March 27, 2014

මගේ ඡායාරූපකරණය - පාපොච්චාරණය | My Photography - Confession

ෆොටෝග්රැෆි (සිංහලෙන් ඡායාරූපකරණය :P) යනු මට වැළඳුනු දරුණුම උණකි. මතක විදිහට මේ උණ වැළඳුනේ 2010 වර්ෂයේ විතර. එදා පටං ගෙදර ඉන්න මැස්සාගේ සිට බල්ලා දක්වාම ෆොටෝ ගත්තා. ඉස්සර ඉඳංම පුංචි පහේ ඩිජිටල් කැමරාවක හිමි කරුවෙකු වුණත් මේක කලාවක් කියල දැනගත්තම පස්සෙ අහුවෙන හැම දෙයකටම කැමරාව අල්ලල ෆොටෝ ගන්නව වෙනුවට පොඩ්ඩක් හිතල මතල ෆොටෝ ගන්න පුරුදු වුණා. ඔහොම පළවෙනියටම ගත්තෙ ගෙදර වත්තෙ තිබ්බ මල් පොකුරක ෆොටෝ කෑල්ලක්. 


පස්සෙ ඕක Picasa වගේ සොෆ්ට්වෙයාර් වලින් edit කරල හැඩ බැලුවා.  මතක හැටියටනං ඒ වෙනකොට මට තිබ්බෙ 
Panasonic - Lumix DMC FX 8 ඩිජිටල් කැමරාවක්.  
දැන්නං ඒක කොහෙද දන්නෑ.. :P
                                                    Panasonic - Lumix DMC FX8

මේ කලාවෙ ඉතිහාසය ගැන පුංචි විස්තරයක් කරනවනං ඡායාරූපකරණය හෙවත් Photography කියන ඉංග්‍රීසි වචනය හැදිල තියෙන්නෙ ප්‍රංශ වචනයකින්. ඒ ප්‍රංශ වචනයත් හැදිල තියෙන්නෙ ග්‍රීක වචන කිහිපයක අනුසාරයෙන්. 
ඒකෙ තේරුම “ආලෝකයෙන් ඇඳීම“. 
ප්‍රථම වතාවට ස්ථීර ඡායාරූපයක් අරගෙන තියෙන්නෙ 1826 දි. ඒ ප්‍රංශ ජාතික “ජෝසෆ් නිසෙෆෝ නිප්සෙ (Joseph Nicepho Niepce) කියන මහත්තයලු.
  
                             ප්‍රථම ස්ථීර ඡායාරූපය

ඔහොම යනකොට මට ඕන වුණා ඡායාරූපකරණය ගැන තව ඉගෙන ගන්න. කොළඹ හා ඊට ආසන්න ප්‍රදේශවල ඡායාරූපකරණය ගැන පාඨමාලා අනන්තවත් තිබුණත් ඉස්කෝලෙ යන හින්ද ඒවට යන්න වෙලාවක් නැති වුණා. ඒත් අන්තර්ජාලය කියන එක නිවැරදි විදිහට පාවිච්චි කරන කෙනාට ඒක බාධකයක් නෙමේ. Photographyගැන ඉගෙන ගන්න ඕන තරං වෙබ් සයිට් හා බ්ලොග් සයිට් තියෙනවා. 
ISO, Exposure, Shutter Speed, Aperture, Composing වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ අන්තර්ජාලයෙන්. තාමත් ඉගෙන ගන්නව. ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් අඩවියක් තමයි සමීර අයියගෙ බ්ලොග් එක. ඒ වගේ තව ගොඩක් තියනව ඉගෙන ගන්න පුලුවන්..
ෆොටෝ කතා
I know Foto
රිද්ම සංකලන
Digital Photography
PhotographyLK 

#මට හොඳ මං ගත්තු ඡායාරූප කිහිපයක්...




                                                             



                                




                                                               නිශ්චල නාටිකංගනාවො

                                                             දියත උද්‍යානයෙදි ගත්තෙ

                                                           Long Exposure Photography

                                          ගෙදර තිබ්බ ඔරලෝසුවකටවත් පාඩුවෙ ඉන්න දුන්නෑ

                                                කවදත් මං වැඩියෙන්ම කැමති Black & White



                               
                                                                Smoke Photography

 
                                                          ෆොටෝෂොප් ජිල්මාට්ටුවක්


මේක ඉවසීමෙන් ප්‍රගුණ කරන්න ඕන කලාවක්. ඒ වගේම එක මොහොතකින් හැමදෙයක්ම ඉගෙන ගන්නත් බෑ. දවසින් දවසින් අලුත් දේවල් එකතු වෙනවා. තව අවුරුද්දකින් පමණ මට හිතෙයි ඒ කාලෙ වෙනකොට මම අරං තියන හොඳ ෆොටෝ වල හැටියට මේව මොනවද කියල. 

තාමත් මට තියෙන්නෙ Nikon Coolpix S4200 පොඩි කම්පැක්ට් ඩිජිටල් කැමරාවක්. මීට වඩා වැඩි යමක් කරන්නනං DSLR වර්ගයෙ කැමරාවක් තියෙන එක හොඳයි. මිල සාපේක්ෂව ඉතා ඉහලයි. මම ඉස්සෙල්ලාම DSLR කැමරාවක් අතගෑවෙ හපුතලේ දි. ඒ Nikon D3000 කියන පරණ මොඩ්ල් එකක්. නෑදෑයෙක්ට අයිති එකක්. ඒ වෙලාවෙනං හිතට දැනුණු සතුට කියල නිම කරන්න බෑ. නිධානයක් පහළ වුණා වගේ. :D :D
ගෙදරිං නං කියන්නෙ විභාගෙ ලියල ඉවර වෙනකං ඕව අරගන්නෑ කියල..
ඉතිං කෝමත් ෆේල් වෙන එකේ අරං දුන්නාම මොකෑ වෙන්නෙ මං අහන්නෙ...!!! :P :P

Travel Photography, Macro, Nature, Wildlife වගේ ක්ෂේත්‍ර තමයි මං ආසම. 
කවදහරි ඒ සිහිනෙ සඵල වෙන්නැතෑ.. එතකං බලා ඉන්නව..

ප.ලි. - අවසන් වශයෙන් කීමට ඇත්තේ මෙය කවදාවත් සුව නොවන උණක් බවයි...!!!

    
  


                                               

                     


March 24, 2014

වානේ පන්නරය ලැබූ හැටි | How the Steel Was Tempered


එදා මා පුස්තකාලයෙන් ගෙන ආවේ එම පොතයි. සැබැවින්ම එය රුසියානු සාහිත්‍යයේ විශිෂ්ට සළකුණක්. එම පොත සිංහලයට  පරිවර්තනය කර තිබුණේ දැදිගම වී. රුද්‍රිගු විසින්.

'වානේ පන්නරය ලැබූ හැටි' කෘතියේ ප්‍රධාන චරිතය වන 'පාවෙල් කොර්චාගින්' සහ කෘතියේ රචකයා වන 'නිකොලායි ඔස්ත්‍රොව්ස්කි' එකම චරිතයක් ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. ඔස්ත්‍රොව්ස්කි විසින් පාවෙල් හරහා ඔහු ඉදිරිපත් කරන්නෙ ඔහුගේම ජීවිත අත්දැකීම් සමුදායයි. 
නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ජීවත් වුණේ අවුරුදු තිස් දෙකක් වැනි කෙටි කාලයක් පමණයි (1904-1936). එහෙත් ඔහු වීරෝධාර චරිතයක්. සෝවියට් දේශය ගොඩනැගීමට ඔහු තම ශක්තිය යෙදෙව්වා. ප්‍රතිවිප්ලවාදී කණ්ඩායම් සහ පෝලන්ත හමුදා වලට එරෙහිව සටන් කරන නිකොලායි අවසානයේ ස්නායු රෝගයකට සහ අංශබාගයට ගොදුරු වුණා.

 අවුරුදු දොළහක් ඔහු රෝගියෙකු ලෙස තම ජීවිතය ඇඳට පමණක් සීමා කරා. එයින් අවසන් අවුරුදු අට අන්ධයෙකු ලෙස ගත කරා. තුවක්කුව වෙනුවට පෑන මෙහෙයවමින් තමා සීමා වී තිබුණු අයෝමය වළල්ල බිඳ දමමින් සෝවියට් දේශයේ පරම්පරා ගණනකම අත් පොත වන 'වානේ පන්නරය ලැබූ හැටි' කෘතිය ලියවෙන්නෙ මෙම වකවානුවෙදි.

"අතිශයින්ම වැදගත් වස්තුව වන සටන් කිරීමට ඇති හැකියාව නැතිව ගිය පසු ජීවත් වන්නේ කුමක් සඳහාද? සොම්නස රහිත අනාගතයේදී හා වර්තමානයේදී ජීවිතය සනාථ කරන්නේ කෙසේද? කා, බී, ආශ්වාස ප්‍රස්වාස කිරීමෙන් පමණක්ද? සිය සගයින් සටන් තුළින් ඉදිරියට යන විට, පැත්තකට වී නිකං බලා සිටින සාක්ෂි කරුවෙකු වී සිටිය හැකිද?" 

අන්ධබාවය ඔස්ත්‍රොව්ස්කි හට බාධකයක් වුණේ නැහැ. පළමු අවධියෙදි ඔහු ඉතා අමාරුවෙන් පැන්සල තද කරගෙන අකුරු ලිව්වෙ ඒව අත ගා බලමින්. සමහර අවස්ථාවලදි ලියූ අකුරු පේළියට උඩින් තවත් අකුරු පේළියක් ලියපු නිසා එම ලිපි විනාශ වුණා. පසුව රුසියන් බසින් 'ට්‍රාන්ස්පරාන්ට්' ලෙස හැඳින්වෙන කාඩ්බෝඩ් කැබැල්ලක දිග අතට සිදුරු කපා ලියන කඩදාසිය මත තබා සිදුරු ඔස්සේ අකුරු ලියමින් ඔහු තම ජීවිත කතාව රචනා කරා. 

ඔස්ත්‍රොව්ස්කි තරුණබව, ආදරය හා සටන ගැන පොතක් ලිව්වා.    
වානේ පන්නරය ලැබූ හැටි කෘතිය තුලින් ලෝකයාට නිදහස වෙනුවෙන් කරන සටනට පන්නරයක් ලබා දුන්නා. 

"1914-1918 ලෝක මහා යුද්ධය, සිවිල් යුද්ධය, සෝවියට් සංගමයේ ආර්ථිකය යළි ගොඩ නැගීම පසුතලය කරගනිමින් කතුවරයා නව රුසියාවේ තරුණ වීරයා වන පාවෙල් කොර්චාගීන්ගේ සේයාරුව මැනවින් සිත්තම් කරයි. එය අතිශයින්ම යථාර්තවාදී ය, චරිතය උපරිමය ලෙස පැහැදිලිය. ඉමහත් ශක්තියෙන් යුතුව ඔහු සැබෑ ජීවිතයෙන් කොටසක් මනහර ලෙස චමත්කාරජනක හැඟීමකින් යුතුව ඉදිරිපත් කරයි."     
                                                         ~ටයිම්ස් පුවත්පත~

පාසල් යන පාවෙල් පූජකයාගේ පිටි වලට දුම්කුඩු මිශ්‍ර කරනවා. එබැවින් ඔහු පාසලෙන් නෙරපා දමයි. ගිනි උදුම් සේවකයෙකු ලෙස, විදුලි බලාගාර සහයකයෙකු ලෙස, රේල් පීලි සවි කරන්නෙකු ලෙස ඔහු තම ශ්‍රමය මෙහෙයවනවා. දරිද්‍රතාවය සහ සමාජ විෂමතාවය හඳුනාගන්නා පාවෙල් ධනවාදීන්ට වෛර කරන්නට පටන් ගනියි. 
ඔහුගේ රළු ස්වභාවය, නුරුස්සනා ගතිය නිසා තෝන්යා ඔහුට ආලය කරනවා. තෝන්යා ඔහුගේ ආදරවන්තිය වෙනවා.. නමුත් කම්කරුවෙකුට ආලය කිරීමට හැකි වූ තෝන්යාට කම්කරු අදහස් වලට ආදරය කරන්නට නොහැකි වෙනවා. මේ නිසා පාවෙල් කොර්චාගින්, තෝන්යා ගෙන් වෙන් වේ.

බලාපොරොත්තු කඩ වීමේ කටුක බව, දුප්පත් කම්කරුවන් විඳනා දුක් සමුදාය ගැන පාවෙල් ඉතා සංවේදී වුණා. 
"මෝඩකම නිසා හා තරුණකම නිසාද, හැමටම වැඩියෙන් නොදත්කම නිසාද වැරදි බොහොමයක් කළෙමි." පාවෙල් තමා ගැන සිතුවෙ ඒ අයුරින්.

1935 දී නිකොලායි ඔස්ත්‍රොව්ස්කි හට මෙම කෘතිය වෙනුවෙන් ලෙනින් සම්මානය පිරිනැමුණා. ඔහුගේ දෙවැනි කෘතිය 'Born of the Storm' සහ අවසාන කෘතිය වන්නේ 'Russian Civil War' යන්නයි.

නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ගෙ මෙම ශ්‍රේෂ්ට නව කතාව නිසා ආස්වාදය ලැබූ ප්‍රංශ මහා ගත්කරු රොමේන් රොලාන්, ඔස්ත්‍රොව්ස්කි 'ක්‍රියාශීලිත්වයේ දීප්තිමත් ආලෝකය' ලෙසින් හැඳින්වුවා.

"විප්ලවවාදී යුගයේ ශේෂ්ඨතම කලාත්මක නිර්මාණය එය විසින් බිහි කරන ලද මිනිසුන්ය. නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ඔවුන්ගෙන් කෙනෙකි"
                                                       ~සෙම්යොන් ත්‍රෙගුබ්~
ශාරීරින පීඩාවන්ට යමෙකුගේ ජීවිතය අඳුරු වළා පටලයකින් වසා දැමිය හැකි වුවත් ඔහුගේ ධෙර්යය, ආධ්‍යාත්මික සංවේදී බව හා හැකියාවන් සදාකාලිකව විනාශ කළ නොහැකිය...

වාර්තාකරුවෙකු දවසක් ඔස්ත්‍රොව්ස්කි ගෙන් මෙසේ ප්‍රශ්නයක් නැගුවා.
"ඔබ නිර්භීත මිනිසෙක්, කොමියුනිස්ට්වාදී අදහස් වලට කැප වීමට ඔබට හැකි වූයේ එම නිර්භීතකම හේතුවෙන්ද?"

"ඔව්"
ඔහු මොහොතකුදු පමා නොවී පිළිතුරු දුන්නේය.

මා කියවූ සිංහල අනුවාදයෙහි.., 
කතෘ - දැදිගම වී. රුද්‍රිගු
  

Related Posts Plugin for WordPress, Blogger...