March 27, 2014

මගේ ඡායාරූපකරණය - පාපොච්චාරණය | My Photography - Confession

ෆොටෝග්රැෆි (සිංහලෙන් ඡායාරූපකරණය :P) යනු මට වැළඳුනු දරුණුම උණකි. මතක විදිහට මේ උණ වැළඳුනේ 2010 වර්ෂයේ විතර. එදා පටං ගෙදර ඉන්න මැස්සාගේ සිට බල්ලා දක්වාම ෆොටෝ ගත්තා. ඉස්සර ඉඳංම පුංචි පහේ ඩිජිටල් කැමරාවක හිමි කරුවෙකු වුණත් මේක කලාවක් කියල දැනගත්තම පස්සෙ අහුවෙන හැම දෙයකටම කැමරාව අල්ලල ෆොටෝ ගන්නව වෙනුවට පොඩ්ඩක් හිතල මතල ෆොටෝ ගන්න පුරුදු වුණා. ඔහොම පළවෙනියටම ගත්තෙ ගෙදර වත්තෙ තිබ්බ මල් පොකුරක ෆොටෝ කෑල්ලක්. 


පස්සෙ ඕක Picasa වගේ සොෆ්ට්වෙයාර් වලින් edit කරල හැඩ බැලුවා.  මතක හැටියටනං ඒ වෙනකොට මට තිබ්බෙ 
Panasonic - Lumix DMC FX 8 ඩිජිටල් කැමරාවක්.  
දැන්නං ඒක කොහෙද දන්නෑ.. :P
                                                    Panasonic - Lumix DMC FX8

මේ කලාවෙ ඉතිහාසය ගැන පුංචි විස්තරයක් කරනවනං ඡායාරූපකරණය හෙවත් Photography කියන ඉංග්‍රීසි වචනය හැදිල තියෙන්නෙ ප්‍රංශ වචනයකින්. ඒ ප්‍රංශ වචනයත් හැදිල තියෙන්නෙ ග්‍රීක වචන කිහිපයක අනුසාරයෙන්. 
ඒකෙ තේරුම “ආලෝකයෙන් ඇඳීම“. 
ප්‍රථම වතාවට ස්ථීර ඡායාරූපයක් අරගෙන තියෙන්නෙ 1826 දි. ඒ ප්‍රංශ ජාතික “ජෝසෆ් නිසෙෆෝ නිප්සෙ (Joseph Nicepho Niepce) කියන මහත්තයලු.
  
                             ප්‍රථම ස්ථීර ඡායාරූපය

ඔහොම යනකොට මට ඕන වුණා ඡායාරූපකරණය ගැන තව ඉගෙන ගන්න. කොළඹ හා ඊට ආසන්න ප්‍රදේශවල ඡායාරූපකරණය ගැන පාඨමාලා අනන්තවත් තිබුණත් ඉස්කෝලෙ යන හින්ද ඒවට යන්න වෙලාවක් නැති වුණා. ඒත් අන්තර්ජාලය කියන එක නිවැරදි විදිහට පාවිච්චි කරන කෙනාට ඒක බාධකයක් නෙමේ. Photographyගැන ඉගෙන ගන්න ඕන තරං වෙබ් සයිට් හා බ්ලොග් සයිට් තියෙනවා. 
ISO, Exposure, Shutter Speed, Aperture, Composing වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ අන්තර්ජාලයෙන්. තාමත් ඉගෙන ගන්නව. ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් අඩවියක් තමයි සමීර අයියගෙ බ්ලොග් එක. ඒ වගේ තව ගොඩක් තියනව ඉගෙන ගන්න පුලුවන්..
ෆොටෝ කතා
I know Foto
රිද්ම සංකලන
Digital Photography
PhotographyLK 

#මට හොඳ මං ගත්තු ඡායාරූප කිහිපයක්...




                                                             



                                




                                                               නිශ්චල නාටිකංගනාවො

                                                             දියත උද්‍යානයෙදි ගත්තෙ

                                                           Long Exposure Photography

                                          ගෙදර තිබ්බ ඔරලෝසුවකටවත් පාඩුවෙ ඉන්න දුන්නෑ

                                                කවදත් මං වැඩියෙන්ම කැමති Black & White



                               
                                                                Smoke Photography

 
                                                          ෆොටෝෂොප් ජිල්මාට්ටුවක්


මේක ඉවසීමෙන් ප්‍රගුණ කරන්න ඕන කලාවක්. ඒ වගේම එක මොහොතකින් හැමදෙයක්ම ඉගෙන ගන්නත් බෑ. දවසින් දවසින් අලුත් දේවල් එකතු වෙනවා. තව අවුරුද්දකින් පමණ මට හිතෙයි ඒ කාලෙ වෙනකොට මම අරං තියන හොඳ ෆොටෝ වල හැටියට මේව මොනවද කියල. 

තාමත් මට තියෙන්නෙ Nikon Coolpix S4200 පොඩි කම්පැක්ට් ඩිජිටල් කැමරාවක්. මීට වඩා වැඩි යමක් කරන්නනං DSLR වර්ගයෙ කැමරාවක් තියෙන එක හොඳයි. මිල සාපේක්ෂව ඉතා ඉහලයි. මම ඉස්සෙල්ලාම DSLR කැමරාවක් අතගෑවෙ හපුතලේ දි. ඒ Nikon D3000 කියන පරණ මොඩ්ල් එකක්. නෑදෑයෙක්ට අයිති එකක්. ඒ වෙලාවෙනං හිතට දැනුණු සතුට කියල නිම කරන්න බෑ. නිධානයක් පහළ වුණා වගේ. :D :D
ගෙදරිං නං කියන්නෙ විභාගෙ ලියල ඉවර වෙනකං ඕව අරගන්නෑ කියල..
ඉතිං කෝමත් ෆේල් වෙන එකේ අරං දුන්නාම මොකෑ වෙන්නෙ මං අහන්නෙ...!!! :P :P

Travel Photography, Macro, Nature, Wildlife වගේ ක්ෂේත්‍ර තමයි මං ආසම. 
කවදහරි ඒ සිහිනෙ සඵල වෙන්නැතෑ.. එතකං බලා ඉන්නව..

ප.ලි. - අවසන් වශයෙන් කීමට ඇත්තේ මෙය කවදාවත් සුව නොවන උණක් බවයි...!!!

    
  


                                               

                     


March 24, 2014

වානේ පන්නරය ලැබූ හැටි | How the Steel Was Tempered


එදා මා පුස්තකාලයෙන් ගෙන ආවේ එම පොතයි. සැබැවින්ම එය රුසියානු සාහිත්‍යයේ විශිෂ්ට සළකුණක්. එම පොත සිංහලයට  පරිවර්තනය කර තිබුණේ දැදිගම වී. රුද්‍රිගු විසින්.

'වානේ පන්නරය ලැබූ හැටි' කෘතියේ ප්‍රධාන චරිතය වන 'පාවෙල් කොර්චාගින්' සහ කෘතියේ රචකයා වන 'නිකොලායි ඔස්ත්‍රොව්ස්කි' එකම චරිතයක් ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. ඔස්ත්‍රොව්ස්කි විසින් පාවෙල් හරහා ඔහු ඉදිරිපත් කරන්නෙ ඔහුගේම ජීවිත අත්දැකීම් සමුදායයි. 
නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ජීවත් වුණේ අවුරුදු තිස් දෙකක් වැනි කෙටි කාලයක් පමණයි (1904-1936). එහෙත් ඔහු වීරෝධාර චරිතයක්. සෝවියට් දේශය ගොඩනැගීමට ඔහු තම ශක්තිය යෙදෙව්වා. ප්‍රතිවිප්ලවාදී කණ්ඩායම් සහ පෝලන්ත හමුදා වලට එරෙහිව සටන් කරන නිකොලායි අවසානයේ ස්නායු රෝගයකට සහ අංශබාගයට ගොදුරු වුණා.

 අවුරුදු දොළහක් ඔහු රෝගියෙකු ලෙස තම ජීවිතය ඇඳට පමණක් සීමා කරා. එයින් අවසන් අවුරුදු අට අන්ධයෙකු ලෙස ගත කරා. තුවක්කුව වෙනුවට පෑන මෙහෙයවමින් තමා සීමා වී තිබුණු අයෝමය වළල්ල බිඳ දමමින් සෝවියට් දේශයේ පරම්පරා ගණනකම අත් පොත වන 'වානේ පන්නරය ලැබූ හැටි' කෘතිය ලියවෙන්නෙ මෙම වකවානුවෙදි.

"අතිශයින්ම වැදගත් වස්තුව වන සටන් කිරීමට ඇති හැකියාව නැතිව ගිය පසු ජීවත් වන්නේ කුමක් සඳහාද? සොම්නස රහිත අනාගතයේදී හා වර්තමානයේදී ජීවිතය සනාථ කරන්නේ කෙසේද? කා, බී, ආශ්වාස ප්‍රස්වාස කිරීමෙන් පමණක්ද? සිය සගයින් සටන් තුළින් ඉදිරියට යන විට, පැත්තකට වී නිකං බලා සිටින සාක්ෂි කරුවෙකු වී සිටිය හැකිද?" 

අන්ධබාවය ඔස්ත්‍රොව්ස්කි හට බාධකයක් වුණේ නැහැ. පළමු අවධියෙදි ඔහු ඉතා අමාරුවෙන් පැන්සල තද කරගෙන අකුරු ලිව්වෙ ඒව අත ගා බලමින්. සමහර අවස්ථාවලදි ලියූ අකුරු පේළියට උඩින් තවත් අකුරු පේළියක් ලියපු නිසා එම ලිපි විනාශ වුණා. පසුව රුසියන් බසින් 'ට්‍රාන්ස්පරාන්ට්' ලෙස හැඳින්වෙන කාඩ්බෝඩ් කැබැල්ලක දිග අතට සිදුරු කපා ලියන කඩදාසිය මත තබා සිදුරු ඔස්සේ අකුරු ලියමින් ඔහු තම ජීවිත කතාව රචනා කරා. 

ඔස්ත්‍රොව්ස්කි තරුණබව, ආදරය හා සටන ගැන පොතක් ලිව්වා.    
වානේ පන්නරය ලැබූ හැටි කෘතිය තුලින් ලෝකයාට නිදහස වෙනුවෙන් කරන සටනට පන්නරයක් ලබා දුන්නා. 

"1914-1918 ලෝක මහා යුද්ධය, සිවිල් යුද්ධය, සෝවියට් සංගමයේ ආර්ථිකය යළි ගොඩ නැගීම පසුතලය කරගනිමින් කතුවරයා නව රුසියාවේ තරුණ වීරයා වන පාවෙල් කොර්චාගීන්ගේ සේයාරුව මැනවින් සිත්තම් කරයි. එය අතිශයින්ම යථාර්තවාදී ය, චරිතය උපරිමය ලෙස පැහැදිලිය. ඉමහත් ශක්තියෙන් යුතුව ඔහු සැබෑ ජීවිතයෙන් කොටසක් මනහර ලෙස චමත්කාරජනක හැඟීමකින් යුතුව ඉදිරිපත් කරයි."     
                                                         ~ටයිම්ස් පුවත්පත~

පාසල් යන පාවෙල් පූජකයාගේ පිටි වලට දුම්කුඩු මිශ්‍ර කරනවා. එබැවින් ඔහු පාසලෙන් නෙරපා දමයි. ගිනි උදුම් සේවකයෙකු ලෙස, විදුලි බලාගාර සහයකයෙකු ලෙස, රේල් පීලි සවි කරන්නෙකු ලෙස ඔහු තම ශ්‍රමය මෙහෙයවනවා. දරිද්‍රතාවය සහ සමාජ විෂමතාවය හඳුනාගන්නා පාවෙල් ධනවාදීන්ට වෛර කරන්නට පටන් ගනියි. 
ඔහුගේ රළු ස්වභාවය, නුරුස්සනා ගතිය නිසා තෝන්යා ඔහුට ආලය කරනවා. තෝන්යා ඔහුගේ ආදරවන්තිය වෙනවා.. නමුත් කම්කරුවෙකුට ආලය කිරීමට හැකි වූ තෝන්යාට කම්කරු අදහස් වලට ආදරය කරන්නට නොහැකි වෙනවා. මේ නිසා පාවෙල් කොර්චාගින්, තෝන්යා ගෙන් වෙන් වේ.

බලාපොරොත්තු කඩ වීමේ කටුක බව, දුප්පත් කම්කරුවන් විඳනා දුක් සමුදාය ගැන පාවෙල් ඉතා සංවේදී වුණා. 
"මෝඩකම නිසා හා තරුණකම නිසාද, හැමටම වැඩියෙන් නොදත්කම නිසාද වැරදි බොහොමයක් කළෙමි." පාවෙල් තමා ගැන සිතුවෙ ඒ අයුරින්.

1935 දී නිකොලායි ඔස්ත්‍රොව්ස්කි හට මෙම කෘතිය වෙනුවෙන් ලෙනින් සම්මානය පිරිනැමුණා. ඔහුගේ දෙවැනි කෘතිය 'Born of the Storm' සහ අවසාන කෘතිය වන්නේ 'Russian Civil War' යන්නයි.

නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ගෙ මෙම ශ්‍රේෂ්ට නව කතාව නිසා ආස්වාදය ලැබූ ප්‍රංශ මහා ගත්කරු රොමේන් රොලාන්, ඔස්ත්‍රොව්ස්කි 'ක්‍රියාශීලිත්වයේ දීප්තිමත් ආලෝකය' ලෙසින් හැඳින්වුවා.

"විප්ලවවාදී යුගයේ ශේෂ්ඨතම කලාත්මක නිර්මාණය එය විසින් බිහි කරන ලද මිනිසුන්ය. නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ඔවුන්ගෙන් කෙනෙකි"
                                                       ~සෙම්යොන් ත්‍රෙගුබ්~
ශාරීරින පීඩාවන්ට යමෙකුගේ ජීවිතය අඳුරු වළා පටලයකින් වසා දැමිය හැකි වුවත් ඔහුගේ ධෙර්යය, ආධ්‍යාත්මික සංවේදී බව හා හැකියාවන් සදාකාලිකව විනාශ කළ නොහැකිය...

වාර්තාකරුවෙකු දවසක් ඔස්ත්‍රොව්ස්කි ගෙන් මෙසේ ප්‍රශ්නයක් නැගුවා.
"ඔබ නිර්භීත මිනිසෙක්, කොමියුනිස්ට්වාදී අදහස් වලට කැප වීමට ඔබට හැකි වූයේ එම නිර්භීතකම හේතුවෙන්ද?"

"ඔව්"
ඔහු මොහොතකුදු පමා නොවී පිළිතුරු දුන්නේය.

මා කියවූ සිංහල අනුවාදයෙහි.., 
කතෘ - දැදිගම වී. රුද්‍රිගු
  

March 23, 2014

නපුරු ආදරවන්ති | Cruel Lover

"නුඹ ආයිමත් කවි ලියන්න එපා..
 මම ඒවට ආස නැහැ.."

ඇයට සුපුරුදු, ඔහුට නුහුරු බස් වහරෙන් පැවසූ ඇය ආයිමත් හෙට හමුවන පොරොන්දුවත් ඇතිව වෙන්ව ගියා.

"ඇය මේ තරම් නපුරු ඇයි..
 නමුත් ඇය මට ආදරෙයි..ඒ ඇගේ හැටි..
 නපුරු ආදරවන්ති.."

සැඳෑ අහස රත් පැහැ ගන්වමින් හිරු තම දවස නිමා කිරීමට සැරසෙන හැටි මොහොතක් බලා සිටි තරුණයා යන්නට සැරසුණා. හැමදාමත් ඔවුන් දෙදෙනා හමු වූ කුඩා නදියට  මුහුණලා නිශ්චලව තිබූ බංකුව දෙස ඔහු හැරී බැලුවා.. 

"අපි කොයිතරංනං මේ ගං ඉවුර මත ඉඳගෙන ආදරය කරන්න ඇත්ද..
මේ ගඟ හැමදාම ගලා බැස්සෙ හරිම කම්මැලි විදිහට.. ඒත් ඔයා හැමදාම මේ ගඟ දිහා හරිම ආසාවෙන් බලා හිටියා.. "

ඔහු නගරය දෙසට වැටී තිබුණු පටු පාර දිගේ පියමනින්නට වුණා.. ඔහුට හෙට දවසක් තිබුණෙ නැහැ. ඔහු ජීවත් වුණේ වර්තමානයෙ විතරයි. නගරයෙ කවුරුත් ඔහුට කිව්වෙ 'රස්තියාදුකාරයා' කියල. සුරුට්ටුවක් දල්වගත්ත තරුණයා දුම් රැළි තරු රෑන් අතරට පිඹිමින් ඇවිද ගියා. ඈ සමග ගත කරපු මොහොතක් පාසා ඔහු මේ රස්තියාදුකාර ලෝකයෙන් මිදිලා ප්‍රේමණීය හැඟීම් සමග ජීවත් වුණු අයුරු ඔහුට මතක් වුණා. ඈව හමු වුණු හැටි, ඈ ත් සමග ගත කරපු දවස්.. මේ සියල්ලම ඔහුගෙ මනසෙ මැවී පෙනුණා. 

තවත් දවසක්..! ඔහුට දැණුනෙ මුළු ලෝකයම තමන්ට වෛර කරනව වගේ. සැබැවින්ම ඔහුත් ලෝකයාට වෛර කරා. ධනවාදී සපත්තු අඩි වලින් තෙරපුණු ඔහුගේ ජීවිතයට ආදරය කරන්න කවුරුත් හිටියෙ නැහැ.
කුණු කාණු දුර්ගන්ධයත් එක්කම විහිදී යන මුඩුක්කු ලෑලි ගෙවල් අතරින් සුරංගනා ලෝකයට පිවිසුණු තරුණයා තම ශ්‍රමය අන්තිම දහඬිය බිඳුව තෙක්ම කුසගින්න වෙනුවෙන් පුද කරා. 

"ඈ ඇවිල්ලත් ඇති.."
ඉක්මන් ගමනින් ඔහු ගං ඉවුරට පිවිසුණා. නමුත් ඈ එහි සිටියෙ නැහැ. වෙනදා වගේම කම්මැලිකමින් ගලා ගිය නදිය දෙසට මුහුණලා නිසලව පැවතුණු බංකුව පමණක් එහි තිබුණා. ඒ අසලට පියමැන්න තරුණයාට බංකුව මත ඔහු විසින් ඇයට තෑගි දුන් නවකතා පොත පමණක් එහි තිබුණා. පිටු අතර විසිරුණු ඔහුගෙ දෑසට දැකගන්නට ලැබුණෙ හසුනක්..

"මං යනවා..ආයි එන්න එපා..!!!"



March 17, 2014

රාජාලියන්ගෙ හොටෙල් කැලිෆෝනියා | Eagles' Hotel California

Eagles

1971 දි ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් නුවරින් Eagles නමින් බිහි වුණු සංගීත කණ්ඩායම වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ 1976 වර්ෂයෙදි නිර්මාණය වුණු Hotel California ගීතයත් සමගින්.
හොටෙල් කැලිෆෝනියා රචනා කරේ ඊගල් සංගීත කණ්ඩායමේ ම සගයන් තිදෙනෙකු වන Don Felder, Don Henley සහ Glenn Frey විසින්. 

" මේ ගීතය තුලින් අර්ථ දැක්වීමට උත්සහ කෙරුණෙ ධනවාදී ඇමරිකානු සිහිනයේ අඳුරු යටිබඩ සහ දුරාචාරය ගැන. ලොස් ඇන්ජලීස් නුවර ධනවතුන්ගෙ ධනවාදී ජීවිතය."
                                                                  ~Don Henley~
' Mirrors on ceiling, 
The pink champagne on ice '

හොටෙල් කැලිෆෝර්නියා ගීතයේ ගැබ් වී තිබුණු අදහස පිළිබඳ ලෝකයේ බොහෝ මතිමතාන්තර නිර්මාණය  වුණා. 
ඇතැමුන් පැවසුවෙ හොටෙල් කැලිෆෝනියා තුලින් පැවසීමට උත්සහ කරන්නෙ යක්ෂයා ඇදහීම පිළිබඳව බවයි. 

' They stab it with their steely knives,
 But they just can't kill the beast '

ගීතය නිර්මාණය වුණු මුල් කාලයේ බොහෝ දෙනා විශ්වාස කරේ මෙම ගීතය California සංචාරක හෝටලයේදී ගායනා කරනු ලැබූවක් බවයි. නමුත් සත්‍ය වශයෙන්ම එවන් සංචාරක හෝටලයක් එම වකවානුවේදී තිබී නැහැ. 

" අපි රාත්‍රියෙදි රිය පදවාගෙන ලොස් ඇන්ජලීස් නුවරට පැමිණෙනවා. එවිට ඔබට දකින්න පුලුවන් ලොස් ඇන්ජලීස් වල ක්ෂිතජයේ දිලිසෙන විදුලි බුබුළු වල ආලෝකය. ඒත් එක්කම අපේ මනසට එන්නේ ධනවතුන්ගේ සුපෝබභෝගි ජීවිත, හොලිවුඩ් පුරවරය සහ අපේ සියලුම හීන.. හොටෙල් කැලිෆෝනියා ලියවුණෙත් ඒ ආකාරයට "
                                                                  ~Don Felder~
කෙසේ නමුත් හොටෙල් කැලිෆෝනියා යනු හදවතට කතා කරන ගීතයක්.. 


Related Posts Plugin for WordPress, Blogger...