ජූලි හය වෙනිදා..එදා තමයි මට ලාල් හෑගොඩ නම් වූ සොඳුරුතම මිනිසා හමුවුණු දවස..!!
මේ තාක් කල් මං ඡායාරූපකරණයෙහි නියැලුණේ පොත්පත් වලින්, නෙට් එකෙන් අහුලගත්ත දැනුමකින්. කැමරාවෙ බොත්තමක් එබුවාම ෆොටෝ එක වදිනවා.. ෆොටෝග්රැෆි වල රහ තේරිලා ගෙදර තිබ්බ පුංචි ඩිජිටල් බට්ටගෙන් අහුවෙන අහුවෙන එකේ ෆොටෝ ගන්න පටන් ගන්නකොට දැනං හිටියෙ එච්චරයි. ඒ මීට අවුරුදු ගාණකට කලිං.
කොහොමින් කොහොමහරි ෆොටෝ එකක් වෙනුවට හොඳ ඡායාරූපයක් ගන්න තරමට ඒ දැනුම යංතමින් හරි වැඩි දියුණු කරගත්තා. ඩිජිටල් බට්ටට සමුදීලා DSLR එකක් ගන්න නාහෙං අඬ අඬා ඉද්දි තාත්තා ඒකත් අරං දුන්නා..
ඡායාරූපකරණය කියන්නෙ ඉගෙනගෙන ඉවරකරන්න පුළුවං කලාවක් නෙවේ මං හිතන්නෙ. තමං ඡායාරූපයට ගන්න අලුත් රාමුවක් පාසා අලුත් අත්දැකීමක්, අලුත් දෙයක් ඉගෙනගන්නවා.
ඔය අතරෙ පිළිවෙලකට මේ දේ ඉගෙනගන්න මට ඕන වුණා.
ශ්‍රී ලංකාවෙ ප්‍රසිද්ධම ඡායාරූපශිල්පියෙක් වෙච්ච විල්සන් හෑගොඩයන්ගෙ පුත් ලාල් හෑගොඩ සර් ගෙ ඡායාරූපකරණ පාඨමාලාවට ඇතුළත් වෙන්න මට තිබුණෙ පුදුම ආසාවක්. හතු පිපෙන්නා වගේ කොළඹ පුරාම පොටෝ පන්ති තිබුණට ලාල් හෑගොඩ සර්ගෙ ඡායාරූපකරණ පාඨාමාලාවට යනවමයි කියල හිතාගත්තා.
ඒත් මාස දෙකක් හොඳට කාල බීලා ජීවත් වෙන්න පුළුවං ගාණක් වියදම් කරල කැමරාවකුත් අරං දීපු මගෙ දෙමව්පියන්ගෙන් ඒ මදිවට තව පන්තියකට යන්නත් රු.විසිපන්දාහක් ඉල්ලන්න මට මගෙ හිත ඉඩ දුන්නෑ..
අනවශ්‍යයයි කියල හිතුණු ඔක්කොම වියදම් නැවැත්තුවා. හම්බවෙච්ච හැම රුපියලම (සතේ ඒව දැං නෑනෙ :D) එකතු කරල අන්තිමේදි ගාණ ගොඩ දාගත්තා. කොටින්ම කිව්වොත් අවුරුද්දට ඇඳුමක් ගන්න කියල දීපු සල්ලිත් හෙමීට පොතට දැම්මා.
ගාණ හදාගෙන ක්ලාස් එක ගැන අයිඩියා එක අම්මට කියල බැලුවා. එදා ඉඳංම ඉතිං තාත්ගෙන් අහන්නෙ නැතුව මෙලෝ දෙයක් නොකරපු හින්ද හම්බවෙන උත්තරේ මං දැනං උන්නා.
"තාත්තගෙන් අහල බලමු"..
සිකුරාදා.. එදාට එහෙ නිවාඩු..
තාත්තා ආවා ස්කයිප්.. අම්මා ඇහුවා මේ ගැන.. මං සල්ලි හිටං එකතු කරගෙන තියෙන්නෙ කියලත් කීවා.
ක්ලාස් එක ගැන විස්තර ටික අහල තාත්තා දීපු උත්තරෙන් මං උඩ ගියා..
"හරි ඔය සල්ලි ටික ඔයාගෙ පොතට දාගන්නව.. course එක කරන්න ඕන සල්ලි ටික මං හෙට එවන්නං.. " :)
තාත්තගේ ආදරේ මහ සාගරේ වගේ කියනවනෙ..
ඉහේ මල් වත්තක්ම පිපුණු හැපී එකෙන් ටක්ගාල ලාල් හෑගොඩ සර්ගෙ සයිට් එකට ගිහිල්ලා විස්තර ටිකත් දැනගෙන මුහුණුපොතේ හිටපු යාළුවෙක්ගෙන් පන්තිය තියෙන්නෙ බම්බලපිටියෙ පොලීසිය ඉස්සරහ බිල්ඩිමේ කියලත් දැනගත්තා..මගෙ වාසනාවටමද මන්දා ඊළඟට ළමයි ඇතුළත් කරගන්න දිනය තිබුණෙ ජූලි හය කියල..
ගිය ඉරිද උදේම බම්බලපිටි ගියා. එන්න කියල තිබුණෙ උදේ අටට වුණාට සංචාරක තෙමේ උදේ හත වෙනකොට එහෙ. කලිං දවසෙ ෆෝන් එකේ තිබ්බ ඇප් කෑල්ලකින් කොල්ලුපිටියෙ ඉඳං බම්බලපිටියට යන බස් එක සර්ච් පාරක් දාල බලපුවාම ආවෙ 100, 101 කියල නොවැ..කොල්ලුපිටිය බස් ස්ටෑන්ඩ් එකෙං බැහැල ටිකක් ඇවිදල බැලින්නං මෙන්න බොලේ පාරවල් වන් වේ කරල එක විකාරයයි.. කොහොමහරි බස් එකට නැගල බම්බලපිටිය පොලිසීය ගාවට ටිකට් එකක් අරගෙන ගූගල් මැප් දෙයියන්ගෙන් බම්බලපිටිය පොලෝසීය තියන තැනත් හොයාගෙන GPS මෙව්ව එකත් ඕන් කරගෙන මූණ ෆෝන් එකේ ඔබාගෙන හිටියා. බුකියෙ හිටපු උන්දැ කිව්වෙ එච්චර දුරක් නෑ කියල. ඒ වුණාට බස් එක ගියාට GPS මෙව්ව එක යන්නෑ..
එදා තමයි මං තේරුං ගත්තෙ තාක්සණේ එච්චර විස්වාස කරන්න හොඳ නෑ කියල.. කිලෝමීටරයක් විතර ආපහු ආවා.. -_-
පැයක් කලිං ආපු හන්ද හොඳයි..
ලාල් හෑගොඩ සර්ව ඉස්සෙල්ලාම හමුවුණු දවස එදා. ඇත්තටම ඡායාරූපකරණය කියන්නෙ මොකක්ද කියල මං තේරුම් ගත්තෙ එදා.
ඉතිං මේක මගෙ තවත් සැබෑ වුණු සිහිනයක්..
ලාල් හෑගොඩ සර් ශ්‍රේෂ්ට ඡායාරූපශිල්පියෙක් වගේම විශිෂ්ට කවියෙක්..
බුලු ගහ යට කවි පන්තිය මීට කළිං දාල ඇති..
July 8, 2014
July 1, 2014
මහල්ලා සහ මුහුද | The Old Man and the Sea
"ඔවුහු හොඳට යාත්‍රා කළහ. නිතර කරදියෙන් දෑත තෙමා ගත් මහල්ලා හොඳ සිහියෙන් සිටීමට වෑයම් කළේය. අහසේ රැස් වන්නට වූ කුමුලස් වළාකුළු උඩින් ප්‍රමාණවත් තරම් කුන්තල වළාකුළු තිබුණු හෙයින් රෑ එළි වන තෙක් සුළඟ නොමඳව හමන බව මහල්ලා දැන ගත්තේය. තමා මහ මාළුවකු අල්ලා ගැනීම සිහිනයක් නොව සැබෑවක් බව සැක හැර දැන ගැනීම පිණිස මහල්ලා නිතර මාළුවා දෙස බැලුවේය. මෙය සිදු වුණේ ඔහුට පළමු වන මෝරා පහර දීමට පැයකට කලින්ය."
පොත ලියල තියෙන්නෙ 'අර්නස්ට් මිලර් හෙමින්වේ'. 1951 දි.
පෙරේදා පුස්තකාලයට ගිය වෙලේ ගත්තු පොත් අතර මේකත් තිබුණා.
පොතේ කතෘ, අර්නස්ට් හෙමින්වේ, ඔහුගේ ජීවිත කාලය පුරාම අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබා ගත්ත පුද්ගලයෙක්. පුවත්පත් වාර්තාකරුවෙක් හැටියට ග්‍රීක යුද්ධයට, ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට, දෙවන මහා යුද්ධයට සහභාගි වෙලා ජීවිතයේ ඉතුරු කාලය සාහිත්‍ය කරුවෙක් ලෙස ගත කරලා. ඒ වගේම හෙමින්වේ දඩයක්කාරයෙක්, මසුන් මරන්නෙක්.
ඔහු දවසක් උදේම මසුන් ඇල්ලීමට මුහුදු යන්න ගිය වෙලාවක 'මැනුවෙලි උලිබාරි මොන්ටේස්පෑන්' නම් කියුබානු ධීවරයෙක් අහම්බෙන් හමු වෙනවා. ඔහු හෙමින්වේට ඔහුට සිදු වූ දුක්මුසු සිදුවීමක් ගැන පවසනවා.
හෙමින්වේ 'The Old Man and the Sea' නමින් රචනා කරන්නෙ ඒ කතාව.
කතාවනං බොහොම සරළයි. නමින් 'සන්තියාගෝ' කියන මසුන් මරන මහල්ලෙක්ට අවාසනාව පිරුණු දවස් අසූ හතරකට පස්සෙ වාසනාව පෑදෙමින් බිලී කොක්කට විශාල මාළුවෙක් අහුවෙනවා. අන්තිමේදි මේ මාළුවා අල්ලගන්න සන්තියාගෝට විශාල වෙහෙසක් දරන්න වෙනවා. ඒත් ආයිමත් අවාසනාව සන්තියාගෝට පහර දෙන්න පටන් ගන්නවා...!! ජයග්‍රහණය, පරාජය, දුක, වේදනාව, හාස්‍ය පිරුණු කතාවක් තමයි මහල්ලා සහ මුහුද.
"මේ කතාව ලිවීමේදි මා අනුගමනය කළේ මුහුදේ පාවෙන හිම පර්වතයක පිළිවෙත. හිම පර්වතයෙන් අටෙන් හතක් පමණ දිය යට නොපෙනී පාවෙන අතර දියෙන් මතු වී පෙනෙන්නෙ අටෙන් කොටසක් පමණයි. මසුන් මැරීම හා කියුබානු ධීවරයන්ගෙ ජීවිතය පිළිබඳ මගේ දැනුම හා අත්දැකීම් ඇතුළත් කොට මහල්ලාගේ කතාව ඇසුරෙන් මට මහා නව කතාවක් ලියන්නට තිබුණා. නමුත් කතාව ලිවීමේදි මා ඒ සියල්ල ඉවත දමා අවශ්‍ය දෙය පමණයි ගත්තෙ. නවකතාකාරයා ලිවිය යුත්තෙ තමා දන්නා දෙයින් අවශ්‍යම දෙය පමණයි. අනෙක් සියල්ලම ඔහු විසින් ඉවත දැමිය යුතුයි. කතාව ශක්තිමත් වෙන්නෙ එවිටයි. එය තමාගෙ ආත්මයෙන් පෙරී එන හරයයි. මම මේ පොත ලිව්වෙ බොහොම ලොකු වෑයමකින්. මා එය දෙසීය වාරයකටත් වඩා කියවා තියෙනවා. ඒ හැම විටම මා තුළ කිසියම් විපර්යාසයක් ඇති වන බව මට දැනෙනවා."
~අර්නස්ට් හෙමින්වේ~
කෙටියෙන් කිව්වොත් මට දැනෙන්නෙ මහල්ලා සහ මුහුද ගොඩක් සරළ කතාවක්. ඒත් සරළ බව සාර්ථකත්වය මනින්න පුළුවන් සාධකයක් නෙවේ.
හෙමින්වේට මේ පොත සඳහා ඇමරිකන් ෆුලිස්ටර් ත්‍යාගයත්, නොබෙල් ත්‍යාගයත් හිමි වුණා. කියුබානු ජාතිකයන් හෙමිංවේට ඉහළම රාජ්‍ය සම්මානයක් දීල ජාතික වීරයෙක් හැටියටත් නම් කරා.
'The Old Man and the Sea' 'මහල්ලා සහ මුහුද' නමින් සිංහලයට පරිවර්තනය කරල තිබුණෙ සිරිල් සී. පෙරේරා.
පස්සෙ කාලෙකදි මේ නමින් Animation කෙටි චිත්‍රපටියකුත් නිර්මාණය වෙලා. :)
Subscribe to:
Comments (Atom)





