June 22, 2014

ඇඩිෂම් වලට ගිය ගමන

හවස තුනට විතර පිටකොටුවෙන් බදුල්ල බස් එකේ පිටත් වුණේ හපුතලේ බලා යන්න. ඇඳුම් ටිකයි අනික් ලට්ට ලොට්ට ටිකයි තියෙන බෑග් එක සීට් එක යටින් දාල කැමරා බෑග් එක විතරක් අතේ තියාගත්තෙ වැඩි ආරක්ෂාවට කියල හිතලමයි. සති අන්ත දවසක් හින්ද අවිස්සාවේල්ල පහු කරාම හුස්මක් කටක් ගන්නවත් ඉස්පාසුවක් නැති තරමට සෙනඟ පිරිලා. හපුතලේ තිබුණා අපෙ මාමා කෙනෙක් බලාගත්ත ගෙස්ට් හවුස් එකක්. හපුතලේ නගරයෙ තියෙන උසම තැන තමයි මේක තිබුණේ. ඉතිං මං අවුරුද්දකට වතාවක් විතර සති දෙක තුනක් හපුතලේ ගත කරන්න පුරුදු වෙලා හිටියා. 

පැය කිහිපයකින් විතර හපුතලේ නගරයට ළඟා වෙනකොට මීදුමෙන් මුළු පළාතම වෙළාගෙන. සීතල ඉවසගන්න බැරි හින්දමද මන්ද කකුල් දෙක ඉක්මනින්ම ත්‍රීවීල් රථයක් දෙසට පිය නැගුවා. මාමා කිව්ව හැටියටනං ඒ දවස් ටික හපුතලේට එච්චර හොඳ කාලගුණයක් නෙමෙයි තිබිල තියෙන්නෙ. මුළු දවස තිස්සෙම අනෝරා වැස්ස. පස් කඳු කඩං වැටිල පාරවල් අවහිර වෙලා. 
වාසනාවකට වගේ පහුවෙනිද වෙනකොට වරුසාව නතර වෙලා අව්ව පායල පැහැදිලි කාලගුණයක පෙර නිමිති පහල වෙලා තිබුණා. 

ඔය ඉන්න අතරෙ හපුතලේට කිලෝමීටර් හතරක් විතර දුරින් තියෙන සාන්ත බෙනඩික් තාපාසාරාමය හෙවත් ඇඩිෂම් බංගලාව බලන්න යන්න අදහසක් පහළ වුණා. 

කැමරාවත් බෑග් එකට දාගෙන ගමන පයින්ම යන්න පිටත් වුණා. යන අතරමග තනිකරම තිබුණෙ තේ වතු, කඳුකරය.. 





ස්ට්‍රෝබෙරි, ජෑම් පේර කඩවල් පාර අයිනෙ. වෙසක් නිවාඩුව හන්ද කඩවල් කිහිපයක් වහල. හපුතලේ කියන්නෙ බොහොම සාමකාමී නගරයක්. බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික කියල භේදයක් නෑ.  

විශාල වනාන්තරයක් මැදින් තිබුණු කෙටි තාර පාරක් දිගේ ගිහිල්ල අන්තිමේදි ඒ ප්‍රපාතවත් පෙනුමක් තියෙන් බංගලාවට ආව. 





මේ බංගලාව හදල තියෙන්නෙ 1931 ඉංග්‍රීසි වැවිලිකාර රදළයෙක් වුණු සර් තෝමස් ලිස්ටර් විලියස් (Sir Thomas Lister Villiers). 


තෝමස් ලංකාවට ඇවිල්ල තියෙන්නෙ බොගවන්තලාව, ඇල්බැද්ද වතුයායෙ නිලධාරියෙක් විදිහට. ලංකාවට එනකොට තෝමස්ගෙ සාක්කුවෙ තිබිල තියෙන්නෙ පවුම් දහයක් විතරයි. ඊට පස්සෙ තමයි වැවිලි කර්මාන්තයෙ යෙදිල දියුණු වෙලා තියෙන්නෙ. 

බංගලාව මුළුමනින්ම ගොඩනගල තියෙන්නෙ කළු ගලින්. දැකුම්කළු ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකින් නිර්මාණය කරල තියෙන මේ බංගලාවෙ වහලය වගේම ජනේල, පඩිපෙල්, දොරපලු, බිම හදල තියෙන්නෙ බුරුම තේක්ක වලින්. බංගලාව නිර්මාණය කරල තියෙන්නෙ R. Booth සහ F. Webster කියන ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනා විසින්.  බංගලාව ඇතුලෙ ඡායාරූප ගැනීමට අවසර දෙන්නෙ නැහැ. මේ අන්තර්ජාලයෙන් ලබා ගත්ත කිහිපයක්. ඒ වගේම නරඹන්න දෙන්නෙත් බංගලාවෙ සීමා සහිත කොටසක් විතරයි.  












බංගලාව ඇතුලෙ තියෙන සියළුම ගෘහ භාණ්ඩයක්ම ඉතා පැරණි වටිනා දේවල්. රේඩියෝ, පිඟන් භාණ්ඩ, පොත්, ආදි බංගලාවෙ තියෙන නොයෙකුත් විච්චූරණ සිත ආදි කාලෙට ගෙනියනවා. 

පස්සෙ කාලෙකදි සර් තෝමස් මිය ගියාම පස්සෙ 1961 දි සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායෙ පූජකවරයා විසින් මේ සුවිසල් බංගලාව තාපාසාරාමයක් විදිහට පවත්වගෙන ගිහිල්ලා. අදටත් සියලුම නඩත්තු කටයුතු වගේම මේ බංගලාව පවත්වගෙන යන්නෙත් ඔවුන් විසින්. ඇඩිෂම් බංගලාව විසින්ම නිෂ්පාදනය කරන ජෑම්,කෝඩියල් වගේ ඒව විකුණල තමයි නඩත්තු කටයුතු වලට ඕන කරන මුදල් හොයාගන්නෙ. 



ඔවුන්ගෙ ආදර්ශ පාඨය "යාඤාව සහ වැඩ කිරීම".








පැයක් පමණ එතන ගත කරල ආයිමත් එනකොට මීදුමත් එක්ක වැහි පොද ටිකකුත් බිම පතිත වෙන්න පටන් ගත්තත් පොඩි වෙලාවකට විතරයි. ඒ වුණත් කොයිකටත් කියල ඉක්මනටම ආවා.

මං හිටපු ගෙස්ට් හවුස් එකේ මල් වවන්න භාර වෙලා තිබුණෙ රාජා කියන දමිළ මාමා කෙනෙක්ට. රාජාගෙ ගෙදර හිටිය ඇති කරන ගිරවෙක්. සංචාරක තෙමේ ඉතිං කුරුල්ලෙක් දැක්කොත් ෆොටෝ එකක් ගන්න අමතක කරන්නෙ නෑනෙ. 



  
මේ ඉන්නෙ අළු ගිරවෙක්. රු.500 නෝට්ටුවෙ ඉන්නෙ මෙයා. 

ප.ලි. - ඇඩිෂම් බංගලාවේ ඇතුළත ඡායාරූප ගැනීමට අවසර නොමැති නිසා ඇතුළත ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි..




June 13, 2014

කූඩු හැදිල්ල සහ ඇම්ඩන්ගෙ ගැටේ


වෙසක් වලට හදපු වෙසක් කූඩුව වැස්සට තෙමිල කීතු කීතු වලට ඉරිල ගිහිල්ලා. මේ පාර එකයි හැදුවෙ. ඒක හින්ද ලොකුවටම හැදුව. මොනව කරන්නද ඉතිං ඔය දේ තමයි ලෝකෙ වෙනස් වෙන්නැති එකම දේ...

ඔය අතරෙ මට තවත් පාසල් මතකයක් සිහියට ආව. වෙසක් කාලෙට ඉතිං ඉස්කෝල වල වෙන වැඩක් නෙ කූඩු හදන එක. එක අවුරුද්දක අපි හිටපු සෙක්ෂන් එකට භාර දුන්නා වෙසක් වලට ලොකු කූඩුවක් හදන්න. එතකොට අපි දහය වසරෙද කොහෙද. ඔය කාලෙට හෙන ජොලි ලු. මොකද ආයි ඕක හදල ඉවරවෙලා වෙසක් දවසට ලයිට් දාල පත්තු කරල පෙන්නනකං ඉගැන්විල්ලක් නෑනෙ.. :D වෙසක් දවසට සති දෙකක් විතර තියල ඉතිං වැඩේ පටන් ගන්නව. ඔය කිව්වට පළවෙනි දවස් දෙක තුනේ වැඩේ කෙරෙන්නෙ කටින්. කට්ටියක් අටේ නවයෙ පන්ති ගාණෙ ගොහිං මල් කැඩීමේ රාජකාරිය අරඹනව. තවත් කට්ටියක් හිටිය කොඩි ගස් පැනීමේ උණ තියෙන. පන්තියට ටිකක් එහායින් පොඩි පිට්ටනි කෑල්ලක කොස් ගහකුයි කොට්ටං ගහකුයි තිබ්බා. ඔය ගස් දෙක තමා කුණ වුනේ. කුණ කියන්නෙ කොඩි ගස් පනිද්දි ගන්න ගස් දෙකනෙ. :P කොහෙද දැං කාලෙ පොඩි එවුං ඕව දන්නවැයැ. ඕක තමා ඒ කාලෙ අපේ ප්‍රියතම සෙල්ලම. 

ඔහොම ඉඳල දවස් දෙක තුනකිං කූඩුව හැදිල්ල පටන් ගන්නවා. හදන කූඩුව මොන වගේ එකක්ද කොච්චර ලොකුද කියල එහෙම තීරණය කොරල ඉස්සෙල්ලාම හට් එක ගහං ඉන්න ඕන හන්ද ඔය ඉස්කෝලෙට අඩි දෙකේ තුනේ දුරින් හිටපු ළමයිංගෙ ගෙවල්වලිං මන්න, කැති, පොරෝ එහෙම හොයං ඇවිල්ල යනව උණ ගස් ටිකකුයි පුවක් ගහකුයි කපන්න. හංවැල්ල වගේ සුළු නාගරික පැත්තක අපේ ඉස්කෝලෙ, ඒ කියන්නෙ රාජසිංහ මධය විද්‍යාලය තිබ්බත් ඉස්කෝලෙ වටේම තියෙන්නෙ වෙල් යායවල්, මඩ වගුරු, රබර් වතු කෑලි. දහ පහළොස් දෙනෙක් විතර සෙට් වෙලා ගියා ඕං උණ ගස් පඳුරු හොයාගෙන. රටේ නැති වල්පල් දොඩෝ දොඩෝ ගිහිල්ල අන්තිමේදි හොඳ උණ පඳුරක් හොයාගත්තා. සෙට් එකේ හිටිය එකෙක් මෑන් ට කිව්වෙ ඇම්ඩන් කියල. :D මිනිහට ඒ නම හැදිච්ච හැටිනං තාමත් මං දන්නෑ. ඔය කැපිලි කෙටිලි වැඩ වලට මුලින්ම අතගහන්නෙ මිනිහ තමා. ඕං ඉතිං දහ පහළොස් දෙනෙක් ආවට තුන් හතර දෙනෙක් සෙට් වෙලා උණ ගස් ටික බිම පත බාන්න පටං ගත්තා. ටික වෙලාවක් යනකොට නිකං කටු අනිනව වගේ දැනෙන්න පටන් ගත්තා. බැලින්නං උණ ගහක තිබ්බ ලොකු දිමි ගොට්ටක් බිමට පත බෑවිලා ඇවිස්සිලා. කොහොමහරි අන්තිමේදි උණ ගස් හතරක් පහක් කපල උස්සං ආවා. ඔය එන අතරමගදි ගෙවල් වල පාර අයිනට වෙන්න තිබ්බ පේර ගස්වලට එහෙම මුකුත් වුණේ නෑ.!! :D

 තවත් අමතක වෙන්නැති වැඩක් වුණේ පුවක් ගහ කපන්න ගිහිල්ලා. කපන්න ගිය පුවක් ගහ තිබුණෙ ඉස්කොලෙට ළඟින්ම තිබුණ ගෙයක් එහා පැත්තෙ තිබුණ පාළු වත්තක. ඒ ගෙයයි පාළු වත්තයි වෙන් වුණේ කම්බි වැටකින්. ඕකටත් ඉතිං මුල් තැන ගත්තෙ ඇම්ඩන් තමා. පුවක් ගහ තිබුණෙ කම්බි වැටට ළඟින් වෙන්න. පුවක් ගහ කපන්නත් ඕනෙ කම්බි වැට බේරගන්නත් ඕනෙ. ඇම්ඩන් ළඟ තිබ්බ කොස් ගහට නැගල අත්තක් දිගේ ගොහිං පුවක් ගහේ මුදුනෙන් ලණුවක් අරගෙන බැඳල ලණුවෙ අනික් කොන කොස් අත්ත උඩින් පල්ලෙහාට දැම්මා. මිනිහ ගස් බඩ ගාන්නත් හෙන සූරයා. කට්ටිය ලණුව හයියෙන් අල්ලගෙන ඉන්න අතරෙ ඇම්ඩන් පුවක් ගහ කපන්න පටන් ගත්තා. අන්තිම ටික කපාගෙන ඉවර වෙනකොටම ඇම්ඩන් දාපු ගැටේ හොඳකම හින්දම පුවක් ගහ කම්බි වැටත් කඩාගෙන බිමට පත බෑ වුණා. අපේ වාසනාවට ඒ ගෙදර හිටියෙ අහිංසක සීය කෙනෙකුයි ආච්චි කෙනෙකුයි. ඕක හදාගන්න බැරියැ කියල අපිට පුවක් ගහත් අරං යන්න කිව්වා. පස්සෙ ඉතිං කට්ටියම එකතු වෙලා පුවක් ගහ කර තියං කූඩුව හදන තැනටම ගෙනිච්චා. හැබැයි මට මතකයි මට ඉස්සරහිං හිටපු එකා කොටයි. මං හිතන්නෙ මිනිහ පුවක් ගහේ එල්ලිලා ආවෙ. :D 

කූඩුවත් හදල ඉවර වුණා. හුටා..කූඩුව කරකවන්න මෝටරයක් ඕනෙ. ඔය සෙට් එක අතරෙ හිටියා ඔය ඉලෙක්ට්‍රික් වැඩ වලට එහෙම දස්ස හාදයෙක්. කාගෙවත් ගෙදර හොයාගන්න මෝටරයක් තිබ්බෙ නෑ. මිනිහ මොකද කරේ පන්තියෙ එල්ලල තිබ්බ ෆෑන් එක ගලෝල මෝටරේ ගත්තා. කොහොමහරි වෙසක් දවසත් ඉවරවෙලා දවස් දෙකු තුනක් යනකං මේක ටීචර්ස්ලට මාට්ටු වුණේ නෑ. අන්තිමට පන්තියටම අම්බානකට බැනුම් අහන්න සිද්ධ වුණා. 

කූඩුව අලෝල ලයිට් එල්ලන වැඩේ සිද්ධ වුණේ වෙසක් දවසට ඉස්සෙල්ල දවසෙ. ඉස්කෝලෙං පස්සෙ හවස් වෙනකංම හිටියා. ඒ දවස් මතක් වෙනකොටත් හිනා යනවා. කූඩුව අලෝල සැරසිලි දාන එක ඉතිං පිරිමි පාර්ශවේට තිබ්බ රාජකාරියක් නෙවේ නොවැ. අර ඉස්සෙල්ලා කිව්ව කොස් ගහේ වැල ගෙඩියක් තිබුණ. සුවඳේ ඉන්න බෑ. ඕක ඔහොම එල්ලි එල්ලි තියෙද්දි කොහොමද බලං ඉන්නෙ. ඇම්ඩන්ට පිං සිද්ධ වෙන්න ඒ වැල ගෙඩියත් කඩං කෑවා.   
  
ඔහොම කරපු පිස්සු වැඩ ගොඩක් අන්තිමේදි කූඩුවත් හදල ඉවර වුණා. වෙසක් දවසෙ රාත්තිරියෙදි ලයිට් පත්තු කරල කූඩුව ගමේ හැමෝටම පෙන්නද්දි තියෙන සතුට...! කියල නිම කරන්න බෑ...

ඒ වගේ අනන්තවත් සුන්දර මතකයන් ජීවිතේට එකතු කරපු මගෙ පාසලට සමුදෙන්න තියෙන්නෙ තවත් මාස දෙකක් විතරයි...!!




Related Posts Plugin for WordPress, Blogger...