February 26, 2014

මගේ ෂර්ලොක් හෝම්ස් පිස්සුව | My Sherlock Holmes Mania


මම ෂර්ලොක් හෝම්ස් කතා රස විඳින්න පටන් ගත්තෙ 2008 අවුරුද්දෙ ඉඳන් වගේ. අහඹු විදිහට පොත් කඩයකින් හම්බුණු ෂර්ලොක් හෝම්ස් පොතක් ගෙදර අරගෙන ඇවිල්ල කියෙව්වා. එදා ඉඳන් වැළදුනු මේ පිස්සුව තාමත් තියෙනවා. අදටත් අලුතෙන් ෂර්ලොක් හෝම්ස් පොතක් තියනව දැක්කොත් ආතර් කොනල් ඩොයිල් ගෙ කතාවක පරිවර්තනයක් වුනත්, නොවුනත් අනිවාර්යෙන් ගෙනල්ල කියවනවා. 

ෂර්ලොක් හෝම්ස් කතා මාලාව රචනා කරේ ශ්‍රීමත් ආතර් කොනල් ඩොයිල් නම් වෛද්‍යවරයා විසින්. මුල්ම කතාව රචනා කරේ 1887 වර්ෂයෙදි. 
ඒ A Study in Scarlet නම් දීර්ඝ කතාවයි. 
කොනල් ඩොයිල් විසින් රචනා වුණු මුලු ෂර්ලොක් හෝම්ස් කතා ගණන 60 කි. ඉන් හතරක් නවකථා. ඉතිරි පනස් හය කෙටි කතා යි.

#නවකථා 4    
       01. A Study in Scarlet (1887)
       02. The Sign of the Four (1890)
       03. The Hound of the Baskervilles (1901)
       04. The Valley of Fear (1914)

#ඉතිරි කෙටි කතා 56 පොත් 5 ක අඩංගුයි.
       01. The Adventures of Sherlock Holmes (1892)
       02. The Memoirs of Sherlock Holmes (1894)
       03. The Return of Sherlock Holmes (1905)
       04. His Last Bow (1917)
       05. The Case Book of Sherlock Holmes (1927)

එංගලන්තයෙන් උපත ලද මේ රහස් පරීක්ෂක චරිත 2 වැඩි කල් නොගොස්ම ලොව ඉතාමත් ජනප්‍රිය වුණා. ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන් මනඃකල්පිත චරිත දෙකක් වුණත් ලොව ප්‍රසිද්ධම ලිපිනය ලෙස ප්‍රකට වෙලා තියෙන්නෙ හෝම්ස් ජීවත් වුණු 
221B, Baker Street, London. යන ලිපිනය. උන්මාදය කෙතරම්ද කිව්වොත් මේ ලිපිනයට හෝම්ස් ගෙ නමට ලියුම් පවා පැමිණුනාලු. එදා මේ ලිපිනය අනුව එතන තිබුනෙ බැංකුවක් බවයි සඳහන් වෙන්නෙ. පසුව එම ස්ථානයේ ෂර්ලොක් හෝම්ස් නමින් ‍කෞතුකාගාරයක් ඉදි වුණා. 
ශ්‍රී ලංකාවෙ ෂර්ලොක් හෝම්ස් කතා සිංහල පරිවර්තන පොත් බොහොමයක් තිබුණත් ඉන් වඩාත් ප්‍රචලිත චන්දන මෙන්ඩිස් මහතා ගෙ පරිවර්තන පොත් පෙළයි. 
ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන් පොත් වලට සීමා නොවී හෝම්ස් ඇසුරෙන් වේදිකා නාට්‍ය, චිත්‍රපටි පමණක් නොව රූපවාහිනී කතා මාලා පවා නිර්මාණය වුණා.

මේ අතරින් මම වැඩියෙන්ම ආස නව්‍යකරණයට ලක් වුණු 21 වෙනි සියවසේ ෂර්ලොක් හෝම්ස් ප්‍රබන්ධයක් වන BBC රූපවාහිනී චැනලය මගින් නිෂ්පාදනය වුණු SHERLOCK රූපවාහිනී කතා මාලාවට. කොනල් ඩොයිල් ගෙ නිර්මාණ වලින් තරමක් වෙනස් වුවත් ඉතා ආසාවෙන් බලන්න පුලුවන්. මෙහි හෝම්ස් ගේ චරිතය ඉතා දක්ෂ නළුවෙක් වෙන Benedict Cumberbatch විසිනුත් වොට්සන් ගේ චරිතය Martin Freeman විසිනුත් රඟපානවා.

ඇත්තටම මේක ඇබ්බැහි වුණු උණක්..!!     

February 7, 2014

වැලන්ටයින් සුල මුල | History of Valentine's Day

පෙබරවාරි 14 වැනි දිනට යෙදී ඇති වැලන්ටයින් දිනය, නැතිනම් පෙම්වතුන්ගේ දිනය ලොව පුරා වෙසෙන පෙම්වතුන්ට සුවිශේෂී දිනයක්.

අද වන විට බොහෝ ලෙස වාණිජකරණයට පත් වෙලා තිබෙන මේ ආදරවන්තයින්ගෙ දිනය බිහි වුණේ කොහොමද...

#දෙවැනි ක්ලෝඩියස් රජු රජ කරන කාලයෙදි රෝමයෙ යුද්ධය බොහෝ ලෙස පැතිරුණා. එම නිසා ක්ලෝඩියස් රජු තම යුධ සේනාව තව තවත් වර්ධනය කර ගැනීමට සියලුම අවිවාහක තරුණයන් යුද්ධය සඳහා සොල්දාදුවන් ලෙස බැඳිය යුතු බව පවසමින් ආඥාවක් ඉදිරිපත් කළා.
මේ අතර තව තවත් යුධ ගිනි දැල් ඇවිලෙද්දී ක්ලෝඩියස් රජුට සිතුණා රටේ විවාහක තරුණයින් තම පවුල ආරක්ෂා කරනවා මිස තම රට ගැන නොසිතන බව. එබැවින් රටේ සියලුම තරුණයින්ට විවාහ වීම තහනම් කරනු ලැබුවා. මෙයින් ආදරවන්තයින් ඉතා ශෝකයට පත් වුණා. 

මේ අතර වැලන්ටයින් නම් කිතුනු පූජකවරයෙක් සිටියා. තම පෙම්වතා, පෙම්වතිය සමග එකට ජීවත් වන්නට නොහැකි වීම නිසා ශෝකයට පත්ව සිටි ආදරවන්තයින් ගැන දුකට පත් වුණු මෙම වැලන්ටයින් නම් පූජකවරයා ක්ලෝඩියස් රජුගේ නීතියට පිටතින් ආදරවන්තයින්ට විවාහ බන්ධනය හොර රහසේම පිරි නැමුවා.

කලක් යාමේදී ක්ලෝඩියස් රජතුමාට මෙම වැලන්ටයින් ගැන දැනගන්නට ලැබුණා. වැලන්ටයින්ව සිරගත කිරීමට රජු නියම කළා.

මෙසේ වැලන්ටයින් සිරගතව සිටිද්දී බොහෝ තරුණ ආදරවන්තයින් මොහුගේ සුව දුක් විමසා යෑම පුරුද්දක් කර ගත්තා. ආදරවන්තයින් වැලන්ටයින්ගේ සිර කුටියේ ජනේලයෙන් මල් කළඹවල් සහ හසුන්පත් එව්වා. 
සිරගෙදර ආරක්ෂකයාගේ දියණිය මෙසේ වැලන්ටයින්ව දැක බලා සුව දුක් විමසා යෑම පුරුද්දක් කර ගත්තා. ඇයගේ පියා ඇයට ඒ සඳහා අවසර දී තිබුණා. ඇය වැලන්ටයින් සමඟ පැය ගණන් කතා කරමින් කාලය ගෙවා දැමුවා. 
මේ අතර දෙවැනි ක්ලෝඩියස් රජු වැලන්ටයින් පූජකවරයාට මරණ දඬුවම ලබා දී තිබුණා. මෙසේ මරණ දඬුවමට යටත් වන දිනයේදී වැලන්ටයින් තමා සමඟ පැවැත්වූ මිත්‍රත්වය වෙනුවෙන් ස්තූති කරමින් සිරගෙදර ආරක්ෂකයාගේ දියණිය ට දෙන ලෙස හසුනක් ලියා තැබුවා. 
එහී තිබී ඇත්තේ "Love from your Valentine" යනුවෙන්.
පසුව ආදරවන්තයිනගේ දිනයේදී ආදර හසුන්පත් හුවමාරු කර ගැනීමට මූලික වී ඇත්තේ මෙසේ වැලන්ටයින් විසින් ඇයට දෙනු ලැබූ හසුන් පතයි.
වැලන්ටයින් මිය ගිය දිනය ලෙස සඳහන් වී ඇත්තේ ක්‍රි.ව. 269, පෙබරවාරි 14 වන දිනයයි. එතැන් පටන් සෑම අවුරුද්දකම පෙබරවාරි මස 14 වැනි දිනය ආදරවන්තයින් විසින් ඉතාමත් ආදරයෙන් සමරනු ලබනවා. 











Related Posts Plugin for WordPress, Blogger...