January 20, 2017

ඇල්ල කඳු මුදුනට | To Ella Summit

ඈත දුර රටක කුඩා චමරියක ගත වෙන නීරස ජීවිතයට සංචාරකයා මොහොතකට සමු දුන්නා. හිතේ හැටියට සැරිසරන්න තැන් බොහොමයි. නිවාඩුව කෙටියි.!

දිනය 2016 දෙසැම්බර් 16.

කොටුව දෙසට ඇදෙන බස් රථයක එල්ලුණ මං රාත්‍රී 7.50 ට කොටුව දුම්රිය ස්ථානය අසල. මං බදුල්ලට යන රාත්‍රී තැපැල් දුම්රියට ගොඩ වුණා. ගමනාන්තය කිතල් ඇල්ල දුම්රිය ස්ථානය. හැමදාමත් වගේ මේ හුදෙකලා රස්තියාදුකාරයට ගමන් සගයා වුණේ මගේ ආදරණීය කැමරාව විතරමයි..

කෝච්චි ගමන ඇතැම් විට වෙහෙස කරයි. ඒත් නිදහස්. බසයක එල්ලුනොත් පැය 5 කට ආසන්න කාලයකින් ළඟා වෙන්න හැකි දුරක් මම මේ පැය 11 ක් පමණ රේල් පීලි දෙකක් උඩ ගෙවා දමන්න සැරසෙන්නෙ. මං පාපුවරුවට ගොඩ වුණා. ඇඟේ හිරිගඩු නංවන උඳුවප් සීතල සුළඟ. ටික වෙලාවකින් කොංගො සද්දෙත් එක්ක හොඳ සිංදු වගයක් කියවෙන්න පටන් ගත්තා. මේ  අවස්ථාව එනකං තමයි මාත් බල බල හිටියෙ...!

පහුවදා හිමිදිරි උදේ මං ඇල්ල දුම්රිය ස්ථානයෙන් කෝච්චි ගමනට සමු දෙනකොට වෙලාව 7.00 ට පමණ ඇති. රේල් පාර දිගේ ආපසු කිතල් ඇල්ල දුම්රිය ස්ථානය දෙසට මං ඇවිදන් යන්න පටන් ගත්තා. මගේ ගමනාන්තය ඇල්ල කඳු මුදුන.!

රේල් පාර දිගේ යනකොට හමුවුණු සීයා කෙනෙක්ගෙන් පාර අහගත්තු මං බෝ ගහක් අසලින් වැටී තිබුණු අඩි පාරක් දිගේ මගේ ගමන ආරම්භ කරා. පුංචි දිය පාරක් මතින් වැටිල තිබුණ පාලමකින් එතෙර වුණාම හමුවුණේ විශාල මාන පඳුරු යායක්. පුංචි පුංචි අඩි පාරවල් හැම පැත්තටම. නිණව්වක් නැතිවම කන්ද දෙසට ඇදෙන අඩි පාරක් දිගේ මං ගමන් කරා. මාන පඳුරු යායෙන් බේරිච්ච මං පුංචි තේ වත්තක් මැද. තවත් හිතවත් ගැමියෙක්ගෙන් මාර්ගය ගැන අවබෝධයක් ගත්තු මං කඳු මුදුන දෙසට ඇදුනා.


බැක්පැක් එකේ බර, ගමන් වෙහෙස, මනස්කාන්ත හරිත වන දනව්, බඩගින්න, පිපාසය, නැවුම් සුළඟ. මේ ඔක්කොම එකතු වෙන්න ඕනෙ නියම සංචාරයකට.  

මද දුරක් තැනිතලා භූමියකුත් පසු කරගෙන ඉදිරියට ඇදුණ මට දර්ශනය වුණා ඇල්ල කඳු මස්තකය. ඊට මුහුණලා තියෙන පුංචි ශ්‍රී පාදයත්. මේ කන්දට පුංචි ශ්‍රී පාදය කියන්නෙ එය සමනළ කන්දෙ හැඩයට බොහෝ අතින් සමාන නිසා. වතුර පිපාසාව නිවාගන්නට මොහොතකට මං නතර වුණා. 


තවත් විනාඩි කිහිපයක ගමනකින් පසු හමුවෙන අඩි පාර තරමක් බෑවුම් සහිත මාර්ගයක්. පොළොව තෙත බරිත නිසා තරමක් ලිස්සන සුළුයි. 


අවසන මං කඳු මුදුනට ළඟා වුණා. මුළු ගමනට ගත වෙලා තිබුණා පැය එක හමාරකට ආසන්න කාලයක්. හෙමි හෙමින් වැටෙන අව් රශ්මියත් එක්ක මීදුම අතරින් දිස් වෙන දර්ශනය ගොඩක් ලස්සනයි. පහළට ගැඹුරු ප්‍රපාතය. එතැන පොඩියට වෙළඳාමක් කරපු ගැමියෙක්ගෙන් තේ කහට කෝප්පයක් ගත්තු මං තුඩුවෙ කෙළවරටම ළං වුණා. 
මේ කඳු හුස්ම ගන්නවා. මටත් දැනෙනවා..මම හුස්ම ගන්නවා.!




















May 15, 2016

The Lonely Shepherd | තනි වූ එඬේරා




එය රොමානියාවෙ කුඩා ගම්බද පෙදෙසකි. තණ බිම් යායම ටිකෙන් ටික අඳුරේ ගිල්වමින් සූර්යයා තවත් දවසක අවසානය සනිටුවහන් කරමින් සිටියි. බටහිර අහස දීප්තිමත් රතු පැහැයකින් නැහැවී ඇත. උදේම තණ බිමට රැගෙන ආ බැටළු රංචුව තවමත් නිදැල්ලෙ තණ කමින් සිටියි. උන්ගෙ කටවල් මොහොතකටවත් නවතින්නෙ නැති හැටි.!
එඬේරා තම අවට පරිසරය සිසාරා දෑස් යොමු කළේය. බැලු බැලූ අත හාත්පස විහිදී ඇත්ත‍ෙ ලොකු පොඩි කඳු පන්තිය. 
"කන්ද.., මේ හාත්පසටම සජීවි ප්‍රාණයකට ඇත්තෙ උඹත්, මාත්, මගේ මේ මිත්‍රයින් පිරිසත් පමණි.! ඔව්..නුඹත් හුස්ම ගන්නා බව මම දනිමි.!!"
                                  ඝණ ඕක් ගස් මුදුන් සිප ගෙන සීත සුළං හමයි. පැරණි ඕක් ගස් සෙවණක් යට ඉඳගත් එඩේරා සැඳෑවෙ තිබූ කාන්සිය දුරුලීමට තම බටනලාව වාදනය කිරීමට පටන් ගත්තේය. දිගින් දිගටම.. ඔව්..මුළු විශ්වයම ඔහුට දැන් අවනතය..
                                               ------------------------------

මේ සියුමැලි ස්වර මාලාව ඇසූ පළමු අවස්ථාවේම මා මනසේ ඇඳුණේ ඒ වගේ චිත්‍රයක්. හදවතට දැනෙන්නෙ අපූරු වේදනාත්මක හැඟීමක්. විශිෂ්ඨ සංගීතඥයෙක් වන ජේම්ස් ලාස්ට් (James Last)ගෙ සුප්‍රසිද්ධ නිර්මාණයක් වන The Lonely Shepherd. මෙය වාදනය කරන්නෙ ඒ වගේම විශිෂ්ට බටනලා (Pan Flute) වාදකයෙක් වන රොමේනියානු ජාතික ජෝර්ජ් සැම්ෆියර් (Gheorge Zamfire).

                                                        Gheorge Zamfire

                                                                           James Last

Quentin Tarantino ගෙ Kill Bill චිත්‍රපටය බලා ඇත්නම් ඔබට මේ වාදනය හුරු පුරුදු ඇති. 

විඳින්න..ඔබේ හදවත හඬා වැළපේවි..! :)

 





 
                              

 


 

April 19, 2015

අබුඩාබියේ මතකයන්

සංචාරකතුමාට අබුඩාබි යන්න අවස්ථාවක් ලැබුණා. 
තාත්තත් දවස් කිහිපයකට ඉස්සෙල්ලා ලංකාවට ආවා මාත් එක්කම යන්න. මේ සංචාරකයගෙ පළමු ගුවන් ගමන.. :P

කොළඹ ඉඳන් අබුඩාබි වලට ගුවන් ගමන පැය හතර හමාරක් වගේ තියෙන්නෙ. 

                                       උඩ ඉඳං අබුඩාබි නගරය රෑට පේන හැටි
අපි අබුඩාබි ගුවන්තොටුපලෙන් බැහැල කෙලින්ම තාත්ත නවාතැන් ගන්න බෝඩිමට ගියා. අපි නවාතැන් ගන්න බෝඩිම තිබුනෙ Mussafah වල. අබුඩිබා සිටි එකේ ඉඳන් කිලෝමීටර් 25 ක් විතර දුරින්. එතන තවත් ලංකාවෙ තුන්දෙනෙක් හිටියා. කාමරේ පස්දෙනෙක්ට සෑහෙන්න ඉඩකඩ තිබුණ නිසා නවාතැන් ගන්න එක ප්‍රශ්නයක් වුනේ නෑ. උදේට ඔක්කොමල රැකියාවට යන නිසා තනියම කම්මැලිකමේ තමයි කාමරේ ඉන්න වුනේ. හැන්දෑ වරුවෙනං රටතොට බලාගන්නත් එක්ක පොඩ්ඩක ඇවිද්දා. හොඳ වෙලාවට එනකොට කියවන්න පොත් ටිකකුත් අරං ආව.. :D  

සිකුරාද කියන්නෙ අරාබි රටවල් වල හැමෝටම නිවාඩු දවසක්. එ් වගේ දවසක තමයි අපි කොහෙ හරි යනවනං ගියේ. 
අපි ඉස්සෙල්ලාම ගියා අබුඩාබි Ferrari World එකට. ඒක පිහිටල තිබුනෙ Yas Island කියල තැනක. ලෝකෙ විශාලතම ගෘහස්ථ විනෝද උද්‍යානය තමයි මේක. ඒ වගේම ලෝකෙ වේගවත්ම roller coaster එකත් තියෙන්නෙ මේ පාර්ක් එකේ. 

                                                     Formula 1 තරඟ වලට ගන්න රේසින් කාර්

                                                                       රේසින් කරා එහෙක එන්ජිමක්

 

අබුඩාබි වලට දෙසැම්බර් ඉඳන් මාර්තු, අප්‍රේල් වෙනකං වගේ තරමක හොඳ කාලගුණයක් තියනව. අවුරුද්දකට දෙතුන් පාරක් වගේ තමා වැහි පොදයක් වැටෙන්නෙ.  ඊටපස්සෙ ඉතිං මුළු අවුරුද්දෙම ගිනියම් රස්නෙ. 

ඩුබායි තියෙන්නෙ අබුඩාබි ඉඳන් කිලෝමීටර් 141 ක් දුරින්. ලෝකෙ උසම ගොඩනැගිල්ල තියෙන්නෙ ඩුබායි වල. ඒ ඩුබායි බර්ජ් කලීෆා (Burj Khalifa) බිල්ඩිම. මේකෙ උස මීටර් 829.8 ක් (අඩි 2722ක්).  
2004 වැඩ පටන් ගත්තු මේ බිල්ඩිමේ වැඩ අවසන් කරල තියෙන්නෙ 2009 දි. 


 


                               මේ රටේ කොහෙ බැලුවත් රට ඉඳි ගහක්නං වරදින්නෑ.. 
                                                                     සංචාරකතුමා :3
ඒ බිල්ඩිම ඉදිරිපසින් තියන පොඩි ජලාශයෙ වතුර මල් සංදර්ශනයක් තියෙනවා. රෑටනං විදුලි බුබුළු වල ආලෝකයත් එක්ක එතන හරි ලස්සනයිලු. ඒත් අපි රෑ වෙනකං හිටියෙ නෑ ආවා. 





එමිරේට්ස් පැලස් (Emirates Palace) කියන්නෙ අබුඩාබි වල තියෙන සුප්‍රසිද්ධම තරු හතේ හෝටලයක්.


                                                            ඡායාරූපය අන්තර්ජාලයෙනි

ලෝකයේ දෙවැනියට මිල අධිකම හෝටලයත් මේ එමිරේට්ස් පැලස් හෝටලය. තවත් විශේෂත්වයක් තමයි Fast and Furious 7 ෆිල්ම් එකේ කොටස් කිහිපයකුත් මේ පැලස් එක පරිශ්‍රයෙ රූගත කරල තියෙනවා. කාමර 302 කින් සමන්විත මේ හෝටලේ ඒ කාමර වලින් බොහොමයක් රත්තරන් සහ මාබල් වලින් නිමවල තියෙන්නෙ. ඉතිං මේ හෝටලේ ඇතුලෙ ප්‍රධාන ඉංජිනේරුවෙක් ලංකාවෙ මහත්මයෙක්. කොහොමහරි මේ පැලස් එක ඇතුලෙ පොඩ්ඩක් දැක බලාගෙන ෆොටෝ දෙක තුනක් ගන්න මටත් දුර්ලභ අවස්ථාවක් හම්බුනා. :D


                                           පැලස් එක ඇතුලෙ ප්‍රධාන නැටුම් ශාලාව




                                    ෆොටෝ එකේ ඉන්නෙ අබුඩාබි වල පාලකයා Khalifa bin Zayed. ඔහුත් ඉඳල හිටල මේ හෝටලේ කාලය ගත කරන්න එනවලු. 









අබුඩාබි වල ගත කරපු දවස් කිහිපය ඇතුලත මං ගිය කැමතිම තැන Al-Ain. අබුඩාබි ඉඳන් කිලෝමීටර් 174 ක් දුර ගෙවන් සිකුරාද දවසක අපි ඔක්කොම Al-Ain ගියා. අබුඩාබි වලට වැඩිය මේ ප්‍රදේශයෙ තරමක් ස්වභාවික සෞන්දර්යත්වය වැඩියි. Jebel Hafeet කඳු පන්තිය තියෙන්නෙ Al-Ain ප්‍රදේශයෙ. 

                                         ඈතින් පේන්නෙ Jebel Hafeet කඳු පන්තිය.


                                                                         කන්ද උඩම


                                                                ඈතින් පේන්නෙ ඕමාන්

කන්ද උඩ පැයක් විතර ගත කරල හැන්දෑවෙලේ අපි ආයිත් බෝඩිමට එන්න පිටත් වුණා. 

ඒ වෙනකොට ලංකාවට එන්න තව දවස් කිහිපයක් විතරයි ඉතුරු වෙලා තිබුණෙ. ඒ දවස් ටිකත් නොදැනීම ගෙවිල ගියා.. 








February 5, 2015

කයිමන් දොරකඩ | Kaiman Gate


"පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා
ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපං මං එනතුරු සෙලෙස්තිනා"

එදානං සෙලෙස්තිනා එතෙනට වෙලා බලං හිටියට අදනං කයිමන් දොරටුව කියල එකක් නෑ.. තියෙන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරපු ඝණ්ඨාර කුළුණක් විතරයි. :)
ඉතිහාසයට, අතීත නටබුන් වලට කවදත් මනාප සංචාරකතුමා ඔය ඝණ්ඨාර කුළුණ බලාගෙන එන්නත් එක්ක ඊයෙ පෙරේදා දවසක කොටුවෙ රවුමක් දැම්මා. 

ලංකාව පළමු වතාවට පිට දේශක්කාරයින්ගෙ යටත් විජිතයක් බවට පත්වුණේ පෘතුගීසි පාලනය යටතෙ. පරංගින්ගෙ ප්‍රධානතම බලකොටුව වුණේ කොළඹ කොටුව. අද හඳුන්වන ඕල්කට් මාවත සහ අවට ප්‍රදේශය වටකරමින් පෘතුගීසින් කබොක් ගල් වලින් විශාල ප්‍රකාරයක් බැන්දා. ඒ විශාල තාප්පයෙන් කොටු වුණ කොටස තමයි කොටුව විදිහට හැඳින්වුනේ. තාප්පයෙන් පිටත පිටකොටුව. පිටකොටුවෙ ඉඳන් එන කෙනෙකුට කොටුවට ඇතුල් වෙන්න තිබ්බෙ එකම එක මාර්ගයක්, නැත්නම් දොරටුවක් විතරයි. ඒ තමයි කයිමන් දොරටුව. 
මේ කයිමන් ගේට්ටුව විවෘත වුණේ ශාන්ත ජෝන් ඇළ මාර්ගය (St. John's Canel) මතින් ඉදිවුණ පාලමට. පසු කාලයකදි ඉංග්‍රීසින් විසින් මේ කොටුව වටා තිබුණු ප්‍රකාරය කඩා දමලා ශාන්ත ජෝන් ඇළ සහ ඒ අවට පහත් බිම් පුරවල කොටුව සහ පිටකොටුව එකම භූමියක් විදිහට පත් කරා. 

                              ඉංග්‍රීසින් විසින් කොටු බැම්ම කඩා දැමීම (මූලාශ්‍රය - lankapura.com)

ඒ නිසා අද ඉතිරිවෙලා තියෙන්නෙ කයිමන් දොරටුව අසල තිබුණු සුවිශාල ඝණ්ඨාර කුළුණ විතරයි.


 පිටකොටුව ප්‍රධාන වීදියෙ ඉඳන් ඕල්කට් මාවත දෙසට 4 වෙනි හරස් වීදිය පටන් ගන්න තැනම තමයි මේ ඝණ්ඨාර කුළුණ පිහිටලා තියෙන්නෙ.


 කාලය කොයිතරම් දේවල් වෙනස් කරනවද..

පෘතුගීසින් නම් මේ දොරටුව හැඳින්නුවෙ "පුර්ටෙ රෙයිනා" හෙවත් "බිසෝ දොරටුව" යන නමින්ලු. ලන්දේසී යුගය වෙනකොටත් මේ පවුර සහ දොරටුව ඒ විදිහටම තිබුණා. ලන්දේසි මේ දොරටුව හැඳින්නුවෙ කයිමන් දොරටුව නමින්. ඒකට විශේෂ හේතුවක් තිබුණා. ඉහත සඳහන් කරපු ශාන්ත ජෝන් ඇළ බේරෙ වැවට සම්බන්ධයි. බේරෙ වැවේ හිටිය කිඹුලන් මේ ඇළ මාර්ගය දිගේ ඇවිත් මේ දොරටුව අසල හිඳිමින් කුණු කසල ආදිය කා දමමින් ජීවත් වුණාලු. හැම වෙලාවෙම කිඹුලන් ගැවසුණු තැනක් නිසා මෙතැනට ලන්දේසි බසින් Kaimaan Port විදිහට හඳුන්වන්න පටන් ගත්තා. ලන්දේසි බසින් කයිමාන් කියන්නෙ කිඹුලන්ටලු.  

මේ සුවිශේෂි දොරටුව පිහිටි තැන අදට ඉතිරිවෙලා තිබෙන මේ ඝණ්ඨාර කුළුණ මීටර් හතරක් විතර උස ආරුක්කු හැඩයෙන් යුක්ත එකක්. ඝණ්ටාරය බුවනෙකබාහු රජතුමා විසින් කතෝලික පියතුමන්ලගෙ ඉල්ලීමක් පිට වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටෙ ප්‍රදේශයෙ හදපු ශාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමන්ට කැප කරන ලද දේවස්ථානයකට අයිති ඝණ්ටාරයක්. මේ ඝණ්ඨාරය ඒ කාලෙදි එදිනෙදා වාදනය වුණේ රාත්‍රී කාලයෙදි කයිමන් දොරටුව වහන අවස්ථාව දැනුම් දෙන්නට.

නිල වශයෙන් අවසන් වතාවට මේ ඝණ්ටාරය වාදනය වෙලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය යුගයෙදි. ඒ 1926 ජනවාරි 21 වෙනිද පස්වැනි ජෝර්ජ් රජුගෙ අභාවය දැනුම් දීමටත්, ජනවාරි 28 ඔහුගේ දේව මෙහෙය වෙනුවෙනුත් සහ 1945 අගෝස්තු 14 වැනිදා දෙවන ලෝක යුද්ධයෙ අවසාන කාලයෙදි ජපානය යටත් වුණු දිනයෙදි.

ඒ කාලයෙ අධිකරණය මගින් වරදකරුවන් වුණු ඇතැම් අයව එල්ලා මරන ස්ථානයත් තිබිල තියෙන්නෙ කයිමන් දොරකඩ අසල තැනක. මිනීපෙට්ටි වෙළඳාමටත් කයිමන් දොරකඩ ප්‍රදේශය ප්‍රසිද්ධ වුණාලු.

බ්‍රිතාන්‍ය යුගය වෙනකොට මේ කයිමන් දොරකඩ අසල ප්‍රදේශය වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. ලන්දේසි යුගයෙදි ඔවුන්ගෙ කාසි මුද්‍රණය කර තිබෙන්නෙත් ඒ අසල තිබූ මුද්‍රණාගාරයකින්. (VoC)    

"කොළඹ කොටුවෙ කොටු දොරකඩ නෝනච්   චී
   නුඹ බලන්ට මා එනකොට රෑ වෙච්                  චී 
  නුඹට ගෙනා තල සූකිරි දිය වෙච්                     චී
  අදට පිනට දොර ඇරපං නෝනච්                     චී

තවත් රස්තියාදුවකින් හමුවෙමු.. :)

December 4, 2014

ඇඹුල්ගමට ගිය ගමන

ගොඩ දවසකින් කොහෙවත් ඇවිදින්න යන්න බැරි වුණා. ෆොටෝග්රැෆි ක්ලාස් තියෙන දවස්වලටනං ක්ලාස් ඇරිල එනකොට කොහේ හරි පොඩි රස්තියාදුවක් ගහල තමා එන්නෙ. ගාල්ලෙ යන්න කියල හිතා හිටියත් තිබුණ අසනීප තත්වයත් එක්ක යන්න බැරි වුණා. ගොඩ කාලයක ඉඳං තියෙන ආශාවක් තමා මාර්ටින් වික්‍රමසිංහ මහත්මය ජීවත් වුණු කොග්ගල ප්‍රදේශයෙ සංචාරයක නිරත වෙන එක. ළඟදිම යන්න තමා හිතං ඉන්නෙ..! 

කොහොමහරි දවසක් හැන්දෑකොරේක හිතුණා ඇඹුල්ගම පුරාණ රජමහා විහාරයත් එක්ක තියෙන කන්ද නගින්න ඕනය කියල. ඇඹුල්ගම තියෙන්නෙ කඩුවෙල, ඒ කියන්නෙ අපේ ගෙවල් හරියෙ ඉඳන් කිලෝමීටර් 10 ක් විතර දුරින්. කොළඹ ඉඳන්නං අවිස්සාවේල්ල පාරෙ ආවොතින් කිලෝමීටර් 22 ක් වගේ ඇති. මහාලොකු ගමනක් නොවුනට ඒ ගැන පොඩියට බ්ලොග් එකේ සටහනක් දාන්න හිතුණා. .

මං කලින් කඳු නැගිල්ලකදි හඳුන්වල දීපු චමත් කියන හාදයත් මේ ගමනට එක් වුණා. ගෙදරින් පිටත් වෙද්දි නං වැස්සක පෙර සළකුණු අහසෙ පේන්න තිබ්බා. ඒත් වැස්ස වළාවක දෙයියො අපට අනුකම්පා කරා..
ඓතිහාසික වශයෙන් ඇඹුල්ගම පුරාණ විහාරය පිළිබඳ ගොඩක් කරුණු තියෙනවා. විශේෂයෙන්ම මේ කන්ද ආශ්‍රිතව පිහිටල තියෙන ගල් ගුහා.
දැන් ඇඹුල්ගම රජමහ විහාරය නමින් හැඳින්වුවට පුරාණ කාලෙදි මේ විහාරය හඳුන්වල තියෙන්නෙ ඇඹලව රත්ගල් වෙහෙර නමින්. ඒ කියන්නෙ ඉස්සර ඇඹුල්ගම ග්‍රාමයට කියල තියෙන්නෙ ඇඹලව කියල. කාලයත් එක්ක ඇඹලව, ඇඹුල්ගම විදිහට පරිණාමය වෙන්න ඇති. 
ඇඹුල්ගම හංදියෙ ඉඳන් මීටර් 500 ක් විතර තියෙන දුර ඇවිදං ගිහිල්ල අපි කන්ද නගින්න පටන් ගත්තා. 

කන්ද නගින්න පටන් ගන්නකොටම වගේ තමයි මේ විදිහට මිහිඳු මහරහතන් වහන්සේගෙ ලංකාගමනයෙ අවස්ථාවක් පිළිම විදිමට නිර්මාණය කරල තියෙනව දකින්න පුළුවන් වෙන්නෙ.

                                                                       (අන්තර්ජාලයෙනි)       
ගල් පඩි වලට අඩිය තිය තියා ටික දුරක් ගියාම පුංචි වැලි මළුවක් හමුවෙනවා. මෙතැන පසු කාලීනව ඉදි කරපු විශාල හිටි පිළිමයක් තියෙනවා.   

ඒ වගේම සැතපෙන පිළිමයකුත්, සමාධි බුදු පිළිමයකුත් දකින්නට පුළුවන්. විශාල හිටි පිළිමය හැරුණාම අනෙකුත් පිළිම නං මට හිතෙන්නෙ පෞරාණික පිළිම. දැන් ප්‍රතිසංස්කරණය කරල තියෙනවා. 


සැතපෙන බුදු පිළිමයට තරමක් එහායින් දැකගන්න පුළුවන් තවත් හිටි පිළිමයක්.

         
සංචාරකයට හිතෙන විදිහට ඒ ආනන්ද හිමියන්ව වෙන්න ඕනෙ නිරූපණය කරල තියෙන්නෙ. එතකොටම මතක් වෙන්නෙ ගල් විහාරයෙත් සැතපෙන පිළිමය අසලින්ම තියෙන පිළිමය. 
          (ගල් විහාරයෙ තියෙන පිළිමය)


ගොඩක් විද්වතුන්ගෙ අදහස ඒ බුද්ධ පරිණිර්වාණයෙන් ශෝකයට පත් ආනන්ද හිමියන්ගෙ පිළිමයක් බව. මේ පිළිමයෙත් තියෙන්නෙ ගල් විහාරයෙ පිළිමයෙ තියෙන මුද්‍රාවමයි..



                     

ඇඹලව රත්ගල් විහාරය ආශ්‍රිත ඓතිහාසික කතා පුවතුත් ගොඩක් තියෙනවා. ඉතිහාසයෙ සඳහන් වෙන විදිහට දුටුගැමුණු රජතුමාගෙ රාජ්‍ය කාලයෙ හිටිය මලියදේව මහරහතන් වහන්සේ කාලයක් කැළණි ගඟ ආශ්‍රිත ඇඹුල්හෙළු නම් පෙදසක වැඩ සිටියලු. ඒ පෙදෙස විදිහට ගොඩක් දෙනා පිළිගන්නෙ මේ ඇඹුල්ගම කන්ද ආශ්‍රිත ප්‍රදේශය. ඒ වගේම දඹදෙණියෙ රාජධානියෙ රජකම් කරපු 3 වන විජයබාහු රජතුමා ඒ කාලෙදි සිදුවුණු කාලිංඝ මාඝ ආක්‍රමණයට එරෙහිව තමන්ගෙ සේනා සංවිධානය කරපු ස්ථානයක් හැටියටත් ගොඩක් පාලකයින්ට හදිසි ආක්‍රමණ වලින් සැඟවෙන්න යොදාගත්තු ස්ථානයක් හැටියටත් මේ ප්‍රදේශය ප්‍රසිද්ධයි. අදටත් කටාරං කොටපු ගල්ගුහා ගොඩක් දැකගන්න පුළුවං. 

කන්ද උඩට නගින්න තියෙන්නෙ විශාල පර්වතයක් අයිනෙන් වගේ. දැන්නං යකඩ වැටවල් සවි කරල තියෙන හන්ද අවධානමක් නෑ. කොහොමහරි වැඩි වෙලාවක් යන්න කලින් අපි කන්ද උඩට ආවා. මුළු පළාතම හොඳට පේනවා එතෙන්ට. පැත්තකින් කැළණි නදියත් ගලාගෙන යනවා.  කන්දක් උඩට නැග්ගොත් මගෙ කැමරා පොඩ්ඩෙන් පැනරොමාවක් වරදින්නෑ ඉතින්.. :)



අපි කලින් දවසක නැග්ග කොරතොට කන්දත් මෙතෙන්ට පෙනුණා. 

                                           (මැදින් පොඩියට පේන්නෙ ඒ කන්ද)



තවත් ටික වෙලාවක් ඉඳල අපි ආපහු එන්න පටන් ගත්තා.
තවත් පුංචි රස්තියාදුවක නිමාව...

Travelling is almost like talking with men of other centuries..
                                                     ~Rene Descartes~
__________________
කාලයක් බ්ලොග් කියෝ කියෝ ඉඳල ඊට පස්සෙ මොනවහරි ලියනව කියල බ්ලොග් එකක් අටෝගත්තා.. 
ඉතිං අද බබාගෙ පළවෙනි උපන්දිනේ.. !! :D 














  

 


November 17, 2014

ආනන්ද, සර්පයා දුටුවාද ?

නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ සිනමා නිර්මාණය, තණ්හා රතී රඟා දින ගණනාවක සිට රස විඳීමට බලා සිටියත් ඇති වූ අසනීප තත්වය සහ යෙදුණු ගමන් බිමන් කිහිපය නිසා ම ඊට කාලයක් වෙන් කරගන්නට බැරි විය. වෙලාවක් කලාවක් ගැන නොහිතන මා මීට දින කිහිපයකට පෙර මොරසූරන වර්ෂාව මැද්දේම රාත්‍රී දර්ශනය බැලීමට කඩුවෙල නගරයේ විජයන්ති සිනමාහලට පැමිණියත් ගිය පයින්ම ආපසු එන්නට සිදු වූයේ රාත්‍රී දර්ශනය බැලීම සඳහා පැමිණ තිබුනේ මා පමණක් නිසාවෙනි.. 

කෙසේ හෝ ඉරිදා දිනයක නැවතත් සිනමාහලට ගොස් තණ්හා රතී රඟා රස වින්දෙමි. කාලාන්තරයක් තිස්සේ අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය සීනිබෝල සිනමා නිර්මාණ මගින් පට්ට ගසමින් ප්‍රේ්ක්ෂකයින්ට සිනමාව එපා වෙමින් තිබූ අවධියක තණ්හා රතී රඟා යනු ඉඩෝර බිම්කඩකට වැටුණු නැවුම් වර්ෂාවකි. 
මෙය විචාරයක් නම් නොවේ. හුදෙක් චිත්‍රපටිය නැරඹීමෙන් ඇති වූ ප්‍රබෝධය යුනිකෝඩ ගත කිරීමකි.

එදවස වර්ෂ දෙදාස් නවයේ මැයි මස දහ අට වන දිනයි. කතාව ඇරඹෙන්නේ ප්‍රභාකරන් මිය යාමේ පුවතත් සමග රතිඤ්ඤා පත්තු කරමින් සහ කිරිබත් දන්සැල් දෙමින් ආනන්දයට පත් මිනිසුන් ජාතික කොඩි වනමින් සතුටු වන අයුරු දෙරණ නාලිකාවේ විශේෂ ප්‍රවෘත්තියක් ලෙස පෙන්වමින්ය.  
කතාවේ ප්‍රධානම නළුවෙක් වන සිරිතුංග හෙවත් සරත් කොතලාවල අල්මාරිය පීරා සොයාගන්නා ජාතික කොඩියේ දුහුවිලි පිස දමා නැවත එළියට ගන්නේ නිදහසේ සතුට සැමරීම සඳහායි. 
මෙහි සංකීර්ණතම චරිතය වන්නේ ද තිදරු පියෙක් වන සිරිතුංගයි. අවසානය තෙක්ම මා ඔහුගේ මනෝමය සිතුවිලි කෙබඳුදැයි පිළිබඳව කුතුහලයකින් පෙළුණෙමි.

කෙසේ හෝ සිරිතුංගත් ඔහුගේ මිත්‍රයින් දෙදෙනා වන ත්‍රී රෝද රථ රියදුරෙක් වන විමල් හෙවත් කුමාර තිරිමාදු ත් සරසවි ශිෂ්‍යයකු වන සුරාජ් හෙවත් නාමල් ජයසිංහ ත් යාපනයේ සංචාරයක් යෑම සඳහා සැලසුම් කරයි. 
පසුව මිත්‍රයින් දෙදෙනා ජාතික කොඩිය සහ බෞද්ධ කොඩිය එල්ලූ විමල්ගේ ත්‍රීවිල් රථයෙන් යාපනයට යයි. මේ අතර විමල්, ජසින්තා නම් වූ තරුණිය සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගනියි. විමල් දුරකථනයෙන් ජසින්තා සමග පෙම්බස් හුවමාරු කරගනිමින් අවිඥාණිකව කකුලෙන් වෙරළේ වැලි හාරමින් සිටිද්දී ත්‍රස්තවාදීන් සතුව තිබූ ගිනි අවියක් ඔහුට හමුවේ. ඒ අසලම සර්පයෙකු සිටීමෙන් සංකේතාත්මකව විනාශය, තණ්හාව නිරූපණය කරයි. ගිනි අවියට කුමක් කරන්නේද යන්න මිත්‍රයින් තිදෙනා අතර අදහස් හුවමාරු වේ. විමල්ට අවශ්‍ය වන්නේ ගිනි අවිය කොළඹ රැගෙන ගොස් විකුණා මුදල් ගැනීමටයි. ගිනි අවිය ගමනේ සිහිවටනයක් ලෙස ළඟ තබා ගැනීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වන සුරාජ් අදහස් කරයි. මේ අතර සිරිතුංග ගිනි අවිය විසිකර දමා නැවත ආපු ලෙසම කොළඹ යාමට තම මිත්‍රයින් දෙදෙනාට බල කරයි. ඔහු තිදරු පියෙක් නිසා මේ හේතුවෙන් යම් කිසි කරදරයකට මුහුණ පාන්නට සිදු වුනොතින් බිරිඳ සහ දරුවන් ජීවත් වන්නේ කෙසේදැයි බියෙන් පසු වෙයි. නමුත් ඔහුගේ සිතේ ද ගිනි අවිය පිළිබඳ ආශාවක් තිබෙන බව ව්‍යංගයෙන් කතාවේ ඇතැම් දර්ශන වලින් පිළිඹිමු වන බව මට සිතුණි. කෙසේ හෝ ගිනි අවිය විමල් කොළඹ රැගෙන එයි. එන අතරමගදී අපට හමුවන සේවය නිම කළ පොලිස්කාරයෙකුගේ චරිතය බලය සහ තරාතිරම පෙරටු කර ගනිමින් වංචාව සහ දූෂණය සිදු කරන අයුරු පෙන්වා දෙයි. 

කෙසේ හෝ විමල් සහ සුරාජ් අතින් ගිනි අවිය තමන්ට සිදු වෙන අසාධාරණයක් හමුවේ පාවිච්චි කිරීමට සිදුවීමෙන් තමන් සතුව ගිනි අවියක් තිබෙන බවට සමාජයට හෙළි දරව් වේ. ඔවුන් දෙදෙනාම පොලීසියේ රැහැනට අසු වේ. ඊට ප්‍රථම සිරිතුංග ගිනි අවිය බලෙන් ගෙන තම නිවසේ පෙට්ටගමක් යට සඟවා තබයි. ඒ අසලම කඩුවක් ද සඟවා තිබීමෙන් ඔහු සතුව බලයට තිබූ ආශාව නිරූපණය කරයි.
නැවතත් සංකේතාත්මකව සර්පයකු පෙට්ටගම යට සැඟවෙයි...

තෙවන වරට ද ගිනි අවිය අවිඥ්ඤාණිකව පත්තු වේ.........!!!!
______________________________________

සිනමා කෘතියක තිබිය යුතු නාට්‍යමය විලාශය අවසානය තෙක්ම නොඅඩුව තිබුණි. සරත් කොතලාවල, කුමාර තිරිමාදුව, නාමල් ජයසිංහ සහ සුලෝචනා වීරසිංහ ගේ තාත්වික සහ ප්‍රතිභා පූර්ණ රංගනය කතාව ප්‍රේක්ෂකයාගේ හැඟිම් සමග එකට ගැටීමට සමත් වුණි.
කතාවේ අවසාන භාගයේදී සිදු වී ඇති දෙය ආරංචි වී සිරිතුංග තම සේවා ස්ථානයේ සිට නිවසට බයිසිකලය පදිමින් එන සැටි විනාඩි කිහිපයක රූප රාමවුක සටහන් වේ. එම මුළු කාලය තුල මෙතෙක් සිදූ වූ සිද්ධීන් ඒත් සමග වාදනය වන සිරිතුංග ගේ සියළු හැඟීම් මුසු කර තිබූ පියානෝ නාදයත් සමග නැවත මගේ මනසේ දෝංකාරය දීමට පටන් ගත්තේය. 

තවත් තීරණාත්මක රූප රාමු කිහිපයකින් කතාව අවසාන වෙයි..... :)
මෙතුවක් කාලයකට මා නැරඹූ සමාජීය සහ දේශපාලනික තේමාවක් රැගත් විශිෂ්ටතම සිනමා නිර්මාණයක් ලෙස තණ්හා රතී රඟා හැඳින්විය හැකිය. 






පින්තූර තණ්හා රතී රඟා facebook පිටුවෙනි...




November 13, 2014

අහිමි වාසනාව

උදා හිරු පූජනයේ
පිණිබිඳු සැඟව යන හිමිදිරියේ
විහඟුන්ගේ කූජනයටත් පෙර
ඇසෙන්නේ 
දැවමය සිරකුටියේ
සිරගත වුණු ඔබේ හඬයි..

රුපියල් සත කෝටි ගණනින් දන් දී
ලැබෙනා සොච්චම වෙනුවෙන්
කෑ ගසා අයදින..,
ලෑලි කුටියෙන් නික්ම
මාළිගාවක වැජඹෙන්නට
වෛවර්ණ කොල කැබලි අතර
දෝංකාර නගන ධ්වනි තරංග
ඔබේ හඬයි..
  
පිදුවත් වාසනාව
යනෙන උන් හට
අහිමිය එයම තවමත්
සිතුවම් කරන්නට වර්ණ
කළු සුදු ජීවිතයේ..




පින්තූරය ගූගලයෙනි..




October 12, 2014

සියදෝරිස් අත්තා සහ පැල් කවි

'සියඹලදෙණිය' කියන්නෙ ඒ ඉසව්වෙ තියෙන පොඩිම ගම්මානෙ. හතරපැත්තෙන්ම සුවිසාල කඳු පේළියකට වටවෙලා තිබුණු හන්ද ඒ ගම්දනව්ව ඒ ඉසව්වෙ හැංඟිලා වගේ තිබුණේ. සියඹලාදෙණියෙ ජීවත් වෙච්ච මිනිස්සුත් හේන් ගොවිතැනට පිං සිද්ධ වෙන්ට අඩුවක් පාඩුවක් නැතුව කාල බීල ජීවත් වෙලා තමන්ගෙ පණ කෙන්දත් රැකගෙන උන්න මිසක් ගොවිතැනෙන් ලැබිච්ච ඵලදාව විකුණගන්ටයි, අවුරුදු කාලෙට නගරෙ කඩමංඩියට ගොහිං චීත්තයක් සරමක් අරං එන්නයි ඇරෙන්න ඉං එපිට පස් පෑගුවෙ නෑ. 
මේ ගම්මානෙට සියඹලදෙණිය කියල නම හැදුනෙනං බෝම සාරෙට හැදුණු සියඹල වත්තක් තිබුණු හන්ද..

ගම්මානෙටම තිබුණෙ එකම එක කඩයයි. ඒ අප්පුවගෙ කඩේ. දවස තිස්සෙම හේනත් එක්ක ඔට්ටු වෙන ගමේ කවුරුත් ඉර දෙයියො උන්දැලගෙ හේමලයත් අඬ ගහගෙන බස්නාහිර පැත්තෙන් හැංගිලා යන්න හදන වෙලාවට වැවෙන් ඇඟ පත එහෙම හෝදගෙන කාරිය කාත් කවුරුත් හකුරු කෑල්ලකුත් එක්ක කහට ඩිංගිත්තක් බොන්න, දාං අතක් අදින්ට එකතු වෙන්නෙ අප්පුවගෙ කඩපිලට. ඒ කාරණේ එහෙම සිද්ධ වුනාට මොකද කඩේ ඉස්සරහ සියඹල ගහ යට තිබුණු බංකුව උඩ දවසම ලැග් ගහගෙන ඉඳපු මනුස්සයෙක් හිටියා. ඒ සියදෝරිස් අත්තා. අවුරුදු අසූවක්ම වයස හන්ද ගොවිතැන් කරන්ටත් බැරි එකේ දවසම උන්නෙ ඔතන. ගෙදෙට්ට ගියේ වේල සප්පායම් වෙන්ටයි රෑට නිදාගන්ටයි විතරයි. උන්දැගෙ පුතණ්ඩියා සිරිපාලය, ගෙදෙට්ට අඩුවක් පාඩුවක් කරන්නැතුව අප්පොච්චගෙ හේන වගා කෙරුව. සියදෝරිස් අත්තගෙ රාජකාරිය දවසම බංකුවට වෙලා ඉඳගෙන කඩේට එන එවුන්ට කවියක් කතන්දරයක් කියා දීල විහිළුවක් තහළුවක් කරගෙන බුලත් හපයක් වික විකා ඉන්න එක. හවසට කඩේට රැස් වුණු කට්ටියත් පුරුදු වෙලා හිටියෙ සියදෝරිස් අත්තගෙ කවි කතන්දර අහන්න.

"ඈ බොල පොඩි මැණිකො. උඹෙන් බත් ඩිංගක් කෑවෙ නෑ බොල කාලෙකිං. උඹ හදන පොළොස් මාළුව වගේ පොළොස් මාළුවක් හදන්න බෑ මේ අහලගං හතක එකියකටවත්."
සියදෝරිස් අත්තා කඩේට ආපු පොඩි මැණිකට කීවා. 

"වෙලාවක එන්ටකො ඒ පැත්තෙ. මං හදල තියන්නම්"
පොඩි මැණිකා කීවෙ ලැබුණු වර්ණනාවෙන් තරමක ආඩම්බරකාර හිනාවකින් සැරසිලා. 

"ඇයි සියදෝරිස් අත්තට විතරක්. අපිටත් දීල කෑවාම මක් වෙනවද?.."
හේන් කටයුතු අහවර කරල ඇවිල්ල කඩපිලේ බංකුව උඩ සිරිපාලයත් එක්ක දාං අතක් ඇද ඇදා උන්නු ගුණපාලය කීවෙ තාමත් පෙළවහක් කරගනෙ නැති පොඩි මැණිකා දිහා මනමාල බැල්මකුත් දාගෙනම... 

"ඈ බං ගුණපාලයො උඹ අද පැල් රකින්න යන්නැතෙයි. ඊයෙත් මූකලානෙන් කඩා පාත් වුණු වල් ඌරො රංචුවක් සිරිපාලයගෙ හේන දෙවනක් කරල. සාරෙට හැදීගෙන ආපු බඩ ඉරිඟු පැළ ටික විනාස කරල දාල."
සියදෝරිස් අත්ත සියඹල ගහ මුලට බුලත් කෙළ පාරකුත් ගහල කීවා.

"තව ඩිංගිත්තකින් යන්ට ඕනෙ අත්තෙ. කොහෙද මේ ගම්මානෙ එකෙකුටවත් තාම තුවක්කු ලයිසන් එක ගන්ට හම්බුන්නෑනොවැ. ගිනි බටයක් තිබ්බනං ඕකුන්ට කරන වැඩේ දනී මං"
ගුණපාල කීවෙ සිරිපාලයගෙ ඉත්තො තුන්දෙනෙක්ම අරගන්න ගමං. 

"බොලා ඔහොම කියනකොට මටත් මතක් වුණා අපි ඒ කාලෙ පැල් රැකපු හැටි. බොලාට වගේ තමා අපිටත් ඒ කාලෙ ගිනි බට තියාගන්න සුදු මහත්තැයල අවසර දුන්නෑ. ගිනි බටයක් තිබ්බෙ ගමේ ආරච්චිල ගාව විතරයි. දරු මල්ලොත් ගෙදර තනිකරල දාල අපේ මායිය හදල දෙන බත් මුලත් අරගෙන හඳ පායගෙන එනකොට හේනට යනව පැල් රකින්න. ගෙදරින් එළියට බහින්නෙ සමන් දෙයියො සිහි කරගෙන. අර සිරිපාලයගෙ හේනෙ තිබ්බ විසාල මාර ගහේ තමා මගේ පැල තිබ්බෙ. හේනට ඇවිල්ල පැල ගාවින් ගිනි මැලයකුත් පත්තු කරල කාරිය පැලට නගිනව. හූ තියල ගිණි මැල පත්තු කරල තමා හේන දෙවනක් කරන්ට එන සත්තුන්ව එලවගන්නෙ. ඔහොම ඉන්නකොට දවසෙම හේනත් එකක් ඔට්ටු වුණු හන්ද නිදි මත, කාංසිය හැදෙනවා. ඔය වෙලාවට තමා කවියක් එහෙම කියල කාංසිය ඇරෝගන්නෙ. ඔය පොඩි මැණිකගෙ අප්පොච්චා තමා පැල් කවි කියන්න සූරයා. පොඩි එකෝ.., උඹ අහල තියේද මේ කවිය.."
සියදෝරිස් කීවෙ උගුරෙ රැල් බුරුල් ඇරල කවියක් කියන්ට සූදානං වෙන ගමන්..
"අහගනිංකො මේක.." 

                         පෙරකාලේ කරපු අකුසල්වල අප     ලා
                         මේ කාලේ විඳිති දුක් පැල්වලට වෙ   ලා
                         රජකාලේ පටන් පුරුදුව පැල් රැක     ලා
                         ලොකු රාලේ කියන් පැල්කවි තෝරා ලා

"මගේ හේන ගාවින්ම වගේ තිබ්බෙ සූරසේනයගෙ හේන. ඌත් කවි කියන්ට හපනා. මායි ඌයි පැල් රකිනකොට තරඟෙට පැල කවි කියාගත්තා."
                          දුකින් දුකින් මම පැලපිට උන්කල     ට
                          කිරලෙක් ඇවිත් බය ගැන්නුවයි එවි   ට
                          අනිච්චන් කිරලො මා බය ගැන්නුව    ට
                          හෙට වෙනදා දඩ පමුණවයි කිරලා     ට

"නිදිමත යන්ටත් එක්ක මං ඕම සීපදයක් කිව්වාම සූරසේනයත් ඒකට හරියන්ට එකක් කියනව"

                        මගේ රැලේ එක කිරලෙක් අඩු බැවි     න
                        අඬා ගියෙමි උඹ සිටිනා පැල උඩි         න
                        ඒ වරදට දඩගනිතොත් මා අති             න
                        අනිත් ගමන එන්නෙමි උඹෙ පැල උඩි  න

"ගුණපාලයො.., උඹත් කියාන්කො බලන්න පැල් කවියක්"
සියදෝරිස් ගුණපාලයට කීවා.
"ඕං එහෙනං අහගනිල්ලකො.."

                         කැලේ ගොසින් ඉනි කැපුවා කැත්ත     දනී
                         වෙලේ ගොසින් ඉනි හැදුවා නියර        දනී
                         පැලේ ගොසින් පැල් ලැග්ගා පැදුර       දනී
                         මෙදා පැලේ පැල් ලැග්ගා දෙවියො      දනී

ගුණපාලය සීපදය අහවර කරනවත් එක්කම සියදෝරිස් අත්ත තව සීපදයක් කියන්ට පටන් ගත්තා.

                         අඹුවට බයේ ගෙදරින් යයි පැල උඩ     ට
                         ඌරට බයේ නොබසියි මැරුවත් බිම    ට
                         ඒකට මොකද තව පුරසාරම් එම          ට
                         මූලට හොඳයි හැඳ නැතුවම පටවන්      ට

ඒ කවියට කඩ පිලේ හිටිය පොඩි එවුන්ට හිනා..
"අදනං මෙතන කවි මඬුවක් වෙන්ටයි යන්නෙ"
පොඩි මැණික ගාවින්ම බිම ඇන තියා ගත්තු එතනා කීවා.

"ඕං එහෙනං මේ ටිකත් අහගනිල්ලා.." සිරිපාලයත් බලාගෙන හිටියෙ සීපදයක් කියන්ට.
                         
                         අහස තනිවේද විදුලිය කෙටුවා           ම
                         පොළොව තනිවේද මම බිම බැලුවා    ම 
                         මූද බොරවේද ගොඩරැල ගැසුවා         ම
                         සිතේ දුක යාද දවසක් ඇඬුවා             ම

"ඕං බලහං මායියයි දරු පැංචො ටිකයි ගෙදර තනියම දාල පැල් රකින්ට ආපු දුක ඒ සීපදේම තියනවා.".. සියදෝරිස් අත්ත කීවා.

                         දනවා පපුව සිහිවෙනකොට අම්ම          මගේ
                         එනවා කඳුළු නෙත්දෙක රතුවෙලා         යුගේ
                         වෙනවා මෙහෙම කල් ලැබුනම සෙනසුරු ගේ
                         මොනවා කියා සිත සනසා ගන්ද            මගේ 

                         බුලත් කඩන්නේ නැටි අල්ල අල්        ලා
                         පුවක් කඩන්නේ නැටි සොල්ල සොල් ලා
                         වඳුරො පනින්නේ පිණි සොල්ල සොල්ලා
                         මගෙ පුතු අඬන්නේ ඉව අල්ල අල්      ලා

මෙච්චර වෙලා නිස්සබ්දව හිටිය පුංචි බණ්ඩත් ඈත කන්ද උඩින් පායගෙන එන හඳ දිහා බලාගෙනම කීවා. හඳ පායනව කියන්නෙ දරුමල්ලො ටික ගෙදර තනිකරල දාල පැල් රකින්න යන්න වෙලාව හරි කියන එක.

"නිදිමතක් කාංසියක් පාළුවක් දැනෙන්න නොදී රෑට පැල උඩට වෙලා හේන ආරක්සා කරගන්න පිහිට උනේ ඔය එවෙලෙට ගොතන පැල් කවි ටික තමා." සියදෝරිස් අත්ත කීවෙ තවත් පැල් කවියක් කියල.

                        අහසේ තරුසේම ගොවිතැන් කරන්     නේ
                        පොළොවේ වැලිසේම බෝගත් ඉසින් නේ
                        මගෙ හේනමයි ඌරට පෙණෙන්        නේ
                        විස්ණු සමන් දෙවියෝ නඩු බලන්      නේ

"හා හා දැන් ඉතින් ගෙවල්වලට පලයල්ලා..ගොම්මනත් වැටීගෙන එනවා." සියදෝරිස් අත්ත කීවෙ බංකුවෙන් නැගිටින ගමන්.
"පොඩි මැණිකෝ., ඔන්න එහෙනං මතක් කරල පොළොස් ඇඹුලක් හදාන් ඈ. උඹෙ පොළොස් ඇඹුල එක්ක කළු ගලක් උනත් කෑවහැකි බොල".. 
                        
                        සුවඳනැති මලක් පිපුනයි අපෙ වත්     තේ
                        සුවඳ නැති නමුත් ලෝකෙට රුව ඇත්තේ
                        එකයි දෙකයි තුන හතරයි එක ඉත්     තේ
                        එරබඳුමලට විතරයි බඹරිඳු නැත්        තේ

සියදෝරිස් අත්ත ගෙදෙට්ට හෙමින් හෙමින් යන ගමන් කියාගෙන ගියා..

ඒත් එක්කම අප්පුවගෙ කඩේ පරණ රේඩියෝ එකේ අමරදේව මහත්තයගෙ සින්දුවකුත් යනව ඇහුණා. අප්පුව සද්දෙ පොඩ්ඩක් වැඩි කරේ එක අතකින් තාලෙ අල්ලන ගමන්මයි. 






  


























 

September 23, 2014

ඇලස්කන් සිහිනය හඹා ගිය සංචාරකයා..

ඒ 1992 අගෝස්තු මාසයයි.. ශීත කාලය අවසන්ව හාත්පසම හරිත පැහැයෙන් බබළමින් තිබූ සුන්දර ඇලැස්කාවේ වනගතව එහි දර්ශනීයත්වය රසවිඳි ඔහුගේ දෑස් ඒ වනවිට ඇස්පිල්ලමක්වත් නොගසා, ඔහුට නවාතැන් දුන් වනමැද තිබී හමුවූ අබලන් බස් රියේ ජනේලය තුලින් නිල්වන් අඹර දෙසට මානා තිබුණි. ඔහු අසල වැටී තිබුණු ඔහුගේ දිනපොතේ අන්තිමට සටහන් කර තිබුණේ "Beautiful Berries" යනුවෙන් පමණි. ඒ අසලම විවිධ පැළැටි වර්ගවල විස්තර සහිත පොතක් ද ඔහුව මරණයේ ද්වාරය කරා යැවූ wild potato ශාකයක ඵල කිහිපයක්ද විසිරී තිබුණි. මද සුළඟට සලිත වූ ගස්කොළන් හැර සියල්ල නිශ්චලය..

1990 දී ඇමරිකාවේ Emory විශ්වවිද්‍යාලයේ ඉගෙනුමෙන් පසු ඔහුගේ එකම අරමුණ වූයේ මුදල් සහ මිනිසුන්ගෙන් සඳහටම වෙන් වී තම මුළු ජීවිතයම ත්‍රාසජනක සංචාරයන් සඳහා කැප කිරීමයි. ඔහු ළඟ ඉතිරි කරගත් ඩොලර් 24000 ක මුදල චෙක් පතක් මගින් OXFAM නම් වූ දිළිඳුන්ගේ කුසගින්න නිවාලන අරමුදලක් සඳහා පරිත්‍යාග කෙරුණි. ග්‍රීෂ්ම සෘතුවේ එක් දිනයක ඔහු තම පවුලෙන් සහ මුළු සමාජයෙන්ම රහසේම නික්මව ඔහුගේ පැරණි Datsun රථය කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇරිසෝනා සහ දකුණ ඩකෝටා ව හරහා පදවමින් සිටියේ කිලෝමීටර 6864 ක් දුරින් පිහිටා තිබූ සුන්දර ඇලස්කන් සිහිනය සපුරා ගැනීමටයි. 

කෙසේ හෝ එක් රාත්‍රියක ඔහුටත් ඔහුගේ ගමන් සගයා වූ කාර් රථයටත් සුළු විවේකයක් ලබා ගනු වස් ගං ඉවුරක රථය නවතා පිටිපස අසුනේ නිදි කිරමින් සිටි ඔහු තිගැස්සී අවදි වූයේ ක්ෂණික ගං වතුරක රළ පහරකටය.
අබලන් වූ තම Datsun රථය අතහැර ඔහු තම සංචාරය ඇරඹුවේය. 
විසල් වනාන්තර, ගංගා ඇළ දොළවල්, කඳු ගිරි ශිඛර සහ නොයෙකුත් මිනිසුන් වෙසෙන පෙදෙස් මැදින් ඔහු සංචාරය කළේය. අතරමගදී කුළුපග වූවෙකු "ඔබේ පවුල කොහෙද ජීවත් වන්නෙ..ඔවුන් මොනවද කරන්නෙ ?" යැයි ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ "මට තවදුරටත් පවුලක් කියා දෙයක් නොමැත" යන්නයි.

සුළු මුදලක් සොයාගැනීම සඳහා ඔහු ඔහුගේ දිගු සංචාරය අතරතුර සුළු රැකියාවල නිරත වුණි. කාලයත් සමඟ බොහෝ දුර ගෙවා දමමින්, ප්‍රාන්ත දේශ සීමා පසු කරමින් ඔහු ඇලස්කාවට ළං වෙමින් සිටියේය. එක් අවස්ථාවක රහසේම දේශ සීමාවක් පසු කරන්නට උත්සහ කරමින් සිටිද්දී ඔහු පොලිසියට අසු වුවද ඔහුගේ තත්වය තේරුම් ගත් ඔවුන් ඔහුව මුදා හැරුණි.

Ronald Franz නම් වූ මහල්ලෙක් ඔහුට හමුවුණි. ඔහුගේ ජීවිත කතාවට සවන් දෙන රොනල්ඩ් ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන යාමට පොරොන්දු වුණි. රොනල්ඩ් අත්කම් ශිල්පය ප්‍රගුණ කළ අයෙකු විය. ඔහු රොනල්ඩ් නම් මහළු මිත්‍රයාගෙන් අත්කම් ශිල්පය ඉගෙන ගැණුනි. ඔහු තමන් සඳහා ඉණ පටියක් සාදවාගෙන එහි ඔහු සංචාරය කළ පෙදෙස් සහ සිහිවටන කැටයම් කළේය. 

  
පවුලක් හෝ නෑදැයින් කිසිවෙකු නොමැති අවුරුදු 80 ක් වයසැති ඒ රොනල්ඩ් නම් වූ මහල්ලා ඔහුත් සමග දැඩි මිත්‍රත්වයක් ඇති කර ගැණුනි.
ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන ගොස් ඔහුගෙන් නික්ම යන මොහොතේදී "ඔබට මගේ මුණුබුරෙක් වී මාත් සමග ජීවත් වෙන්නට බැරිද ?" යැයි ඇසූ විට "අපි ඒ ගැන ඇලැස්කාවට ගිහිං ඇවිත් කතා කරමු.." යනුවෙන් පැවසූවත් ඔහු කවදාවත් නැවත නොපැමිණුනි.  

අවසානයේදී ඔහු 1992 අප්‍රේල් මාසයේදී Fairbanks සහ The Stampede Trail කඳු ශිඛරය ඔස්සේ ඔහුගේ එකම සිහිනය වූ සුන්දර ඇලැස්කාවට ළඟා වුණි. Teklanika නදිය තරණය කිරීමෙන් පසු ඇලැස්කාවෙ සුවිසල් වනයේ සැරිසැරූ ඔහුට Fairbanks නගරයේ අබලන් වූ බස් රථයක් වනය මැද තිබී හමුවුණි. ඔහු එය හැඳින්වූයේ Magic Bus ලෙසටයි. තම ස්ථීර නවාතැන කරගත් අබලන් බස් රථය ඔහුට සුරපුරයක් විය. 

හුදෙකලාවම තම ජීවිතය ඇලැස්කාවෙ මාස කිහිපයක් ගෙවා දැමූ ඔහු නැවතත් තම ත්‍රාසජනක සංචාරය ඇරඹීමට තීරණය කෙරුණි. අවාසනාවන්ත ලෙස ඔහු ඇලැස්කාවට පැමිණීම සඳහා තරණය කෙරූ Teklanika නදිය පිටාර ගලමින් තිබුණි. රෞද්‍ර සැඩ පහර ඔහුට කුරිරු වුණි. ඇලැස්කාවෙන් පිටවීමට නම් Teklanika නදිය තරණය කළ යුතුය. අවසානයේදී රෞද්‍ර සැඩ පහර කීකරු වන තෙක් තවත් කාලයක් ඇලැස්කාවේම ගත කිරීමට ඔහු තීරණය කළේය. දින ගෙවී යද්දී කෑම හිඟ වීම හේතුවෙන් ඔහු ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගැණුනි. 
අවසානයේදී ඔහු කුසගින්න නිවා ගැනීම සඳහා නොයෙක් ඵල වර්ග සොයමින් වනයේ ඇවිද්දේය. ඔහු නොදැනුවත්වම wild potato ශාකයක ඇල්කොලයිඩ නම් විෂ තැවරුණු ඵල කෑමට ගෙන තිබුණි. තම සිරුර ක්‍රමයෙන් මරණය කරා ඇදී යන බව ඔහුට දැනුණි. කිසිවක් කර කියා ගත නොහැකිව සුවිසල් වනයක් මැද අබලන් වූ බස් රියක ඔහු මරණය එන තෙක් බලා සිටියේය. ඩොලර් 24000 ක මුදලක් දිළිඳුන්ගේ කුසගින්න නිවාලීමේ අරමුදලක් වෙත පරිත්‍යාග කෙරූ  
Christopher McCandless නම් වූ ශ්‍රේෂ්ට සංචාරකයා ඒ වන විට කුසගින්න හේතුවෙන් අබලන් බස් රියක් තුළ මිය ගොස් සිටියේය. ඒ 1992 අගෝස්තු මාසයයි.  
ඔහුගේ මරණයෙන් දවස් 19 කට පසු ඇලැස්කාවට පැමිණ සිටි දඩයක්කාරයන් පිරිසක් විසින් ඔහුව Magic Bus රථය තුල සිට සොයා ගැණුනි. ඔහු විසින් සටහන් කළ වචන කිහිපයක් ඒ අසල තිබී හමුවිය.

" I have had a happy life and thank the Lord. Goodbye and may God bless all!"
_______________________________

Christopher McCandless ගේ කැමරාවේ තිබී ඔහු විසින් ලබාගත් self portrait කිහිපයක් හමු වුණි..





 _______________________________

Magic Bus..





   
_______________________________

1996 දී Christopher McCandless ගේ දිනපොත සහ සටහන් පාදක කරගෙන Jon Krakauer විසින් පොතක් ලියැවිණි. 2007 වර්ෂයේදී Sean Penn විසින් එම පොත පාදක කොටගෙන 
 Christopher McCandless ගේ ශ්‍රේෂ්ට සංචාරය Into the Wild නමින් සිනමාවට නැඟුවේය.

                                                             ♥

 

      
    

 


  




Related Posts Plugin for WordPress, Blogger...