June 1, 2014

කියවිල්ල | Reading


මැයි මාසයටම ලිව්වේ එක ලිපියකි. බ්ලොග් එක පාළුවට ගොහිංය. අන් කිසිවක් නිසා නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ගේ 'වානේ පන්නරය ලැබූ හැටි' කෘතියේ දෙවැනි කොටස හම්බවීමයි. එය මා කවදත් ප්‍රිය කරන රුසියානු කෘති පරිවර්තකයෙක් වන දැදිගම වී.රුද්‍රිගු ගේ අනුවාදයකි.
මෙය විචාරයක් නොවේ..මට විචාර ලිවීමට දැනුමක් නැත.
මුළු ලෝකයෙන්ම මා වෙන් වී හුදෙකලා වන මොහොතක් ඇත. ඒ පොතක් කියවන විටයි. 
මා වඩාත් ප්‍රිය කරන්නේ ලාංකීය ඉතිහාසය ගැන පොත් වලටය. එහි ආරම්භය රොබට් නොක්ස් ගේ 'එදා හෙළ දිව' ය. ලංකාව ගැන ලාංකීය නොවන විදෙස් ලේඛකයන් විසින් ලියූ පොත් මට අගනා වස්තුවක්ය. වෙනස් රාමුවකින් ලංකාව ගැන විස්තර කරන විට එය වඩාත් රසවත්ය. එදා හෙළ දිව එහි මුදුන් මල් කඩකි.

"උගුල් ඇටවීමත් හන්දි වෙදකමටත් ඔවුන් තරම් දක්ෂයෝ මුළු ලෝකයෙහිම නැත්තෝය. බතකුත් මාළු දෙකකුත් උදවු වන්නට කලියෙන් ඔහුට පත්තුවක් ගල්වා බිදුණු හන්දියක් ප්‍රකෘතිමත් කළ හැකිය."                                                  -එදා හෙළ දිව-
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව, විල්හේල්ම් ගයිගර් ගේ ලංකා ගමන ඉන් කිහිපයකි. සංචාරය පිළිබඳ පුදුම උණකුත් ඇති වූයේ මේ නිසාමය. 

ඒ ගැන අපේ රටේ ලේකඛයන් විසින් ලියූ පොත් කිහිපයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'කළුනික සෙවීම' මා වඩාත් ආසාවෙන් කියවූ පොතකි. එස්.පී.එස්. වීරසිංහ නැමැති සොඳුරු සංචාරකයා විසින් ලිවූ හුළං හොරු, මුනි සිරිපා සිඹිමින්නේ වැනි පොත් පෙළත් අගනේය. 

ඒ පොත් මේ පොත් කියා විශේෂයක් නැත. අහුවෙන ඕන පොතක් මා කියවයි. ඒ කාලෙ නොහොත් හිච්චි කාලෙ :P කියවිල්ල පටන් ගත්තේ වික්‍රමසිංහයන්ගේ මඩොල් දූවෙනි. ඒ කාලෙ වීරයා උපාලි සහ ජින්නා ය. නැවත නැවත කියවමින් ඒ පොත අනේක වාරයක් රසවින්දේ ය. මා හිතාන උන්නේ මඩොල් දූව යනු කතාවෙ එන ස්ථානයක් පමණක් බවය. දවසක් අපි චාරිකාවක් යන අතරමගදී තාත්තා බෝඩ් ලෑල්ලක් පෙන්නා "අර තියෙන්නෙ මඩොල් දූවට යන පාර" කියා පුංචි අතුරු පාරක් පෙන්නුවේ ය. හුටා..! මඩොල් දූව කියන්නෙ ඇත්ත තැනක්ද..!? සතුට ඉයවහ ගියේය...!!! 
තාමත් මට වික්‍රමසිංහයන්ගේ පොත් සියල්ලම කියවා නිම කිරීමට බැරි වී තිබේය. කියවා ඇත්තේ ගම්පෙරළිය,උපන්දා සිට, යුගාන්තය, අපේ ගම, කලි යුගය, කළුනික සෙවීම, විරාගය හා මඩොල් දූව පමණිය. වික්‍රමසිංහයන්ගේ පොත් වලින් මා හට අමතක නොවනම චරිතය විරාගයෙහි අරවින්ද ය. 

 මහගමසේකරයන්ගේ ද පොත් කිහිපයක් කියවා ඇත. හෙට ඉරක් පායයි, ප්‍රබුද්ධ, තුංමංහංදිය ආදී පොත් ඉන් මා කියවූ වඩාත් රසවත් ඒවාය. මහගමසේකරයන්ගේ කාව්‍ය කෘති වල ඇත්තේ වචනයට නැඟීමට බැරි අමුතුම සුන්දරත්වයකි. 

"වසා දමමි මුළු මහත් අතීතය
 වසා දමමි අනාගතය
 වර්තමානය පමණි ජීවිතය

 එකෙනෙහිම අතීතය හොරෙන් විත්
 පෙනෙන නොපෙනන දුරට
 පෙන්වයි ඇඟිල්ල දික් කර
 අර බලපන් අර බලපන්
 අනාගතේ සොඳුරු සිහින"

මෑතකදී මා දුටු අන්තර්ජාල ලිපියක සඳහන් වූයේ පිටරටක එක්තරා පොත් කියවන මිනිසෙකු තම නිවස ඉදිරිපට තැපැල් පෙට්ටියක් වැනි පොත් කිහිපයකින් පිරවූ ජංගම පුස්තකාලයක් තනා ඇති අයුරුය. ඕනෑම කෙනෙකුට කැමති පොතක් ගෙන ගොස් කියවා නැවත එහි තැබීමට හැකිය. මෙවැන්නක් වර්තමාන ලංකාවෙ සිදු කරහොත් සිදුවන දේ මා නොදනී...!?!

මගේ එක් පුරුද්දක් වන්නේ කියවන සෑම පොතකම නම හා යම්කිසි විශේෂ දෙයක් වී නං එය කුඩා දිනපොතක සටහන් කිරීමය.  එය මා හට ආශ්වාදයක් ගෙන දෙන්නකි. සමහර වෙලාවට පුස්තකාලයෙන් ගෙනෙන පොත් කියවන්නේම නැතුව ආපසු භාර දෙන අවස්ථාද ඇත. ඒ ඊට වඩා රසවත් පොතක් මිලදී ගත් විට හෝ හම්බුණු විටය.  

තවත් නොයෙකුත් රසවත් වටිනා පොත් කියවා ඇතත් ඒවා සටහන් කිරීමෙන් ලිපිය දිග්ගැස්සෙයි. 
කුමක් හෝ ලියා තැබීමේ අරමුණින් අරමුණක් නැතුව ලිවීමට පටන් ගත් පෝස්ටුව අවසන් වූයේ මෙසේය. වචන ලස්සනට හසුරුවා ලිපි ලිවීමට හැකියාවක් මට නැතය... :P
නොක්ස්, වික්‍රමසිංහයන්, මහගමසේකර, ඩොයිල්, මක්සිම් ගෝර්කි ආදී එකී නොකී ලේඛකයන් ඔස්සේ ඇවිත් දැන් මගේ හිත නතර වී තිබෙන්නේ පාවෙල් කොර්චාගින් ළඟය...රුසියාවේය...බොල්ෂෙවික් සංවිධානයේය..!! 

"The World is a book..., and those who do not travel read only a page..."

So...



May 15, 2014

අනුරපුර චාරිකාව | Anuradhapura Trip

ගිය සිකුරාද උදේම අපි ලැහැස්ති වුණේ අනුරාධපුරේ යන්න. පාන්දරින්ම පිටත් වුණු නිසා වැඩි මහන්සියක් දැනුණෙ නෑ. දවස් දෙක තුනක් අනුරාධපුරේ නවාතැන් අරගෙන නිදහසේ වැඳ පුදාගෙන එන්න තීරණය කරගෙන හිටියත් වෑන් එක කලින් භාර දෙන්න සිද්ධ වුණු නිසා අනිද්ද උදේම ආයි පිටත් වෙන්න තීරණය කර ගත්තා. ඔක්කොම කට්ටිය පහළොස් දෙනයි. 

උදෙන්ම පිටත් වුණු හින්දද මන්ද ටික වෙලාවක් යනකොට අම්බානකට බඩගිනියි. යන ගමන් ගලිගමුව හරියෙ බේකරියකින් පාන් ගෙඩි අටක් ගත්තා. ඇස්වහක් කටවහක් නෑ ඒ පැත්තෙ පාන් ගෙඩියක් රුපියල් හැටයි. :P :P සම්බෝලයි පරිප්පුයි ගෙදරින්ම හදාගෙන ඇවිල්ල තිබුණා. තාත්ත හොඳ තැනක් බලල වාහනේ නැවැත්තුව. 

කොහොමහරි පාන් කෑල්ලක් දෙකක් කන්න පටන් ගන්නකොට,.. මෙන්න රිලව් එන්න පටන් ගත්තා...!! ඕං ඉතිං කන එක පැත්තකින් තියල මං උන්ගෙ පොටෝ ගහ ගහ උන්නා.. :D






කොහොමින් කොහොමහරි අනුරාධපුරේට කිට්ටු කරනකොට නාච්චදූව වැවෙන් නාගෙනම යන්න වාහනේ හැරෙව්ව ඒ දිහාවට. 


නාච්චදූව වැව හදල තියෙන්නෙ දෙවන මුගලන් රජ්ජුරුවො. මේ වැවට වතුර රැස් වෙන්නෙ මල්වතු ඔයෙනුයි, මමිනියාව ඔයෙනුයි. පස්සෙ විජයබාහු රජ්ජුරුවොත් මේ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරාලු.

                                         ඉස්සරහින් ඉන්න එකා වැව් කප්පිත්තා

හොඳට නාගෙන අනිත් ඈයො ලක ලැහැස්ති වෙනකං මං ගියා ඉවුර දිගේ ටික දුරක් ඇවිදගෙන. ඈතින් පොඩියට මිහින්තලේ පේනව.


                                                              කුරුළු දඩයම
ආපහු කට්ටිය හිටපු තැනට මං එනකොට මෙන්න මුං හොඳට කනවා..!
මාත් ඉතිං බත් පිඟානක් සප්පායම් වෙලා තව අයිය කෙනෙක් එක්ක ගියා සොරව්ව එහෙම තියන පැත්තට. 


                                                                 පාලම

                                                   පැනරෝමා

                                                 
නාච්චදූවෙන් පිටත් වෙලා ආපහු අනුරාධපුරේට යන්න පිටත් වුණා..
නාපු ටික කොහෙං ගියාද දන්නෑ ගිනි රස්නෙයි..දාඩිය බේරෙනවා..
අපේ නෑදෑයෙක් හිටිය ගම අනුරාධපුරේ. දැං කොළඹ. ටික දුරක් යනකොට මේක කෑ ගැහැපිය ඔය කඩේ ගාවින් නවත්තන කියල. බැලින්නං ඒ කඩේ මේකා අනුරාධපුරේ ඉන්නකොට හිටපු යාළුවෙක්ගෙ. අපරාදෙ කියන්න ඕන්නෑ ලොකු බීම බෝතල් තුනක්ම නිකං දුන්නා. :P

ඊට පස්සෙ අපි ගියේ ඉසුරුමුණියට. 



මේ කැටයම ක්‍රි.ව. 7 හෝ 8 වන සියවසයට අයත් වෙන එකක්ලු. මහාරාජා ලීලාවෙන් වාඩි වී සිටින මිනිසෙකුයි ඊට පසෙකින් නෙළා ඇති අශ්ව හිසකුයි මේ කැටයමෙන් නිරූපණය වෙනවා. මේ ගැන විවිධ මත තියෙනවා. එක මතයක් වන්නෙ අශ්ව හිසින් ගින්නට අධිපති අග්නි දෙවියනුත් මිනිස් රූපයෙන් වර්ෂාවට අධිපති පර්ජන්‍ය දෙවියනුත් නිරූපණය වෙනවා කියන එක. තවත් මතයක් තමයි හින්දු දේව කතාවල එන කපිල නම් සෘෂිවරයා සහ ඔහුගේ අශ්වයා මෙයින් නිරූපණය වෙනවා කියන එක. 

ඉසුරුමුණි පෙම් යුවල වගේම දුටුගැමුණු රජ පවුල වගේ කැටයම් ගොඩක් කෞතුගාරයෙ තිබුණා.



 ඉසුරුමුණියෙන් පස්සෙ අපි ගියා ශ්‍රී මහා බෝධියට.








 

එදා රුවන්වැලි මහා සෑයට සිවුරු පූජා කරන පිංකමක්..කට්ටියම හොඳට වැඳ පුදා ගත්තා. 














ඊළඟට අපිට රෑට නවතින්න තැනක් හොයාගන්න ඕන වුණා. හොයාගෙන හොයාගෙන යනකොට ශ්‍රී සරණංකර පිරිවෙනේ විශ්‍රාම ශාලාවෙ නවතින්න තීරණය කර ගත්තා. රෑට කෑම ළඟ ගෙයකින් සල්ලි වලට ගත්තා. අපිත් එක්ක හිටිය සමහර ඈයො ඒ ගෙදර හිටිය නංගිලාටත් ඇල්ම බැල්ම දාන්න අමතක කරේ නැහැයිලු. :P කට්ටියටම ආයිමත් හොඳට නාගන්න ඕන වෙලා තිබුණු හන්ද හැන්දෑවෙ ගියා තිසා වැවට. මුළු වැවම මීයට පිම්බ වගේ කිසිම හැලහොල්මනක් නෑ. නිදහසේ නාගත්ත. ආයි ඊළඟ දවසෙත් උදේම නාගන්න එනවා කියල හිතාගෙන අපි නවාතැන්පලට ගියා. බලාගෙන යනකොට වැඳ පුදා ගන්නවට වැඩිය කරල තියෙන්නෙ නාන එක. කොහෙද ඉතිං කොළඹ වැව් තියේයැ.




පහුවදා උදේම තව තැන් වලට යන්න හිතාගෙන හිටියත් වෑන් එක කලිං භාර දෙන්න වුණු නිසා අපි පිටත් වුණා.


                                                     තිසා වැව

ගෙදර යන ගමං...






  
                      






   


Related Posts Plugin for WordPress, Blogger...