 ක් හා පළල මීටර් 12 සෙන්ටිමීටර් 12 ක් වෙනව.ප්‍රධාන පිළිමය ප්‍රාසාදයක් මැද තියෙනව. මෙය වජ්‍රාසනය මත ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින විශාල බුදු පිළිමයක්. මෙහි පසුබිමේ ඇති අර්ධ උන්නත කුඩා බුදු පිළිම හතර මහායන බුදු දහමෙ සංකල්පයක් කියලත් පොත් වල සඳහන් වෙනව. නමුත් මෙය මෙතෙක් ලෝකයේ කොතනකින්වත් දක්නට නොලැබෙන හෙළ කළා ශිල්පියාගෙ අපූර්ව නිර්මාණයක්.

                                     # නිසින්න පටිමා ලෙණ   


ගල් පර්වතය ඇතුළට හාරා මෙම ලෙණ සාදා තිබෙනව.උඩින් ගල් සීලිම හා තුන් පැත්තෙන් ගල් බිත්ති තිබෙනව. මෙම ලෙණේ දොරටුවෙහි කැටයම් සහිත ගල් කණු හතරක් තිබෙනව. ලෙණ මීටර් 2.92 ක් උසින් ද මීටර් 7.8 ක් පළලින් ද මීටර් 3.82 ක් ගැඹුරින් යුක්තයි. සිංහ හා වජ්‍ර සංකේත ආසනයක් මත වූ විශ්ව පද්මය මත බුදුන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිනව. ආසනය දෙපස චාමර ගත් බෝධිසත්ව රූප දෙකක් තිබේ. හිසට උඩින් ඡත්‍රයක් ද තිබේ. මෙහි පසුබිමේ චිත්‍රයක මහලු තැනැත්තෙක් නිරූපණය කෙරෙන චිත්‍රයක් තිබෙන අතර ඔහු ගේ අතේ විජයොත් සක තිබෙන නිසා ඔහු ශක්‍ර දේවෙන්ද්‍රයා බව පුරාවිද්‍යාඥයින් පවසයි.
ඒ අනුව ශක්‍රයා දෙවියන් සමග ඉන්ද්‍රසාල ගුහාවේදි බුදුන් වහන්සේ බැහැ දැකීම මෙහි තේමාව බවට සැළකිය හැකියි.

                                     #නිපන්න පටිමා ගුහාව      


   මෙහි නමින්ම 'නිපන්න' යනු සැතපෙන යන්න අදහසයි. මෙහි ඇත්තේ සැතපෙන පිළිමයක්. පිළිමය මීටර් 14 ක් දිගයි. මෙම ගුහාව මීටර් 15.6 ක් දිගින් සහ උසින් මීටර් 4.5 ක් වෙනව. මෙම පිළිමය බුදුන් වහන්සේගෙ පරිනිර්වාණය දැක්වෙන පිළිමයක් ලෙස බොහෝ දෙනා සළකනව. නමුත් බොහෝ පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පරිදි එවන් අදහසක් පෙන්වන ලක්ෂණ මෙහි නොමැති බවයි. දකුණු පය මත ඇති වම් පය මදක් පස්සට වී නෙළා තිබීම මෙය පරිනිර්වාණ පිළිඹිමු කරන්නක් බවට තර්ක කරන ප්‍රධාන සාධකයක්. නමුත් බුදුන් වහන්සේ කවදත් සැතපුණේ මෙම ඉරියව්වෙන් බව සහ වම් පය පස්සට වී තබා ගන්නේ ගොප් ඇටය සහ දණහිස් එකට ගැටීමෙන් ඇතිවන වේදනාව මග හැරවීමට බව උගතුන් පවසා සිටියි. කෙසේ නමුත් මෙම පිළිමයත් ඉතා සියුම්ව තනා තිබෙන ඉතා විශිෂ්ට කලා කෘතියක්.

* නිසින්න පටිමා ලෙණ සහ නිපන්න පටිමා ගුහාව අතර ඇති හිටි පිළිමය..
               


පද්මයක් මත තනා ඇත. මෙම පිළිමයේ උස අඩි 22 අඟල් 9 කි. මෙම හිටි පිළිමය මත පදනම් වී ඇති තර්කයක් වන්නේ මෙය බුදු පිළිමයක් ද නැතිනම් ආනන්ද පිළිමයක් ද යන්න වගයි. මෙය ආනන්ද හිමියන්ගේ පිළිමයක් බවට පිළිගන්නෙ මෙයට දකුණු පස ඇති පිළිමය බුදුන් වහන්ස්ගෙ පරිනිර්වාණය පිළිඹිමු කරන පිළිමයක් ලෙස පිලිගන්න අයයි. එයට හේතුව බුදුන් වහන්සේගෙ පරිනිර්වාණය සිදුවන අවස්ථාවෙ ආනන්ද හිමියන් ශෝකයෙන් සිටින අවස්ථාවක් මෙම හිටි පිළිමයෙන් අදහස් කරන බවට පිලිගැනීමයි. නමුත් නිපන්න පටිමා ගුහාවෙහි ඇති පිළිමය සැතපෙන පිළිමයක් පමණක් බව ඉහත පරිච්ඡේදයේ සඳහන් කර ඇත. තවද මෙම හිටි පිළිමයෙන් පිළිඹිමු වන්නේ බුද්ධ ලක්ෂණ සහ මෙය තනා ඇත්තේ පද්මයක් මතය.මහායන බුදු දහමට අනුව පද්මයෙන් අදහස් වන්නේ ලෝකොත්තරභාවය යි. තවද ගල් විහාරයේ තේමාවන්වලට මහායානික ලක්ෂණ එකතු වී ඇත. ලෝකෝත්තර භාවයෙහි සංකේතයක් වන්නේ බුදුන් වහන්සේය.ආනන්ද හිමියන් නොව. ඒ අනුව මෙම හිටි පිළිමය බුදු පිළිමයක් වීමට වැඩි නැඹුරුවක් ඇත. තවත් සාධකයක් වන්නේ මෙම පිළිමයෙහි හිසෙහි දක්ෂිණාවර්ත කෙස් පිඬු තිබීමයි. එය බුදු පිළිමවල සාධකයකි. සෙනරත් පරණවිතාන ශූරින් පවසන පරිදි මෙහි ඇත්තේ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවයි. එයටද විවිධ මත පල වී ඇතත් බොහෝ දෙනා පිලිගනු ලබන්නේ මෙම මතයයි.මෙම මුද්‍රාවෙන් අදහස් වන්නේ ධම්මපද ගාථාවකට අනුව බුදුන් වහන්සේ අසෝකීව සෝකී ප්‍රජාව දෙස මහා කරුණාවෙන් බලා සිටීමයි. නමුත් මුහුණේ දුක් මුසු බවක් නොමැත. තොල් වල මඳ සිනහවක් ඇත.

             "ශ්‍රී ලංකාවේ මේ කැපී පෙනෙන ස්මාරකයෙහි ප්‍රදර්ශිත කලාව දැකීමෙන් කෙනෙකු විශ්මයට පත් වීම නොවැළැක්විය හැක්කකි. සමකාලීන යුරෝපයේ නිර්මාණවලට වඩා මෙය අග්‍රගණ්‍ය වෙයි"
                                                 ~ශ්‍රීමත් ටෙනන්ට්~
"කළු ගල් කපා තනන ලද මේ පැහැදිලිවම කලුගල් විහාරය එහි විශේෂ ලක්ෂණ අනුව අසාමාන්‍ය නිර්මාණයකි. මෙය ශ්‍රී ලංකාවේ බෙහෙවින් ම කැපී පෙනෙන අතිවිශිෂ්ට නිර්මාණයකි. ඊට සම කළ හැක්කක් ඉන්දියානු උප මහද්වීපයේවත් නැත"
                                                  ~එච්.සී.පී.බෙල්~   

ආදරය කරමු මේ උරුමයට. ජීවිතයේ එක පාරක් හෝ මේ සිංහලද්වීපයෙහි මෙවන් කලා නිර්මාණයක් දැක බලා ගෙන දැහැන්ගත වී නැත්නම් පසුතැවෙන්න ඔබ හෙළයෙකු වී ඉපදුනාට.

තවත් දවසක රස්තියාදු වෙමු...           

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...