October 12, 2014

සියදෝරිස් අත්තා සහ පැල් කවි

'සියඹලදෙණිය' කියන්නෙ ඒ ඉසව්වෙ තියෙන පොඩිම ගම්මානෙ. හතරපැත්තෙන්ම සුවිසාල කඳු පේළියකට වටවෙලා තිබුණු හන්ද ඒ ගම්දනව්ව ඒ ඉසව්වෙ හැංඟිලා වගේ තිබුණේ. සියඹලාදෙණියෙ ජීවත් වෙච්ච මිනිස්සුත් හේන් ගොවිතැනට පිං සිද්ධ වෙන්ට අඩුවක් පාඩුවක් නැතුව කාල බීල ජීවත් වෙලා තමන්ගෙ පණ කෙන්දත් රැකගෙන උන්න මිසක් ගොවිතැනෙන් ලැබිච්ච ඵලදාව විකුණගන්ටයි, අවුරුදු කාලෙට නගරෙ කඩමංඩියට ගොහිං චීත්තයක් සරමක් අරං එන්නයි ඇරෙන්න ඉං එපිට පස් පෑගුවෙ නෑ. 
මේ ගම්මානෙට සියඹලදෙණිය කියල නම හැදුනෙනං බෝම සාරෙට හැදුණු සියඹල වත්තක් තිබුණු හන්ද..

ගම්මානෙටම තිබුණෙ එකම එක කඩයයි. ඒ අප්පුවගෙ කඩේ. දවස තිස්සෙම හේනත් එක්ක ඔට්ටු වෙන ගමේ කවුරුත් ඉර දෙයියො උන්දැලගෙ හේමලයත් අඬ ගහගෙන බස්නාහිර පැත්තෙන් හැංගිලා යන්න හදන වෙලාවට වැවෙන් ඇඟ පත එහෙම හෝදගෙන කාරිය කාත් කවුරුත් හකුරු කෑල්ලකුත් එක්ක කහට ඩිංගිත්තක් බොන්න, දාං අතක් අදින්ට එකතු වෙන්නෙ අප්පුවගෙ කඩපිලට. ඒ කාරණේ එහෙම සිද්ධ වුනාට මොකද කඩේ ඉස්සරහ සියඹල ගහ යට තිබුණු බංකුව උඩ දවසම ලැග් ගහගෙන ඉඳපු මනුස්සයෙක් හිටියා. ඒ සියදෝරිස් අත්තා. අවුරුදු අසූවක්ම වයස හන්ද ගොවිතැන් කරන්ටත් බැරි එකේ දවසම උන්නෙ ඔතන. ගෙදෙට්ට ගියේ වේල සප්පායම් වෙන්ටයි රෑට නිදාගන්ටයි විතරයි. උන්දැගෙ පුතණ්ඩියා සිරිපාලය, ගෙදෙට්ට අඩුවක් පාඩුවක් කරන්නැතුව අප්පොච්චගෙ හේන වගා කෙරුව. සියදෝරිස් අත්තගෙ රාජකාරිය දවසම බංකුවට වෙලා ඉඳගෙන කඩේට එන එවුන්ට කවියක් කතන්දරයක් කියා දීල විහිළුවක් තහළුවක් කරගෙන බුලත් හපයක් වික විකා ඉන්න එක. හවසට කඩේට රැස් වුණු කට්ටියත් පුරුදු වෙලා හිටියෙ සියදෝරිස් අත්තගෙ කවි කතන්දර අහන්න.

"ඈ බොල පොඩි මැණිකො. උඹෙන් බත් ඩිංගක් කෑවෙ නෑ බොල කාලෙකිං. උඹ හදන පොළොස් මාළුව වගේ පොළොස් මාළුවක් හදන්න බෑ මේ අහලගං හතක එකියකටවත්."
සියදෝරිස් අත්තා කඩේට ආපු පොඩි මැණිකට කීවා. 

"වෙලාවක එන්ටකො ඒ පැත්තෙ. මං හදල තියන්නම්"
පොඩි මැණිකා කීවෙ ලැබුණු වර්ණනාවෙන් තරමක ආඩම්බරකාර හිනාවකින් සැරසිලා. 

"ඇයි සියදෝරිස් අත්තට විතරක්. අපිටත් දීල කෑවාම මක් වෙනවද?.."
හේන් කටයුතු අහවර කරල ඇවිල්ල කඩපිලේ බංකුව උඩ සිරිපාලයත් එක්ක දාං අතක් ඇද ඇදා උන්නු ගුණපාලය කීවෙ තාමත් පෙළවහක් කරගනෙ නැති පොඩි මැණිකා දිහා මනමාල බැල්මකුත් දාගෙනම... 

"ඈ බං ගුණපාලයො උඹ අද පැල් රකින්න යන්නැතෙයි. ඊයෙත් මූකලානෙන් කඩා පාත් වුණු වල් ඌරො රංචුවක් සිරිපාලයගෙ හේන දෙවනක් කරල. සාරෙට හැදීගෙන ආපු බඩ ඉරිඟු පැළ ටික විනාස කරල දාල."
සියදෝරිස් අත්ත සියඹල ගහ මුලට බුලත් කෙළ පාරකුත් ගහල කීවා.

"තව ඩිංගිත්තකින් යන්ට ඕනෙ අත්තෙ. කොහෙද මේ ගම්මානෙ එකෙකුටවත් තාම තුවක්කු ලයිසන් එක ගන්ට හම්බුන්නෑනොවැ. ගිනි බටයක් තිබ්බනං ඕකුන්ට කරන වැඩේ දනී මං"
ගුණපාල කීවෙ සිරිපාලයගෙ ඉත්තො තුන්දෙනෙක්ම අරගන්න ගමං. 

"බොලා ඔහොම කියනකොට මටත් මතක් වුණා අපි ඒ කාලෙ පැල් රැකපු හැටි. බොලාට වගේ තමා අපිටත් ඒ කාලෙ ගිනි බට තියාගන්න සුදු මහත්තැයල අවසර දුන්නෑ. ගිනි බටයක් තිබ්බෙ ගමේ ආරච්චිල ගාව විතරයි. දරු මල්ලොත් ගෙදර තනිකරල දාල අපේ මායිය හදල දෙන බත් මුලත් අරගෙන හඳ පායගෙන එනකොට හේනට යනව පැල් රකින්න. ගෙදරින් එළියට බහින්නෙ සමන් දෙයියො සිහි කරගෙන. අර සිරිපාලයගෙ හේනෙ තිබ්බ විසාල මාර ගහේ තමා මගේ පැල තිබ්බෙ. හේනට ඇවිල්ල පැල ගාවින් ගිනි මැලයකුත් පත්තු කරල කාරිය පැලට නගිනව. හූ තියල ගිණි මැල පත්තු කරල තමා හේන දෙවනක් කරන්ට එන සත්තුන්ව එලවගන්නෙ. ඔහොම ඉන්නකොට දවසෙම හේනත් එකක් ඔට්ටු වුණු හන්ද නිදි මත, කාංසිය හැදෙනවා. ඔය වෙලාවට තමා කවියක් එහෙම කියල කාංසිය ඇරෝගන්නෙ. ඔය පොඩි මැණිකගෙ අප්පොච්චා තමා පැල් කවි කියන්න සූරයා. පොඩි එකෝ.., උඹ අහල තියේද මේ කවිය.."
සියදෝරිස් කීවෙ උගුරෙ රැල් බුරුල් ඇරල කවියක් කියන්ට සූදානං වෙන ගමන්..
"අහගනිංකො මේක.." 

                         පෙරකාලේ කරපු අකුසල්වල අප     ලා
                         මේ කාලේ විඳිති දුක් පැල්වලට වෙ   ලා
                         රජකාලේ පටන් පුරුදුව පැල් රැක     ලා
                         ලොකු රාලේ කියන් පැල්කවි තෝරා ලා

"මගේ හේන ගාවින්ම වගේ තිබ්බෙ සූරසේනයගෙ හේන. ඌත් කවි කියන්ට හපනා. මායි ඌයි පැල් රකිනකොට තරඟෙට පැල කවි කියාගත්තා."
                          දුකින් දුකින් මම පැලපිට උන්කල     ට
                          කිරලෙක් ඇවිත් බය ගැන්නුවයි එවි   ට
                          අනිච්චන් කිරලො මා බය ගැන්නුව    ට
                          හෙට වෙනදා දඩ පමුණවයි කිරලා     ට

"නිදිමත යන්ටත් එක්ක මං ඕම සීපදයක් කිව්වාම සූරසේනයත් ඒකට හරියන්ට එකක් කියනව"

                        මගේ රැලේ එක කිරලෙක් අඩු බැවි     න
                        අඬා ගියෙමි උඹ සිටිනා පැල උඩි         න
                        ඒ වරදට දඩගනිතොත් මා අති             න
                        අනිත් ගමන එන්නෙමි උඹෙ පැල උඩි  න

"ගුණපාලයො.., උඹත් කියාන්කො බලන්න පැල් කවියක්"
සියදෝරිස් ගුණපාලයට කීවා.
"ඕං එහෙනං අහගනිල්ලකො.."

                         කැලේ ගොසින් ඉනි කැපුවා කැත්ත     දනී
                         වෙලේ ගොසින් ඉනි හැදුවා නියර        දනී
                         පැලේ ගොසින් පැල් ලැග්ගා පැදුර       දනී
                         මෙදා පැලේ පැල් ලැග්ගා දෙවියො      දනී

ගුණපාලය සීපදය අහවර කරනවත් එක්කම සියදෝරිස් අත්ත තව සීපදයක් කියන්ට පටන් ගත්තා.

                         අඹුවට බයේ ගෙදරින් යයි පැල උඩ     ට
                         ඌරට බයේ නොබසියි මැරුවත් බිම    ට
                         ඒකට මොකද තව පුරසාරම් එම          ට
                         මූලට හොඳයි හැඳ නැතුවම පටවන්      ට

ඒ කවියට කඩ පිලේ හිටිය පොඩි එවුන්ට හිනා..
"අදනං මෙතන කවි මඬුවක් වෙන්ටයි යන්නෙ"
පොඩි මැණික ගාවින්ම බිම ඇන තියා ගත්තු එතනා කීවා.

"ඕං එහෙනං මේ ටිකත් අහගනිල්ලා.." සිරිපාලයත් බලාගෙන හිටියෙ සීපදයක් කියන්ට.
                         
                         අහස තනිවේද විදුලිය කෙටුවා           ම
                         පොළොව තනිවේද මම බිම බැලුවා    ම 
                         මූද බොරවේද ගොඩරැල ගැසුවා         ම
                         සිතේ දුක යාද දවසක් ඇඬුවා             ම

"ඕං බලහං මායියයි දරු පැංචො ටිකයි ගෙදර තනියම දාල පැල් රකින්ට ආපු දුක ඒ සීපදේම තියනවා.".. සියදෝරිස් අත්ත කීවා.

                         දනවා පපුව සිහිවෙනකොට අම්ම          මගේ
                         එනවා කඳුළු නෙත්දෙක රතුවෙලා         යුගේ
                         වෙනවා මෙහෙම කල් ලැබුනම සෙනසුරු ගේ
                         මොනවා කියා සිත සනසා ගන්ද            මගේ 

                         බුලත් කඩන්නේ නැටි අල්ල අල්        ලා
                         පුවක් කඩන්නේ නැටි සොල්ල සොල් ලා
                         වඳුරො පනින්නේ පිණි සොල්ල සොල්ලා
                         මගෙ පුතු අඬන්නේ ඉව අල්ල අල්      ලා

මෙච්චර වෙලා නිස්සබ්දව හිටිය පුංචි බණ්ඩත් ඈත කන්ද උඩින් පායගෙන එන හඳ දිහා බලාගෙනම කීවා. හඳ පායනව කියන්නෙ දරුමල්ලො ටික ගෙදර තනිකරල දාල පැල් රකින්න යන්න වෙලාව හරි කියන එක.

"නිදිමතක් කාංසියක් පාළුවක් දැනෙන්න නොදී රෑට පැල උඩට වෙලා හේන ආරක්සා කරගන්න පිහිට උනේ ඔය එවෙලෙට ගොතන පැල් කවි ටික තමා." සියදෝරිස් අත්ත කීවෙ තවත් පැල් කවියක් කියල.

                        අහසේ තරුසේම ගොවිතැන් කරන්     නේ
                        පොළොවේ වැලිසේම බෝගත් ඉසින් නේ
                        මගෙ හේනමයි ඌරට පෙණෙන්        නේ
                        විස්ණු සමන් දෙවියෝ නඩු බලන්      නේ

"හා හා දැන් ඉතින් ගෙවල්වලට පලයල්ලා..ගොම්මනත් වැටීගෙන එනවා." සියදෝරිස් අත්ත කීවෙ බංකුවෙන් නැගිටින ගමන්.
"පොඩි මැණිකෝ., ඔන්න එහෙනං මතක් කරල පොළොස් ඇඹුලක් හදාන් ඈ. උඹෙ පොළොස් ඇඹුල එක්ක කළු ගලක් උනත් කෑවහැකි බොල".. 
                        
                        සුවඳනැති මලක් පිපුනයි අපෙ වත්     තේ
                        සුවඳ නැති නමුත් ලෝකෙට රුව ඇත්තේ
                        එකයි දෙකයි තුන හතරයි එක ඉත්     තේ
                        එරබඳුමලට විතරයි බඹරිඳු නැත්        තේ

සියදෝරිස් අත්ත ගෙදෙට්ට හෙමින් හෙමින් යන ගමන් කියාගෙන ගියා..

ඒත් එක්කම අප්පුවගෙ කඩේ පරණ රේඩියෝ එකේ අමරදේව මහත්තයගෙ සින්දුවකුත් යනව ඇහුණා. අප්පුව සද්දෙ පොඩ්ඩක් වැඩි කරේ එක අතකින් තාලෙ අල්ලන ගමන්මයි. 






  


























 

September 23, 2014

ඇලස්කන් සිහිනය හඹා ගිය සංචාරකයා..

ඒ 1992 අගෝස්තු මාසයයි.. ශීත කාලය අවසන්ව හාත්පසම හරිත පැහැයෙන් බබළමින් තිබූ සුන්දර ඇලැස්කාවේ වනගතව එහි දර්ශනීයත්වය රසවිඳි ඔහුගේ දෑස් ඒ වනවිට ඇස්පිල්ලමක්වත් නොගසා, ඔහුට නවාතැන් දුන් වනමැද තිබී හමුවූ අබලන් බස් රියේ ජනේලය තුලින් නිල්වන් අඹර දෙසට මානා තිබුණි. ඔහු අසල වැටී තිබුණු ඔහුගේ දිනපොතේ අන්තිමට සටහන් කර තිබුණේ "Beautiful Berries" යනුවෙන් පමණි. ඒ අසලම විවිධ පැළැටි වර්ගවල විස්තර සහිත පොතක් ද ඔහුව මරණයේ ද්වාරය කරා යැවූ wild potato ශාකයක ඵල කිහිපයක්ද විසිරී තිබුණි. මද සුළඟට සලිත වූ ගස්කොළන් හැර සියල්ල නිශ්චලය..

1990 දී ඇමරිකාවේ Emory විශ්වවිද්‍යාලයේ ඉගෙනුමෙන් පසු ඔහුගේ එකම අරමුණ වූයේ මුදල් සහ මිනිසුන්ගෙන් සඳහටම වෙන් වී තම මුළු ජීවිතයම ත්‍රාසජනක සංචාරයන් සඳහා කැප කිරීමයි. ඔහු ළඟ ඉතිරි කරගත් ඩොලර් 24000 ක මුදල චෙක් පතක් මගින් OXFAM නම් වූ දිළිඳුන්ගේ කුසගින්න නිවාලන අරමුදලක් සඳහා පරිත්‍යාග කෙරුණි. ග්‍රීෂ්ම සෘතුවේ එක් දිනයක ඔහු තම පවුලෙන් සහ මුළු සමාජයෙන්ම රහසේම නික්මව ඔහුගේ පැරණි Datsun රථය කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇරිසෝනා සහ දකුණ ඩකෝටා ව හරහා පදවමින් සිටියේ කිලෝමීටර 6864 ක් දුරින් පිහිටා තිබූ සුන්දර ඇලස්කන් සිහිනය සපුරා ගැනීමටයි. 

කෙසේ හෝ එක් රාත්‍රියක ඔහුටත් ඔහුගේ ගමන් සගයා වූ කාර් රථයටත් සුළු විවේකයක් ලබා ගනු වස් ගං ඉවුරක රථය නවතා පිටිපස අසුනේ නිදි කිරමින් සිටි ඔහු තිගැස්සී අවදි වූයේ ක්ෂණික ගං වතුරක රළ පහරකටය.
අබලන් වූ තම Datsun රථය අතහැර ඔහු තම සංචාරය ඇරඹුවේය. 
විසල් වනාන්තර, ගංගා ඇළ දොළවල්, කඳු ගිරි ශිඛර සහ නොයෙකුත් මිනිසුන් වෙසෙන පෙදෙස් මැදින් ඔහු සංචාරය කළේය. අතරමගදී කුළුපග වූවෙකු "ඔබේ පවුල කොහෙද ජීවත් වන්නෙ..ඔවුන් මොනවද කරන්නෙ ?" යැයි ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ "මට තවදුරටත් පවුලක් කියා දෙයක් නොමැත" යන්නයි.

සුළු මුදලක් සොයාගැනීම සඳහා ඔහු ඔහුගේ දිගු සංචාරය අතරතුර සුළු රැකියාවල නිරත වුණි. කාලයත් සමඟ බොහෝ දුර ගෙවා දමමින්, ප්‍රාන්ත දේශ සීමා පසු කරමින් ඔහු ඇලස්කාවට ළං වෙමින් සිටියේය. එක් අවස්ථාවක රහසේම දේශ සීමාවක් පසු කරන්නට උත්සහ කරමින් සිටිද්දී ඔහු පොලිසියට අසු වුවද ඔහුගේ තත්වය තේරුම් ගත් ඔවුන් ඔහුව මුදා හැරුණි.

Ronald Franz නම් වූ මහල්ලෙක් ඔහුට හමුවුණි. ඔහුගේ ජීවිත කතාවට සවන් දෙන රොනල්ඩ් ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන යාමට පොරොන්දු වුණි. රොනල්ඩ් අත්කම් ශිල්පය ප්‍රගුණ කළ අයෙකු විය. ඔහු රොනල්ඩ් නම් මහළු මිත්‍රයාගෙන් අත්කම් ශිල්පය ඉගෙන ගැණුනි. ඔහු තමන් සඳහා ඉණ පටියක් සාදවාගෙන එහි ඔහු සංචාරය කළ පෙදෙස් සහ සිහිවටන කැටයම් කළේය. 

  
පවුලක් හෝ නෑදැයින් කිසිවෙකු නොමැති අවුරුදු 80 ක් වයසැති ඒ රොනල්ඩ් නම් වූ මහල්ලා ඔහුත් සමග දැඩි මිත්‍රත්වයක් ඇති කර ගැණුනි.
ඔහුව තම කැබ් රථයෙන් Colorado වෙත ගෙන ගොස් ඔහුගෙන් නික්ම යන මොහොතේදී "ඔබට මගේ මුණුබුරෙක් වී මාත් සමග ජීවත් වෙන්නට බැරිද ?" යැයි ඇසූ විට "අපි ඒ ගැන ඇලැස්කාවට ගිහිං ඇවිත් කතා කරමු.." යනුවෙන් පැවසූවත් ඔහු කවදාවත් නැවත නොපැමිණුනි.  

අවසානයේදී ඔහු 1992 අප්‍රේල් මාසයේදී Fairbanks සහ The Stampede Trail කඳු ශිඛරය ඔස්සේ ඔහුගේ එකම සිහිනය වූ සුන්දර ඇලැස්කාවට ළඟා වුණි. Teklanika නදිය තරණය කිරීමෙන් පසු ඇලැස්කාවෙ සුවිසල් වනයේ සැරිසැරූ ඔහුට Fairbanks නගරයේ අබලන් වූ බස් රථයක් වනය මැද තිබී හමුවුණි. ඔහු එය හැඳින්වූයේ Magic Bus ලෙසටයි. තම ස්ථීර නවාතැන කරගත් අබලන් බස් රථය ඔහුට සුරපුරයක් විය. 

හුදෙකලාවම තම ජීවිතය ඇලැස්කාවෙ මාස කිහිපයක් ගෙවා දැමූ ඔහු නැවතත් තම ත්‍රාසජනක සංචාරය ඇරඹීමට තීරණය කෙරුණි. අවාසනාවන්ත ලෙස ඔහු ඇලැස්කාවට පැමිණීම සඳහා තරණය කෙරූ Teklanika නදිය පිටාර ගලමින් තිබුණි. රෞද්‍ර සැඩ පහර ඔහුට කුරිරු වුණි. ඇලැස්කාවෙන් පිටවීමට නම් Teklanika නදිය තරණය කළ යුතුය. අවසානයේදී රෞද්‍ර සැඩ පහර කීකරු වන තෙක් තවත් කාලයක් ඇලැස්කාවේම ගත කිරීමට ඔහු තීරණය කළේය. දින ගෙවී යද්දී කෑම හිඟ වීම හේතුවෙන් ඔහු ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගැණුනි. 
අවසානයේදී ඔහු කුසගින්න නිවා ගැනීම සඳහා නොයෙක් ඵල වර්ග සොයමින් වනයේ ඇවිද්දේය. ඔහු නොදැනුවත්වම wild potato ශාකයක ඇල්කොලයිඩ නම් විෂ තැවරුණු ඵල කෑමට ගෙන තිබුණි. තම සිරුර ක්‍රමයෙන් මරණය කරා ඇදී යන බව ඔහුට දැනුණි. කිසිවක් කර කියා ගත නොහැකිව සුවිසල් වනයක් මැද අබලන් වූ බස් රියක ඔහු මරණය එන තෙක් බලා සිටියේය. ඩොලර් 24000 ක මුදලක් දිළිඳුන්ගේ කුසගින්න නිවාලීමේ අරමුදලක් වෙත පරිත්‍යාග කෙරූ  
Christopher McCandless නම් වූ ශ්‍රේෂ්ට සංචාරකයා ඒ වන විට කුසගින්න හේතුවෙන් අබලන් බස් රියක් තුළ මිය ගොස් සිටියේය. ඒ 1992 අගෝස්තු මාසයයි.  
ඔහුගේ මරණයෙන් දවස් 19 කට පසු ඇලැස්කාවට පැමිණ සිටි දඩයක්කාරයන් පිරිසක් විසින් ඔහුව Magic Bus රථය තුල සිට සොයා ගැණුනි. ඔහු විසින් සටහන් කළ වචන කිහිපයක් ඒ අසල තිබී හමුවිය.

" I have had a happy life and thank the Lord. Goodbye and may God bless all!"
_______________________________

Christopher McCandless ගේ කැමරාවේ තිබී ඔහු විසින් ලබාගත් self portrait කිහිපයක් හමු වුණි..





 _______________________________

Magic Bus..





   
_______________________________

1996 දී Christopher McCandless ගේ දිනපොත සහ සටහන් පාදක කරගෙන Jon Krakauer විසින් පොතක් ලියැවිණි. 2007 වර්ෂයේදී Sean Penn විසින් එම පොත පාදක කොටගෙන 
 Christopher McCandless ගේ ශ්‍රේෂ්ට සංචාරය Into the Wild නමින් සිනමාවට නැඟුවේය.

                                                             ♥

 

      
    

 


  




Related Posts Plugin for WordPress, Blogger...