December 4, 2014

ඇඹුල්ගමට ගිය ගමන

ගොඩ දවසකින් කොහෙවත් ඇවිදින්න යන්න බැරි වුණා. ෆොටෝග්රැෆි ක්ලාස් තියෙන දවස්වලටනං ක්ලාස් ඇරිල එනකොට කොහේ හරි පොඩි රස්තියාදුවක් ගහල තමා එන්නෙ. ගාල්ලෙ යන්න කියල හිතා හිටියත් තිබුණ අසනීප තත්වයත් එක්ක යන්න බැරි වුණා. ගොඩ කාලයක ඉඳං තියෙන ආශාවක් තමා මාර්ටින් වික්‍රමසිංහ මහත්මය ජීවත් වුණු කොග්ගල ප්‍රදේශයෙ සංචාරයක නිරත වෙන එක. ළඟදිම යන්න තමා හිතං ඉන්නෙ..! 

කොහොමහරි දවසක් හැන්දෑකොරේක හිතුණා ඇඹුල්ගම පුරාණ රජමහා විහාරයත් එක්ක තියෙන කන්ද නගින්න ඕනය කියල. ඇඹුල්ගම තියෙන්නෙ කඩුවෙල, ඒ කියන්නෙ අපේ ගෙවල් හරියෙ ඉඳන් කිලෝමීටර් 10 ක් විතර දුරින්. කොළඹ ඉඳන්නං අවිස්සාවේල්ල පාරෙ ආවොතින් කිලෝමීටර් 22 ක් වගේ ඇති. මහාලොකු ගමනක් නොවුනට ඒ ගැන පොඩියට බ්ලොග් එකේ සටහනක් දාන්න හිතුණා. .

මං කලින් කඳු නැගිල්ලකදි හඳුන්වල දීපු චමත් කියන හාදයත් මේ ගමනට එක් වුණා. ගෙදරින් පිටත් වෙද්දි නං වැස්සක පෙර සළකුණු අහසෙ පේන්න තිබ්බා. ඒත් වැස්ස වළාවක දෙයියො අපට අනුකම්පා කරා..
ඓතිහාසික වශයෙන් ඇඹුල්ගම පුරාණ විහාරය පිළිබඳ ගොඩක් කරුණු තියෙනවා. විශේෂයෙන්ම මේ කන්ද ආශ්‍රිතව පිහිටල තියෙන ගල් ගුහා.
දැන් ඇඹුල්ගම රජමහ විහාරය නමින් හැඳින්වුවට පුරාණ කාලෙදි මේ විහාරය හඳුන්වල තියෙන්නෙ ඇඹලව රත්ගල් වෙහෙර නමින්. ඒ කියන්නෙ ඉස්සර ඇඹුල්ගම ග්‍රාමයට කියල තියෙන්නෙ ඇඹලව කියල. කාලයත් එක්ක ඇඹලව, ඇඹුල්ගම විදිහට පරිණාමය වෙන්න ඇති. 
ඇඹුල්ගම හංදියෙ ඉඳන් මීටර් 500 ක් විතර තියෙන දුර ඇවිදං ගිහිල්ල අපි කන්ද නගින්න පටන් ගත්තා. 

කන්ද නගින්න පටන් ගන්නකොටම වගේ තමයි මේ විදිහට මිහිඳු මහරහතන් වහන්සේගෙ ලංකාගමනයෙ අවස්ථාවක් පිළිම විදිමට නිර්මාණය කරල තියෙනව දකින්න පුළුවන් වෙන්නෙ.

                                                                       (අන්තර්ජාලයෙනි)       
ගල් පඩි වලට අඩිය තිය තියා ටික දුරක් ගියාම පුංචි වැලි මළුවක් හමුවෙනවා. මෙතැන පසු කාලීනව ඉදි කරපු විශාල හිටි පිළිමයක් තියෙනවා.   

ඒ වගේම සැතපෙන පිළිමයකුත්, සමාධි බුදු පිළිමයකුත් දකින්නට පුළුවන්. විශාල හිටි පිළිමය හැරුණාම අනෙකුත් පිළිම නං මට හිතෙන්නෙ පෞරාණික පිළිම. දැන් ප්‍රතිසංස්කරණය කරල තියෙනවා. 


සැතපෙන බුදු පිළිමයට තරමක් එහායින් දැකගන්න පුළුවන් තවත් හිටි පිළිමයක්.

         
සංචාරකයට හිතෙන විදිහට ඒ ආනන්ද හිමියන්ව වෙන්න ඕනෙ නිරූපණය කරල තියෙන්නෙ. එතකොටම මතක් වෙන්නෙ ගල් විහාරයෙත් සැතපෙන පිළිමය අසලින්ම තියෙන පිළිමය. 
          (ගල් විහාරයෙ තියෙන පිළිමය)


ගොඩක් විද්වතුන්ගෙ අදහස ඒ බුද්ධ පරිණිර්වාණයෙන් ශෝකයට පත් ආනන්ද හිමියන්ගෙ පිළිමයක් බව. මේ පිළිමයෙත් තියෙන්නෙ ගල් විහාරයෙ පිළිමයෙ තියෙන මුද්‍රාවමයි..



                     

ඇඹලව රත්ගල් විහාරය ආශ්‍රිත ඓතිහාසික කතා පුවතුත් ගොඩක් තියෙනවා. ඉතිහාසයෙ සඳහන් වෙන විදිහට දුටුගැමුණු රජතුමාගෙ රාජ්‍ය කාලයෙ හිටිය මලියදේව මහරහතන් වහන්සේ කාලයක් කැළණි ගඟ ආශ්‍රිත ඇඹුල්හෙළු නම් පෙදසක වැඩ සිටියලු. ඒ පෙදෙස විදිහට ගොඩක් දෙනා පිළිගන්නෙ මේ ඇඹුල්ගම කන්ද ආශ්‍රිත ප්‍රදේශය. ඒ වගේම දඹදෙණියෙ රාජධානියෙ රජකම් කරපු 3 වන විජයබාහු රජතුමා ඒ කාලෙදි සිදුවුණු කාලිංඝ මාඝ ආක්‍රමණයට එරෙහිව තමන්ගෙ සේනා සංවිධානය කරපු ස්ථානයක් හැටියටත් ගොඩක් පාලකයින්ට හදිසි ආක්‍රමණ වලින් සැඟවෙන්න යොදාගත්තු ස්ථානයක් හැටියටත් මේ ප්‍රදේශය ප්‍රසිද්ධයි. අදටත් කටාරං කොටපු ගල්ගුහා ගොඩක් දැකගන්න පුළුවං. 

කන්ද උඩට නගින්න තියෙන්නෙ විශාල පර්වතයක් අයිනෙන් වගේ. දැන්නං යකඩ වැටවල් සවි කරල තියෙන හන්ද අවධානමක් නෑ. කොහොමහරි වැඩි වෙලාවක් යන්න කලින් අපි කන්ද උඩට ආවා. මුළු පළාතම හොඳට පේනවා එතෙන්ට. පැත්තකින් කැළණි නදියත් ගලාගෙන යනවා.  කන්දක් උඩට නැග්ගොත් මගෙ කැමරා පොඩ්ඩෙන් පැනරොමාවක් වරදින්නෑ ඉතින්.. :)



අපි කලින් දවසක නැග්ග කොරතොට කන්දත් මෙතෙන්ට පෙනුණා. 

                                           (මැදින් පොඩියට පේන්නෙ ඒ කන්ද)



තවත් ටික වෙලාවක් ඉඳල අපි ආපහු එන්න පටන් ගත්තා.
තවත් පුංචි රස්තියාදුවක නිමාව...

Travelling is almost like talking with men of other centuries..
                                                     ~Rene Descartes~
__________________
කාලයක් බ්ලොග් කියෝ කියෝ ඉඳල ඊට පස්සෙ මොනවහරි ලියනව කියල බ්ලොග් එකක් අටෝගත්තා.. 
ඉතිං අද බබාගෙ පළවෙනි උපන්දිනේ.. !! :D 














  

 


November 17, 2014

ආනන්ද, සර්පයා දුටුවාද ?

නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ සිනමා නිර්මාණය, තණ්හා රතී රඟා දින ගණනාවක සිට රස විඳීමට බලා සිටියත් ඇති වූ අසනීප තත්වය සහ යෙදුණු ගමන් බිමන් කිහිපය නිසා ම ඊට කාලයක් වෙන් කරගන්නට බැරි විය. වෙලාවක් කලාවක් ගැන නොහිතන මා මීට දින කිහිපයකට පෙර මොරසූරන වර්ෂාව මැද්දේම රාත්‍රී දර්ශනය බැලීමට කඩුවෙල නගරයේ විජයන්ති සිනමාහලට පැමිණියත් ගිය පයින්ම ආපසු එන්නට සිදු වූයේ රාත්‍රී දර්ශනය බැලීම සඳහා පැමිණ තිබුනේ මා පමණක් නිසාවෙනි.. 

කෙසේ හෝ ඉරිදා දිනයක නැවතත් සිනමාහලට ගොස් තණ්හා රතී රඟා රස වින්දෙමි. කාලාන්තරයක් තිස්සේ අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය සීනිබෝල සිනමා නිර්මාණ මගින් පට්ට ගසමින් ප්‍රේ්ක්ෂකයින්ට සිනමාව එපා වෙමින් තිබූ අවධියක තණ්හා රතී රඟා යනු ඉඩෝර බිම්කඩකට වැටුණු නැවුම් වර්ෂාවකි. 
මෙය විචාරයක් නම් නොවේ. හුදෙක් චිත්‍රපටිය නැරඹීමෙන් ඇති වූ ප්‍රබෝධය යුනිකෝඩ ගත කිරීමකි.

එදවස වර්ෂ දෙදාස් නවයේ මැයි මස දහ අට වන දිනයි. කතාව ඇරඹෙන්නේ ප්‍රභාකරන් මිය යාමේ පුවතත් සමග රතිඤ්ඤා පත්තු කරමින් සහ කිරිබත් දන්සැල් දෙමින් ආනන්දයට පත් මිනිසුන් ජාතික කොඩි වනමින් සතුටු වන අයුරු දෙරණ නාලිකාවේ විශේෂ ප්‍රවෘත්තියක් ලෙස පෙන්වමින්ය.  
කතාවේ ප්‍රධානම නළුවෙක් වන සිරිතුංග හෙවත් සරත් කොතලාවල අල්මාරිය පීරා සොයාගන්නා ජාතික කොඩියේ දුහුවිලි පිස දමා නැවත එළියට ගන්නේ නිදහසේ සතුට සැමරීම සඳහායි. 
මෙහි සංකීර්ණතම චරිතය වන්නේ ද තිදරු පියෙක් වන සිරිතුංගයි. අවසානය තෙක්ම මා ඔහුගේ මනෝමය සිතුවිලි කෙබඳුදැයි පිළිබඳව කුතුහලයකින් පෙළුණෙමි.

කෙසේ හෝ සිරිතුංගත් ඔහුගේ මිත්‍රයින් දෙදෙනා වන ත්‍රී රෝද රථ රියදුරෙක් වන විමල් හෙවත් කුමාර තිරිමාදු ත් සරසවි ශිෂ්‍යයකු වන සුරාජ් හෙවත් නාමල් ජයසිංහ ත් යාපනයේ සංචාරයක් යෑම සඳහා සැලසුම් කරයි. 
පසුව මිත්‍රයින් දෙදෙනා ජාතික කොඩිය සහ බෞද්ධ කොඩිය එල්ලූ විමල්ගේ ත්‍රීවිල් රථයෙන් යාපනයට යයි. මේ අතර විමල්, ජසින්තා නම් වූ තරුණිය සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගනියි. විමල් දුරකථනයෙන් ජසින්තා සමග පෙම්බස් හුවමාරු කරගනිමින් අවිඥාණිකව කකුලෙන් වෙරළේ වැලි හාරමින් සිටිද්දී ත්‍රස්තවාදීන් සතුව තිබූ ගිනි අවියක් ඔහුට හමුවේ. ඒ අසලම සර්පයෙකු සිටීමෙන් සංකේතාත්මකව විනාශය, තණ්හාව නිරූපණය කරයි. ගිනි අවියට කුමක් කරන්නේද යන්න මිත්‍රයින් තිදෙනා අතර අදහස් හුවමාරු වේ. විමල්ට අවශ්‍ය වන්නේ ගිනි අවිය කොළඹ රැගෙන ගොස් විකුණා මුදල් ගැනීමටයි. ගිනි අවිය ගමනේ සිහිවටනයක් ලෙස ළඟ තබා ගැනීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වන සුරාජ් අදහස් කරයි. මේ අතර සිරිතුංග ගිනි අවිය විසිකර දමා නැවත ආපු ලෙසම කොළඹ යාමට තම මිත්‍රයින් දෙදෙනාට බල කරයි. ඔහු තිදරු පියෙක් නිසා මේ හේතුවෙන් යම් කිසි කරදරයකට මුහුණ පාන්නට සිදු වුනොතින් බිරිඳ සහ දරුවන් ජීවත් වන්නේ කෙසේදැයි බියෙන් පසු වෙයි. නමුත් ඔහුගේ සිතේ ද ගිනි අවිය පිළිබඳ ආශාවක් තිබෙන බව ව්‍යංගයෙන් කතාවේ ඇතැම් දර්ශන වලින් පිළිඹිමු වන බව මට සිතුණි. කෙසේ හෝ ගිනි අවිය විමල් කොළඹ රැගෙන එයි. එන අතරමගදී අපට හමුවන සේවය නිම කළ පොලිස්කාරයෙකුගේ චරිතය බලය සහ තරාතිරම පෙරටු කර ගනිමින් වංචාව සහ දූෂණය සිදු කරන අයුරු පෙන්වා දෙයි. 

කෙසේ හෝ විමල් සහ සුරාජ් අතින් ගිනි අවිය තමන්ට සිදු වෙන අසාධාරණයක් හමුවේ පාවිච්චි කිරීමට සිදුවීමෙන් තමන් සතුව ගිනි අවියක් තිබෙන බවට සමාජයට හෙළි දරව් වේ. ඔවුන් දෙදෙනාම පොලීසියේ රැහැනට අසු වේ. ඊට ප්‍රථම සිරිතුංග ගිනි අවිය බලෙන් ගෙන තම නිවසේ පෙට්ටගමක් යට සඟවා තබයි. ඒ අසලම කඩුවක් ද සඟවා තිබීමෙන් ඔහු සතුව බලයට තිබූ ආශාව නිරූපණය කරයි.
නැවතත් සංකේතාත්මකව සර්පයකු පෙට්ටගම යට සැඟවෙයි...

තෙවන වරට ද ගිනි අවිය අවිඥ්ඤාණිකව පත්තු වේ.........!!!!
______________________________________

සිනමා කෘතියක තිබිය යුතු නාට්‍යමය විලාශය අවසානය තෙක්ම නොඅඩුව තිබුණි. සරත් කොතලාවල, කුමාර තිරිමාදුව, නාමල් ජයසිංහ සහ සුලෝචනා වීරසිංහ ගේ තාත්වික සහ ප්‍රතිභා පූර්ණ රංගනය කතාව ප්‍රේක්ෂකයාගේ හැඟිම් සමග එකට ගැටීමට සමත් වුණි.
කතාවේ අවසාන භාගයේදී සිදු වී ඇති දෙය ආරංචි වී සිරිතුංග තම සේවා ස්ථානයේ සිට නිවසට බයිසිකලය පදිමින් එන සැටි විනාඩි කිහිපයක රූප රාමවුක සටහන් වේ. එම මුළු කාලය තුල මෙතෙක් සිදූ වූ සිද්ධීන් ඒත් සමග වාදනය වන සිරිතුංග ගේ සියළු හැඟීම් මුසු කර තිබූ පියානෝ නාදයත් සමග නැවත මගේ මනසේ දෝංකාරය දීමට පටන් ගත්තේය. 

තවත් තීරණාත්මක රූප රාමු කිහිපයකින් කතාව අවසාන වෙයි..... :)
මෙතුවක් කාලයකට මා නැරඹූ සමාජීය සහ දේශපාලනික තේමාවක් රැගත් විශිෂ්ටතම සිනමා නිර්මාණයක් ලෙස තණ්හා රතී රඟා හැඳින්විය හැකිය. 






පින්තූර තණ්හා රතී රඟා facebook පිටුවෙනි...




Related Posts Plugin for WordPress, Blogger...