August 21, 2014

රෑ මනමාලී..

"Queen of the Night"... සමහර රටවල් වල කඩුපුල් මල හඳුන්වන්නෙ ඒ නමින්. රාත්‍රියටම පිපිලා සඳ රාජිණියගෙ සෞම්‍යාලෝකය මැද බොහොම තේජවන්තව බැබලුණාට මොකද ඉර උදාවෙනවත් එක්කම හැමෝටම හොරෙන් හැංගිලා යනවා. 

සංචාරකයා මීට කලින් කඩුපුල් මලක් දැකල තිබුණෙ එක පාරයි. ඒ අසල්වැසි ගෙදරක තිබුණු කඩුපුල් පැළයක. මල් තුන හතරක්ම පිපිලා තිබුණා. අපිටත් එකක් දුන්නා බුදුන්ට පූජ කරන්නෙයි කියලා. ඒ ගෙදරින් තමයි අම්මා මීට අවුරුද්දකට විතර කලින් කොළයත් එක්කම තිබ්බ පොඩි මුල් කෑල්ලක් ගෙනල්ලා ගෙදර ඉස්සරහ තිබ්බ අඹ ගහේ පොල් ලෙලි වලින් පුංචි පෝච්චියක් හදල පැළ කරේ. කඩුපුල් පැළ හටගන්නෙ කොළවලින් නෙ. කොහොමහරි මීට දින කිහිපයකට කලින් ඒ ගෙනල්ලා පැළ කරපු කඩුපුල් පැළේ කොළයක අග්ගිස්සෙන් පුංචි පුංචිම පොහොට්ටුවක් ඇවිල්ලා තිබුණා. ඔහොම දවස් දෙක තුනක් හෙමිහිට යද්දි පොහොට්ටුවත් එන්න එන්න ලොකු වුණා. දවසක් අම්මා කිව්වා අද රෑටනං කඩුපුල් මල පිපෙනවා කියලා. මාත් බොහොම ආසාවෙන් හිටියෙ කඩුපුල් මල පිපෙනකංම ඒ දිහා බලං ඉන්න. හවස් වෙනකොටම කැමරාවයි ට්‍රයිපෝඩ් එකයි අටෝගත්තා.

මේ හවස 7.15ට විතර..
මට මේ පොහොට්ටුව දකිනකොට ඇතිවෙන්නෙම පුපුරන්න ඔන්න මෙන්න තියෙන දිය බුබුළක වගේ හැඟීමක්.. :D :)

චන්දන ලියනආරච්චි ගෙ සින්දුවකුත් මතක් වුණා ඒ ගමන්..

"සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ
නුඹ තාම නිදිද..
නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ.."

මේ ෆොටෝ එක ගත්තෙ රෑ 8.00 ට..
මනමාලි දැන්නං කළඑළි බහිහන්නයි සූදානම..

මේ වෙනකොට කඩුපුල් මල බලං ඉද්දි හෙමි හෙමිහිට පිපෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි සුවඳත්. 
මේ ෆොටෝ එක ගන්නකොට 8.10 යි..


8.40 විතර වෙද්දි කඩුපුල් මල බොහෝ දුරට පිපිලා. 
කඩුපුල් මලේ සුවඳනං දැං බොහොම මිහිරියට දැනෙනවා. 
දවස් ටිකේම තිබ්බෙ වැහිබර කාලගුණයක් හන්ද සීතලත් දැනෙනවා. ඒ මදිවට මදුරුවො. බැරිම තැන ගෙට ගිහිල්ලා සිද්ධාලේප කුප්පියක් ඇඟේ අතුල්ලගෙන ආවා. :P

9.00 ට විතර ෆොටෝ එකක් ගන්නකොට තිබුණේ මේ විදිහට.
                   
 10.00 ට තමයි මේ ෆොටෝ එක ගත්තෙ..
දැන්නම් කඩුපුල් මල හොඳටම වගේ පිපිලා..
රේණු ටිකයි කලංකයයි මුළුමනින්ම නිරාවරණය වෙලා. 
මුළු මිදුලම සුවඳයි.

දහය එකොළහ විතර වෙද්දි කඩුපුල් මල සම්පූර්ණයෙන්ම පිපෙනවා කියල තමයි කියන්නෙ. ඔය විද්‍යාත්මක භාෂාවෙන් කඩුපුල් මල හඳුන්වන්නෙ Epiphyllum oxypetalum කියලා. ඉන්දියාවෙ අයනං හඳුන්වන්නෙ "බ්‍රහ්ම කමලම්" කියලා. ඒ අයගෙ විශ්වාසයක් තියනවලු මේ අපි හඳුන්වන කඩුපුල් මල පිපෙන ගමන් දෙවියන්ට යාඤා කරාම ඒ අයගෙ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වෙන බව. 
ජපන්නු මේ කඩුපුල් මලට හඳුන්වන්නෙ "Beauty under the Moon" නමින්..

මේ තියෙන්නෙ ගත්තු තවත් ෆොටෝ ටිකක්..










කඩුපුල් මල පිපෙනකංම ෆොටෝ ගහල අන්තිමට හැදුව වීඩීයෝ එකක්. සංචාරකයගෙ Adobe Premier Pro දැනුමනං අන්තිමයි..කොහොමහරි වීඩියෝ කෑල්ලක් අටවගත්තා. පිපෙන හැටි බලාගන්න ඕන්නං මේක බලන්න.. :)


 ඔය එකෝමත් එක කියන රටේ.. :D තිබ්බලු විශාල පාළු වනාන්තරයක්. මේ පාළු වනය ඇතුලෙ තිබ්බා මල් ගොමු වලින් වට වෙච්ච ලස්සනම ලස්සන විලක්. මේ වනාන්තරයෙ හිටපු සුරංගනාවියන් එකතු වෙලා මේ විල වටේම නට නට සින්දු කියල සතුටු වෙන්න පුරුදු වෙලා හිටියලු. 
දවසක් මේ විදිහට සුරංගනාවියො විල වටේම නට නට සතුටින් ඉඳිද්දි තාපසයෙක් මේ ඉසව්වට ආවලු භාවනා කරන්න සුදුසු තැනක් හොය හොයා. මේ සුරංගනාවියො මේ තවුසව දැකපු ගමන්ම විලට බැහැල මානෙල් මල් බවට පත්වෙලා හැංගුණාලු. මේ ගැන දන්නැති තවුසා විල අසල තිබුණු ගහක් යට වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තලු. 
සුරංගනාවියන් විලෙන් ගොඩ වී ආපසු වාසස්ථාන කරා යන්න බලං හිටියත් මේ තවුස දකියි කියල බයේ විලටම වෙලා හිටියලු. ඒත් තාපසයා රාත්‍රිය වෙනකංම භාවනා කර කර හිටියා.
සඳත් උදා වෙනකංම විලටම වෙලා හිටපු සුරංගනාවියන්ට සීතලෙන් ගැහි ගැහි මේ විදිහට තවත් ඉන්න බැරි වුණා. ඉවසල බැරිම තැන තවුසට නොදැනෙන්න හෙමින් හෙමින් විලෙන් එගොඩට පිය නැඟුවත් සුළු ශබ්දයටත් තාපසයගෙ දැහැන බිඳුණා. තමන් මෙච්චර වෙලා තබාගත්තු දැහැන බිඳීමේ අමනාපයෙන් තවුසා මේ සුරංගනාවියන්ව යළිත් විලෙහි මානෙල් මල් බවට හැරෙව්වලු. මේ සිද්ධිය දැකපු වනයට අධිපති දෙවියො සුරංගනාවියන් ගැන අනුකම්පා හිතුණත් ඔවුන්ව මේ සාපයෙන් බේරගන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. ඒ වුණත් සුළුවෙන් හරි පිහිට වෙන්න ඕනෙ කියල හිතාගෙන වනයට අධිපති දෙවියො මේ මානෙල් මල් කඩාගෙන විල අසල තිබුණු ගස්වල අතු අග රැඳෙව්වා. 

උපුල් කියන්නෙ මානෙල් නෙ. කැඩූ+උපුල් = කඩුපුල් බවට හැරුණලු.
අදටත් මේ විදිහට සඳ ඇති සුන්දර රාත්‍රී කාලයෙදි විකසිත වෙන්නෙ මේ පුංචි සුරංගනාවියන්.. :)  


 


 ප.ලි. - අමතර තොරතුරු විකිපිඩියාවෙන් සහ පුවත්පත් ලිපියකින්...   






42 comments:

  1. ෂහ්, ලස්සන පොටෝ ටිකක්.. සහ වැදගත් විස්තරයක්...
    //චන්දන හෙට්ටිආරච්චි// චන්දන ලියනආරච්චි නේද මං හිතන්නේ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
      නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ//
      නුඹ තාම නිදිද
      නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ

      මල් මාලතී ලතා මඩුල්ල නෙතු පියා හිඳී
      මුදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයින්ට දී
      කට කොනින්වත් හිනා නොවීම දේවතා නිදී

      සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ...

      විල් තලේ රිදී රැල් නැගේවි රංගනේ යෙදී
      මුදු මන්දහාස දී පිපේවි සොඳුරු කෞමදී
      මට තනියි මගේ හිත පාළුයි නුඹ තවම නිදී

      සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ...


      ගායනය - චන්දන ලියනාරච්චි
      ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
      සංගිතය - රෝහණ වීරසිංහ

      Delete
    2. හුටා ලියනආරච්චි නේන්නං..
      සුළු අතපසු වීමක්.. නිවැරදි කරා..ස්තුතියි විදානෙ..
      ඔය තියෙන්නෙ මුළු සිංදුවම..
      ජය වේවා..!!

      Delete
  2. කඩුපුල් මල සේ රැයම සිනාසී
    අරුනැල්ලට පෙර මිලාන වී
    දෙනෙත් පුරා කඳුලැල් පුරවා
    කුමන පලද සිත රිදවාලා...//

    -චන්දන ලියනආරච්චි-

    ReplyDelete
    Replies
    1. ආ අපේ සින්දු ඇනෝ.. :D
      වෙල්කම් මේ ඉසව්වට..

      Delete
    2. කඩුපුල් මල් පිපිලා
      රෑ සඳ ගලන නිම්නයේ
      නුඹලා තාම නිදිද
      නුඹලා තාම නිදිද
      නැගිටින් පැණි කුරුල්ලනේ

      Delete
    3. සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
      නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ
      නුඹ තාම නිදිද
      නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ

      Delete
    4. කඩුපුල් තලා
      කඳුළින් දොවා
      රහසේම ඈ
      වෙන්වී ගියා..

      දෙගුරුන් වරම් ලබා
      ඔහු හා බැඳී
      සැරදේ සදා
      මට ඒ ඇතී..

      පෙළුනොත් නුවන් තෙමී
      යම් දාක දී
      පවසන් ළ‍ඳේ
      සැනෙකින් එමී..

      Delete
  3. අම්මා ගහයි ! අර කතාවනම් සුපිරි ඈ.
    සිංදුවා නිකන් පොඩි මෙව්වා එකක් කියන්නද ? අර වෙලාවල් ටික නම්බර්ස් වලින් දැම්මනම් මීට වඩා ඒක හයිලයිට් වෙනවා කියලා හිතුනා.
    අපේ අම්මත් කඩුපුල් පැළ ගෙනත් හරිම වදේ ඒක බලන්න එන්නයි පොටෝ ගහන්නයි.හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිංදුවා යෝජනාවට..වෙලාවල් ටික ඉලක්කම්වලින් දැම්මා.. :)

      මෙහෙත් ඔය කතන්දරේම තමා..ගොඩක්ම් මේ ෆොටෝ ටික වැදුනෙත් අම්මාට බලන්න ඕන හන්ද..එදා පිරිත් ගෙයක් හන්ද අම්මට මේ කඩුපුල් මල පිපෙන හැටි බලන්න බැරි වුණා.. :)

      ස්තූතියි..ජය වේවා...

      Delete
  4. හරිම ලස්සනයි ෆොටෝ ටික. වීඩියෝවත් මරු. frames ගාන තව ටිකක් වැඩි උනානම් අර national geography කට්ටිය කරනවා වගේ වීඩියෝ එකක්ම කරන්න තිබුනා. අපේ ගෙදරත් එකම එක දවසක් කඩුපුල් මලක් පිපිලා තියනවා. ඒක පිපිලා ඉවර උනෙත් රෑ 10 ට විතර.

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි අක්කෙ ෆ්‍රේම්ස් ටික වැඩි කරන්න තිබ්බා.. ඒත් මං ගත්තෙ ෆොටෝස් 64ක් වගේ ගාණක්.. ඒ වගේ පොඩි ගාණකින් වැඩි ෆ්‍රේම්ස් රේට් එකක් තියෙන්න හැදුවාම වීඩියෝ එක එන්නෙ තප්පර ගාණයි.. :D
      වෙන දවසක බලමුකො...
      මේකත් රෑ 10 වෙද්දි පිපිලා ඉවරයි..
      බොහොම ස්තූතියි හොඳේ... :)

      Delete
  5. මරු ෆොටෝ ටික...

    ලංකාවේ ගෙදර නම් තියෙනවා කඩුපුල් මල්.. ඒත් මම මෙහේ නම් තාම දැකලා නෑ කඩුපුල් මලක්..

    ReplyDelete
    Replies
    1. එහෙනං ගෙදරත් පිපිලා ඇති සමහර විට.. මං දැක්කා බුකියෙ කිහිප දෙනෙක්ම ෆොටෝ දාල තිබ්බා කඩුපුල් මල්..
      තෙත් කලාපවල ලු වැඩියෙන්ම කඩුපුල් වැවෙන්න අවස්ථාවක් තියෙන්නෙ..
      බොහොම ස්තූතියි දිනේශ්...

      Delete
  6. මලේ උඹෙන් තවත් වෙනසක්. සුපිරියි මචෝ... කඩුපුල් මල් පිපෙනවා බලන්න මං මාර මනාපයි. අපේ අහල ගං හතක නෑ කඩුපුල් පැලයක් බේතකට හොයාගන්න. උඹේ මේ මුලු පෝස්ට් එකම මං අපේ ඔපීසියේ ඔක්කොටම මේල් එකකින් ෆෝවඩ් කලා. කඩුපුල් මල් උපන් කතාව ඇහුවෙත් අද. ඒකත් හරිම සංවේදීයි..

    ස්තූතියි බෙහෙවින්ම.

    ReplyDelete
    Replies
    1. මාත් මාර ආසයි..ඔක්කොටම වැඩිය ආස කඩුපුල් මලේ සුවඳට.. :)
      කරපු වැඩේ බොහොම වටිනවා..

      කඩුපුල් මලට සම්බන්ධ ජනප්‍රවාද ගොඩක් තියේ.. ඒ අතරින් එකක් තමා ඔය.
      උඹටත් බොහොම ස්තූතියි අගය කිරීමට...
      ජය වේවා...!!

      Delete
  7. කතාව නං අහලම නෑ...
    සිරාවටම ඈ
    පිංතූර ටික නං පට්ට...
    අනන්තවත් කඩුපුල්දැකල තියේ ඒත් මේ වගේ ලස්සනට දැක්කෙ නෑනෙ බං...
    ඇයි දන්නෑ...
    ප්‍රිමියර් ප්‍රෝ වලටවඩා වින්ඩෝස් මූවි මේකර් ලේසියි

    ReplyDelete
    Replies
    1. ප්‍රීමියර් ප්‍රො වලට වඩා මූවි මේකර් ලේසියි තමා.. සොෆ්ට්වෙයාර් කෑලි තුන හතරකින්ම ට්‍රයි කරල තමා අන්තිමට කොහොමහරි මේක අටවගත්තෙ..මූවි මේකර් එකේ පින්තූරෙන් පින්තූරෙට මාරු වෙන අවම කාල පරතරය දෙන්න පුළුවන් තප්පරයයි.. ඒක හින්ද හරි ගියෙ නෑ..මේක හදා ගත්තෙ Quick Time Player එකෙන්.. :D
      බොරු ඇද බාන්නෙ නැතුව හිටාන්..ෆොටෝ වලට වැඩිය කොච්චර ලස්සනට ඇත්තටම කඩුුපුල් මලක් දිහා බලන්න පුළුවන්ද.. :D :D

      උඹටත් බොහොම ස්තූතියි මහියො...

      Delete
  8. මේ ගැන අපේ ඉසව්ව බ්ලොග් එකෙත් තිබුනා ...

    http://apeisawwa.blogspot.com/2012/05/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සින්දු ඇනෝ ලින්ක් එකට.
      කඩුපුල් මල් දෙකක්ම පිපිලා නෙහ්..

      Delete
    2. කෝ බන් සින්දු ඇනෝ කඩුපුල් මල ගැන උඹේ සින්දුව

      Delete
    3. කඩුපුල් මල් පිපිලා
      රෑ සඳ ගලන නිම්නයේ
      නුඹලා තාම නිදිද
      නුඹලා තාම නිදිද
      නැගිටින් පැණි කුරුල්ලනේ

      නිල් තරු එලිය නිවේ
      මිහිදුම් සිහින මන්දිරේ
      මත් බමරුන් නින්දේ
      පිපි කේතකී මණ්ඩපේ
      මගෙ නම කියනු කවුද
      මගෙ නම කියනු කවුද
      ඇහුණා හීනයෙන් වගේ

      කඳු යායෙනුත් එපිට
      රෑ සඳ නෑ ගමන් ගියේ
      මට නුහුරුයි මේ රෑ
      තනි වුණු මධුර වසන්තේ
      අරුණළු අරන් එන්න
      අරුණළු අරන් එන්න
      දැන් දැන් ළහිරු කුමරුනේ

      තුෂාරා ගිම්හානි අමරසිංහ
      රත්න ශ්‍රී විජේසිංහ
      රෝහණ වීරසිංහ

      Delete
  9. අඩේ පට්ටනෙ!
    ඔය කතාව ඇහුවෙත් අදයි බං. නියමයි.

    ෆොටෝස් ටික නම් එළ ඈ!!

    ReplyDelete
    Replies
    1. පට්ට තමා..කාපු මදුරුවො තොගේ හැටියට.. :D
      බොහොම ස්තූතියි ප්‍රියා..

      Delete
  10. සුපිරි මචන්, උබට ජය ශ්‍රී,,,, !!!!

    ReplyDelete
    Replies
    1. ආහ් එල ඈ... :D
      තැන්කූ වේවා..!!

      Delete
  11. ඇත්තමයි, කියන්න වදන් නෑ.. පිංතූරත් ඒවගේම විස්තරත් රසවත් වගේම අපූරුයි පොඩ්ඩෝ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කෙ අගය කිරීමට.. :)

      Delete
  12. කඩුපුල් මලේ කතාව දැනගත්තේ අද හරිම ලස්සනයි පින්තූර වගේම කතාවත් ... මට කඩුපුල් මල් දකින හැමවෙලේම මතක් වෙන්නේ කසුන් කල්හාර කියන සින්දුවක පේලි 2ක් (පමා වී ...පිපුන මල් සුවඳයි ..පිපුනි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙන්ගතු මයි. ) ....ඒ මොකද දවසක් අපේ ගෙදර වත්ත කොනේ තිබුන කඩුපුල් මලක් බුදුන්ට පූජා කලාට පස්සෙත් ආයෙ ආයෙ කඩුපුල් මලේ සුවඳ මගේ ජනේලේ ගාවින් දැනුන පහුවෙනිදා උදේ තමයි දැක්කෙ ජනේලේ ගාව තාත්ත හිටවපු කඩුපුල් පැලේ කලින් ද රෑ මලක් පිපිලා පරවෙලා කියල .මේ ලඟදි මල් 5ක්ම පිපිලා තැන්තැන් වල ..අපි මල් 4ක් පූජා කලා අනෙක් මල දැක්කේ නෑ පහුවෙනිදා වෙනකන්ම ..මේ කතාව කියවද්දිත් අයෙමත් දුවල ගිහින් බැලුව අනෙක් පොහොට්ටු වල මල් පිපිලද කියල ..ඒවා වැස්ස ට නටුවෙන් කැඩිලා ගිහින් ..:(
    කඩුපුල් මලේ සුවඳ ලස්සන වෙන කිසිම මලක නැති තරම් ...

    ReplyDelete
    Replies
    1. මල් පහක් පිපිලා කියල කියනකොටත් ආසයි..කොච්චර ලස්සන්ට තියෙන් ඇද්ද. ඒ වගේම සුවඳ.
      මේ පැළේ ආපු පුංචි පොහොට්ටුවකුත් පිපෙන්න කලින්ම නටුවෙන් කැඩිල ගියා. චූටි නංගි කඩුපුල් පැළේ හොළවලා.. :(

      පමා වී පිපිණු මල් සුවඳයි
      පිපුනි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙන්ගතුමයි
      හිතට හිතැතිව ගලා යන සුළඟේ
      හිතා ගන්නට බෑ
      කුමන මලටද කුමන සුවඳටදෝ
      හඳ පියන්පත් හැර තබන්නේ

      සිහින නගරේ සිඟිති සඳ එළියේ
      දෝරෙ ගලනා මතකයේ
      සිනිදු පිපි අග පිපී නැළවෙන.
      මලකි මා..මලකි මා ඔබගේ

      පතන් බිම් තෙත තුරු වියන් තුරුලේ
      දිය කඳුළු ඉවුරේ
      පිනි කඳුළු මත උදා අරුනෙත
      හුදකලාවට සිනා මුසු කල
      මලකි මා..මලකි මා ඔබගේ

      පමාවී පිපිනු මල් සුවඳයි
      පිපුනි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙන්ගතුමයි

      ඒ මමයි ඒ මමයිඔබට මතකයි නම්

      පමා වී පිපුනු මල් සුවඳයි
      පිපුනි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙන්ගතුමයි

      ඒ මමයි ඒ මමයි ඔබට සිතුනා නම්

      කුමන මලටද කුමන සුවඳටදෝ
      හද පියන්පත් හැර තබන්නේ...

      Delete
  13. එල කිරි සංචා ...
    මමත් පොඩි කාලේ දවසක් ෆෝම කඩුපුල් මලක් පිපෙන හැටි බලං හිටියා ආච්චිලගේ ගෙදරදී. හැබැයි කීප සැරයක්ම නින්ද ගියා . ඒ කාලේ එච්චර තේරුමක් තිබ්බේ නෑ මේක දුර්ලභ දෙයක් කියලා . කොහොම හරි highlights බල ගත්තා එදා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවානයො..
      මාත් මේ සම්පූර්ණයෙන්ම කඩුපුල් මලක් පිපෙන හැටි හොඳටම බැලුව පළවෙනි පාර..

      Delete
  14. මචං ජීවිතේටම පරවෙච්චි කඩුපුල් විතරයි දැකල තියෙන්නේ.
    වයිෆ් ලගේ ගෙදර ගිය වෙලාවක නෑනලා ටික ඕකක් බලමු කියල සෙට් වෙලා හිටිය
    කොහෙද කාලකන්නි මස්සිනාල ටික මොනවදෝ වහතු රහක් තියන ජාතියක් අල්ලලා පෙව්වනේ.

    පින්තුර නම් දැකල තියනව අද තමා වීඩියෝ එකක් දැක්කේ

    ReplyDelete
    Replies
    1. ආයි ඉතින් ඒව බීවාම අමුතුවෙන් කඩුපුල් මල් බලන්න ඕන්නෑ නොවැ.. :D මල් පේනවා නේද ඔටෝම.. :D
      යූ ටියුබ් එකේ මීට වැඩිය හොඳ වීඩියෝ ගොඩක් තියනව දැක්කා..

      බොහොම ස්තූතියි ජීවනයො...

      Delete
  15. http://dilagelokaya.blogspot.com/2014/06/blog-post_9948.html
    නියමයි සංචාරකයා. හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිලා..
      ඒ ඉසව්වටත් ආවා..බොහොම අපූරුයි පැදි පෙළ.. :)

      Delete
  16. වැඩේනම් අති විශිෂ්ඨ යි...

    බොහොම මහන්සි වෙලා තියෙනවා පාටයි මදුරුවන්ට ලේ දන් දීල....

    ReplyDelete
    Replies
    1. අම්බෝ ඔව්.. මදුරුවොයි, සීතලයි.. :D
      බොහොම ස්තූතියි විභීෂණ අයියෙ...!!

      Delete
  17. පොටෝ ටික නම් සැහෙන්න මහන්සි වෙලා අරගෙන වගේ .කතාව අසා තිබ්බෙ නම් නෑ වගේ ,අපේ ගෙදර නම් කඩුපුල් තියෙනවා මුල් ටිකේ හොදට සාත්තු කරලා හැදුවා දැන් වසංගතයක් වෙලා ,:P

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...
      ඒ මක්කැයි ඒ වසංගතයක් වෙලා තියෙන්නෙ...

      Delete
  18. photo ටික මාර clear ලස්සනයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...