නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ සිනමා නිර්මාණය, තණ්හා රතී රඟා දින ගණනාවක සිට රස විඳීමට බලා සිටියත් ඇති වූ අසනීප තත්වය සහ යෙදුණු ගමන් බිමන් කිහිපය නිසා ම ඊට කාලයක් වෙන් කරගන්නට බැරි විය. වෙලාවක් කලාවක් ගැන නොහිතන මා මීට දින කිහිපයකට පෙර මොරසූරන වර්ෂාව මැද්දේම රාත්‍රී දර්ශනය බැලීමට කඩුවෙල නගරයේ විජයන්ති සිනමාහලට පැමිණියත් ගිය පයින්ම ආපසු එන්නට සිදු වූයේ රාත්‍රී දර්ශනය බැලීම සඳහා පැමිණ තිබුනේ මා පමණක් නිසාවෙනි..
කෙසේ හෝ ඉරිදා දිනයක නැවතත් සිනමාහලට ගොස් තණ්හා රතී රඟා රස වින්දෙමි. කාලාන්තරයක් තිස්සේ අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය සීනිබෝල සිනමා නිර්මාණ මගින් පට්ට ගසමින් ප්‍රේ්ක්ෂකයින්ට සිනමාව එපා වෙමින් තිබූ අවධියක තණ්හා රතී රඟා යනු ඉඩෝර බිම්කඩකට වැටුණු නැවුම් වර්ෂාවකි.
මෙය විචාරයක් නම් නොවේ. හුදෙක් චිත්‍රපටිය නැරඹීමෙන් ඇති වූ ප්‍රබෝධය යුනිකෝඩ ගත කිරීමකි.
එදවස වර්ෂ දෙදාස් නවයේ මැයි මස දහ අට වන දිනයි. කතාව ඇරඹෙන්නේ ප්‍රභාකරන් මිය යාමේ පුවතත් සමග රතිඤ්ඤා පත්තු කරමින් සහ කිරිබත් දන්සැල් දෙමින් ආනන්දයට පත් මිනිසුන් ජාතික කොඩි වනමින් සතුටු වන අයුරු දෙරණ නාලිකාවේ විශේෂ ප්‍රවෘත්තියක් ලෙස පෙන්වමින්ය.
කතාවේ ප්‍රධානම නළුවෙක් වන සිරිතුංග හෙවත් සරත් කොතලාවල අල්මාරිය පීරා සොයාගන්නා ජාතික කොඩියේ දුහුවිලි පිස දමා නැවත එළියට ගන්නේ නිදහසේ සතුට සැමරීම සඳහායි.
මෙහි සංකීර්ණතම චරිතය වන්නේ ද තිදරු පියෙක් වන සිරිතුංගයි. අවසානය තෙක්ම මා ඔහුගේ මනෝමය සිතුවිලි කෙබඳුදැයි පිළිබඳව කුතුහලයකින් පෙළුණෙමි.
කෙසේ හෝ සිරිතුංගත් ඔහුගේ මිත්‍රයින් දෙදෙනා වන ත්‍රී රෝද රථ රියදුරෙක් වන විමල් හෙවත් කුමාර තිරිමාදු ත් සරසවි ශිෂ්‍යයකු වන සුරාජ් හෙවත් නාමල් ජයසිංහ ත් යාපනයේ සංචාරයක් යෑම සඳහා සැලසුම් කරයි.
පසුව මිත්‍රයින් දෙදෙනා ජාතික කොඩිය සහ බෞද්ධ කොඩිය එල්ලූ විමල්ගේ ත්‍රීවිල් රථයෙන් යාපනයට යයි. මේ අතර විමල්, ජසින්තා නම් වූ තරුණිය සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගනියි. විමල් දුරකථනයෙන් ජසින්තා සමග පෙම්බස් හුවමාරු කරගනිමින් අවිඥාණිකව කකුලෙන් වෙරළේ වැලි හාරමින් සිටිද්දී ත්‍රස්තවාදීන් සතුව තිබූ ගිනි අවියක් ඔහුට හමුවේ. ඒ අසලම සර්පයෙකු සිටීමෙන් සංකේතාත්මකව විනාශය, තණ්හාව නිරූපණය කරයි. ගිනි අවියට කුමක් කරන්නේද යන්න මිත්‍රයින් තිදෙනා අතර අදහස් හුවමාරු වේ. විමල්ට අවශ්‍ය වන්නේ ගිනි අවිය කොළඹ රැගෙන ගොස් විකුණා මුදල් ගැනීමටයි. ගිනි අවිය ගමනේ සිහිවටනයක් ලෙස ළඟ තබා ගැනීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වන සුරාජ් අදහස් කරයි. මේ අතර සිරිතුංග ගිනි අවිය විසිකර දමා නැවත ආපු ලෙසම කොළඹ යාමට තම මිත්‍රයින් දෙදෙනාට බල කරයි. ඔහු තිදරු පියෙක් නිසා මේ හේතුවෙන් යම් කිසි කරදරයකට මුහුණ පාන්නට සිදු වුනොතින් බිරිඳ සහ දරුවන් ජීවත් වන්නේ කෙසේදැයි බියෙන් පසු වෙයි. නමුත් ඔහුගේ සිතේ ද ගිනි අවිය පිළිබඳ ආශාවක් තිබෙන බව ව්‍යංගයෙන් කතාවේ ඇතැම් දර්ශන වලින් පිළිඹිමු වන බව මට සිතුණි. කෙසේ හෝ ගිනි අවිය විමල් කොළඹ රැගෙන එයි. එන අතරමගදී අපට හමුවන සේවය නිම කළ පොලිස්කාරයෙකුගේ චරිතය බලය සහ තරාතිරම පෙරටු කර ගනිමින් වංචාව සහ දූෂණය සිදු කරන අයුරු පෙන්වා දෙයි.
කෙසේ හෝ විමල් සහ සුරාජ් අතින් ගිනි අවිය තමන්ට සිදු වෙන අසාධාරණයක් හමුවේ පාවිච්චි කිරීමට සිදුවීමෙන් තමන් සතුව ගිනි අවියක් තිබෙන බවට සමාජයට හෙළි දරව් වේ. ඔවුන් දෙදෙනාම පොලීසියේ රැහැනට අසු වේ. ඊට ප්‍රථම සිරිතුංග ගිනි අවිය බලෙන් ගෙන තම නිවසේ පෙට්ටගමක් යට සඟවා තබයි. ඒ අසලම කඩුවක් ද සඟවා තිබීමෙන් ඔහු සතුව බලයට තිබූ ආශාව නිරූපණය කරයි.
නැවතත් සංකේතාත්මකව සර්පයකු පෙට්ටගම යට සැඟවෙයි...
තෙවන වරට ද ගිනි අවිය අවිඥ්ඤාණිකව පත්තු වේ.........!!!!
______________________________________
සිනමා කෘතියක තිබිය යුතු නාට්‍යමය විලාශය අවසානය තෙක්ම නොඅඩුව තිබුණි. සරත් කොතලාවල, කුමාර තිරිමාදුව, නාමල් ජයසිංහ සහ සුලෝචනා වීරසිංහ ගේ තාත්වික සහ ප්‍රතිභා පූර්ණ රංගනය කතාව ප්‍රේක්ෂකයාගේ හැඟිම් සමග එකට ගැටීමට සමත් වුණි.
කතාවේ අවසාන භාගයේදී සිදු වී ඇති දෙය ආරංචි වී සිරිතුංග තම සේවා ස්ථානයේ සිට නිවසට බයිසිකලය පදිමින් එන සැටි විනාඩි කිහිපයක රූප රාමවුක සටහන් වේ. එම මුළු කාලය තුල මෙතෙක් සිදූ වූ සිද්ධීන් ඒත් සමග වාදනය වන සිරිතුංග ගේ සියළු හැඟීම් මුසු කර තිබූ පියානෝ නාදයත් සමග නැවත මගේ මනසේ දෝංකාරය දීමට පටන් ගත්තේය.
තවත් තීරණාත්මක රූප රාමු කිහිපයකින් කතාව අවසාන වෙයි..... :)
මෙතුවක් කාලයකට මා නැරඹූ සමාජීය සහ දේශපාලනික තේමාවක් රැගත් විශිෂ්ටතම සිනමා නිර්මාණයක් ලෙස තණ්හා රතී රඟා හැඳින්විය හැකිය.
පින්තූර තණ්හා රතී රඟා facebook පිටුවෙනි...