September 21, 2014

නො කවි



ගංගාවක් වන්නට වෙර දරන
පිණි බිඳුවක් මෙන්
සිහින මවමි මා
ලැබුමට ඔබේ ස්නේහය

හැරගිය කල
සුවඳ පමණක් ඉතිරි කොට
පවසන්නම් මුහුදට
ඔබේ සිනහවේ ලස්සන..



අනේ මන්ද බං... !!

September 8, 2014

බැද්දේගම | The Village in the Jungle

ලෙනාඩ් වුල්ෆ් ගැන මං පළමුවරට දැනගත්තෙ ඔහු විසින් රචනා කරල, ප්‍රේමචන්ද්‍ර අල්විස් විසින් පරිවර්තනය කරල තිබුණු ඉතාමත් ආසාවෙන් කියවපු  ලක් බිමේ සත් වසක් නම් කෘතියෙන්. ලෙනාඩ් වුල්ෆ් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු ලංකාවට පැමිණෙන්නෙ 1904 ඔක්තොම්බරයෙදි. ඒ කියන්නෙ ලංකාව බ්‍රිතාන්‍ය යටක් විජිතයක්ව පැවති කාලයෙදි. ඒ සිවිල් සේවකයෙකු වශයෙන්. 
වුල්ෆ් ලංකාවෙ සේවය කරේ සුළු කාලයක් පමණක් වුවත් ඔහුට අත්දකින්න සිදුවෙන අත්දැකීම් ගොන්න අතිමහත්. ඔහු විසින් රචිත බොහොමයක් කෘති වලට පාදක වෙන්නෙ මේ අත්දැකීම්.


පහුගිය ඉරිද දවසක කොටුව පැත්තෙ පොඩි රවුමක් ගහන්න ඕනෙ කියල හිතාගෙන ගියපු මං ගුණසේන එකට ගියෙ නොදැනුවත්වම.
කොටින්ම මට යන්න උවමණාවකුත් තිබුණා. ඒ විභූතිභූෂණයන්ගෙ අරණකට පෙම් බැඳ පොත හොයා ගන්න. ඒත් ඉතින් අන්තිමට එන්න සිද්ධ වුනේ තව පොත් හතරක් පහක්ම අරගෙන. පර්ස් එකේ තිබ්බෙ රුපියල් දෙදාහක් හන්ද ඔයින් බේරුණා. :D සුසිත රුවන් ගෙ රාවණා මෙහෙයුම, එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ මළගිය ඇත්තෝ, සුනේත්‍රා රාජකරුණා මහත්මියගෙ කවිකඳුර අතර ලෙනාඩ් වුල්ෆ් ගෙ The village in the Jungle නොහොත් බැද්දේගමත් ඒ අතර තිබුණා. පරිවර්තනය කරල තියෙන්නෙ ඒ.පී. ගුණරත්න විසින්. 




සම්පූර්ණයෙන්ම බලලා නැති වුණාට මට මතකයි බැද්දේගම චිත්‍රපටියත් ටීවී එකේ පෙන්නුව. බැද්දේගම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් මහත්මයා. පොත කියවල ඉවර වෙලා චිත්‍රපටියත් බලන්න නෙට් එකේ සර්ච් කරල බැලුවට හම්බුන්නෑ..!


 ලෙනාඩ් වුල්ෆ් මේ පොත ලියල තියෙන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කියල තමා කියන්නෙ. විදේශිකයෙක් අතින් ලියැවුණාට බැද්දේගම කතාවෙ සිංහල මිනිසුන්ගෙ චරිත නිරූපණය, ජීවිතය පිළිබඳ සියුම් පැතිකඩයන් පවා ගෙන හැර පාමින් කතාව ලිවීම සිංහල නවකතා කරුවෙකුටත් වඩා විශිෂ්ටයි. කතාවෙ අන්තර්ගතය පිළිබඳව ගත්තොත් මෙහි සිදුවන්නෙ බැද්දේගම කියන කැළෑ බද අති දුෂ්කර ගමේ සහ එහි ඉතාමත් දුක්ඛිතව ජීවත් වෙන පවුල් කිහිපයක පරිහානිය. වැස්ස නැති කමින් නියඟය නිසා බැට කන, නූගත් කම සහ අන්ධ විශ්වාසයන්, ඉඩම් හිමියන් විසින් දුප්පත් ගොවියන්ව දරිද්‍රතාවයටම තල්ලු කිරීම හේතුවෙන් මිනිස්සු පරිහානියට පත්වන විදිහ වුල්ෆ් විසින් තම නිර්මාණයට සම්බන්ධ කරගෙන තියන විදිහ සිත්ගන්නා සුළුයි. 

"බැද්දේගම වනාහි අතිශයින් ප්‍රශංසනීය වූ ද මනහර වූ ද කෘතියකි. එහි අපට හමු වන්නේ නො ඇසූ විරූ චරිත විශේෂයන්ය. අපේ ගෞරවය ද අනුකම්පාව ද ඔවුන්ට එකවර හිමිවේ"
                                                         ~Morning Post පුවත්පත~

අන්තිම පිටුව වෙනකංම පුදුම කුතුහලයකින් වගේම ගොඩක් ආසාවෙන් පොත කියවන්න පුළුවන්. දුෂ්කර ගම්බද මිනිස්සුන්ගෙ ජීවිත අපි හිතාගෙන ඉන්නවටත් වඩා දුක්ඛිතයි. නමුත් ඒක තමයි සත්‍ය. 

බුක් ෆෙයාර් එකේදි ලෙනාඩ් වුල්ෆ ගෙ බැද්දේගම හමුවුණොත් රුපියල් තුන්සිය විසි පහක් දීල ගත්තට පාඩු වෙනනැති වෙයි..!  






Related Posts Plugin for WordPress, Blogger...