February 5, 2015

කයිමන් දොරකඩ | Kaiman Gate


"පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා
ගෑස් පහට ළං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපං මං එනතුරු සෙලෙස්තිනා"

එදානං සෙලෙස්තිනා එතෙනට වෙලා බලං හිටියට අදනං කයිමන් දොරටුව කියල එකක් නෑ.. තියෙන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරපු ඝණ්ඨාර කුළුණක් විතරයි. :)
ඉතිහාසයට, අතීත නටබුන් වලට කවදත් මනාප සංචාරකතුමා ඔය ඝණ්ඨාර කුළුණ බලාගෙන එන්නත් එක්ක ඊයෙ පෙරේදා දවසක කොටුවෙ රවුමක් දැම්මා. 

ලංකාව පළමු වතාවට පිට දේශක්කාරයින්ගෙ යටත් විජිතයක් බවට පත්වුණේ පෘතුගීසි පාලනය යටතෙ. පරංගින්ගෙ ප්‍රධානතම බලකොටුව වුණේ කොළඹ කොටුව. අද හඳුන්වන ඕල්කට් මාවත සහ අවට ප්‍රදේශය වටකරමින් පෘතුගීසින් කබොක් ගල් වලින් විශාල ප්‍රකාරයක් බැන්දා. ඒ විශාල තාප්පයෙන් කොටු වුණ කොටස තමයි කොටුව විදිහට හැඳින්වුනේ. තාප්පයෙන් පිටත පිටකොටුව. පිටකොටුවෙ ඉඳන් එන කෙනෙකුට කොටුවට ඇතුල් වෙන්න තිබ්බෙ එකම එක මාර්ගයක්, නැත්නම් දොරටුවක් විතරයි. ඒ තමයි කයිමන් දොරටුව. 
මේ කයිමන් ගේට්ටුව විවෘත වුණේ ශාන්ත ජෝන් ඇළ මාර්ගය (St. John's Canel) මතින් ඉදිවුණ පාලමට. පසු කාලයකදි ඉංග්‍රීසින් විසින් මේ කොටුව වටා තිබුණු ප්‍රකාරය කඩා දමලා ශාන්ත ජෝන් ඇළ සහ ඒ අවට පහත් බිම් පුරවල කොටුව සහ පිටකොටුව එකම භූමියක් විදිහට පත් කරා. 

                              ඉංග්‍රීසින් විසින් කොටු බැම්ම කඩා දැමීම (මූලාශ්‍රය - lankapura.com)

ඒ නිසා අද ඉතිරිවෙලා තියෙන්නෙ කයිමන් දොරටුව අසල තිබුණු සුවිශාල ඝණ්ඨාර කුළුණ විතරයි.


 පිටකොටුව ප්‍රධාන වීදියෙ ඉඳන් ඕල්කට් මාවත දෙසට 4 වෙනි හරස් වීදිය පටන් ගන්න තැනම තමයි මේ ඝණ්ඨාර කුළුණ පිහිටලා තියෙන්නෙ.


 කාලය කොයිතරම් දේවල් වෙනස් කරනවද..

පෘතුගීසින් නම් මේ දොරටුව හැඳින්නුවෙ "පුර්ටෙ රෙයිනා" හෙවත් "බිසෝ දොරටුව" යන නමින්ලු. ලන්දේසී යුගය වෙනකොටත් මේ පවුර සහ දොරටුව ඒ විදිහටම තිබුණා. ලන්දේසි මේ දොරටුව හැඳින්නුවෙ කයිමන් දොරටුව නමින්. ඒකට විශේෂ හේතුවක් තිබුණා. ඉහත සඳහන් කරපු ශාන්ත ජෝන් ඇළ බේරෙ වැවට සම්බන්ධයි. බේරෙ වැවේ හිටිය කිඹුලන් මේ ඇළ මාර්ගය දිගේ ඇවිත් මේ දොරටුව අසල හිඳිමින් කුණු කසල ආදිය කා දමමින් ජීවත් වුණාලු. හැම වෙලාවෙම කිඹුලන් ගැවසුණු තැනක් නිසා මෙතැනට ලන්දේසි බසින් Kaimaan Port විදිහට හඳුන්වන්න පටන් ගත්තා. ලන්දේසි බසින් කයිමාන් කියන්නෙ කිඹුලන්ටලු.  

මේ සුවිශේෂි දොරටුව පිහිටි තැන අදට ඉතිරිවෙලා තිබෙන මේ ඝණ්ඨාර කුළුණ මීටර් හතරක් විතර උස ආරුක්කු හැඩයෙන් යුක්ත එකක්. ඝණ්ටාරය බුවනෙකබාහු රජතුමා විසින් කතෝලික පියතුමන්ලගෙ ඉල්ලීමක් පිට වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටෙ ප්‍රදේශයෙ හදපු ශාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමන්ට කැප කරන ලද දේවස්ථානයකට අයිති ඝණ්ටාරයක්. මේ ඝණ්ඨාරය ඒ කාලෙදි එදිනෙදා වාදනය වුණේ රාත්‍රී කාලයෙදි කයිමන් දොරටුව වහන අවස්ථාව දැනුම් දෙන්නට.

නිල වශයෙන් අවසන් වතාවට මේ ඝණ්ටාරය වාදනය වෙලා තියෙන්නෙ බ්‍රිතාන්‍ය යුගයෙදි. ඒ 1926 ජනවාරි 21 වෙනිද පස්වැනි ජෝර්ජ් රජුගෙ අභාවය දැනුම් දීමටත්, ජනවාරි 28 ඔහුගේ දේව මෙහෙය වෙනුවෙනුත් සහ 1945 අගෝස්තු 14 වැනිදා දෙවන ලෝක යුද්ධයෙ අවසාන කාලයෙදි ජපානය යටත් වුණු දිනයෙදි.

ඒ කාලයෙ අධිකරණය මගින් වරදකරුවන් වුණු ඇතැම් අයව එල්ලා මරන ස්ථානයත් තිබිල තියෙන්නෙ කයිමන් දොරකඩ අසල තැනක. මිනීපෙට්ටි වෙළඳාමටත් කයිමන් දොරකඩ ප්‍රදේශය ප්‍රසිද්ධ වුණාලු.

බ්‍රිතාන්‍ය යුගය වෙනකොට මේ කයිමන් දොරකඩ අසල ප්‍රදේශය වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. ලන්දේසි යුගයෙදි ඔවුන්ගෙ කාසි මුද්‍රණය කර තිබෙන්නෙත් ඒ අසල තිබූ මුද්‍රණාගාරයකින්. (VoC)    

"කොළඹ කොටුවෙ කොටු දොරකඩ නෝනච්   චී
   නුඹ බලන්ට මා එනකොට රෑ වෙච්                  චී 
  නුඹට ගෙනා තල සූකිරි දිය වෙච්                     චී
  අදට පිනට දොර ඇරපං නෝනච්                     චී

තවත් රස්තියාදුවකින් හමුවෙමු.. :)

December 4, 2014

ඇඹුල්ගමට ගිය ගමන

ගොඩ දවසකින් කොහෙවත් ඇවිදින්න යන්න බැරි වුණා. ෆොටෝග්රැෆි ක්ලාස් තියෙන දවස්වලටනං ක්ලාස් ඇරිල එනකොට කොහේ හරි පොඩි රස්තියාදුවක් ගහල තමා එන්නෙ. ගාල්ලෙ යන්න කියල හිතා හිටියත් තිබුණ අසනීප තත්වයත් එක්ක යන්න බැරි වුණා. ගොඩ කාලයක ඉඳං තියෙන ආශාවක් තමා මාර්ටින් වික්‍රමසිංහ මහත්මය ජීවත් වුණු කොග්ගල ප්‍රදේශයෙ සංචාරයක නිරත වෙන එක. ළඟදිම යන්න තමා හිතං ඉන්නෙ..! 

කොහොමහරි දවසක් හැන්දෑකොරේක හිතුණා ඇඹුල්ගම පුරාණ රජමහා විහාරයත් එක්ක තියෙන කන්ද නගින්න ඕනය කියල. ඇඹුල්ගම තියෙන්නෙ කඩුවෙල, ඒ කියන්නෙ අපේ ගෙවල් හරියෙ ඉඳන් කිලෝමීටර් 10 ක් විතර දුරින්. කොළඹ ඉඳන්නං අවිස්සාවේල්ල පාරෙ ආවොතින් කිලෝමීටර් 22 ක් වගේ ඇති. මහාලොකු ගමනක් නොවුනට ඒ ගැන පොඩියට බ්ලොග් එකේ සටහනක් දාන්න හිතුණා. .

මං කලින් කඳු නැගිල්ලකදි හඳුන්වල දීපු චමත් කියන හාදයත් මේ ගමනට එක් වුණා. ගෙදරින් පිටත් වෙද්දි නං වැස්සක පෙර සළකුණු අහසෙ පේන්න තිබ්බා. ඒත් වැස්ස වළාවක දෙයියො අපට අනුකම්පා කරා..
ඓතිහාසික වශයෙන් ඇඹුල්ගම පුරාණ විහාරය පිළිබඳ ගොඩක් කරුණු තියෙනවා. විශේෂයෙන්ම මේ කන්ද ආශ්‍රිතව පිහිටල තියෙන ගල් ගුහා.
දැන් ඇඹුල්ගම රජමහ විහාරය නමින් හැඳින්වුවට පුරාණ කාලෙදි මේ විහාරය හඳුන්වල තියෙන්නෙ ඇඹලව රත්ගල් වෙහෙර නමින්. ඒ කියන්නෙ ඉස්සර ඇඹුල්ගම ග්‍රාමයට කියල තියෙන්නෙ ඇඹලව කියල. කාලයත් එක්ක ඇඹලව, ඇඹුල්ගම විදිහට පරිණාමය වෙන්න ඇති. 
ඇඹුල්ගම හංදියෙ ඉඳන් මීටර් 500 ක් විතර තියෙන දුර ඇවිදං ගිහිල්ල අපි කන්ද නගින්න පටන් ගත්තා. 

කන්ද නගින්න පටන් ගන්නකොටම වගේ තමයි මේ විදිහට මිහිඳු මහරහතන් වහන්සේගෙ ලංකාගමනයෙ අවස්ථාවක් පිළිම විදිමට නිර්මාණය කරල තියෙනව දකින්න පුළුවන් වෙන්නෙ.

                                                                       (අන්තර්ජාලයෙනි)       
ගල් පඩි වලට අඩිය තිය තියා ටික දුරක් ගියාම පුංචි වැලි මළුවක් හමුවෙනවා. මෙතැන පසු කාලීනව ඉදි කරපු විශාල හිටි පිළිමයක් තියෙනවා.   

ඒ වගේම සැතපෙන පිළිමයකුත්, සමාධි බුදු පිළිමයකුත් දකින්නට පුළුවන්. විශාල හිටි පිළිමය හැරුණාම අනෙකුත් පිළිම නං මට හිතෙන්නෙ පෞරාණික පිළිම. දැන් ප්‍රතිසංස්කරණය කරල තියෙනවා. 


සැතපෙන බුදු පිළිමයට තරමක් එහායින් දැකගන්න පුළුවන් තවත් හිටි පිළිමයක්.

         
සංචාරකයට හිතෙන විදිහට ඒ ආනන්ද හිමියන්ව වෙන්න ඕනෙ නිරූපණය කරල තියෙන්නෙ. එතකොටම මතක් වෙන්නෙ ගල් විහාරයෙත් සැතපෙන පිළිමය අසලින්ම තියෙන පිළිමය. 
          (ගල් විහාරයෙ තියෙන පිළිමය)


ගොඩක් විද්වතුන්ගෙ අදහස ඒ බුද්ධ පරිණිර්වාණයෙන් ශෝකයට පත් ආනන්ද හිමියන්ගෙ පිළිමයක් බව. මේ පිළිමයෙත් තියෙන්නෙ ගල් විහාරයෙ පිළිමයෙ තියෙන මුද්‍රාවමයි..



                     

ඇඹලව රත්ගල් විහාරය ආශ්‍රිත ඓතිහාසික කතා පුවතුත් ගොඩක් තියෙනවා. ඉතිහාසයෙ සඳහන් වෙන විදිහට දුටුගැමුණු රජතුමාගෙ රාජ්‍ය කාලයෙ හිටිය මලියදේව මහරහතන් වහන්සේ කාලයක් කැළණි ගඟ ආශ්‍රිත ඇඹුල්හෙළු නම් පෙදසක වැඩ සිටියලු. ඒ පෙදෙස විදිහට ගොඩක් දෙනා පිළිගන්නෙ මේ ඇඹුල්ගම කන්ද ආශ්‍රිත ප්‍රදේශය. ඒ වගේම දඹදෙණියෙ රාජධානියෙ රජකම් කරපු 3 වන විජයබාහු රජතුමා ඒ කාලෙදි සිදුවුණු කාලිංඝ මාඝ ආක්‍රමණයට එරෙහිව තමන්ගෙ සේනා සංවිධානය කරපු ස්ථානයක් හැටියටත් ගොඩක් පාලකයින්ට හදිසි ආක්‍රමණ වලින් සැඟවෙන්න යොදාගත්තු ස්ථානයක් හැටියටත් මේ ප්‍රදේශය ප්‍රසිද්ධයි. අදටත් කටාරං කොටපු ගල්ගුහා ගොඩක් දැකගන්න පුළුවං. 

කන්ද උඩට නගින්න තියෙන්නෙ විශාල පර්වතයක් අයිනෙන් වගේ. දැන්නං යකඩ වැටවල් සවි කරල තියෙන හන්ද අවධානමක් නෑ. කොහොමහරි වැඩි වෙලාවක් යන්න කලින් අපි කන්ද උඩට ආවා. මුළු පළාතම හොඳට පේනවා එතෙන්ට. පැත්තකින් කැළණි නදියත් ගලාගෙන යනවා.  කන්දක් උඩට නැග්ගොත් මගෙ කැමරා පොඩ්ඩෙන් පැනරොමාවක් වරදින්නෑ ඉතින්.. :)



අපි කලින් දවසක නැග්ග කොරතොට කන්දත් මෙතෙන්ට පෙනුණා. 

                                           (මැදින් පොඩියට පේන්නෙ ඒ කන්ද)



තවත් ටික වෙලාවක් ඉඳල අපි ආපහු එන්න පටන් ගත්තා.
තවත් පුංචි රස්තියාදුවක නිමාව...

Travelling is almost like talking with men of other centuries..
                                                     ~Rene Descartes~
__________________
කාලයක් බ්ලොග් කියෝ කියෝ ඉඳල ඊට පස්සෙ මොනවහරි ලියනව කියල බ්ලොග් එකක් අටෝගත්තා.. 
ඉතිං අද බබාගෙ පළවෙනි උපන්දිනේ.. !! :D 














  

 


Related Posts Plugin for WordPress, Blogger...